Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ප්‍රවෘත්ති කියවීමත් කලාවක් පිට පිටම
දෙවතාවක් හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව වූ
නිශාන්ති දිල්රුක්ෂි

‘ප්‍රවෘත්ති නිවේදනය කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක්’ මෙහෙම කියන්නේ පිට පිටම දෙවතාවක් සම්මාන උළෙලවල් දෙකකදී සිය හැකියාවට ඇගයීමක් ලද නිශාන්ති දිල්රුක්ෂි. කලාවක් වූ ප්‍රවෘත්ති නිවේදනය ගැනත්, ලද සම්මානය ගැනත් සිය හඬ  සතිඅන්ත පුවත්පතකට ගොඩවෙමින් සිය මෙරහවර අවදි කර තිබුණේ මෙලෙසිනි.

මුලින්ම අපි ඔබට ලැබුණු ඇගයීම ගැන කතා කරලා ඉමු?
මුලින්ම 2016 රාජ්‍ය සම්මාන උළෙ‍ලේදී හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මට ලැබුණා. මේ වසරේදි 2017 සුමති සම්මාන උළෙ‍ලේදී හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය ලැබෙන්නෙත් මට. ඒ අනුව පිට පිට වසර දෙක තුළම හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මගේ කරගන්න මට පුළුවන්කම ලැබුණා.

සම්මානය ලැබිමේ සතුට වචන බවට හරවන්න කීවොත් මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම ඒ ඇගයීම මට ලොකු සතුටක්. 2004 මං අරඹපු ඒ ගමනේ සාර්ථකත්වයේ ප්‍රතිඵල අද මට ලැබිලා තියෙනව කියන විශ්වාසය මට තියෙනවා. කරපු කැපකිරීම්, අත්දැකීම් හැමදේකම අවසානයේ මෙහෙම ඇගයීමක් ලැබෙනකොට ඉදිරියට යන්න තවත් ධෛර්යයක් ලැබෙනවා. ප්‍රවෘත්ති කියන්නෙත් එක්තරා කලාවක්. ඒ කලාව මිනිස්සු අතරට යනකොට විශ්වාසය ගොඩක් වැදගත්. මං හිතන්නේ සහ දකින්නේ මේ ඇගයීම ඒ විශ්වාසයට දුන්නු වටිනා සහතිකයක් හැටියටයි.

දැන් කොච්චර කාලයක් වෙනවද මේ ක්ෂේත්‍රයට ඇවිත්?
2004 ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියටයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මේ වෙනකොට මම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් හැටියට කටයුතු කරනවා. වෘත්තීය වශයෙන් ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙසත්, ඊට අමතරව ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියටත් මම කටයුතු කරනවා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් වීම කියන්නේ පහසු කාර්යයක්ද?
නිවේදිකාවක් වීම පහසු වුණත් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීම කියන්නේ අපහසු කාර්ය භාරයක්. සාමාන්‍ය නිවේදනය තුළ අපිට අපේ නිදහස් අදහස් ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න පුළුවන්. නමුත් ප්‍රවෘත්ති නිවේදනයේදී අපිට අපේ නිදහස් අදහස් ජනතාව අතරට ගෙනියන්න පුළුවන්කමක් නෑ. ඒ තුළින් ජනතාවට බලපෑමක් සිදුවෙනවා. එහිදී ප්‍රවෘත්තියේ අන්තර්ගතය වෙනස් කිරීමට, තව කොටස් එකතු කිරීමට අපිට අයිතියක් නෑ. අපි කියන හැම වචනයක් ගැනම අපිට වගකීමක් තියෙන්න ඕන. ඒ වගේම අවබෝධයත් වැදගත්.

ඔබ මොන වගේ පෙර සූදානමකින්ද ප්‍රවෘත්ති මැදිරියට පිවිසෙන්නේ?
අපි ඉදිරිපත් කරන ප්‍රවෘත්තිය එදා වුණු සිදුවීමට පමණක් සීමාවෙලා ඉදිරිපත් කරන්න අපිට බෑ. මොකද ඒ හැම ප්‍රවෘත්තියකම කාලාන්තරයක ඉඳන් එන ඉතිහාසයක් තියෙනවා.

මැදිරියේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට පෙර අන්න ඒ ඉතිහාසය ගැන පුළුල් අවබෝධය අපිට ගොඩක් වැදගත්. දේශපාලන, සමාජයීය, ආර්ථික, ජාත්‍යන්තර වශයෙන් හොඳ අවබෝධයක් සතුවීම මෙහි සාර්ථකත්වයට ඉවහල් වෙනවා. එදිනෙදා ලෝකය සමග නිතරම ස්පර්ශයෙන් සිටීම හරහා මම ඒ අවශ්‍ය පෙර සූදානම ලබාගන්නවා.

අද වෙනකොට ප්‍රවෘත්ති නිවේදනය කියන්නෙත් තරගයක් වෙලා. කොහොම ඒ තරගයට ඔබ මුහුණ දෙන්නේ?
නාළිකාව අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ස්වභාවයත් වෙනස් වෙනවා. එතැනදි විවිධත්වයක් දකින්න පුළුවන්. ඇතැම් අවස්ථාවල එකම ප්‍රවෘත්තියේ අන්තර්ගතය නාළිකා වෙනස්වීමේදී විවිධ වෙන අවස්ථා තියෙනවා. මම රාජ්‍ය මාධ්‍යයක ප්‍රවෘත්ති නිවේදිකාවක්. රාජ්‍ය මාධ්‍ය ජනතාව අතරට යන්නේ වෙනමම ආකාරයකට. ඒ වෙනස්කම් හඳුනා ගනිමිනුයි අපි මිනිස්සු අතරට ප්‍රවෘත්ති අරන් යා යුත්තේ. එතැනදි තරගයකට වඩා හරි දේ ජනතාවට ලබාදීමයි වඩාත් වැදගත්.

මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න කොහොමද ඔබට අවස්ථාව ලැබෙන්නේ?
ජාතික රූපවාහිනියෙන් 2003දී තමයි මම මුලින්ම මගේ ගමන ආරම්භ කරන්නේ. එහිදී විශේෂයෙන්ම මට මේ දක්වා අද ඉන්න තැනට එන්න මග පෙන්වපු පිරිසක් ඉන්නවා. එහිදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා, ලාල් හේමන්ත මාවලගේ මහතා, ශාන් වික්‍රමසිංහ මහතා, සුධර්මන් රදලියගොඩ මහතා සහ ස්වාධීන රූපවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා කියන මේ පිරිස මගේ මේ ගමනේ වැදගත් මංසලකුණු බවට පත්වුණා. ඔවුන්ගෙන් ලද පිටුබලය විශාල හේතුවක් වුණා අද මම ඉන්න තත්ත්වයට එන්න.

ප්‍රවෘත්ති නිවේදනයේදී මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති නේද?
එක්තරා අවස්ථාවක මැදිරියට සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතරතුර විදෙස් ප්‍රවෘත්තියක් ලැබෙනවා. ඒ ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ ගුවන් මංකොල්ලයක් පිළිබඳව. එහි එක තැනක තියෙනවා ‘මෙම ගුවන් මංකොල්ලයට සම්බන්ධ ප්‍රධාන මුරකරු’ කියලා වචනයක්. නමුත් මුරකරු කියන යෙදුම කිසිසේත්ම එයට ගැළපෙන වචනයක් නොවෙයි. කලින් කියවන්න අවස්ථාවකුත් නොලැබුණ නිසා ක්ෂණයෙන් මම ‘සැකකරු’ කියන වචනය යොදලා ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. පස්සේ මැදිරියෙන් අහනකොට ඒ අදාළ තැනට එන්න ඕනේ ‘මොළකරු’ කියන වචනය. ඉතින් ඒ වගේ සජීවී අවස්ථාවල ප්‍රවෘත්තියටත් හානියක් නොකර සිදුවන අපහසුතාවන් වළක්වා ගනිමින් කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම යුද්ධය පැවති කාලයේත් වගකීමෙන් හදිසි ප්‍රවෘත්ති විකාශයන් ඉදිරිපත් කරපු අවස්ථා බොහෝමයක් තියෙනවා.

ඔබ මේ ක්ෂේත්‍රයේදී කාව හෝ අනුකරණය කරනවාද?
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී මම මටම හරියන කලාවක් ගොඩනගා ගෙනයි තියෙන්නේ. එහිදී කලින් අපිට අවස්ථාව ලැබෙනවා ප්‍රවෘත්තිය කියවලා ස්වයං අධ්‍යයනයක යෙදෙන්න. එතැනදි ප්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි, නිරවුල්, නිවැරදි අවබෝධයක් ලබාගන්න මම උත්සාහ කරනවා. ඒ ගන්නා අවබෝධය තුළින් මගේම ෙශෙලියකට මගේම ක්‍රමයකට ජනතාව අතරට අදාළ ප්‍රවෘත්තිය ලබාදීමටයි මම උත්සාහ කරන්නේ.

නිවේදිකාවක් වෙන්න ඔබ පෙර අධ්‍යයනයක යෙදුණාද?
ඔව්, ඇත්තටම පෙර අධ්‍ය්‍යනයක් ලබලයි මම අද මෙතැන ඉන්නේ. ගොඩක්ම අපිට වැදගත් ප්‍රායෝගික පුහුණුව. ඒ අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව මම ලබලා තියෙනවා. ඒ වගේම මම මාධ්‍ය තුළ එදිනෙදා වැඩ කරගෙන යනකොටත් තවත් ඉගෙන ගන්නවා මේ ක්ෂේත්‍රය පිළිබඳව. අපිට වැදගත් න්‍යායට වඩා ප්‍රායෝගික දැනුම. මාධ්‍ය කලාව පිළිබඳ ඒ ප්‍රායෝගික දැනුම මම ලබලා තියෙනවා. විශේෂයෙන්ම අත්දැකීම තුළින් අධ්‍යයනය වඩාත් වැදගත්.

ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්?
මගේ සැමියා රංගන ද සිල්වා. ඔහු හිරු ටීවී ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් හා නිවේදකයෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපේ දුව සින්දූපා ගීමිණි ද සිල්වා. කොළඹ මියුසියස් විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මම උපන් ගම් ප්‍රදේශය මහනුවර. උඩුනුවර ජාතික පාසලෙනුයි මම අධ්‍යාපනය ලැබුවේ. මට මගේ දෙමව්පියන්ගෙන් වගේම විශේෂයෙන් අද වෙනකොට මගේ කාර්යබහුලත්වයත් එක්ක සමබරව ජීවිතේ අරන් යන්න ලොකු ශක්තියක් වෙන්නේ රංගනගේ දෙමව්පියන්. ඇත්තටම මට ඔවුන්ගෙන් ලැබෙන සහාය හා හයිය අති මහත්. විශේෂයෙන්ම රංගනගේ පියාගෙන් මට ලැබෙන්නේ ලොකු ශක්තියක්. මම දකින්නේ මගේ මේ සාර්ථකත්වයේ රහස ඔවුන්ගේ ශක්තිය හැටියටයි. ඒ වගේම සහෝදර සහෝදරියෝ සහ නිතරම මාත් සමග රැඳෙන පිරිසත් මෙහිදී මතක් කළ යුතුමයි.

සැමියත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමෙන් ඔහු කොහොමද ඔබට සහයෝගයක් වෙන්නේ?
වෘත්තිය පිළිබඳව මටත් වඩා හොඳටම දන්නේ ඔහුයි. වෘත්තීමය වශයෙන් මෙහි ස්වභාවය පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. කිසිදු බලපෑමකින් තොරව මට මගේ ගමන යන්න ඔහු දක්වන සහයෝගය අති මහත්. මට අවශ්‍ය උපදෙස් ලබාදීලා, අවශ්‍ය තැන්වලදී මගේ අඩුපාඩු පෙන්වලා දීලා මාව දිරිමත් කරන්නේ ඔහුයි.

නිවේදනයට අමතරව ඔබේ වෙනත් හැකියාවන් මොනවාද?
මගේ වෘත්තිය වන්නේ ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම. එහිදී පිටපත් සංස්කරණය ආදී වූ විශාල කාර්යභාරයක් ගැබ්වෙලා තියෙනවා. ඒ අතරතුර කාලයෙදියි මම නිවේදිකාවක් හැටියට කටයුතු කරගෙන යන්නේ.

ඔබට අවශ්‍ය ජනප්‍රිය තලයේ නිවේදිකාවක් හැටියට රැඳෙන්නද, නැතිනම් දක්ෂතාවයෙන් ඉදිරියට යන්නද?
ජනප්‍රියත්වයට වඩා මම විශ්වාස කරන්නේ දක්ෂතාව. අපි යම් ක්ෂේත්‍රයක දක්ෂව නියැළෙනවා නම් ජනප්‍රියතාවය අපට කොහොමත් රැකගන්න පුළුවන්. ඒ අනුව දක්ෂතාව තුළින් ජනප්‍රිය වීමයි මගේ අරමුණ. අනාගතයේ පැහැදිලි ගමනක් යාමට නම් දක්ෂතාව ඔප මට්ටම් කරගෙන ඉදිරියට යාමයි වඩාත් වැදගත්.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook