Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

හංඟපු රහස් එළියට
අදින හිඹුටානෙ සාදු

රබර් කිරි කපමින් මාදුලුවාව ගම්මානයේ දුප්පත් ජීවිතයක් ගෙවූ ලුසිහාමි මුඛයේ පිළිකාවකින් පීඩා විඳිද්දී මරු ඇය මළවුන්ගේ ලෝකය වෙත කැඳවා ලූයේය. මේ අනන්ත විශ්වයේ පෙනෙන නොපෙනෙන සියලු සිද්ධාන්ත සම්මා සම්බුදුවරයෙකුටම මිස පසක් කරගත හැක්කේ අන් කවරෙක්ටද? විඥානවාදීන් එක් පසෙකත් භෞතිකවාදීන් තවත් පසෙකත් සිට ඇසට නොපෙනෙන ලෝකය සහ ඇසට පෙනෙන ලෝකය අරභයා අපමණක් තර්ක විතර්ක නගන්නේ එහෙයින්මය. එහෙත් භෞතිකවාදීන් ප්‍රතික්ෂේප කරන දෙවියන්, යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන්, ගෙවලයන් මෙන්ම කොඩිවින, පිල්ලි, නීච බන්ධන, වාල් බන්ධන වරම් ආරූඪ දක්වා කී නොකී පියවි ඇහෙන් එහා ලෝකයේ පවතින භව සහ බලවේග විඥානවාදීන්ගේ පර්යේෂණ නිමිති බවට පත්ව තිබේ.

ඒ සියල්ල අතරේ ලුසිහාමි මාතාව මේ මනුෂ්‍ය භවයෙන් නික්ම පත්තිනි දේව මෑණියන්ගේ මහා සේනාවේ දේවදාසියකව උපන්නාය. හත් අවුරුද්දක් මුළුල්ලේ පත්තිනි දෙවියන්ට මල් නෙලමින් මෙහෙ කළ අැය පත්තිනි මෑණියන්ගෙන් වරම් ගෙන හිඹුටානට පැමිණෙන්නට ගම්බාර දෙවියන්ගෙන් අවසර ගෙන මනුෂ්‍ය ශරීරයකට පැමිණෙන්නට දැඩිමුණ්ඩ දෙවියන්ගෙන්ද අවසර ගෙන ලේ නෑ සුවඳක් සොයා ආවාය. මනුෂ්‍ය වාසව හිඳින කල දරුවන් සත් දෙනෙකුට මවු වූ ඕතොමෝ වරමෙහි බල පෙන්වන්නට ලේ සුවඳක් සොයමින් පැමිණ තමා මනුෂ්‍ය දුවකව සිටියදී ආදරය කළ තම මී මුණුපුරෙකුට සමීප වූවාය. ඉනික්බිති ඒ මී මුණුපුරාගේ ආච්චි අම්මාට නොඑසේනම් ලුසිහාමිගේ දියණියකට සමීප වූවාය. එහෙත් දැන් වයස අවුරුදු හැත්තෑවක් පසුකර සිටින ඇයට සවි ශක්තිය හිඟ බැවින් වරමෙහි බල පෙන්වන්නා බවට පත්වූයේ මේ මී මුණුපුරාය. හිඹුටානේ සාදු නමින් ගම් දනව් පුරා ප්‍රසිද්ධියට පත් වූයේ මේ මී මුණුපුරාය.

සොරකම්, මිනීමැරුම්,ප්‍රේම සබඳතා ගැන දැනගැනීමට වශී බන්ධනයක් කර හෝ කැඩී බිඳී යන පවුල රැකගැනීමට ව්‍යාපාර දියුණුව විභාග ජය සාක්ෂාත් කරගන්නට මළවුන් ගෙන්වීමට කොඩිවින බන්ධන කප්පවාගෙන සෙත ශාන්තිය උදා කරගන්නට දරු සම්පත් නැති අය දරු සම්පත් ලබාගැනීමට කළයුතු ප්‍රතිකාර ශාන්තිකර්ම ගැන විමසන්නට මෙන්ම මනුෂ්‍ය ජීවිතේ නානා විධ ප්‍රශ්න, දුක් ගැහැට ලෙඩ දුක් කරදර වලින් හිස පුරවාගෙන පිහිටක් පතා හිඹුටානේ සාදු සොයා එන සියල්ලෝම විස්මයටත් තිගැස්මටත් පත්වන්නේ හිඹුටානේ සාදු සවන් අදහාගත නොහැකි ලෙස පැමිණෙනවුන්ගේ නම්, ගම්, පැමිණි වාහන අංකය, වාසගම, උප්පැන්නයේ නම සංශෝධනය කර ඇත්නම් ඒ වෙනස් කළ නම ෙස්වා ස්ථානය පවා කියමින් පැමිණි කාරණයද හරියටම සඳහන් කරමින් වැඩි විස්තරයක් සහ කළයුතු ප්‍රතිකර්ම කියන්නට අදාළ තැනැත්තා දේවාලය තුළට කැඳවන විටය. අප දන්නා තරමින් කෙනෙකුගේ නම, ගම, ලිපිනය සේවය කරන ස්ථානය, වාහනයකින් පැමිණියේ නම් වාහන අංකය පවුලේ වෙනත් තොරතුරු මේ ආදී සියලු තොරතුරු මේ ආකාරයට සඳහන් කරන්නට තරම් බල ඇති වරම් ලද්දෙක් තවත් නැත. එමෙන්ම කවර කාරණයක් අසන්නට කෙනෙක් පැමිණියත් ඒ පැමිණි පුද්ගලයා අනිසි සබඳතා පවත්වමින් තම බිරියට, සැමියාට දරුවන්ට සහ පවුලේ ගෞරවයට හානි කරයි නම් අසාධාරණයක් කරයි නම් හිඹුටානේ සාදු ඇසුවත් නොඇසුවත් ඒ වරදද පෙන්වා දෙයි.

හිඹුටානේ සාදු සතු මේ විස්මිත බලය හේතුවෙන්ම එක් දිනකට හිඹුටානේ මේ පත්තිනි දේවාල භූමියට පැමිණෙන සංඛ්‍යාව ඇතැම් දිනක දෙසීයත් ඉක්මවයි. එසේ පැමිණෙනවුන්ට තම වාරය ලැබෙන්නේ නොම්බරයක් ගැනීමෙන් හෝ පැමිණි පිළිවෙළ අනුව නොවේ. පොල් ගෙඩියක් හා බුලත් අතක් දේවාල භූමියෙන්ම ගෙන රුපියල් පන්සිය පහක පඬුරක් තබාගෙන සිටින විට ලුසිහාමිගේ ආරූඪයෙන් සිටින හිඹුටාන සාදු දේවාලයේ ඉදිරියට පැමිණ කෙවිටක් දිගුකර පෙර කී ආකාරයට නම ගම පැමිණි වාහන අංකය, ලිපිනය, සේවය කරන ස්ථානය මේ ආදී කවරක් හෝ සඳහන් කරමින් පැමිණ සිටිනවුන් තමන්ට පෙනෙන පිළිවෙළ අනුව අඬ ගසයි. ඒ අනුව ඇතැම් විට පළමුව පැමිණෙන පුද්ගලයාට අවසානය දක්වා සිටින්නට සිදුවන අවස්ථාද ඇත. ඇතැම් පුද්ගලයන්ට දේවාල භූමියට පිවිසෙන විටම හිඹුටාන සාදුගෙන් කැඳවීම ලැබෙයි. මෙවන් අසමාන දේව වරමක් ලද හිඹුටාන සාදු සමඟ කතා කරන්නට අප ගියේ 2017 වසරේ අවසන් සෙනසුරාදාය.

මේක මම පත්තිනි මෑණියන්ගේ ලද වරමක්. මම මේ පත්තිනි දේවාලයේ ඇති සියලු දේව ප්‍රතිමා ඉදිකර ඇත්තේ පත්තිනි මෑණියන්ගෙන් වරම් ගෙන මගේ සිරුරට බල අරන් ඇතුළුවන ලුසිහාමි කියන මගේ ආච්චි අම්මාගේ මව මට කී ආකාරයට. අවුරුදු අටේදී තමා මට මේ වරම ලැබුණේ. ඒ දවස්වල මට මේ ගැන තේරුමක් නෑ. හිටපු ගමන් කලන්තය හැදෙනවා. මම කවි කියනවා. කවියෙන් තමා පත්තිනි මෑණියන් වරම දෙන්නේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි නංගියි. මගේ පවුලේ අය මුලින්ම හිතුවේ මට මානසික රෝගයක් කියලා. පුංචි කාලේ මට හීනෙන් ඇවිත් කීවා මට මෙහෙම වරමක් ලැබෙනවා කියලා. මෝදර කෝවිලට යන්න කියලා තිබුණා. ඒත් ඒ දවස්වල හීන දැක්කට මට එහෙම තේරුමක් නෑ. 

ඒ කාලේ වාහන හොරකමක් සිද්ධවෙලා හොරකම ගැන මගෙන් අහන්න ආවා. ඒ වාහනය කුරුණෑගල තැනක කෑලි ගලවලා වලදාලා. මම ඒ තැන පෙන්නුවා. ඒ සිද්ධිය වුණේ මට අවුරුදු අටේදී. වාහන සොරකම සිදුකළ අය සිරගත වුණා. හොරු පෙන්නුව තරහට ඒ හොරුන් නිදහස් වෙලා ඇවිත් මට වෙඩි තිබ්බා. ඒත් වෙඩි නොවැදී මම බේරුණා. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ මම නීතිය හදාරන්න පටන් ගත්තා. ඒත් දේවාලයේ වැඩත් එක්ක ඒකත් අතරමඟ නැවතුණා.

ඔබ ළඟට වැඩිම පිරිසක් පැමිණෙන්නේ කවර කාරණා දැනගන්නද?

වැඩිම පිරිසක් එන්නෙ හොරකම් ගැන දැනගන්න. ආරක්ෂක අංශවල නිලධාරීන් පවා හොරකම් ගැන මිනීමැරුම් ගැන දැනගන්න මගේ ළඟට එනවා. මා ගැන දන්න සමහර පොලිස් නිලධාරීන් හොරකමක් සම්බන්ධව පැමිණිල්ලක් කරන්න පොලීසියට ගියාම ඒ අයට කියනවලු අහවල් දේවාලයට ගිහින් හොරාගේ නම ලිපිනය විස්තර අහගෙන එන්න කියලා. මේ පළාතෙනම් දැන් දේවාලය නිසා හොරකම් සිදුවෙන්නෙම නෑ. මම හොරකමක් ගැන අහන්න ආවම හොරාගේ නම, ගම, ඉන්න තැන, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය පවා කියනවා. හොරා හොරකම් කරපුදේ කොහාට හරි විකුණන්න යනවා නම් කොහේ හරි හංඟලා තියෙනවා නම් මුල සිට අග දක්වා සියල්ල කියනවා. ඉස්සර මම වාහනයක් අරන් එන්න කියලා දුර පළාත්වල පවා හොරා ඉන්න තැනටම ගිහින් හොරාව අතටම අල්ලලා දෙනවා. මිනීමරුවන් අල්ලලා දෙනවා. ඒත් දැන් මම එහෙම කරන්නේ නෑ. මොකද හැමතිස්සේම මට මගේ ඥාතියා හරහා සිරුරට ඇතුළවෙන බලය නැති නිසා. ඒ බලය නැති වෙලාවට මට මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙන නිසා. මම රටේ නමගිය හොරකම්වල හොරුන් වගේම රටේ කෙරුණ මහා ඝාතනවල ඝාතකයන් ගැන පවා සියලු තොරතුරු ඔවුන් සැඟවී සිටි තැන් පවා හෙළිදරව් කරලා ඒ හොරුන්ව ඝාතකයන්ව අත්අඩංගුවට ගන්න මගේ බලයෙන් ආරක්ෂක අංශවලට හා අදාළ අයට උදව් කර තියෙනවා. මුල ඉඳන් අගටම වෙච්ච හැමදේම කියනවා. මට ආරක්ෂාවක් සපයනවා නම් මම ඕනෑම හොරකමක් ඝාතනයක් අල්ලගන්න මගේ බලය හරහා උදව් කරනවා. මම අදාළ වරම ආරූඪයෙන් බල සහිතව ඉද්දි අදාළ කෙනා ඇවිත් මගෙන් අහද්දි මට හැමදේම කියන්න පුළුවන්.

මේ ළඟදි දේවාලයක පිත්තල පිළිමයක් නැතිවෙලා ඒ දේවාලයේ කපු මහත්තයා මගේ ළඟට ආවා පිළිමය ගැන අහන්න. මම කීවා මේක අලෙවි වී තියෙන්නේ පිළිමතලාවේදි. උඹ බය නැතුව හිටපන්. අනිද්දා තලාහේනේ ඇන්ටික් බඩු කඩේකට ඔය පිළිමය ගේනවා කියලා. මේ කපු මහත්තයා ඒ කියපු අනිද්දා දවසෙත් දේවාලයට ආවා. මම එදා කීවා උඹ දැන් යන ගමන් අහවල් ඇන්ටික් බඩු කඩේ බලපන් කියලා. පිළිමය හම්බවුණා. මේ වගේ හොරකම් මම අල්ලලා දුන්නාම සමහර අවස්ථාවල වෙන වෙන අය අපි තමා හොරු ඇල්ලුවේ කියලා ඒකට ලකුණු දා ගන්නා අවස්ථා තියෙනවා. ඒත් මට එහෙම කාගෙන්වත් ලකුණු දා ගන්න අවශ්‍ය නෑ. මම එක පැත්තකින් කරන්නේ සේවයක්. මම සාධාරණයට කතා කරනවා. හැමදේකදිම ඇත්ත කියනවා. මම ඇත්ත කියද්දි සමහරැන්ගේ ජීවිතවල හංඟාගෙන සිටින ජරා වැඩ, අයහපත් වැඩ එළියට එද්දි මට බැණ බැණ යන අවස්ථාත් තියෙනවා. ඒත් වැඩිදෙනා වැඳගෙන අහගෙන ඉන්නවා. මම එද්දිත් නැගිටලා ගරැ කරනවා. මට බැණ බැණ ගියත් මට කරන්න දෙයක් නෑ. සාධාරණය සහ සත්‍යය වෙනුවෙන් තමා පත්තිනි දේව මෑණියන්ගෙන් මා ලද වරම මම යොදවන්නේ.

සමහර අය කිල්ලකට අහුවෙලා එහෙම ඇවිත් ඉන්නවා නම් ඒ අයව මට පේන්නෙ නෑ. මාසික ශුද්ධිය හැදිලා ඉන්න අය එතන හිටියොත් මම කියනවා මගේ මේ වැඩේ කරන්න දීලා දරැවෝ උඹ එළියට පලයන් කියලා. මළගෙයක එහෙම ගිහින් හෝ වෙනත් කිල්ලක් එක්ක ඇවිත් හිටියොත් මම ඒ අයට හෝදගන්න මතුරපු කහවතුර එකක් දෙනවා. කිල්ල පිටින් කෙනෙක් දේවාලය ඇතුළට ගන්න හොඳ නැහැ. කහවතුරෙන් අත පය හෝදගන්න දීලා එළඟිතෙල් පහනක් පත්තු කරලා ඒ අයට දේවාල භූමියට වෙලා ඉන්න කියනවා. ඒ සමහරු ඇවිත් ඉන්නෙ ඉතා දුර පළාත්වලින්. අර විදිහට පේවෙලා ඉද්දි මම නම ලිපිනය මේ විස්තර කියලා කතා කරනවා.

ඔබේ ඥාතියා ලුසිහාමි ඔබේ ශරීරයට ඇතුළු වෙනවා කියන එක ඔබට දැනෙන විදියක් තියෙනවද?

ඔව්... මම දෙවියන්ට වතාවත් කරලා පේවෙද්දි තමා මගේ ආච්චි අම්මාගේ මව මගේ සිරුරට එන්නේ. මගේ කකුලේ මහපට ඇඟිල්ලේ ඉඳන් පිච්චීගෙන උඩට එනවා. හරියට ඇඟට කරන්ට් එකක් වැදෙද්දි වගේ දැනෙනවා. මට මතක එච්චරයි. ඊට පසු මට සිහිය නැතිවෙනවා. ඒ විඥානය යළි මගේ සිරුරින් බැහැරව ගියාම තමා යළි මට මගේ ප්‍රකෘති සිහිය ලැබෙන්නේ. ප්‍රකෘති සිහිය බැහැරට ගියාම සිරුර මගේ වුණාට ඒ විඥානය ලුසිහාමි කියන මගේ ඥාතියාගේ. ඇය පත්තිනි මෑණියන්ගේ වරම් රැගෙන පැමිණ මගේ සිරුරට ඇතුළු වී ඇගේ බල පෙන්වනවා. ඒ කරන කියන දේවල් මම දන්නේ නෑ.

යළි ප්‍රකෘති සිහිය ලද පසු ඒ පැමිණි අය සමහරු වගේම මගේ ගෙදර අය තමා මට කරපු කියපු දේවල් ගැන කියන්නේ.

සමහරවිට දේවාලයට එන අය සමඟ ඒ අයගේ මැරුණ සමීපතමයන් හොඳ භවයක නොඉපදී යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ ගෙවල ආදී භවයන්වල සැරිසරනවා නම් ඒ අයත් අර අයත් සමඟ එනවා. එතකොට ඒක මට පේනවා. ඒ වගේම මිනීමරුම් සම්බන්ධව අහන්න සමහරු එනවා. මැරුවේ කවුද කියලා දැනගන්න. මම එයාලවත් මගේ ශරීරය ඇතුළට අරගෙන එයාලට කතා කරන්න දෙනවා. දෙවියන් ළඟ ඉන්න හොඳ ඥාතියෙක් දේව බලයක් හරහා එනවා වගේ නෙවෙයි අර වගේ පව්කාර භවයන්වල ඉන්න අය ඇඟට එද්දි. ඒක හරි වෙනස්. අර වගේ දුක් සහිත භවයන්වල ඉපදී ඉන්න අය එද්දි ඇඟට දැනෙන දැවිල්ල ගතිය වැඩියි. මළ යක්ෂ ආත්ම ඇඟට ඇවිත් ගියාට පසුව ඇඟට අමාරුයි. යක්ෂ ප්‍රේත භූත අය එද්දි ඇඟට වේදනාව වැඩියි. සමහරු ඇඟට ඇවිත් අඬ අඬා ඔළුව ගහගන්නවා. ඇඟ හූරා ගන්නවා. මගේ ඇඟේ එහෙම සීරුම් තුවාල ඔළු පැලුම් තියෙන්නෙ ඒ වගේ යක්ෂ ප්‍රේත භූත ආත්ම සිරුරට ආවාම.

මම කියලා තියෙන්නේ මළගිය කෙනා ඇඟට ආවම මුලින්ම අර අයට එයාගේ නම අහන්න කියලා. අපි හිතමුකො මැරුණ ඥාතියාගේ නම සිඟිති ප්‍රියංකර කියලා. එතකොට අර ඥාතීන් අහද්දි මම හරියට ඒ නම කියන්න එපැයි. මම බොරු කියන්නෙවත් බොරු කරන්නෙවත් නෑ. ඒත් මම කියන්නෙ හැමවිටම සත්‍ය පසක් කරගෙන ඉන්පසු විස්තර විමසන්න කියලා.

මෙහෙම මළගිය ආත්ම ආවම ඥාතීන් එක්ක කතා කරනවා. ඒ අයට නම් කියලා කතා කරනවා. බදා ගන්නවා. අඬනවා. උඹ චූටි නේද අහනවා. ඉඩකඩම් ගැන දරුවන්ගේ දරුවන් ගැන විස්තර අහනවා. මම මැරුණේ මෙහෙමයි කියනවා. මැරුණා නෙවෙයි මැරුවා නම් මරපු අයගේ නම් කියනවා. සමහරු ඒ මැරුණ කෙනාගේ යාළුවන් එහෙම එක්ක ඇවිත් මෙතන ඉන්දවනවා. එතකොට යාළුවන්වත් අඳුරා ගන්නවා. අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙනවා. ඉස්සර කරපු කියපු දේවල් මතක් කරනවා. මට පිං දෙන්න කියලා පින් ඉල්ලනවා. මම වෙනුවෙන් දාන දෙන්න කියනවා. සමහරු ඉන්නෙ පිං ගන්න බැරි භවයන්වල. ඒ අයව අපි ශ්‍රී මහා බෝධියට බාර කරනවා. එහෙදි නැවත ඒ මළවුන් ගෙන්වලා නැවත එතනින් එන්න බැරිවෙන්න එතෙන්ට බාර කරනවා. එතකොට ඒ අයට පුළුවන් එතෙන්දි පින් අනුමෝදන් කරගෙන හොඳ භවයක උත්පත්තිය ලබන්න.

සමහර මළගිය ආත්ම ආවම අරක්කු සිගරට් බොන්න ඉල්ලනවා. ජීවත්ව ඉද්දි ආස කරපු හැමදේම ඉල්ලන අය ඉන්නවා.

දේව වරමක් හරහා මගේ සිරුරට එන ලුසිහාමි මගේ ඥාතියා එක්ක තව කීප දෙනෙක් ඉන්නවා. ඒ අය මගේ සිරුරට ඇතුළු වෙන්න ඉඩ හරින මල යක්ෂ ආත්ම මගේ ශරීරයේ හිර කරගෙන ඉන්නේ පනින්න බැරිවෙන්න. එයා මුරකාරයෙක් වගේ අරයව අල්ලගෙන ඉන්නවා. කාලසීමාව ඉවර වුණාම අර මළගිය ආත්ම මගේ ශරීරයෙන් ගියාම එයා ආයෙමත් මගේ ශරීරයට පනිනවා. ලුසිහාමි මගේ ඥාතියා මගේ ශරීරයෙන් යන විදිහ මට මතක නෑ. දැනෙන්නෙත් නෑ. මට සිහි නැතිවෙනවා. එයා සිරුරින් ඉවත් වුණාම මට සිහිය එනවා. එතකොට තමා මම දැනගන්නේ එයා ගිහින් කියලා.

මේ ළඟදි එළදෙනක් මැරිලා වලදාලත් ඉවර වුණාට පසුව අයිතිකාරයා ආවා එළදෙනගේ මරණය ගැන අහන්න. අයිතිකාරයා හිතුවේ එළදෙන මැරුණේ වසදීලා කියලා. ඒත් මගේ බලය ඇත්ත සිද්ධිය කීවා. අවුරුදු 16,17,18 වයස්වල කොල්ලො තුන්දෙනෙක්ගේ නම් කියලා උන් තුන්දෙනා මේ එළදෙනට අතවර කරලා මැරුවේ. කකුල් දෙක දෙපැත්තට ගිහින් බෙල්ල කඩාගෙන වැටීලා තිබුණේ වසදීලා නෙවෙයි අතවර කරලා කියලා. ඊටපසුව මේ එළදෙන ගොඩ අරන් පශු වෛද්‍යවරයකු ලවා මරණ පරීක්ෂණය කළාම ඔප්පු වුණා එළදෙන මියගිහින් තියෙන්නේ අතවරය හේතුවෙන් කියලා...

සංජීවිකා සමරතුංග

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook