Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක් 
– චාමර වීරසිංහගේ අම්මා කියන කතාව

“මම එයාට කතා කරන්නේ ‘චම්මි’ කියලා”


අෑත දියඹේ සැඩ කුණාටු, සුළි සුලං, චණ්ඩ මාරුතවලින් කොච්චර නං නෞකා අතරමං වෙනවා ඇත්ද? ඒ මහා නෞකාවලට යන්න හරි පාර කියලා දෙන්නේ ගොඩබිමේ ඉන්න ප්‍රදීපාගාරය. නෞකා විතරක් නෙමෙයි. සාගර ජීවින් පවා මේ ප්‍රදීපාගාරයට අවනත වෙන්නේ නන්නාඳුන මහා සාගරේ පාර කියන එකම කෙනා එයා නිසා.

සමහරු කියනවා සතර දිසාවට විශාල ආලෝක කදම්භ විහිදුවට ප්‍රදීපාගාරය යට කළුවරයි කියලා. ඔව්. ප්‍රදීපාගාරය යට කළුවරයි. ඒත් ඒ ප්‍රදීපාගාරය රාත්‍රියට කොච්චර නම් අයට පාර කියනවා ඇත්ද?



අම්මලත් හරියට මේ ප්‍රදීපාගාරය වාගේ. තමන්ගේ ජීවිතේ මොන තරම් දුක්ඛ ‍ෙදාම්නස්සයන්ගෙන් කළුවර වුණත් ඒවා ඉවසා දරාගෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අම්මලා කොයිතරම් නම් වෙර දරනවා ද? ගොඩක් අය ජීවිතේ ගැන කතා කරද්දි “ජීවිතේ කියන්නේ තක්සලාවකට” කියලා කියනවා. මම කියනවා ජීවිතේ තක්සලාවක් නම් අම්මා කියන්නේ ඒ තක්සලාවේ දිසාපාමොක් ඇඳුරුතුමාට කියලා. මොකද දරුවෙක් නව මාසයක් තිස්සේ උදර කුහරේ දරාගෙන විඳපු දුක වගේම ඒ දරුවා ලෝකේ එළිය දැකපු දවසේ ඉඳන් දියුණුවේ හිනිපෙත්තටම නඟින්න ජීවිත කාලෙම කැප කරන, පාර කියන තාරුකාව වෙන්නේ අම්මා මිසක් වෙන කවුද?

“මම මෙතනට ආවේ ලොකු කට්ටක් කාලා. මේ එන ගමන ඇතුළේ ගොඩක් කලකිරීම්, හිත් රිදීම් වුණා. මම රුපියල් 300ටත් සින්දු කියපු කාලයක් තිබුණා. ඒ දේවල්වලින් පහුබහින මාව දිරිමත් කළේ මගේ අම්මා. මට ජීවිතේ ඉවසීම පුරුදු කළේ මගේ අම්මා.”

තමන්ගේ අම්මා ගැන කියන්න මොනාහරිම දෙයක් හැම ළමයෙක්ටම කියනවා. ඒ පුතාටත් අම්මා ගැන කියන්න දෙයක් තිබුණා. ඒ වචනවලට විතරක් සීමා වුණ නිර්වචනයක් නෙමෙයි. හදවතේ හැඟීම් වචනවලට කාවද්දලා වර නඟපු වචන පෙළක එකතුවක්.

කලකට පෙර ලංකාවේ ප්‍රසංග වේදිකාව බටහිර පන්නයට නතුව තිබුණි. එකල ප්‍රේක්ෂක රසවින්දනයට නතු වූයේ බටහිර ආභාසය සහිත රොක් හිපොප් ශෛලියට අනුගත රිද්ම රටා මෙන්ම ඉන්දියානු හින්දුස්ථානී ආභාසය ඇසුරු කොටගත් හින්දි ගීතය. ප්‍රසංග වේදිකාවේ රසිකයන් ඔල්වරසන් දුන්නේ ද උරුවම් බෑවේ ද ඒ හරසුන් රිද්ම රටාවන්ටය. එය වෙනත් මඟකට යොමු කළ පුරෝගාමීන් අතර චාමර වීරසිංහ යනු රසික ජනාදරය දිනූ ප්‍රමුඛ පෙළේ හඬ පෞරුෂයකි.

වෙන කවුරුත් නෙමෙයි ඒ වචන පෙළේ අයිතිකරුවත් ඔහුම තමයි. තමන්ගේ අම්මා ගැන පුතාගේ මේ කියවීම් ඇතුළේ අපි ඒ අම්මාව හොයන්න පටන්ගත්තා. චාමරට ජීවිතේ ආපිට හැරෙන්න තීරණය කරපු තැන්වලදී ජීවිතේ කියන්නේ දියුණුවට විතරක් නෙමෙයි නින්දා අපහාස, පසුබැසීම් කියන්නෙත් ජීවිතයට කියලා කියලා දීපු ඒ අම්මව මුණගැහිලාම මේ පෙකණිවැලේ කතාවේ සුලමුල හොයන්න අපි තීරණය කළා.

හරිම කෙටි දුරකතන සංවාදෙකින් පස්සේ හවස් යාමේ චාමර වීරසිංහගේ ගෙදරට පිළියන්දල බණ්ඩාරගමට යන්න අපි තීරණය කළේ හීන් හිරිපොද වැස්සත් එක්කරගෙන. කියපු මංසලකුණු දිගේ ගෙදරට ගියාම අම්මා වගේම එදා විවේකයෙන් ගෙදරට වෙලා හිටපු චාමරත් අපිව ආදරෙන් පිළිගත්තා. අම්මා දැකපු ගමන්ම හිතුණේ චාමර වගේ කියලා. හරියටම කිව්වොත් චාමර අම්මා වගේ. අම්මාගේ හැඩහුරුකම්වලින් බොහෝමයක් චාමරටත් ඇවිත් තියෙනවා කියලා මේ අම්මයි පුතායි දිහා බලන ඕනෙ කෙනෙක්ට පේනවා.

“අපි එළියට ගිහින් කතා කරමු පුතේ. අපිට නිදහසේ කතා කරන්න පුළුවන් එතකොට.”
වැහි කළුව නිසා අන්ධකාර වුණ ගෙදර ඇතුළේ රූපවාහිනියේ සද්ද බද්ධ නිසා නිදහසේ කතා කරන්න බැරි බව වැටහුණු අම්මා අපිව නිවස ඉදිරිපිට ආලින්දයට එක්කරගෙන ගියා. නිදහසේ කියන්න තරම් මේ අම්මට තමන්ගේ පුතා ගැන ලොකු කතාවක් ඇති කියලා නිකමට හිතුණේ ඇගේ කතා විලාසයෙන්.

ආලින්දයේ කොනකට වෙන්න තිබුණ පුටුවක හරි බරි ගැහිලා හිමින් සීරුවේ වැටෙන හිරිපොද දිහා බලාගෙන අම්මා ඇගේ යටගියාව සිහිපත් කරන්න පටන්ගත්තා.
ඉදිකැටියේ හේවා ගමගේ ශික්ෂිතා මානෙල්. ඒ තමයි අම්මාගේ සම්පූර්ණ නම. මාතර වල්ගම ප්‍රදේශයේ සොහොයුරන් තිදෙනෙක්ට හා සොහොයුරියකට වැඩිමල් සොයුරිය විදිහට උපත ලබපු අම්මා තමන්ගේ පුංචි කාලේ විස්තර කිව්වේ හරි ආසාවෙන්. පවුලක වැඩිමලා විදිහට ගෑනු දරුවෙක් ලැබුණම අම්මාට ටිකක් සහනයක් ලැබෙනවා. මොකද ඉන් පස්සේ උපත ලබන බාල සොයුරු සොයුරියන් බලාකියාගන්න වගකීම “ලොකු දුවට” භාරදෙන්න පුළුවන් නිසා. ඉතින් හදිස්සියේම අම්මාට හොයාගන්න බැරි ලෙඩක් හැදිලා රෝගාතුර වුණාම පවුලේ ලොකු දුව වුණු චාමර වීරසිංහගේ අම්මා තමයි නංගිවයි මල්ලිලා තුන්දෙනාවයි බලාගෙන තියෙන්නේ.
“මගේ තාත්තා එළවළු ව්‍යාපාරිකයෙක්. මොන අඩුපාඩු තිබුණත් අපි පුංචි කාලේ හරි කෙළිලොල් විදිහට ගත කළා. දැන් ළමයින්ට පහසුකම් වැඩී. ඒත් එයාලට අපිට වගේ පුංචි කාලයක් නැහැ.”

අෑ තමන් විදපු කුඩා කළ මතක සිහිපත් කරන්නීය. රස විඳින්නීය. තමන් විඳි කුඩා කාලය අහිමි වත්මන් දරුවන් දෙස බලා පසුතැවෙන්නීය. අනේක විද දුක් ගැහැට මැද වුව ළමා කාලය හිමි තමන්ගේ පරම්පරාව සමඟින් තාක්ෂණයෙන්, පහසුකම්වලින් සපිරි දරුවන්ගේ කොටුවුණ ජීවිත සසදන්නීය.

තම යටගියාව ටිකෙන් ටික හාරවුස්සන අම්මාගේ කල්පනා ලෝකේ මඳකට අවහිර කරන්න හිතුණේ හිටිහැටියේ හිතට ආපු ප්‍රශ්නයක් නිසා.
“එතකොට අම්මා බැන්දේ කොයි කාලෙද?”

“මම බැන්දේ අවුරුදු 24න්. ගමේම කෙනෙක්ව තමයි මම බැන්දේ. එයා ‘ටේලර්’ කෙනෙක්. අපි දෙන්නා යාළු වෙලා බැන්දේ.”
ඒ වචන ටික කියනකොට අම්මාගේ මූණෙ ඇඳුණ ආදරබර හිනාවෙන්ම ඒ බැඳීම කොච්චර ආදරණීය ද කියලා කියන්න පුළුවන්.

වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් වුණ තම සැමියාගේ ව්‍යාපාරයටත් උදව් උපකාර කරගෙන, දුක සැප බෙදාගෙන තමන්ගේ යුගදිවිය ගතකළ ආකාරය අම්මා රස කර කර අපිත් එක්ක කිව්වා.

“ඒ කියන්නේ අම්මාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඇති?”
මගේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ.

“ඔව්. මට ඕනම ඇඳුමක් හොඳට මහන්න පුළුවන්. පුංචි කාලේ චාමරලාගේ ඇඳුම් මහලා දෙන්නේ මම තමයි.
ඒ ඇඳුම් මහලා තමන්ගේ දරුවන්ට අන්දවලා හැඩ බලලා අම්මා මොන තරම් නම් සතුටු වෙන්න ඇත්ද ඒ කාලේ? දරුවන්ට තමන්ගේ අතින් මහපු ඇඳුම් අන්දන්න අම්මලා කොහොමත් හරි ආසයි.

වැහි අඳුරත් එක්ක එන හිරිගඬු පිපෙන හීනි සුළං රැල්ල හෙමීට ඇවිල්ලා අපිව වෙලාගෙන ආයිමත් තමන්ගේ ගමන යනවා. අම්මා හෙමින් හෙමින් වැටෙන හිරිපොද දිහා බලාගෙන ඒ නොකියපු කතාව අපිත් එක්ක කියනවා.

කතාව ගලාගෙන යන අතරේ මම කතාව අපේ කතා නායකයා දිහාවට හැරෙව්වා.
“අම්මේ… චාමර වීරසිංහ කියන්නේ පවුලේ කීවෙනියටද?”

“චාමර කියන්නේ පවුලේ පස්වෙනියට. මට ඉන්නේ දුවලා තුන්දෙනයි පුතාලා තුන්දෙනයි. චාමරට පස්සේ මල්ලි කෙනෙකුත් ඉන්නවා.”
සහෝදරියෝ තුන්දෙනෙක්ට සහ සහෝදරයෝ තිදෙනෙක්ගෙන් පස්වෙනියා හැටියට මාතර මහරෝහලේ උපත ලබපු චාමර වීරසිංහ නම් ඒ ප්‍රසංග වේදිකාවේ වේදනාබර සංවේදී හඬ පෞරුෂයේ යටගිය මතක අම්මා අපිත් එක්ක බෙදාගන්නවා. මේ අතරතුර කවුරුත් ආදරේ කරන චාමරගේ කුඩා කල මතකවලට එබිකම් කරලා බලන්න අපි අමතක කළේ නැහැ.

“චාමර තමයි මේ හයදෙනාගෙන්ම අහිංසකම ළමයා. විසේ නෑ. හරිම අහිංසක තැම්පත් ළමයෙක් එයා. එයා අහිංසක නිසාම ද කොහෙද හැමෝම එයාට ආදරෙයි.”
ප්‍රසංග වේදිකාවේ අහිංසක පෙම්වතා පොඩි කාලෙත් හරි අහිංසකයි කියලා අම්මාම කියපු නිසා පිළිගන්නම වෙනවා. අදටත් බැලූ බැල්මට පේන ඔහු සතු හික්මීම, තැම්පත් ගති පැවතුම් කුඩා කාලේ පටන්ම ගෙන එන ඇවතුම් පැවතුම් කියලා අම්මාගේ වචනවලින්ම ඕනෙ කෙනෙක්ට තේරෙනවා.

ගොඩක් අය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හුඟක් පුංචි කාලේ ඉඳලා දක්ෂතා පෙන්නලා ඒත් චාමර එහෙම නෙමෙයි.

“එයා පුංචි කාලේ වැඩියෙන්ම සංගීතයටත් වඩා කැමති චිත්‍රවලට. ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ඇඳපු චිත්‍රකතාවලින් තාත්තා තොරන් තුනක් ගැහුවා ඉස්සර.
හැමෝම ආදරේ කරන ඒ නිහතමානී කලාකරුවාගේ සැඟවුණු රහසක් තමයි අම්මා අපිත් එක්ක කිව්වේ. සංගීතයට විතරක් නෙමෙයි චිත්‍ර කලාවටත් දක්ෂතා දක්වන ඔහු විවිධ වූ හැකියා ඇත්තෙක් බව පසක් කරන තවත් කතාවක් අම්මා කිව්වා.

“එයාලගේ තාත්තා ටේලර්නේ. ඉතින් චාමරටත් හොඳට ඇඳුම් මහන්න පුළුවන්. එයාට විතරක් නෙමෙයි පවුලේ හැම ළමයෙක්ටම ඒ වැඩ හොඳට පුළුවන්.”
අපි ආදරය කරන මිනිස්සුන්ගේ නොදන්න දේවල් නම් කොයිතරම් තියනවාද? චාමර වීරසිංහ කියන්නේ හැමෝම දන්න විදියට අතිදක්ෂ ගායකයෙක්. ඒත් ඔහු චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම හොඳ ඇඳුම් මසන්නෙක්. අම්මා තමන්ගේ පුතාගේ මේ හැකියා දක්ෂතා අපිත් එක්ක කිව්වේ හරි ආඩම්බරෙන්. ඒ වගේම හිතේ කොනක ගුලිකරගත්ත ආදරෙන්.

“චාමරගේ තාත්තත් හරි කැමතියි සංගීතයට. පුංචි කාලේ සංගීත සංදර්ශනවලට එක්කන් ගිහින් ස්ටේජ් එකේ තියලා ඒකේ සිංදු කියවලත් තියෙනවා මෙයාට කියලා. ඒත් ඇත්තටම එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

අෑ මොහොතකට නිහඬ විය. ඒ පමාවෙන් ඇගේ නෙත් කොනේ දිලිහෙන කඳුළු කැටේ දැක ගන්න ලැබුණා. චාමර වීරසිංහට තමන්ගේ තාත්තා අහිමිවෙන්නේ අවුරුදු 12න්. ඒත් තාත්තා පුංචි කාලේ ඉඳන් හීන දැකලා තියෙන්නේ ඔහු දක්ෂ ගායකයෙක් වෙනවා දකින්න. මේ දේවල් අම්මා කොහේදෝ බලාගෙන කියාගෙන යන්නේ සතුටයි, දුකයි අතරමැද මොකක්දෝ කියාගන්න බැරි හැඟීමකින්. මට ඕන වුණේ ඒ හැඟීම අම්මත් එක්කම විඳින්න. ඒත් ඒ සිතුවිලි දිගුව මඳකට නතර කරන්න වුණේ හිටිහැටියේ. මගේ කලබල හිතට ආපු තවත් එක ප්‍රශ්නයක් නිසා.

“චාමරට අම්මා කතා කරන්නේ මොකක් කියලද?”
“මම එයාට කතා කරන්නේ ‘චම්මි’ කියලා”
ඒක චාමරට ආදරේ කරන රසිකයන්ට ලොකු හෝඩුවාවක්. කොහොම වුණත් චාමරගේ නිවුණ ගති පැවතුම් නිසා අම්මා චාමරට ටිකක් වැඩියෙන් ආදරේ කළා කියලා අම්මගේ කතාවෙන් අපිට තේරුණා.

චාමර වීරසිංහ ආපු මේ තරු ගමන ගැන අම්මාගේ මතකය අවදි කරන්නත් අපි අමතක කළේ නැහැ.
“එයා ඉස්කෝලේ යන කාලේ ගොඩක් සංගීතයට දක්ෂයි. ඉස්කෝලේ යන කාලේ එයාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණා. ඒකෙන් පස්සේ තමයි එයාව ගොඩක් අය දැනගත්තේ. ඒ වගේම එයාට ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

පුතාගේ තරු ගමනේ මතක එකින් එක අම්මා හරි සතුටෙන් හෙළි කරනවා. තමන් පුංචි කාලේ ඉඳන් හරි ආදරෙන් හදපු දරුවෝ ලොකු තැන්වල වැජඹෙද්දී අම්මලාගේ සතුට වචනවලට පෙරළන්න හරි අමාරුයි. වචන වෙනුවට එළියට එන්නේ කඳුළු කැට. ඒත් ඒවා සතුටු කඳුළු.

නිර්මාණි බණ්ඩාරනායක
ඡායාරූප _ හෂාන් අනුරාධ
ඉරිදා ඇපල්


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook