Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඇත්තටම ‘මගේ සඳ ඇවිත්’ කියලා
වික්ටර් රත්නායක රහසක් හෙළි කරයි


ඔබේ අලුත්ම ගීතය 'මගේ සඳ ඇවිත්' එය දැන් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා?

'මගේ සඳ ඇවිත්' කියන ගීතයට බහුතර ආකර්ෂණයක් ලැබිලා තියෙනවා. මේක මම අවුරුදු ගාණක් නිහඬව ඉඳලා කරපු නිර්මාණයක් නෙවෙයි. පසුගිය මාස හතරක පහක කාල පරාසය ගත්තොත් මම ගීත තිහක් විතර අලුතින් ගයලා තියෙනවා. ඒ ගීත එකකටවත් මේ ගීතයේ ප්‍රතිචාරය ආකර්ෂණය ලැබුණේ නැහැ. මොකද ඒ ගීත එකක්වත් රූපගත වුණේ නැහැ. ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය හරහා මේ අලුත් ගීතය ප්‍රචාරය වුණාට පස්සේ බහුතරයක් හිතලා තියෙනවා මම බොහෝ කාලයක් නිහඬව ඉඳලා සින්දුවක් කිව්වා කියලා. නමුත් එහෙම නැහැ. මේ ගීතය බොහෝම සාර්ථක ගීතයක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.



මේ ගීතය අලුත් ගේය පද රචකයෙක්ගේ නිර්මාණයක් නේද?

අලුත්ම ගේය පද රචකයෙක් වුණ චන්දන මනෝජ් විතාන තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ඔහුව මම දැකලාවත් නැහැ. ඔහු එංගලන්තයේ ඉඳලා මේ ගීතය ලියලා මට ඊමේල් හරහා එවලා ඒක ගීතවත් කරලා ගායනය කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම තමයි මම ඉෂ්ට කළේ. නවකයකු හැටියට මේ ගේය පද රචකයා ඉදිරියටත් දක්ෂකම් පෙන්නාවි. ආරම්භයක් විදියට මෙය සාර්ථකයි. මෙය බොහෝ දුරට මගේ අලුත් ජීවිතයත් සමඟ සැසඳෙන ඒ සමඟ අනුගත වෙන්න පුළුවන් අදහසක් මේ ගීතය තුළ තියෙනවා.

මේ පද රචනාව ගායනයට තෝර ගන්න විශේෂ හේතු කාරණාවක් තිබුණද?

චන්දන එංගලන්තයේ ඉඳන් දුරකතනයෙන් මට කතා කරලා කිව්වා අලුතින් ගීත රචනා කරන්න පටන් ගත්ත ඔහු මං වෙනුවෙන් ගීතයක් ලියලා තියෙනවා කියලා. ඒ ගීතය ගායනා කරනවා නම් ලොකු දෙයක් කියලා ඔහු කිව්වා. ඔහු එවපු ගීතය මම ගායනා කළා. ඔහුගේ ගේය පද රචනාව දැක්කම මට දැනුණා ඒ ගීතය ගීතවත් කියලා. ඒක ගැයීමට සුදුසු පද මාලාවක් ලෙස මට දැනුණා. ඒ නිසාම මට මෙවැනි තනුවක් මේ ගීතයට යොදන්න හිතුණා.

පසුගිය කාලේ කරපු ගීත තිහක් විතර යටපත් වෙලා මේ ගීතය ජනප්‍රිය වෙන්නත් හේතුවක් තිබෙන්න ඇති?

දැන් එෆ්.එම්. නාළිකා පනහක් විතර තියෙනවනේ. ඔය එකකවත් හොඳ ගීත ප්‍රචාරය වෙන්නේ නෑනේ. යහපත් කියන ගීතවලට විශේෂ තැනක් දෙන්නෙවත් ඒකට යුතුකමක් ඉෂ්ට කරන්නෙවත් නෑ. යම් හොඳ දෙයක් කළොත් එය සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. එහෙම නැතිව අපි දෘශ්‍ය මාධ්‍යටම එන්න අවශ්‍යම නැහැ. ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලි නාළිකාවලින් ඒ හොඳ දේවල් ගැන කතා කරන්න පුළුවන්.

පසුගිය නිර්මාණවලට මියුසික් වීඩියෝ නොකරපු ඔබ 'මගේ සඳ ඇවිත්' ගීතයට මියුසික් වීඩියෝවක් කරන්න හිතුවේ?

ඒ ගීතය ලියපු චන්දන ඒකේ රූපගත කිරීමේ කටයුත්ත එතුමාගේ වියදමින් කළේ. මට සල්ලි නැහැ ඕවා කරන්න. මම කවදාවත් ඒවා කරන්නෙත් නැහැ. ඔහුටයි ඕන වුණේ මේ ගීතයට රූප රචනාවක් කරලා ලස්සන ගීතයක් හැටියට නිර්මාණය කරන්න.

මේ ගීතය ඔබේ ජීවිතයේ පෙරළුණ අලුත් පිටුව සංකේතවත් කරන්න කළ ගීතයක් කියලා බොහෝ දෙනෙක් කියනවා?

එහෙම අනුගත වීමක් වෙනවා කියලා තේරෙනවා නම් ඒක නිහඬව විඳින්න පුළුවන්.

ඔබ ගීතය ගැයුවේ ඒ අදහස නිසාද?

චන්දන ඒ ගීතය ලියන්න ඇත්තෙත් මගේ ජීවිතය මුල් කරගෙන වෙන්න ඇති. මොකද මගේ දෙවැනි විවාහය ගැන ලොකු ආන්දෝලනයක් ඇති වුණානේ. විවිධ ආන්දෝලනාත්මක අදහස්, උදහස් පළවුණා. කලා ලොවේ නොවිච්ච දෙයක් ගානට අදහස් පළ වුණානේ. ඒ නිසා චන්දනටත් ඕන වෙන්න ඇති මේක යහපත් පැත්තකින් නිර්මාණය කරලා ගයවන්න සුදුසු ගීතයක් කියලා. මේ ගීතය ලියන්නත් ඇත්තේ එය මූලාශ්‍රයට ගෙන වෙන්න ඇති. ඒකේ වරදකුත් නැහැ. මගේ අලුත් ජීවිතේ ගැන මේ ගීතයේ ලියැවිලා තියෙනවා කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒකේ වරදකුත් නැහැ.

පසුගිය කාලේ එක්තරා ගායකයෙක් කරපු වීඩියෝවක් ඔබට පහර ගහන්න කළ නිර්මාණයක් කියලා කතාබහක් ඇති වුණා?

ඒ කෙනාට ගායකයා කියලා නෙවෙයි කියන්න තියෙන්නේ. එයාට තියෙන්නේ ගාය විතරයි. එයා ගායකයෙක් හැටියට මම දන්නේ නැහැ. පහර ගහනවා කියන්නේ පහර වැදුණ කෙනා මේක භාරගත්තොත්නේ. එහෙම පහරක් වැදුණා කියලා මම හිතලවත් නැහැ. මට මොකක්වත් වැදිලා නැහැ. රා කළ ගෙඩි ගණනාවක් පොවලා නාලාගිරි ඇතා එව්වනේ බුදු හාමුදුරුවන්ව නැති කරන්න. දර මිටියක් බැඳගෙන චිංචිමානවිකාව ඇවිත් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න හැදුවනේ. බුදු හාමුදුරුවොන්ට ඒවා වැදුණේ නැහැ. මගේ ඇවැතුම් පැවැතුම්වල ඔය කියන දේවල් නැත්නම්, ඒක බොරු මවා පෑමක් නම් ඒක ජනතාව දන්නවා. ඔය පුද්ගලයාට ආපු ප්‍රතිචාරවලින්ම ජනතාවගේ තීරණය තේරෙනවා.

ඔබ ඒ මියුසික් වීඩියෝව දැක්කද?

නැහැ. මම ඒක දැක්කේ නැහැ. මම ඒක බලන්නෙත් නෑ. හැබැයි මට හැමදේම ආරංචි වෙනවා. ඒවා ගණන් ගත්තේ නැත්නම් ඉවරනේ. මම ගණන් ගන්නේ නැති නිසා මම ඒවා භාර නොගන්න නිසා ඒවා කරපු අය ඒවායේ ප්‍රතිලාභ ලබයි.

ඔබගේ දෙවැනි විවාහයත් සමඟ බොහෝ අය ඔබව විවේචනය කරන්න ගත්තා. හැබැයි යම් පුද්ගලයෙක් කළ වීඩියෝව පළ වෙද්දී බොහෝ දෙනෙක් ගත්තේ ඔබේ පැත්ත?

බහුතරයක් ජනතාව මගේ ජීවිතය ගැන හොඳ පැත්තක් දැක්කේ. කවදාහරි සත්‍ය ජය ගන්නවනේ. සත්‍ය කොහෙවත් වසන් කරලා තියන්න බැහැනේ. ඒ නිසා ඔය කවුරු කවුරු දැඟලුවත් අපේ ජීවිතය සහ අපේ සිතුම් පැතුම් යහපත් නම් ඒ විවේචනවලට ඉඩ නැහැ. නමුත් සමහරු හිතනවා ඇති ඒ අය දිනුවා කියලා. ඒ අයට එහෙම හිතන්න දීලා නිහඬව ඉන්න එකයි හොඳ. පුහු විවේචන, වදන්වලට මම කිපිලා උත්තර දෙන්න ගියේ නැහැ.

ඔබට විවේචන එල්ල වෙද්දී ඒවා දරා ගත්තේ කොහොමද?

දරා ගැනීමේ ශක්තිය බෞද්ධයකුට අත්‍යවශ්‍යයි. ඉවසීම සහ උපේක්ෂාව උපද්දවා ගන්න පුළුවන් වෙන්නේ තැන්පත් මනසක් තියෙන සංවේදී කෙනකුට. මම පොඩ්ඩක්වත් අමනාපයෙන් දුරකතන මාර්ගයෙන්වත් කාටවත් මේ ගැන කතා කරලා කිව්වේ නැහැ. ඔය වීඩියෝවල රඟපාපු අයත් කියලා තියෙනවලු ඒ රඟපෑවේ දන්නේ නැතිව කියලා. එයාලා පව්. මම දුක් වෙනවා ඒ අය ගැන. ඒවායේ හිටපු අයටත් ප්‍රති ක්‍රියා ලැබිලා තියෙනවා. මම මුකුත් කළේ නැහැ. ඕනම දේකට ප්‍රතික්‍රියා ලැබෙනවනේ. ඒවා හරි විදියට ලැබෙයි.

ඔය විඩියෝව කළ පුද්ගලයා ඔබට කවදාහරි මුණ ගැහිලා තියෙනවාද?

නැහැ. මේ දැන් ආවත් මම ඔහුව හඳුනන්නේ නැහැ.

ඔබ යම් යම් අවස්ථාවල ඒ පුද්ගලයාව විවේචනය කරලා තියෙන නිසා ඔහු ඔබට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්න මඩ ගහන්න ඒ වගේ වීඩියෝවක් කළා කියලත් සමහරු කියනවා නේද?

එයා ශ්‍රී ලංකාවේ සංගීතයට මේ කරන්නේ විනයක්. ඔහු නිර්මාණ කියලා ඉදිරිපත් කරන දේවලින් සිදුවන වින්නැහිය දැඩි ලෙස අපි ප්‍රතික්ෂේප කරනවා. ඒවා සින්දු නෙවෙයි.

ලංකාවේ ගීත කලාව කියන්නේ මොන තරම් වටින දෙයක්ද? ඔවුන් කරන දේවල් මොනවද?

ඒ මියුසික් වීඩියෝවට පස්සේ ඔබ නිර්මාණය කළ 'මගේ සඳ ඇවිත්' ගීතය රසිකයන් අතරට ආවා. මේ වකවානුවේ තිබෙන පසුබිමත් එක්ක ඔබේ ගීතය තව තවත් ජනප්‍රිය වුණා කියලා හිතෙන්නේ නැද්ද?

කවදාවත් දෙව්දත් නිසා බුදු හාමුදුරුවෝ ජනප්‍රිය වුණේ නැහැනේ. බුදු හාමුදුරුවෝ කෙළින් හිටපු නිසා උන්වහන්සේයි ජනප්‍රිය වුණේ.

ඔබේ ගීත ජනප්‍රිය වුණේ මියුසික් වීඩියෝවලින් නෙවෙයි. මේ ගීතයෙන් පස්සේ ඉදිරි නිර්මාණවලටත් රූප රචනා නිර්මාණය කරාවිද?

මියුසික් වීඩියෝවලින් මම ජනප්‍රිය වුණේ නැහැ. නව තාක්ෂණික මෙවලම් සහ තාක්ෂණයේ දියුණුව එක්ක ඉන්න කොට අපිටත් එයට අනුගත නොවී බැරි වෙනවා. තාක්ෂණික දේවලට අනුගත වෙනවා නම් අපිට දැනටත් වඩා යහපත් දෙයක් කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි. 'මගේ සඳ ඇවිත්' කියන ගීතය. ඒකේ වෙන වෙන රූප රාමු නැහැ. මගේ සංගීත නිර්මාණයට අනුකූල රූප රාමු එහි තියෙන්නේ. රූප රාමුවල ඉන්න තරුණිය සහ තරුණයා වයලින් ගහන්න පුළුවන් සැක්සෆෝන් පිඹින දෙන්නෙක්.

ඔබ හින්දි ගීත ඇතුළත් සී.ඩී. තැටියකුත් නිර්මාණය කළා කියලා ආරංචියි. ඒ ගැනත් කියමු?

ලංකාවේ ප්‍රථම වතාවට හින්දි ගීත දහ අටක සී.ඩී. තැටියක් මම කළා. කිසිම මාධ්‍යයක් මගෙන් ඇහුවේ නෑ මෙහෙම දෙයක් කළාද කියලා. යශෝධා විමලධර්ම එහි ගීත දහයක් ලිව්වා. මම හැදුව ගීත අටකුත් තියෙනවා. ඒ ගීත දහ අටම හින්දි භාෂාවෙන් ගායනා කරලා තියෙන්නේ. සමහර මාධ්‍යයට ඕනේ හොඳ දේ ඉස්මතු කර පෙන්වීම නෙවෙයි. නමුත් 'කංසා බොන්ට සො¼දා' වගේ ගීත කරන අයට, ඒක ගායනය කරපු කෙනාට රූපවාහිනි නාළිකාවේ ඉඩ දෙනවා. සාකච්ඡා පවත්වනවා. පන්සිල් පද රකින රටක ඒ වගේ ගීත ප්‍රචාරය කරන්නේ කොහොමද? මාධ්‍ය යහපත් දේ මතු කරලා ගත යුතුයි. එතකොටයි ජාතියේ නැණ නුවණ වඩවන්න පුළුවන් වෙන්නේ.

හින්දි භාෂාවෙන් ඒ වගේ නිර්මාණ එකතුවක් කරන්න හිතුවේ?

හින්දුස්ථානි රාගධාරී සංගීතයනේ අපි හදාරලා තියෙන්නේ. ඒක අපි ශාස්ත්‍රිය විෂයක් ලෙස ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්න කාලෙම හින්දි භාෂාවට සහ හින්දි චිත්‍රපටවල තියෙන ගීතවලට අපි තදින් ඇලුම් කළා. ඒ රසවින්දනාත්මක ගී තනු අහලා තමයි අපේ නිර්මාණ කරන්න පෙලඹුණේ. එහෙම කරපු නිර්මාණ දහඅටක් තමයි හින්දි භාෂාවෙන් ලියැවුණේ. තොටුපොළ අයිනේ, තනි තරුවේ, බනින්නෙපා පොඩි දෝණිට, දෙව්රම් වෙහෙරේ, මියුරු කල්පනා වගේ මගේ සුප්‍රසිද්ධ ගීත දටඅටකට තමයි යශෝධා පදමාලා ලිව්වේ.

සමහර ප්‍රවීණයන් නවකයන් සමඟ මුහු වෙන්න කැමැති නැහැ. නමුත් ඔබේ අලුත් ගීතය රචනා කරන්නේ නවකයෙක්. මේ අවස්ථාව දුන්නේ තරුණ පරපුරට අත දෙන්නද?

ඇත්තටම දැන් තරුණ පරපුර දිහා බැලුවම ශෝචනීය තත්ත්වයක් තියෙන්නේ. බහුතරයක් දෙනා දැනට අවුරුදු පනහකටත් එහා ජනප්‍රිය වෙච්ච ගීත ගයමින් මන‍ෙදාළ සපුරා ගන්නවා. ඇතැම් අය ඒ ගීත ගයමින් තමන්ගේ බඩ වියත රැක ගන්නවා. ඒක තරුණයෝ නොකළ යුතුයි කියන තැන මම ඉන්නේ. මෙතැන ගැටුමක් නැහැ. 'අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී' කියලා කුමාරතුංග මුනිදාස කියලා තියෙන කවි පදය තරුණායෝ නිතර මෙනෙහි කළ යුතුයි. තරුණ්‍යය තමයි රටක ශක්තිය. තාරුණ්‍යයේ ඉන්න අය අලුත් නිර්මාණ කරන්න ඕන. එතකොටයි එය සංගීත ක්‍ෂේත්‍රයට දායාදයක් වෙන්නේ. අපි අලුත් යමක් කළ නිසා තමයි ගෞරවයන්, ප්‍රණාමයන් අපිට ලැබෙන්නේ.

ඇත්තටම ප්‍රවීණයන් සහ තරුණ පරපුර අතර ගැටුමක් නැද්ද?

ප්‍රවීණයන්ට තරුණයන් එක්ක ගැටුමක් නැහැ. එයාලා ගැටුමක් හදාගෙන තියෙනවා. ඔවුන් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. විෂය හදාරන්න ඕනෙ. ඔවුන් අලුත් යමක් කිරීමට පෙලඹවීමක් ඇති කර ගත යුතුයි.

අලුත් පරපුරේ සුබවාදී බලාපොරොත්තු තියාගත හැකි අය ඉන්නවද?

හරිම කනගාටුදායකයි. කසුන් කල්හාර වගේ සුබවාදී බලාපොරොත්තු තියාගත හැකි කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වගේ දුලබව තමයි දක්ෂයෝ දකින්න ලැබෙන්නේ. සමහරුන්ට දක්ෂකම තිබ්බත් කරන්නේ මොනවද කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ. හැකියාව තිබුණට මදි. යහපත් දෙයක් කරන්නේ කොහොමද කියලත් හිතන්න ඕන. තරු වැඩසටහනහකට ගිහින් ජනප්‍රිය වුණ ගමන් ඔවුන් කලාකරුවෝ කියලා හිතන්නේ. අනුන්ගේ දෙයක් කරලා කලාකරුවෙක් වෙන්න බැහැ.

ඔබ අලුත් පරපුරට සහාය දෙන්න කැමැති ප්‍රවීණයෙක්ද?

අපි තාරුණ්‍යයට හරි ආදරෙයි. ඔවුන් මඩ ගොහොරුවල බහිනවා දැක්කම දුකයි. ඒ ආදරයෙන් ඇතිවන සතුට අපිට තියා ගන්න බැහැ ඔවුන් වැරැදි දෙයට පෙලඹෙද්දී. තරුණයන්ගේ නිර්මාණයක රසභාව වැඩි කර ගන්න අපිත් එක්ක ඇවිත් කතා බහ කරනවා නම්, අපෙන් මොනවා හරි උදව්වක් ඉල්ලනවා නම් අපි උදවු කරන්න ලෑස්තියි. අපිට වඩා ඉහළට යන්න පුළුවන් තරුණ පරපුරක් ඇති වෙනවා නම් මගේ උර දෙනවා නැඟලා උඩට යන්න කියලා. තාරුණ්‍යය මීට වඩා බුද්ධිමත් තත්ත්වයකට එන්න ඕන.

ඔබේ ජීවිතයට සෙවණැල්ලක් වගේ ඉන්න බිරියගෙන් කලා කටයුතුවලට ලැබෙන සහාය කොයි වගේද?

ඇත්තටම 'මගේ සඳ ඇවිත්' කියලා ඇයට කිව්වට කමක් නැහැ. මගේ වැඩවලදී හෂිනි පුදුමාකාර සහායක් දක්වනවා. මේ 29 වැනිදා මම අලුත් සින්දු පහක් රෙකෝඩ් කරනවා. ඒ සින්දු පහ රෙකෝඩ් කර ගන්න සංගීත පිටපත් සකස් කරන්නෙත් ඇය. ඇය බටහිර සංගීතය හදාරලා තියෙනවා.

ඇයටත් සංගීතය ගැන දැනුමක් තියෙන එක ඔබට ශක්තියක් නේද?

දෙන්නකුගේ එක්කාසු වීම කියන්නේ ශාරීරික එක්කාසු වීමක් පමණක් නෙවෙයිනේ. අදහස් උදහස්වලින් හැකියාවන්වලින්, දක්ෂතාවෙන්, රසවින්දනාත්මක පැත්තෙන් එක හා සමාන වෙන්න ඕන. ඇයට හොඳ වින්දනාත්මක ශක්තියක් තියෙනවා. ඒ හරහා ස්වර ලිපි පවා ලියලා දෙන්න ඇයට හැකියාව තියෙනවා. ඒක ලොකු දෙයක්.

සංගීත ජීවිතයට වගේම ඔබේ පෞද්ගලික ජීවිතයේදීත් ඇය හොඳ බිරියක් ලෙස ඔබට සහාය වෙනවා ඇති?

තුන්වේල කෑම හදන්න පවා එයා. ගෘහණියක් විදියට ඇය ඉතාම යහපත් ගතිගුණ තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ලැබීම ඇත්තටම මගේ පිනක්.

නැවත ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න අදහසක් නැද්ද?

අලුත් ප්‍රසංගයක් ආරම්භ කරන්න කියලා බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබෙනවා. නමුත් ඒකපුද්ගල ප්‍රසංගයක් මම නැවැත ආරම්භ කරන්නේ නැහැ.

ඔබේ හැකියාවන් තාම තියෙද්දී ඇයි එවැනි දෙයක් නොකරන්නේ?

දෙයියන්ගේ පිහිටෙන් තාම මට ගායන හැකියාව තියෙනවා. 'ස' ප්‍රසංගය එක්දහස් හාරසිය පනහක් දක්වා කළා. ඒ මදැයි. ඒකට තාම කොහෙවත් අභියෝගයකුත් නැහැ. අපිට දේවල් කරගෙන ගිහින් ඇති වෙන දවසක් එනවනේ. වින්දනාත්මක පැත්තෙන් මම පසු බැසලා නැහැ. 'ස' ප්‍රසංගය ගුරු කොටගත්ත නව පරපුරක් දැන් බිහිවෙලා ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook