Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

බලන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන්ගේ
කුටියේ ලෝකය පාලනය කරන චරිත තුනක්‌

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

නාඩි වාක්‍යවල කියා ඇති පරිදි උන්වහන්සේගේ ආයුෂ සටහන් වී ඇත්තේ අවුරුදු අසූවක්‌ බවත් යෝග භාවනා ක්‍රමය තුළින් තමන් කැමැති කාලයක්‌ ජීවත්විය හැකි බවත් තමන් කැමති මොහොතක මෙම භවයෙන් ඉකුත්විය හැකි බවට නාහිමියන් පෙර දිනෙක සාකච්ඡාවකදී පැවසූ බව මට සිහිපත් විය.

ගී ක්‍රම මඟින් උන්වහන්සේ දැනටමත් අවුරුදු දහ තුනක්‌ ආයුෂ විද ඇත.

උන්වහන්සේ දැන් ජීවත්වන්නේ යෝග සහ භාවනා ක්‍රමවල අනුහසිනි. තමන්ට සිතූ වේලාවක මෙම භවයෙන් ඉකුත්වීමට හැකියාව ඇති බව ඉන් පැහැදිලි විය.

මට ධර්ම භාණ්‌ඩාගාරික මහ රහත් ආනන්ද හිමියන් සිහිපත් විය.

බුදුන් වහන්සේ තුන් වරක්‌ම තමන් වහන්සේ පිරිනිවන් පානා බවට දැන්වුව ද ආනන්ද හිමියන් ඊට ප්‍රතිචාරයක්‌ දැක්‌වා නැත.

ඒ නිසාම බුදුන් වහන්සේ පිරිනිවන් පෑ බව ධර්ම ග්‍රන්ථවල සදහන්ව ඇති සිදුවීම මට සිහිපත් විය.

දැන් මා මුහුණදී සිටින්නේ ද එවන් අවස්‌ථාවකට නොවේ දැයි මට සිතුනි. මම කුමක්‌ කළ යුතුද?

වහාම උන්වහන්සේට දීර්ඝායුෂ විඳින ලෙස ආරාධනා කළ යුතු බවට මගේ සිතට ආ සිතුවිල්ල මම දෙවරක්‌ නොසිතා ක්‍රියාවට නැංවීමි.

මම දෑත් දොහොත් මුදුනේ තබා

"අනේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට සම්පතක්‌, බෞද්ධයන්ට මුදුන් මල්කඩක්‌, ඔබවහන්සේට දීර්ඝායුෂ විඳින්න කියල මම ආරාධනා කරනවා".

මම දණ ගසා වැන්දෙමි.

උන්වහන්සේ සිටි ඉරියව්වෙන්ම සිටි නිසා මම දෙවැනි වරටත්,

"නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ ලෝකයට අවශ්‍ය සංඝ පීතෘන් වහන්න්සේ නමක්‌. මුළු ලෝකයේම බෞද්ධයන් වෙනුවෙන් මම ඔබ වහන්සේට දීර්ඝායුෂ භුක්‌ති විඳින ලෙසට ආරධනා කරනවා" කියා දෙවැනි වරටත් දණ ගසා වැන්දෙමි.

උන්වහන්සේගෙන් ඊට ද ප්‍රතිචාරයක්‌ නොලැබුණි.

තුන්වැනි වරටත් මම දොහොත් මුදුනේ තබාගෙන,

"නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ මුළු විශ්වයටම සම්පතක්‌. ඔබ වහන්සේගේ සේවය මුළු තුන් ලෝකයටම අත්‍යවශ්‍යයි. එම නිසා තවදුරටත් මේ භවයේ රැඳී සිටිමින් සකල ලෝකයාටම සෙත සලසන ලෙස මම නමස්‌කාර පූර්වකව මම ඉල්ලා සිටිනවා නායක හාමුදුරුවනේ"

කියා උන්වහන්සේගේ දෙපා මුල ඊට පිළිතුරක්‌ ලැබෙන තෙක්‌ මම වැදගෙන සිටියෙමි. කොපමණ වේලාවක්‌ මා එසේ සිටියා දැයි මම නොදනිමි.

"මහත්තයා, මහත්තයාගේ ආරාධනාව මම පිළිගන්නවා"

නාහිමියන් පැවැසූ එම වදන ජීවිතයේ මෙතෙක්‌ මා ලද ඉතාමත්ම ප්‍රීති ජනකම වදන විය.

මා නැවතත් උන්වහන්සේගේ දෙපා ස්‌පර්ශ කොට උන්වහන්සේගේ දෙපා මත මගේ හිස තබා වැද නමස්‌කාර කොට කඩිනමින් මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සවස පැවැත්වීමට නියමිතව තිබූ පුවත්පත් සාකච්ඡාව නැවැත්විය යුතුව ඇති නිසාය.

ඒ වන විටත් ප්‍රභාත් මානවසිංහ මහතාත් දයාරත්න රණසිංහ මහතාත් සවස පැවැත්වීමට නියමිත පුවත්පත් සාකච්ඡාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියහ.

සිදුවූ සියල්ල මම ඒ දෙදෙනාට කීවෙමි.

දයාරත්න රණසිංහ මහතා වහා ඉදිරියට විත් මගේ දෑත ගෙන අල්ලාගෙන,

"මෛත්‍රී උඹ නං හැබෑම වාසනාවන්තයෙක්‌. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බෝධි සත්ත්වයෙක්‌.

ඒ වගේ උත්තමයෙකුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න කියල ආරාධනා කරන්න වාසනාව ලැබුණේ මේ ලෝකයේ එකම එක තැනැත්තා, පිංවතා උඹ විතරයි.

ඒ වාසනාව මේ ලෝකේ වෙනත් කිසිම කෙනෙකුට ආයිත් අවස්‌ථාවක්‌ කාටවත් ලැබෙන්නේ නෑ. උඹ නං හැබෑම පිංවතෙක්‌, වාසනාවන්තයෙක්‌ මචං. ඔහු මගේ දෑත සිම්බේය.

ඒ වනතුරුත් මා කරන ලද පුණ්‍ය කර්මය මෙතරම් ප්‍රබල පුණ්‍ය කර්මයක්‌ බව මමවත් දැන නොසිටියෙමි.

"ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ බුදු වුණාම කියයි අහවල් භවයේ මං ඉන්න කොට ප්‍රභාත් මානවසිංහයි, දයාරත්න රණසිංහගේ යාඵවා මෛත්‍රී කියල කෙනෙක්‌ අහවල් සමයේදී මට දීර්ඝායුෂ විඳින්න කියල ආරාධනා කෙරුව කියල. පූර්ව අපර සන්ධි ගලපලා දේශනා කරයි".

මානවසිංහ මහතාගේ එම කතාවට අපි කවුරුත් සිනාසුනෙමු.

ප්‍රභාත් මට එක කාරණයක්‌ දැනුයි මතක්‌ වුණේ අපි මෛත්‍රී එක්‌කල නායක හාමුදුරුවෝ හම්බවෙන්න ගිය වේලාවේ උන්නාන්සේ මෛත්‍රී දිහා අමුතු විදිහකට බැලුවා. මං එතකොට කීවා

"මේ අපේ යාඵවෙක්‌, හොද මහත්තයෙක්‌ කියල". එතකොට නායක හාමුදුරුවෝ කීව කතාව මතක ද උන්නාන්සේ කීවා

"ඔව් මං දන්නවා මුන්නැහේ මගේ ජීවිතේට ලොකු බලපෑමක්‌ කරනවා කියල. එතකොට මෛත්‍රී කීවා එහෙමනං හාමුදුරුවනේ මං නෑවිත් ඉන්නං කියල. එතකොට නායක හාමුදුරුවෝ කීව නෑ නෑ මුන්නැහේට එන්නම වෙනවා කියල.

දැන් තමයි මට මතක්‌ වෙන්නේ එදා නායක හාමුදුරුවෝ කීවේ මේ අවස්‌ථාව නේද කියල.

"දයා නායක හාමුදුරුවන්ට දිබ්බ චක්‌ඛු ඤාණය පහළ වෙලා තිබුණද?

"මටත් හිතෙනවා එහෙම ඇති කියල. මීට පෙරත් මට ඔහොම අවස්‌ථා දෙක තුනක්‌ දැක ගන්න ලැබුණා. ඒත් නායක හාමුදුරුවන්ගෙන් ඕක අහන්ඩ පුළුවනැ.

යෝගියකුගෙන් ඇසිය යුතු ප්‍රශ්නත් තියෙනවා නෑසිය යුතු ප්‍රශ්නත් තියෙනවා. මේ ප්‍රශ්නය වැටෙන්නේ නෑසිය යුතු ගොඩට.

එදින සවස පැවැත්වීමට නියමිතව තිබූ පුවත්පත් සාකච්ඡාව නොපැවැත්වෙන බවට දුරකථන මගින් පුවත්පත් ආයතනවලට ද ගුවන්විදුලියට සහ රූපවාහිණී නාළිකාවලට ද දැන්වීමට දයාරත්න මහතාත්, මානවසිංහ මහතාත්, යුහුසුළුව ක්‍රියා කළහ.

පසු දින මා මුදල් අමාත්‍යාංශයට ගියේ ඊට පෙර සැලසුම් කර තිබූ මුදල් අමාත්‍යාංශයේ වැඩසටහනක පූර්ව කටයුතු සංවිධානය කිරීම සදහාය.

මා දුටු විගස මානවසිංහ මහතා මට කතා කළේය.

"මෛත්‍රී නරකද ගිහිල්ල නායක හාමුදුරුවන් ගැන ටිකක්‌ හොයල බැලුවොත්. ඊයේ නායක හාමුදුරුවන් ගැන විස්‌තරය අහපු වෙලාවේ ඉදල මුළු රෑ පුරාම මම ඒ ගැන කල්පනා කෙරුවා,

මාත් අද එනවා ඒත් අද සෙකට්‌ටි්‍ර මට උදෙන්ම කතා කරල කීව ගිවිසුමක්‌ අත්සන් කරනවා. ඒ විස්‌තර ටික පුළුවන් තරම් ඉක්‌මනට මීඩියාවලට යවන්න කියලා.

ඒක හින්දා මෛත්‍රී ගිහින් නායක හාමුදුරුවන් ගැන පොඩ්ඩක්‌ බලනවද? මට අද ට්‍රාන්ස්‌පෝට්‌ නං දෙන්න විදිහක්‌ නෑ.

මානවසිංහ මහතාගේ ඉල්ලීම අනුව මම බස්‌ රථයකින් බත්තරමුල්ලේ චිත්තවිවේකාරාමයට ගියෙමි.

එහි මැද මිදුලේ හිමි නමක්‌ මැටි පුවරුවක්‌ අව්වේ තබා වේළමින් සිටින අයුරු මම දුටුවෙමි.

එය කසින භාවනාවක්‌ සදහා පාවිච්චි කරනු ලබන පුවරුවක්‌ බව මම තේරුම් ගතිමි.

මම නායක හිමියන් බැහැදැකීමට පැමිණි බව එම ස්‌වාමීන් වහන්සේට පැවැසුවෙමි. එවිට උන්වහන්සේ කියා සිටියේ මා පෙර දිනයේදී ද පැමිණි සිටි බව තමන්වහන්සේ දුටු බවයි.

"මං නායක හාමුදුරුවන්ට කියන්නං, උන්නාන්සේ පැන් පහසු වෙලා කාමරේ වැඩ ඉන්නවා". පණිවුඩය ලැබෙන තුරු මම ශාලාවේ රැඳී සිටියෙමි.

"නායක හාමුදුරුවෝ මහත්තයට එන්න" කීවා.

"එහෙයි", මම නායක හාමුදුරුවන් වැඩ සිටි කාමරයට ගියෙමි.

නාහිමියෝ ඉතා ප්‍රසන්න සිතින් පසුවන අයුරු දුටු මට ඇතිවූයේ කිව නොහැකි තරම් සතුටකි. මම උන්වහන්සේට වැද නමස්‌කාර කළෙමි.

"ඔබ වහන්සේ කවදාවත් නැති සතුටකින් ඉන්නවා දැක්‌කම මට හරි සතුටක්‌ දැනුනා අපේ නායක හාමුදුරුවනේ" මම කීමි.

"මුන්නැහේ අද එනවා කියලා ඊයේ රාත්‍රියේ ආපු ඇත්තෝ කීවා".

මම පුදුමයෙන් බලා සිටියෙමි. නායක හාමුදුරුවන් බැහැ දැක සුවදුක්‌ විමසා එන ලෙස මානවසිංහ මහතා මගෙන් ඉල්ලා සිටියේ අද උදේය.

ඊයේ රාත්‍රියේ ආපු අය අද මා පැමිණෙන බව දැනගත්තේ කෙසේද? මේ ආපු අය කවුද? මට මහත් ප්‍රශ්නයක්‌ විය.

"ඒ කීවේ හාමුදුරුවනේa"?

"අභිධමර්ය වැනි ගැඹුරු ධමර් කරුණු ගැන හොද ධමර් සාකච්ඡාවක්‌ කළාම හිතට හරි සතුටක්‌ දැනෙනවා.

ඊයේ රාත්‍රියේ ආපු ඇත්තන් එක්‌කල මං ගැඹුරු ධමර් සාකච්ඡාවක්‌ පැවැත්තුවා. මුන්නැහේට මං අද බොහෝම සතුටින් ඉන්නවා වගේ පෙනුනේ ඒ නිසා වෙන්න ඇති".

"සමාවෙන්න අපේ හාමුදුරුවනේ මට නං මේ මුකුත්ම තේරෙන්නේ නෑ".

නායක හාමුදුරුවන් වහන්සේ සිනාසී කළ විස්‌තරයයි මේ.

"මහත්තයා ඊයේ රාත්‍රියේ හරි අපූරූ සිද්ධියක්‌ වුණා. මං සාමාන්‍යයෙන් සැතපෙන්න යන්නේ රාත්‍රි නවයට විතර. ඇදට ගියාට මට නින්ද යන්නේ පාන්දර දෙකට විතර. පැය දෙකක්‌ සැතපුනාම මට හොදටෝම ඇති.

නිදිමත එනකල් මම ආනාපානසති භාවනාව නැත්තං මෛත්‍රී භාවනාව හරි වඩනවා. සාමාන්‍යයෙන් මං භාවනාව කරනකොට ඇස්‌ දෙක පියාගෙනයි භාවනා කරන්නේ.

වේලාව කීයද කියල මට නිච්චියක්‌ නෑ. කාමරේ පුරාම ආලෝකයක්‌ ඇති බවක්‌ මට දැනුනා.

මම දෑස සෙමින් ඇරල බැලුවා. සාමාන්‍යයෙන් භාවනා කරන මුල් අවස්‌ථාවලදී මෙහෙම ආලෝකයන් දකිනවා. ඒකට කියන්නේ උද්ගහ නිමිත්ත පහළවුණා කියල.

ඒක භාවනාවේ ප්‍රාථමික අවස්‌ථාවේ ඇතිවන ත්‍යාගයක්‌. ඒවට රැවටුනොත් භාවනාව වෙනත් පැත්තකට යනවා. මම එම අවස්‌ථාව ඉක්‌මවලා බොහෝම කාලයක්‌ වෙනවා. එමනිසා මෙය දෘෂ්ටි මායාවක්‌ වෙන්න බැහැ කියල මට හිතුනා.

මම දුටුවා සෞම්‍ය ආලෝකයක්‌ කාමරය පුරා විහිදිලා තියෙනවා. හරියට හද එළිය වැටුණා වගෙයි.

මම දුටුවා අමුත්තෝ තුන්දෙනෙක්‌ කුටිය තුළ ඉන්නවා. ඒ වෙලාවේ කුටියේ දොර වහලයි තිබුණේ.

ආපු ඇත්තන්ගේ ශරීර ආලෝකයෙන් තමයි කුටිය ආලෝක වෙලා තිබුණේ. දුඹුරු පාටට හුරු ඇඳුම්වලින් සැරසීලා හිටිය ඒ ඇත්තන්ගේ ඇඳුම් සාමාන්‍යයෙන් යෝගීන් අඳින ඇඳුමට සමානයි.

මං දැනගත්තා එක්‌කෝ මේ ඇත්තෝ දෙවිවරු, නැත්තං බ්‍රහ්ම ලෝකෙන් ආපු ඇත්තෝ, නැත්තං පරම විඥානාර්ථවාදීන් විශ්වාස කරන විශ්වය පාලනය කරන මාස්‌ටර්වරු කියල.

පස්‌සේ මට අවබෝධ වුණා ඒ අය විශ්වය පාලනය කරන මාස්‌ටර්වරු කියල. ඒ අය මට නමස්‌කාර කෙරුවා".

(මේ අවස්‌ථාවේ - ටියුස්‌a ඩේ ද රමිපා" (THE THIRD EYE) නම් ග්‍රන්ථයේ ඇති සිද්ධියක්‌ සිහිපත් වෙයි. ලාමාවරුන් වශයෙන් තෝරාගන්නා සිසුන්ට මූලික පුහුණුවීම් සහ අභ්‍යාස කරවීමෙන් පසු ඔවුන් එකිනෙකා වෙන් වෙන් වශයෙන් කුඩා අදුරු පෙට්‌ටවලට දමා වසන බව ද කෑම සහ ආහාර දීමට කුඩා කවුළුවක්‌ පමණක්‌ ඇති බව ද සදහන් වේ.

විභාග අපේක්‌ෂකයා දින දහයක්‌ තුළ එම අදුරු පෙට්‌ටියේ සිට විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයිය යුතුව ඇත්තේ තමන්ගේ ශරීරයෙන් නිකුත් වන (ඛම ප්‍රභාව) ආලෝකය උපයෝගී කරගෙන බව එම පොතෙහි සදහන් වේ.)

පෝල් බ්‍රාන්ටන් නම් වූ ජර්මන් ජාතික දේශ ගවේශකයා විසින් රචනා කොට ඇති (A SEARCH IN SECRET EGYPT) නම් වූ ග්‍රන්ථයක ද තමන් ලැබූ මෙවැනිම අත්දැකීමක්‌ විස්‌තර කොට තිබේ.

පෝල් බ්‍රන්ටන් මහතා ඊජිප්තුවේ මහ පිරමීඩයක්‌ තුළ රැයක්‌ ගත කිරීමට කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් සවස හයෙන් පසු පිරමීඩයන් තුළට ඇතුළු වීමට කිසිවකුටත් අවසර නැත.

මහත් වෙහෙසක්‌ දරා බලධාරීන්ගේ අවසරය ලබාගෙන බ්‍රාන්ට්‌ මහතා රජවරුන්ගේ මමියන් (පැරැණි පාරාවෝ රජවරුන්ගේ මළ මිනී) තැන්පත් කර තිබූ කුටියේ ගල්ලෑල්ලක්‌ මත වාඩිවී රැය ගෙවීමට කටයුතු කර ඇත.

මහා ඝන අදුරේ නිහඬව භාවනා යෝගීව සිටි ඔහුට මැදියම් රැය ළගාවෙත්ම පිරමීඩයන්ට අරක්‌ ගත් භූතයන් විසින් විවිධාකාරයෙන් තමන් බිය ගැන්වීමට කටයුතු කළ ද තමා නොසැලී සිටිමින් එම අවස්‌ථාවන්ට මුහුණ දුන් ආකාරය ද තම කෘතියේ සදහන් කර තිබේ.

පිරමීඩ් භූතයන් ගිය පසු තවත් වැදගත් දෙදෙනකු පිරමීඩය තුළ වූ දොරටුවෙන් ඇතුළු වී තමන් දෙසට පා නඟනු තමන් දුටු බව ද හේ තම ග්‍රන්ථයේ දක්‌වා ඇත.

එම අවස්‌ථාවේ පිරමීඩය තුළ එතෙක්‌ පැවති නොසන්සුන් සහගත පරිසරය පහවී ඉතා සෞම්‍ය පරිසරයක්‌ ඇතිවූ අතර සුදුවතින් සැරසී සිටි මේ දෙදෙනා රාජකීය ඇඳුමින් ද රාජකීය පාවහන් පැළද සිටි බව ද සදහන් කරයි.

ඉපැරැණි රාජාභරණවලින් සැරසී සිටි මහත් තේජාන්විත ස්‌වරූපයකින් යුතු වූ මේ දෙදෙනා අඩි හතකට වඩා උසින් යුතු අය බව ද තම ග්‍රන්ථයේ සදහන් කර ඇත.

ඝන අදුරේ සිටි තමන් මේ අය දුටුවේ ඔවුන්ගේ සිරුරෙන් නික්‌මුණ සෞම්‍ය ආලෝකයෙන් බව ද කතුවරයා සිය ග්‍රන්ථයේ සදහන් කර තිබේ.

පසුව ප්‍රධාන තැනැත්තා තමන් හා කරන ලද සාකච්ඡාවෙන් පසුව බැහැර වූ පසු දෙවැන්නා තමාට විස්‌මිත අත්දැකීම් ලබාගැනීමට මඟ පෙන් වූ ආකාරය පැහැදිලි කර ඇත.

තමා මනෝකායෙන් අහසේ පාවී ගිය අයුරු ද තම සිරුර ගල් තට්‌ටුව මත තිබෙන අයුරු ද එය රිදී හූයකින් සම්බන්ධව තිබූ තිබෙණු තමන් දුටු අන්දමද එම ග්‍රන්ථයේ විස්‌තර කර තිබේ.

තමාට විශ්වය හරහා ගමන් කිරීමේ අවස්‌ථාවක්‌ ලැබුණු අතර පසුව ක්‍රමයෙන් ආපසු තම සිරුරට ඇතුළු වූ අයුරු ද එම ග්‍රන්ථයේ පෝල් බ්‍රාන්ට්‌ මහතා දක්‌වා ඇත.

(මේ අනුව අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියනගේ අසපුවට පැමිණි අමුත්තන්ගේ ඛමා ප්‍රභාවයෙන් ආලෝකමත් වූ අයුරු තහවුරු වෙයි.)

(ආචාර්ය බ්‍රයන් වයිස්‌ (Dr. Brian Weiss) විසින් රචිත (ඔන්ලි ලව් ඉස්‌ රියල්) (Only Love Is Real) නම් ග්‍රන්ථයේ ඇතැම් රෝගීන් මෝහනයට පත් කළ අවස්‌ථාවලදී විශ්ව බලවේග වශයෙන් සිටි මාස්‌ටර්වරුන් විසින් විශ්වය පිළිබද බෝහෝ දේ තමනට කියා දුන් අවස්‌ථා ගැන සදහන් වේ.)

(නායක හාමුදුරුවන් වහන්සේ ඒ අය සමඟ කතා කළේ කුමන භාෂාවෙන් දැයි ඇසීමට තරම් මම සාහසික නොවිමි.)

උන්වහන්සේ අනිවාර්යෙන්ම මනෝමය (ටෙලිපති) ක්‍රමයට සාකච්ඡා කරන්නට ඇතැයි මම විශ්වාස කරමි.

මහ නාහිමියන්ට දෙවියන් දැකීමේ ශක්‌තියක්‌ ඇති බවට මීට පෙර පුවත්පත්වල පළ වී තිබූ සිද්ධියක්‌ මට සිහිපත් වේ.

කතරගම පුදබිමේ ගිනිපාගන දර්ශනය බැලීමට නාහිමියන් අති පූජ්‍ය නාරද හිමියන් සමඟ ගිය අවස්‌ථාවේ ගිනි පෑගීමට ආසන්න වෙත්ම ගුරුවතින් සැරසුනු මනා රූ සපුවකින් යුතු අයෙක්‌ ගිනිගොඩ හරහා ශාන්තව ගමන් කළ අයුරු ද එම සිද්ධිය නාරද හිමියනට පැවැසූ විට තමන් වහන්සේ ද එම දර්ශනය දුටු බවට ද විස්‌තර පුවත්පත්වල පළ වී තිබිණි.

නාහිමියන් සහ නාරද හිමියන් මේ පුවත දේවාලයේ කපු මහතාට දැන්වූ විට කපු මහතා කියා ඇත්තේ සෑම වසරකම ගිනිපාගන අවස්‌ථාවට පළමු මෙම සිදුවීම තමන් දැක ඇති බවත්, තමන් ගිනි පිටියට පා තබන්නේ මෙම අවස්‌ථාව දැකීමෙන් පසුව බවයි.

මීට පෙර ආනන්ද විද්‍යාලයේ නාහිමියන් වැඩ සිටි සමයේ දිනක්‌ භාවනායෝaගීව සිටින අවස්‌ථාවක නාහිමියන්ට 'මාස්‌ටර් කුටුම්' දිස්‌වූ බව ද එතුමා දිස්‌වූ විට මේ 'මාස්‌ටර් කුටුම්' යෑයි උන්වහන්සේගේ සිතට දැනුණ බව ද නාහිමියෝ මීට පෙර කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශය ද මට සිහිපත් විය.

නාහිමියෝ ඉන් පසුව මා පිළිබදව දීර්ඝව කරුණු විමසූ අතර මේ රටේ අනාගතය යුද්ධය නිමා වන කාල සීමාවන් ද ඉන් පසුව රටේ ඇතිවන තත්ත්වයන් පිළිබදව ද කරුණු පැහැදිලි කළ සේක.

එසේම තමන් හෙළි කරන දේ කිසිදු හේතුවක්‌ නිසා හෝ වාණිජ පරමාර්ථයන් සදහා යොදා නොගත යුතු බව ද පැහැදිලි කළ නා හිමියෝ ඇතැම් පුද පූජා පැවැත්විය යුතු ආකාරය ද ඒ සදහා ඉදිකළ යුතු ගොඩනැගිලි පිළිබද විස්‌තර ද පැහැදිලි කළ සේක.

බදුල්ලේ මෛත්‍රී රත්නායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook