Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දින දෙකක්‌ කකුල් දෙකෙන් එල්ලා තැබූ පාල 
ඝාතනයේ විස්‌තර කියයි


බයිසිකලය කළුබෝවිල රෝහල අසල දමා
පාල සහ ශ්‍රීකාන්ත පැනයයි

සමන්ත ධර්මදාස සහ ඇන්ටෝ විසින් අධිකරණය හමුවේ කරන ලද ප්‍රකාශයන් අනුව පෙනී යන්නේ, විජය ඝාතකයන් විසින් තුවක්‌කුව සහ බයිසිකලය සැඟවීම සඳහා ඔවුන්ගේ නිවාස උපයෝගී කරගෙන තිබූ ආකාරයයි. එපමණක්‌ නොව වෙඩි තැබීමෙන් පසුව ද ඝාතනය කරන ලද අවිය සහ මෝටර් බයිසිකලය සඟවා තැබීම සඳහා ද ඝාතකයන් විසින් උපයෝගී කරගන්නා ලද්දේ ද සමන්තගේ සහ ඇන්ටෝගේ නිවාස දෙකය. මේ සියල්ල සඳහා සම්බන්ධීකරණ කාර්යය ඉටුකරන ලද්දේ පාල විසිනි. පාල පිළිබඳව අතීත කතාව මෙම ලිපි පෙළේ එක්‌ ලිපියක සම්පූර්ණයෙන් සඳහන් කෙරුවෙමු. විජය ඝාතනය සඳහා පාලගේ දායකත්වය ඇත්තේ කොතැනින් ද යන වග හෙළිදරව් කර ගැනීම සඳහා වැදගත් වන්නේ ඔහු විසින් දෙන ලද සාක්‌ෂියයි. 
කොළඹ පොලිස්‌ අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් පාල අත්අඩංගුවට ගනු ලබන්නේ 1988 මැයි මස තුන් වැනිදාය. අත්අඩංගුවට ගන්නා ලද පාල, පොලිසියේ අනේක විධ වද බන්ධන සඳහා ලක්‌විය. දින දෙකක්‌ තිස්‌සේ ඔහු කකුල් දෙකෙන් එල්ලා තබා, හොඳ හැටි පහර දෙමින් ප්‍රශ්න කළ පොලිස්‌ නිලධාරීහු අවසානයේ පාලට අපූර්ව දඬුවමක්‌ ලබාදුන්හ. අඟල් කාලේ ගල් අතුරන ලද පොලිස්‌ භූමිය මිදුලේ, යට ඇඳුම පමණක්‌ සහිතව, වෑන් රථයක පාල ගැට ගසා, කිහිපවරක්‌ එහෙට මෙහෙට බිම දිගේ ඇදගෙන ගිය පොලිස්‌ නිලධාරීන් පාලගෙන් ඇත්ත විමසා සිටියේය. මේ දඬුවමෙන් පසු පාලගේ ශරීරයේ තුවාල නොවූ තැනක්‌ තිබුණේ නම් ඒ යට ඇඳුම ඉරී නොගිය තැන් කිහිපයක්‌ පමණි. එවැනි වධ වේදනා ලබාදීමෙන් පසු පාල විසින් පොලිසියට කට උත්තර ලබාදෙන ලද්දේ, මැයි හය වැනිදාය. 

නම - වීරරත්න මුදියන්සේලාගේ ධනපාල

වයස - අවුරුදු 27 යි

රැකියාව - කාර්මික

ලිපිනය - අංක 88/26, සෝමා දේවි පෙදෙස, කිරුළපන, කොළඹ - 05.

බණ්‌ඩාරවෙල සිට කොළඹ දක්‌වා පැමිණි ගමන පිළිබඳව විස්‌තර කරන ලද පාල, තමන්ට ජවිපෙ සමඟ සම්බන්ධය සෑදුනු ආකාරය ද විස්‌තර කළේය. ජවිපෙ සමඟ තමන්ට සම්බන්ධය ගොඩනැඟූ විනී විසින් ආයුධ පුහුණුව සඳහා තමන්ව රහසිගත කඳවුරකට යොමු කළ ආකාරයත්, පසුව වෑන් රථයක්‌ අලුත්වැඩියා කිරීම සඳහා විනී තමාගේ ගරාජයට යළිත් පැමිණි ආකාරයත් පාල සිහිපත් කළේය. 38 ශ්‍රී 9937 දරන වෑන් රථය අලුත්වැඩියා කිරීමෙන් පසුව සතියක්‌ පමණ කාලයක්‌ එය පාල විසින් තබාගෙන සිටියේය. සමහර දිනවල රාත්‍රියේ එය නවතා තබන ලද්දේ ඇන්ටෝගේ නිවසේය. වෑන් රථයේ කටයුතු නිමවීමෙන් පසු විනී යළිත් පාල හමුවීමට පැමිණියේ, 1988 වසරේ ජනවාරි මාසයේ මුල් සතියේ පමණය. ඔහු සමඟ පාලගේ ගරාජයට සුමිත් ද පැමිණියහ. කොට, සිහින් සිරුරෙන් යුක්‌තව සිටි සුමිත් කොණ්‌ඩය කොටට කපා පැත්තට පීරා සිටියේය. ඔහුගේ මුහුණ දිගටිය. කොට කලිසමකින් සැරසී සිටි ඔහු, විනී විසින් පාලට හදුන්වාදෙන ලද්දේ, ජවිපෙ ක්‍රියාකාරිකයකු බව පවසමිනි. පෙබරවාරි මස මුලදී විනී සහ සුමිත් දෙපළ පාල හමුවට පැමිණියේ අශෝක නම් තවත් අයෙක්‌ ද සමඟය. මොවුන්ගේ ඉල්ලීම වූයේ පක්‌ෂයේ වැඩක්‌ සඳහා බයිසිකලයක්‌ නවතා තැබිය හැකි තැනක්‌ සොයාදෙන ලෙසය. ඊට පාල එකඟ වූ අතර, ඊට පසුදා සුමිත් සහ විනී පාල මුණගැසීම සඳහා යළි පැමිණියේය. ඒ වන විටත් බයිසිකලය නවතා තැබීම සඳහා ඇන්ටෝගෙන් පාල විමසා තිබූ අතර ඇන්ටෝ ඒ සඳහා පාලට සිය නිවස ලබාදීම සඳහා එකඟ වී තිබුණි. 

බයිසිකලය නවතා තැබීම සඳහා තැනක්‌ සූදානම් දැයි පාලගෙන් විනී විමසා සිටි විට, ඒ සඳහා තමන් සූදානම් කරගත් ස්‌ථානය පිළිබදව පාල ඔවුන් වෙත පවසා සිටියේය. බෑගයක්‌ සහ තුවක්‌කුවක්‌ තැබිය හැකිදැයි ඉන් පසු පාල විනීගෙන් විමසා සිටියේය. ඒ සඳහා ද පාලගේ පිළිතුර වී තිබුණේ, පුළුවන් යන්නය. මේ සියලු අවස්‌ථාවන්හි පාල සමඟ කතා කරන ලද්දේ විනී පමණය. "අපි 14 වැනිදා උදේ එනවා... කොහෙවත් යන්න එපා..." යෑයි පවසමින් විනී, පාලගෙන් සමුගත්තේය. 

14 වැනිදා උදෑසන සුමිත් තව කළු පැහැති මහත පුද්ගලයකු සමඟ පාලගේ ගරාජය වෙත පැමිණුනේ, අඩි තුනක්‌ පමණ දිග, අඟල් දහයක්‌ පමණ පළල, දුඹුරු පැහැති බෑගයක්‌ ද රැගෙනය. බෑගයේ තුවක්‌කුවක්‌ තිබෙන බව පැවසූ සුමිත්, එය අරන් තබන ලෙස පාලට දැනුම් දුන්නේය. තුවක්‌කුව රැගත් පාල එය සිය ඇඳ යටින් රැගෙන තැබිය. කළු මහත පුද්ගලයා කවුදැයි සුමිත් විසින් පාලට හඳුන්වා දුන්නේ නැත. ලා නිල් පාට කමිසයකින් සහ නිල් පාට කලිසමකින් සැරසී සිටි ඔහු, කොණ්‌ඩය කොටට කපා, පස්‌සට පීරා සිටියේය. ඔහුගේ කොණ්‌ඩය තැනින් තැන පැසි තිබුණි. ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ රතු පැහැති හොන්ඩා 200 වර්ගයේ බයිසිකලයකිනි. පාල ඔහුගේ බයිසිකලයෙන් සහ අනෙක්‌ දෙදෙනා ඔවුන් පැමිණි බයිසිකලයෙන් ඇන්ටෝගේ නිවසට ගියේ බයිසිකලය තැබීම සඳහා වන ස්‌ථානය පෙන්වීම පිණිසය. උදෑසන අටට පමණ ඇන්ටෝගේ නිවසට, මේ තිදෙනා යන විට ඇන්ටෝ සිටියේ නිදාගෙනය. ඇන්ටෝගේ ඇඳ ළඟට ගිය පාල, තමන් බයිසිකලය තැබීම පිණිස පැමිණි බව පැවසූ විට, ඇඳේ සිටම ඇන්ටෝ පාලට පවසන ලද්දේ, එය තබායන ලෙසය. 96 ශ්‍රී කාණ්‌ඩයට අයත් වූ එම බයිසිකලය ඇන්ටෝගේ නිවසට ගාල් කරන ලද්දේ, සුමිත් සමඟ පැමිණි කළු මහත පුද්ගලයා විසිනි. බයිසිකලයේ යතුර පාල අතට ලබාදීමෙන් පසු, ඔවුන් දෙදෙනා පයින්ම පිටත්ව යන ලද්දේ. 16 වැනිදා උදෑසන යළිත් පැමිණෙන බව පාලට පවසමිනි. 

16 වැනිදා උදෑසන 7.30 පමණ වන විට සුමිත් සහ කළු මහත පුද්ගලයා, පාලගේ ගරාජය වෙත පැමිණියහ. සුමිත්ගේ අතේ කියතක්‌ සහ මිටියක්‌ ද තිබුණි. තුවක්‌කුව සහිත බෑගය පාලගෙන් ඉල්ලා ගත් සුමිත්, එය සිය කරේ දමා ගත්තේය. 7.45 පමණ වන විට ඇන්ටෝගේ නිවස අසලට එන බව පවසමින් දෙදෙනා නික්‌මගිය අතර, උදෑසන අට වන විට පාල ද ඇන්ටෝගේ නිවස අසලට ගියේය. පාල යන විටත් දෙදෙනා ඇන්ටෝගේ නිවස අසල මඟ රැඳී සිටියහ. මඟ සිටම පාල සමඟ කතාව පටන් ගත් සුමිත්, බෑගය තැබීම සඳහා ස්‌ථානයක්‌ අවශ්‍ය බව පැවසූ හෙයින්, ඒ සඳහා පාලගේ යෝජනාව වූයේ ඇන්ටෝගේ නිවස ඉදිරිපිට තිබූ, සමන්තගේ නිවසය. ඇන්ටෝගේ නිවසේ නවතා තිබූ බයිසිකලය ද රැගත් තිදෙනා සමන්තගේ නිවස වෙත පැමිණියෝය. එතැනදී පාල විසින් සමන්තට පවසන ලද්දේ, තුවක්‌කුවක්‌ සහිත බෑගයක්‌ නිවසේ තබාගෙන, මේ දෙන්නා පැමිණි විට එය දෙන්න කියා, දෙදෙනා ද සමන්තට පෙන්වා, පාල, සුමිත් සහ සුමිත් සමඟ පැමිණි පුද්ගලයා සමන්තගේ නිවසින් එළියට පැමිණියහ. ඒ යන අතරේ සුමිත් විසින් පාලගෙන් විමසා සිටියේ පොල්හේන්ගොඩට යන්නේ කෙසේ ද යන්නය. සීබල් ඇවනිව් මාර්ගය දිගේ පොල්හේන්ගොඩ ප්‍රදේශයට යන ආකාරය ඔවුන් දෙදෙනාට පෙන්වාදීම සඳහා පාල සිය බයිසිකලයෙන් ඉදිරියෙන් ද දෙදෙනා පසු පසින් ද ගමන් කළෝය. කියත සහ මිටිය සුමිත්ගේ අතේ තිබූ අතර, පොල්හේන්ගොඩ හන්දියේදී පාලට යන ලෙස සුමිත් විසින් පැවසූ බැවින්, පාල යළි ගරාජයට පැමිණියේය. 

විජය කුමාරතුංගට වෙඩි තබා ඇති බව පාලට ආරංචි වන්නේ, 12.45 ට පමණය. ඒ සමඟම විජයගේ නිවස පිහිටා ඇති ප්‍රදේශයට පාල, සිය මෝටර් බයිසිකලයෙන් යන අතර, ඈත තියාම ඔහු දකින්නේ සෙනඟ කන්දරාවක්‌ නිවස ඉදිරිපිට රැස්‌ වෙමින් සිටින ආකාරයය. ලෙහා ඇති මල්ල ඔබා බැලීමේ අවශ්‍යතාවක්‌ නොවූ පාල විජයගේ නිවස ආසන්නයෙන් බයිසිකලය හරවාගෙන ආපසු සිය ගැරේජය බලා පැමිණියේය. ඒ වන විට ගැරේජයේ සිටි ශ්‍රීකාන්ත සහ අනෙක්‌ පිරිස දිවා ආහාරය ගනු පිණිස එළියට ගොස්‌ සිටි අතර පාල සොයා ඇන්ටෝ ගැරේජය වෙත පැමිණ සිටියේය. මේ වන විට වේලාව දහවල් 1.30 පමණ වී තිබුණි "බලාපන් අයියේ... අරුන් ආපහු බයිසිකලේ දාන්න ගිහිල්ලා ගේට්‌ටුව හප්පලා, මමී මට බණිනවා..." යනුවෙන් ඇන්ටෝ පාලට කියන්න පටන් ගත්තේය. "ඒ අය ලේ පෙරාගෙන ඇවිල්ලා හිටපු නිසා, මට හොඳටම බණිනවා..." ආදී ලෙස එදින සිදුවීම් පොලිසිය හමුවේ කට උත්තර ලබාදෙන පාල විසින් පවසා තිබුණි.

පාලගේ කට උත්තරය අනුව විජය ඝාතනය සඳහා මේ පිරිස සූදානම් වන බව ඔහු හාංකවිසියක්‌වත් දැන නොසිටියේය. ඒ පිළිබඳව ඔහුට සැක සිතෙන්නේ, කමිසයේ ලේ පෙරාගෙන පැමිණීම, පිළිබඳව ඇන්ටෝ විසින් කරනු ලබන සඳහනත් සමඟය. පසුව ඇන්ටෝ සමඟ පාල, ඇන්ටෝගේ නිවස බලා පිටත්ව ගියහ. ඒ යන විට ඇන්ටෝගේ නිවසේ බයිසිකලය නවතා තිබුණි. සමන්ත ද එතැනට පැමිණි අතර තුවක්‌කුව තබා ගිය බව සමන්ත විසින් මේ දෙදෙනා වෙත පවසා සිටියේය. "අපි අමාරුවේ දාන්නේ නැතුව බෑග් එක අරගෙන යන්න ..." කියා සමන්ත සහ ඇන්ටෝ සමන්තට බැණ වදින්නට පටන් ගත්හ. ලේ ගෑවුණු කමිසය පුච්චා දමන ලෙස පාල විසින් ඇන්ටෝට සහ පාලට පවසන විට ඔවුන්ගේ පිළිතුර වූයේ "අපි ඒක පුච්චලා දැම්මා..." කියාය. "අර කට්‌ටිය ඇවිත් බයිසිකලය සහ බෑගය අරගෙන යාවි..." යයි කියමින් පාල ගරාජය බලා පිටත්ව ගියේය. සන්ධ්‍යාවේ හය පමණ වන විට, ඇන්ටෝගේ නිවසට ගිය පාලට දකින්න ලැබුණේ, බයිසිකලය එහි මිදුලේ කොනක නවතා තබා ඇති ආකාරයය. සමන්ත ද එතැනට පැමිණි අතර පාලගේ මතය වූයේ බයිසිකලය ගෙන යැම සඳහා එම පිරිස කොයි මොහොතේ හෝ ආපසු පැමිණෙනු ඇති බවය. 

පසුදා උදෑසන ශ්‍රීකාන්ත සිය ගරාජයට පැමිණි පසු තුවක්‌කුව සහිත බෑගයට සහ බයිසිකලයට කුමක්‌ කරන්නේදැයි යෑයි පාල ඔහු සමඟ සාකච්ඡා කර, ඇන්ටෝගේ නිවස කරා ගමන් කළේ, ශ්‍රීකාන්ත සමඟ බයිසිකලයෙනි. "මෝටර් සයිකලය ගෙනියන්න කවුරුත් ආවේ නැහැ... මේක කොහේ හරි අරන් පලයන්..." යනුවෙන් ඇන්ටෝ ගෝරනාඩු කරන්නට පටන් ගත්තේය. සමන්ත ද එතැනට පැමිණි අතර බෑගය රැගෙන යන ලෙස කියමින් ඔහු ද ගෝරනාඩු කරන්නට පටන් ගත්තේය. අවසානයේ තීරණයක්‌ ගත් පාල, ඇන්ටෝගෙන් ඉස්‌කුරුප්පු නියනක්‌ සහ පිහියක්‌ ඉල්ලාගෙන, ඒ කටයුත්ත සඳහා සූදානම් විය. පළමුවෙන්ම අංක තහඩු දෙක ගලවා ගත් පාල, සයිකලයේ යතුර මිදුලේ කොතැන හෝ වැටී ඇතැයි සිතා සොයන්නට පටන් ගත් ද එය හමු නොවීය. ඒ සමඟ බයිසිකලයේ ස්‌වීචය ගැලවූ ශ්‍රීකාන්ත එය ස්‌ටාර්ට්‌ කිරීම සඳහා උත්සාහ දරනු ලැබීය. පාල විසින් ඒ සඳහා උත්සාහ දරද්දී බයිසිකලය ස්‌ටාර්ට්‌ විය. ගලවා ගත් අංක තහඩු දෙක ලනුවකින් ගැට ගසා ගත් පාල, එම බයිසිකලයේ නැඟී, පාලගේ බයිසිකලයේ නැඟී එන ලෙස ශ්‍රීකාන්තට පවසා, රොබට්‌ ගුණවර්ධන මාවත දිගේ යද්දී, හදිස්‌සියේම පාල පදවමින් සිටි බයිසිකලයේ අංක තහඩුවක්‌ බිමට වැටුණේය. බයිසිකලය නවතා වැටුණු අංක තහඩුව ගෙන කකුල් දෙක අතරින් තබා ගත් පාල ඉදිරිය බලා බයිසිකලය ධාවනය කරන්නට පටන් ගත්තේය. බලපොකුණ පාරෙන් වමට හැරුණු පාල, කොහුවල පැත්ත බලා පිටත්විය. ප්‍රධාන පාරෙන් දකුණට හැරී කළුබෝවිල රෝහලේ තාප්පය සමඟ සමගාමීව ගමන් කරන පාර දිගේ ගිය පාල, රෝහල් තාප්පය අසල ලොරියක්‌ නවතා තිබූ තැනක, බයිසිකලය නවතා, බැලූ විට බයිසිකලයේ පිටුපස අංක තහඩුව ද වැටී තිබුණි. අනෙක්‌ අංක තහඩුව අතට ගෙන, පිටුපසින් පැමිණි ශ්‍රීකාන්තගේ බයිසිකලයට නැඟුනු පාල, ඇන්ටෝගේ නිවසට පැමිණියේය. තුවක්‌කුව සහිත බෑගයට කුමක්‌ කරන්නේ ද යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක්‌ පාල සතුව නොමැති වූ හෙයින් "ඒකට මොකක්‌ හරි කරමු ..." කියා පාල යළිත් ගරාජය බලා පිටත් විය. ගරාජය වෙත යැමෙන් පසු තුවක්‌කුව තැබීම පිණිස තැනක්‌ සොයාගැනීමට පාල පිටත් විය.

සවස පහට පමණ සමන්තගේ නිවසට ශ්‍රීකාන්ත සමඟ ගිය පාල, තුවක්‌කුව එළියට ගෙන එහි ඇඟිලි සලකුණු ඇතොත් මැකී යනු පිණිස කඩදාසියකින් තුවක්‌කු බඳ පිස දැමුවේය. පතොරම් සහිත කොටස ගලවා තිබූ තුවක්‌කුව නැවත, බෑගයට දැමූ පාල හෙට උදයේ පැමිණෙන බව කියා, සමන්තගේ නිවසින් පිටත්ව ගියේය. 

පසුදා උදෑසන පාල සහ ශ්‍රීකාන්ත, සමන්තගේ නිවසට පැමිණියෝය. බෑගය ඇතුළේ තිබූ අත් බෝම්බය ශ්‍රීකාන්ත විසින් පින් එක ගලවා නිෂ්ක්‍රීය කර යළිත් බෑගයටම දමා වසන ලද්දේ මේ මොහොතේය. සමන්තගෙන් හඳුන්කුරු පැකට්‌ ඉල්ලා ගෙන බෑගයට උඩින් දමා ගත් ශ්‍රීකාන්ත, එම බෑගය කරේ දමාගෙන පාල සමඟ බයිසිකලයේ නැඟී පිටත්ව ගියේය. රොබට්‌ ගුණවර්ධන මාවතේ තැපැල් කන්තෝරුව අසල බයිසිකලය පාල නවත්වන ලද්දේ ශ්‍රීකාන්තගේ සැලසුම අනුවය. එතැනින් බැස ගත් ශ්‍රීකාන්ත, බෑගය කරේ දමාගෙන කලින් සූදානම් කර ගත් මිතුරාගේ ගෙදර බලා පිටත් විය. 18 වැනිදා උදෑසන 10 ට පමණ මේ සිදුවීම වූ අතර, ශ්‍රීකාන්ත විසින් බෑගය බාරදෙන ලද්දේ කුඹිකැලේ ධර්මේ වෙතය. මේ ධර්මේ කවුදැයි සිටියේ නැත.

සුමිත් සහ ඔහු සමඟ පැමිණි පිරිස තුවක්‌කුව රැගෙන යැම සඳහා කොයි මොහොතේ හෝ පැමිණේවි යන අදහස පාල තුළ තිබුණ ද ඒ කිසිවකු පාල හමුවීම සඳහා පැමිණියේ නැත. සුමිත් සහ විනී මහරගම ප්‍රදේශයේ වාසය කරන බව පාලට කියා තිබුණි. ඒ හැර ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක්‌ තමන් දන්නේ නැතැයි පාල සිය කට උත්තරයේදී සඳහන් කළේය. පාලගේ කට උත්තරයෙන් පෙනී යන්නේ ඔහු සිය පක්‌ෂය වෙනුවෙන් යම් මෙහෙවරක්‌ කළ මුත් විජය ඝාතනය පිළිබඳව කිසිදු දැනුමක්‌ ඔහු සතුව නොතිබූ බවය. තුවක්‌කුවක්‌ සඟවා තැබීම, මෝටර් බයිසිකලයක්‌ සඟවා තැබීම ආදිය ඒ තරම්ම සැහැල්ලුවට ගැනීමට තරම් පාල කල්පනා කළේ යෑයි කීම මුසාවක්‌ මිස සාක්‌ෂියක්‌ නොවේ. සමන්තට සහ ඇන්ටෝට විජය ඝාතනය සම්බන්ධයෙන් පාල ලබාදී තිබූ පිළිතුරු දෙස බලන විට ඔහු එම ඝාතනය සම්බන්ධයෙන් අනවබෝධයක සිටියේ යෑයි සිතිය නොහැක. භීෂණ කාලයක අරුණෝදය උදාවී, නාඳුනන තුවක්‌කුකරුවා, මෝටර් බයිසිකලය සහ ටී 56 යේ අවියෙන් දමා තිබූ සෙල්ලම් කිහිපය දෙස බලන විට, තමා අවට ප්‍රදේශයේ චරිතයක්‌ සඳහා මරණ වරෙන්තුව ලියාගෙන සකස්‌ වී තිබෙන සැලසුම පිළිබඳව පාල තැකීමක්‌ නොකරන්නේ යෑයි සිතිය නොහැක. ජවිපෙ රහසිගත සන්නද්ධ කඳවුරු පුහුණුව ලැබූ පාල, න්‍යායෙන් සහ චර්යාවෙන් දැඩි ජවිපෙ ක්‍රියාධරයෙක්‌ විය. විජය ඝාතනය සඳහා සැකසුනු සැලසුමේ එක්‌ ක්‍රියාත්මක අදියරකදී පාලගේ භූමිකාව තීරණාත්මක විය. දැඩි වධ බන්ධන මැද කරන ලද පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ පවා පාල සිය සංවිධානය සහ වුවමනාව යට යවන පරිදි සාක්‌ෂිදී ඇති බව ඇන්ටෝගේ සමන්තගේ සාක්‌ෂි සමඟ පාලගේ සාක්‌ෂිය සසඳන විට, පෙනී යයි. මෙවැනි ඝාතන සැලසුමකදී සම්පූර්ණ කතාව එහි මුල් පෙළේ පිරිස්‌ දැන සිටිනවා හැර සෙසු චරිත දැන නොසිටීමේ ක්‍රමවේදයක්‌ තිබේ. ඒ අනුව පාල මුළුමනින්ම සිද්ධිය දැන නොසිටියා විය හැකි වුවත්, ඔහු දැන සිටි කතාව හෝ සිය සාක්‌ෂියේදී ප්‍රකාශ නොකළ බව කිව හැකිය. 

ඔසිත අත්තනායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook