Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ස්‌පීකරය කන ඇතුළේ...
කැමරාව බොත්තමේ...
ස්‌විචය මාපට ඇඟිල්ලේ...


අලුත් තාක්‍ෂණයෙන් කළ විභාග වංචාව මෙන්න

උසස්‌ පෙළ යනු දරුවන්ගේ අනාගත දිශානතිය තීන්දු කරන කඩඉම වන්නේ ය.


පුරා දෙවසරක්‌ අනේක විධ දුක්‌ඛ දොaමනස්‌සයන් විඳිමින් ඔවුන් විභාගයට සූදානම් වන්නේ ඒ නිසාය.

එලෙස සූදානම් වන දරුවන්ට අංශු මාත්‍රයක හෝ අසාධාරණයක්‌ නොවීම සඳහා විභාග දෙපාර්තමේන්තුවද ඇතැම් විට සිය උපරිම වෙර දරයි. නවීන විද්යුත් උපකරණ දෙපාර්තමේන්තුවේ ඒ වෙර පරයා ක්‍රියාත්මක වූ අවස්‌ථා ඉතිහාසයේ වෙයි. ජංගම දුරකථන, බ්ලූටූත් වැනි විද්යුත් උපකරණ භාවිතා කරමින් විභාගවලට පෙනී සිට දඬුවම් ලැබූ විභාගාපේක්‍ෂකයෝ ද වෙති.

කලාවරෝධයත් සමග ස්‌මාර්ට්‌ ඔරලෝසු ද විභාග වංචා සඳහා උපයෝගී කර ගන්නා ප්‍රවණතාවක්‌ ඇති වීමත් සමඟ විභාග දෙපාර්තමේන්තුව එවැනි විද්යුත් උපකරණ භාවිත කරමින් විභාගවලට පෙනී සිටින අපේක්‌ෂකයන් සඳහා පස්‌ වසරක විභාග තහනමකට ලක්‌ කර තිබේ. එවැනි අපේක්‍ෂකයන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් නොකෙරෙන අතර පස්‌ වසරක කාලයේදී විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන කිසිදු විභාගයකට පෙනී සිටීමට ඉඩ නොලැබෙන්නේය. එවැනි අපේක්‌ෂකයන් වසර පහක්‌ විභාග දෙපාර්තමේන්තුවේ අසාදු ලේඛනගත (Black List) වෙයි.

දෙපාර්තමේන්තුව එවන් තීරණ ක්‍රියාත්මක කරමින් සිටින්නේ අපේක්‌ෂකයන්ට දශමයක හෝ අසාධාරණයක්‌ සිදුවීම වළක්‌වාලීම වෙනුවෙනි.

අක්‍රමිකතා සිදු නොවීම යනු විභාග දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට ද හේතුවක්‌ වන්නේය.

මේ දිනවල පැවැත්වෙන උසස්‌ පෙළ විභාගය සඳහා ද දෙපාර්තමේන්තුව දැඩි රැකවල් ක්‍රියාත්මක කර තිබේ. පසුගිය 08 වැනිදා ආරම්භ වූ උසස්‌ පෙළ විභාගයට දිවයින පුරා මධ්‍යස්‌ථාන 2230 කි. අයදුම්කරුවෝ 315227 කි. විභාග කාර්ය මණ්‌ඩලය 28000 කි. විභාගය අධීක්‍ෂණය සඳහා දෙපාර්තමේන්තු හා පළාත් මට්‌ටමින් නිලධාරීන් දෙදහසකගේ කණ්‌ඩායමකි. නවීන විද්යුත් උපකරණ භාවිතා කරමින් විභාගාපේක්‍ෂකයන් අක්‍රමිකතා සිදුකරන ආකාරය හඳුනා ගැනීම සම්බන්ධයෙන් විභාග කාර්ය මණ්‌ඩලයට විශේෂ පුහුණුqවක්‌ ද ලබා දී තිබිණි.

පසුගිය 19 වැනි දා පැවති රසායන විද්‍යාව ii ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් එදින දහවල් වන විට ගැටලු සහගත තත්ත්වයක්‌ මතු වී තිබිණි. ඇතැම් ප්‍රචාරවලින් කියෑවුණේ විභාගයට පෙර ප්‍රශ්න පත්‍රය පිට වී ඇති බවය. විභාගයට දින පහකට පෙර ටියුෂන්, සම්මන්ත්‍රණ ඇතුළු සියලු උපකාරක කටයුතු තහනම් කෙරෙන අතර ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම සිදු කෙරෙන්නේ ද විභාගය ආසන්නයේ දීය. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, පැකට්‌ කිරීම මෙන්ම පැකට්‌ විවෘත කිරීමේ දීද දැඩි නීතිරීති පවතියි. එවන් ක්‍රමවේදයක්‌ තුළ ප්‍රශ්න පත්‍රයක්‌ පිටවීම යනු කිසිසේත් සිදු නොවිය හැක්‌කක්‌ සේ සැලකිය හැකිය. පසුගිය 19 වැනිදා සිද්ධිය උභතෝකෝටිකයක්‌ වූයේ එහෙයිනි. එදින විභාගය ආරම්භ වූයේ උදේ 8.30 ට ය. 11.30 ට විභාගය අවසන් විය. විභාගය අවසන් වී විභාග ශාලාවලින් පිටතට පැමිණෙන සිසු සිසුවියන්ට අත් පත්‍රිකාවක්‌ ලැබී තිබිණි. රසායන විද්‍යා පෞද්ගලික උපකාරක පන්තියකට අදාළ වූ එම පත්‍රිකාවේ මෙවර රසායන විද්‍යා II ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්‌ සම්පූර්ණයෙන්ම තවත් ප්‍රශ්න දෙකක කොටසක්‌ ද මුද්‍රණය කර තිබිණි. අප අවසන් සම්මන්ත්‍රණයේදී ලබාදුන් ප්‍රශ්න මෙවර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමඟ සස¹ බලන ලෙසට ඉල්ලීමක්‌ ද එම පත්‍රිකාවේ විය. පුද්ගල නාමයක්‌ සහ දුරකථන අංකයක්‌ ද එම පත්‍රිකාවට ඇතුළත් විය. 

මෙම පත්‍රිකාව බෙදා හැර තිබුණේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල ඇතුළු ගම්පහ ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයක දීය. ගම්පහ ප්‍රදේශය යනු උසස්‌පෙළ සඳහා පෞද්ගලික උපකාරක පන්ති ක්‍රියාත්මක වන මර්මස්‌ථානයකි. ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ආරම්භ කරන බව ද ඒ සඳහා ලියාපදිංචි වීමට ඉදිරියේදී දුරකථන අංකයක්‌ ලබා දෙන බවද එම පත්‍රිකා වේ සඳහන්ව තිබිණි. විභාග සමයේ අත්පත්‍රිකා බෙදා හැරීම ද සපුරා තහනම් වාතාවරණයක දී විභාග පැවැත් වූ දිනම විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විභාගය අවසන් වී මිනිත්තු පහකින් අත්පත්‍රිකාවක මුද්‍රණය වී විභාගාපේක්‍ෂකයන් අතට පත්වීම කෙසේ සිදු විය හැක්‌කක්‌ ද? විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා මේ සිද්ධියෙන් විපිළිසර වූවා නිසැකය. සිද්ධිය දැන ගත් ක්‍ෂණයෙහි ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා පොලිසියට භාර දුන්නේය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මුදිත පුස්‌සැල්ල සහ සහකාර පොලිස්‌ අධිකාරි ශ්‍රීලාල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ගම්පහ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය. විභාගයට පෙර ප්‍රශ්නපත්‍රය පිට වූයේය යන සැකය පොලිසිය බැහැර කර තිබිණී. පොලිසිය සැක කළේ විභාග ශාලාවේදී කිසියම් ක්‍රමයක්‌ මගින් ප්‍රශ්න පිටට ලබා දෙන්නට ඇති බවය.

අත් පත්‍රිකාව මුද්‍රණය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් පසුදින වනවිටම තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව ලැබිණි. තරුණියෝ සිවුදෙනෙක්‌ සහ තරුණයෝ දෙදෙනෙක්‌ අත්පත්‍රිකාව බෙදාහැරීම සඳහා සම්බන්ධ වූ බවටද ඔවුන්ගේ පදිංචි ස්‌ථාන සොයා ගැනීමටද පොලිසියට හැකියාව ලැබිණි. ඒ... අත්පත්‍රිකාව මුද්‍රණය කළ බව කියන දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙනි. එම දෙදෙනා ක¹න ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය. ඔවුන් දෙදෙනා පමණක්‌ නොව පත්‍රිකාව මුද්‍රණය කළ ගම්පහ ප්‍රදේශයේ මුද්‍රණාලයක හිමිකරු ද අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගනු ලැබූ ක¹න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනා අන් කවුරුන් හෝ නොව අත් පත්‍රිකාවේ නම සඳහන් වූ උපකාරක පන්ති ගුරුවරයාගේ පියා සහ සහෝදරයා ය. සහෝදරයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ අතිශය වැදගත්ම කරුණ නම් රසායන විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න පිට වූයේ විභාගය අවස්‌ථාවේදී යන්නය. විභාගයට පෙර ප්‍රශ්නපත්‍රය පිටවූ බවට ඇතැම් පිරිස්‌ රට හමුවේ වැපිරවීමට ගත් උත්සාහය එමගින් ව්‍යර්ථ වූවා සේම විභාගයට පෙර ප්‍රශ්නපත්‍රය පිටවන්නට ඇති බවට කවුරුන් තුළ හෝ සැකයක්‌ වූයේ නම් එයද දුරු විය.

විභාගය ආරම්භ වී විනාඩි 45 කින් පමණ එනම් උදේ 9.15 ට පමණ තමන්ගේ ටැබ් පරිගණකයට ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න ලැබුණු බව ගුරුවරයාගේ සහෝදරයා පොලිසියට ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රශ්න ටැබ් පරිගණකයට එවා තිබුණේ ගුරුවරයා ය. ගුරුවරයා, පියා සහ සහෝදරයා කලින් සැලසුම් කළ පරිදි එම ප්‍රශ්න ටැබ් පරිගණකයට ලැබෙන විට සහෝදරයා සිටියේ ගම්පහ ප්‍රදේශයේ මුද්‍රණාලයේය. මුද්‍රණාලයේදී පරිගණකයකින් කලින් සකස්‌ කළ අත්පත්‍රිකා ආකෘතියකට මෙම ප්‍රශ්න තුන ඇතුළත් කර පත්‍රිකාව මුද්‍රණය කර බෙදාහැරිම සහෝදරයාගේ කාර්යභාරය විය. ඔහු එය අකුරට ඉටු කළ්ය. පිටපත් පන්දහසක්‌ මුද්‍රණය කර පෙරවරු 11.35 ට පමණ වනවිට බෙදා හැරීමටද ඔහු පියවර ගත්තේය.

පොලිසියට ඊළඟ ප්‍රශ්නය වූයේ විභාග ශාලාවකින් ගුරුවරයාට ප්‍රශ්න ලැබුණේ කෙසේද යන්නය. එම ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ගුරුවරයා සතුව වන අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඔහු අදටත් අතුරුදන් ව සිටියි.

පසුගිය 19 වැනිදා සිද්ධියේ ප්‍රථම අදියර එලෙස නිම වුව ද පොලිසියේ කාර්යය භාරය නිමාවක්‌ දැක නොතිබිණි. මෙය අත්පත්‍රිකාවක්‌ මුද්‍රණය කර බෙදාහැරීමක්‌ පමණක්‌ම නොව ඒ හා සබැඳුනු සැඟවී ගත් සිද්ධි දාමයකින් වෙළුණු ජවනිකා පෙළක්‌ යෑයි පොලිසියට සැක පහළ වී තිබිණි. ඊට හේතු වූයේ සහෝදරයා විසින් අනාවරණය කරන ලද තොරතුරු ය. ගුරුවරයා සොයා ගැනීමට නොහැකි වුවද සහෝදරයා සියල්ල වමාරා තිබිණි. ඔහුගේ තොරතුරු අනුව ක¹න ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී රුපියල් නවලක්‍ෂ අසූදහසක මුදලක්‌ පොලිසිය භාරයට ගැනිණි. එම මුදල් ලැබී තිබුණේ ගුරුවරයාට ය. ඒ.......... පොලිස්‌ රෝහලේ වෛද්‍යවරයකුගෙනි. වෛද්‍යවරයා සහකාර පොලිස්‌ අධිකාරී තනතුරක්‌ ද දරයි. අත් පත්‍රිකා බෙදීමෙන් ඇරඹි සිද්ධී දාමයේ තවත් ප්‍රධාන චරිත දෙකක්‌ වෙයි. එක්‌ චරිතයක්‌ මේ වෛද්‍යවරයා ය. අනෙක්‌ චරිතය වෛද්‍යවරයාගේ පුත්‍රයා ය. වෛද්‍යවරයාගේ පුත්‍රයා කොළඹ ප්‍රධානම පාසලක ශිෂ්‍යයෙකි. තොරතුරු තාක්‍ෂණ අංශයෙන් උපන් හපනෙකු ලෙස ප්‍රකටය. එමෙන්ම අති නවීන තාක්‍ෂණික උපකරණ සම්බන්ධයෙන් හසල දැනුමැත්තෙකි. ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටයක්‌ කැනඩාවේ පැවැති චිත්‍රපට උළෙලකදී ප්‍රථම ස්‌ථානයට පත්ව ඇති අතර ඒ වෙනුවෙන් එම ශිෂ්‍යයාට කැනඩාවෙන් ශිෂ්‍යත්වයක්‌ ද හිමිවී ඇත. 

තොරතුරු තාක්‍ෂණ අංශයේ ඉහළ දස්‌කම් දක්‌වන්නේ නමුදු පියාට අවශ්‍ය වූයේ සිය පුත්‍රයා තමන් වැනිම වෛද්‍යවරයකු බවට පත් කිරීමට ය යන්න නිසැකයි. කොළඹ ප්‍රධානම පාසලකින් ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හැදෑරීමට පියා ඔහු යොමු කළේ ඒ නිසා විය යුතුය. තවත් දරුවන් දහස්‌ ගණනක්‌ සේම මේ වෛද්‍යවරයාගේ පුත්‍රයා ද මෙවර උසස්‌ පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියේය. සිය පුතා කෙසේ හෝ වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගැනීමේ සිහිනය පියාට තිබිණි. ඒ සිහිනය යථාර්ථයක්‌ බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් දෙමවුපියකු විසින් කිසිසේත් නොකරනු ලැබිය යුතු දෑ කෙරෙහි පියාගේ අවධානය දැඩි කර තිබිණි. 

දැනටත් අතුරුදන්ව සිටින ගුරුවරයාගේ ක¹නේ පිහිටි නිවසින් පොලිසිය සොයාගත් රුපියල් නවලක්‍ෂ අසූදහසේ හිමිකරුවා මෙම වෛද්‍යවරයා ය. දෙවසරක කාලයක්‌ දරුවාට උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයාට පියා රුපියල් දශ ලක්‍ෂයක්‌ ලබාදී තිබුණේ විභාගය අවස්‌ථාවේදී ම අවශ්‍ය පිළිතුරු දරුවාට යවා ගැනීම සඳහා කප්පමක්‌ වශයෙනි.

මුදල් විසි කිරීම සමඟ තවත් ප්‍රබල සැලසුමක්‌ විභාගයට සතියක දෙකක සිටම ක්‍රියාත්මක විය. ඒ බොරැල්ලේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසේදීය. නවීන තාක්‍ෂණික උපකරණ සම්බන්ධයෙන් මහා දැනුමකින් හෙබි වූ ශිෂ්‍යයා අන්තර්ජාලය භාවිත කරමින් අති නවීන විද්යුත් උපකරණයක්‌ සොයාගෙන තිබිණි. පියාගේ ක්‍රෙඩිට්‌ කාඩ් පත භාවිත කරමින් අන්තර්ජාලය ඔස්‌සේම ඇණවුම් කර එම උපකරණය නිවසට ගෙන්වා ගැනීමටද ඔහුට හැකි විය. චීනයේ නිෂ්පාදිත එම විද්යුත් උපකරණය මෙරට වටිනාකම අනුව රුපියල් එක්‌ ලක්‍ෂ විසිදහසක්‌ පමණ ය. අතිශය සියුම් උපකරණයක්‌ වන මෙය කුඩා බොත්තම් තුනක්‌ වැනිය. බ්ලූටූත් තාක්‍ෂණය සහිත ඔරලෝසු බැටරියකටත් වඩා කුඩා ස්‌පීකරයක්‌a කන තුළට යෑවිය හැකි අතර ඉන් ඕනෑම දුරක සිටින්නෙකුගේ හඬ ශ්‍රවණය කළ හැකිය. කමිසයක බොත්තමකට සවි කළ හැකි සියුම් කැමරාවක්‌ සේම කකුලේ මාපට ඇඟිල්ලෙන් ක්‍රියා කළ හැකි ස්‌විචයක්‌ ද ඊට අයත් ය. මේ කොටස්‌ තුන එකිනෙකට සම්බන්ධ නැත. මේ නවීන උපකරණය පැළඳ සිටින්නකු හඳුනා ගැනීමටද හැකියාවක්‌ නොලැබේ. කන තුළට යෑවෙන ස්‌පීකරය පිටතට ගැනෙන්නේ කාන්දමකිනි.

වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාග ශාලාවට පැමිණ සිටියේ මේ විද්යුත් උපකරණය සමගය. ඔහු විභාග ශාලාවේ සිටින විට ගුරුවරයා සිටියේ වෛද්‍යවරයාගේ බොරැල්ලේ පිහිටි නිවසේ ය. එම නිවසේ අපූරු මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබිණි.

ගුරුවරයා ශිෂ්‍යාගේ මුහුණු පොතට (Face Book) ඇතුළු වී සිටියි. ශිෂ්‍යයා තමන්ට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එකිනෙක කමිස බොත්තමේ වූ කැමරාවෙන් ඡායාරූප ගත කරමින් මුහුණු පොතට යවයි. ඡායාරූපගත කිරීම් නිවැරැදිව සිදු කෙරෙන්නේ කකුලේ මාපට ඇඟිල්ලේ වූ ස්‌වීචයෙනි. මුහුණු පොතට ලැබෙන ප්‍රශ්නවලට ගුරුවරයා මුවින් ලබාදෙන පිළිතුරු ශිෂ්‍යයාගේ කන තුළ වන බ්ලූටූත් උපකරණයෙන් ශ්‍රවණය කර පිළිතුරු පත්‍රයේ සටහන් කෙරෙයි. මේ ක්‍රියාවලියට දෙදෙනාම කිසිසේත් ආධුනික වී නැත. මන්ද විභාගයට සතියකට පෙර සිටම උපකරණය භාවිත කිරීම සම්බන්ධයෙන් ගුරුවරයාත් ශිෂ්‍යාත් මනා පුහුණුවක්‌ ලැබ සිටි හෙයිනි.

පොලිසියේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේත් පරීක්‍ෂණ මතින් සියල්ල මේ වනවිට අනාවරණය වී අවසන් ය. ශිෂ්‍යයා තමන් පෙනී සිටි ප්‍රශ්න පත්‍ර තුනටම පිළිතුරු සපයා ඇත්තේ එම උපකරණයේ ආධාරයෙනි. ගුරුවරයා තවමත් අතුරුදන් නමුත් සිද්ධි දාමයේ ප්‍රධාන චරිත වන වෛද්‍යවරයාත්. ශිෂ්‍යයාත් එමෙන්ම ගුරුවරයාගේ පියා, සහෝදරයා මෙන්ම මුද්‍රණාල හිමිකරු ද මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය. අත් පත්‍රිකාවට ප්‍රශ්න මුද්‍රණය කරමින් නොනැවතී ඒවා බෙදාහැරීමේ තදියමක්‌ ගුරුවරයාට නොතිබෙන්නට මේ සූක්‍ෂ්ම වංචාව අනාවරණය නොවන්නේය. එසේ අනාවරණය නොවූයේ නම් ඉදිරි විභාගවලදී ද තවත් රහසිගතව එය ක්‍රියාත්මක වීමට ඉඩ තිබිණි. එහෙත් මින් ඉදිරියට එවැනි අති සූක්‍ෂ්ම වංචාවකට හෝ ඇති ඉඩ හසර අහුරාලීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රමවේද සකසමින් සිටින්නේ ය.

නිලන්ත මදුරාවල
හේමන්ත රන්දුණු

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook