Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අදට විජය කුමාරතුංග ඝාතනයවී වසර තිහයි
විජයට මම තාමත් ආදරෙයි
හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරෙයි කියා

විජය මුලින්ම මට ඇස ගැටුනෙ පාණදුරේදි
අපි ඒ කාලේ ඒ ගැන එතරම් දුරට හිතුවෙත් නෑ
- මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා

විජය කුමාරතුංග.. අද හිටියානම් වයස අවුරුදු හැත්තෑදෙකක වැඩිහිටියෙක්‌. ඒත් තරුණ වියේදීම.. වයස අවුරුදු හතළිස්‌ දෙකේදී විජය ඝාතනයට ලක්‌වුණා. කොවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග.. අපට අහිමිවෙලා අදට හරියටම අවුරුදු තිහක්‌.


විජය නළුවෙකු පමණක්‌ නොවේ. ගායකයෙක්‌, දේශපාලනඥයෙක්‌... ඒ හැමටම වඩා සැබෑ මානව හිතවාදියෙක්‌. එක්‌තරා කාලයක අපේ සිනමාව ඉහළටම ඔසොවා තබන්නට සමත්වූ... සිනමාව ස්‌වර්ණමය යුගයට ගෙනයන්නට දායකවූ රංගන ශිල්පියෙක්‌.

විජය අද අප අතර නැත. ඒත් ඒ රුව... සැඟව ගොස්‌ නැත. අදත් අප නෙතු අද්දර විජය රුව නිරන්තරයෙන් පායා දිලෙයි.

විජය කුමාරතුංග ගැන කතා කරන්නට... ඒ අතීතයේ සුන්දරත්වය හාරා අවුස්‌සන්නට අවැසි විය. ඒත් ඒ සඳහා සුදුස්‌සා කවුරුන්ද?

මුළු ලොව මත්තෙහි මගෙයෑයි කිවහැකි
ඔබ පමණයි ඇත්තේ...
ඔබ මා ළඟ නම් ජීවිතයට වෙන
කිසිවක්‌ හිඟ නැත්තේ....

දෙවරක්‌ නොසිතේ. එකම සුදුස්‌සා වෙන කවුරුත් නොව ඇයයි. ඇය හැර විජය ගැන සියලු තතු දන්නේ කවුරුන්ද? එනිසාම අපි ඇය හමුවූයෙමු. ඕ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාය.

සඟවන්නේ නැතිව හැම දෙයක්‌ම කතා කරමු....

මම ඇයට යෝජනා කළෙමි. හැම දෙයක්‌ම නොවේ. පුලුවන් දේ කතා කරමු..."

ඈ සිනාසෙමින් කීවාය. මාගේ පළමු පැනය වූයේ විජය මුලින්ම ඇස ගැටුණු දිනය ගැනය.

පානදුරේදී... මේ දැස කුමටද ෂූටිං වලට ආපු පළමු දවසේ තමයි මම විජයව දැක්‌කේ. ඒත් ඒ වෙද්දී විජය හන්තානේ කතාව රඟපාලා තිබුණේ. මම "හන්තානේ කතාව" බලලා තිබුණේ. ඒ කාලේ මගේ පෙම්වතාට රඟපාමින් හිටියේ ගාමිණී, ටෝනි, ජෝ අබේවික්‍රම වගේ අය. හන්තානේ කතාවේ විජයගේ රඟපෑම් ගැන මම මහා ලොකුවට හිතුවේ නෑ. පෙම්වතෙකු ලෙස රඟපාන්න පුලුවන් හොඳ නළුවෙක්‌ කියලා හිතුනා. අනෙක ඉතින් මමත් ආපු අලුතනේ...

විජයගේ පෙනුමට මුලදීම ආකර්ශනය වුනාද.. මගේ ඊළඟ පැනය...

නෑ.... ඇත්තටම මුල් කාලේ පෙනුමට වඩා පස්‌සෙ පස්‌සෙ තමයි විජය ලස්‌සන වුණේ. ලස්‌සනට අඳින්න පටන්ගත්තා. විජයගේ පෙනුමේ විශේෂත්වයක්‌ දැක්‌කේ පස්‌සේ...

විජය - මාලනී... එකල කැමරාව ඉදිරියේ අතිශයින්ම ප්‍රේමණීය යුවළ බවට පත්වූහ. ඒ පිළිබඳ විජය තුළ තිබූ හැඟීම කවරක්‌ විය හැකිද?

මම දන්නෙ නෑ ඒ ගැන. අපි ඒ කාලේ ඒ ගැන එතරම් දුරට හිතුවෙත් නෑ... ඇත්තටම විජය ඒ ගැන මා එක්‌ක කතා කරලාත් නෑ....

විජය මාලිනී තිරයේ පමණක්‌ නොවේ සැබෑ ජීවිතයේත් පෙම්වතුන් බව එකල වසන් කරන්න බැරි රහසක්‌ වුණා.. මා මාලිනීගෙන් අසද්දී ඇගේ දෙනෙක්‌ කාන්තිමත් වුණා...

ඇත්තටම ඒ කාලේ විජයත් මමත් හුඟාක්‌ තරුණයි.. අපි දෙන්නා හුඟාක්‌ දේ කතාකරනවා. දන්නෙම නැතිව දෙන්නම ලෙංගතු වුණා... එකිනෙකාට සමීප වුණා. මේක සිද්ධ වුනේ ඉබේමයි..."

ඔබ හා විජය විවාහ වීම රසිකයන්ගේ ආදරණීය පැතුමක්‌ වුණා. ඒත් අවසන් මොහොතේ එය සිදුවුණේ නෑ..

ඔව්.. ඇත්තටම හුඟ දෙනෙක්‌ අපි දෙන්නට සුබ පැතුවා.. මගේ නංගිලා පවා හිතුවා මම විජයව කසාද බඳීවි කියලා. අපි දෙන්නත් හිතාගෙන හිටියා. ඒත් මිනිස්‌සුන්ගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් සිද්ධ වෙනවනේ. අපිටත් එහෙමයි. හැලහැප්පීම්වලට අපි දෙන්නත් ගොදුරුවුණා. තරුණ කාලෙනේ.. සිතිවිලි විවිධයි. සමහර වෙලාවකදී විජයගේ සමහර දේවල් වලට මම අකමැති වෙන්න ඇති. නොගැලපීම් තිබුණා. මම බලාපොරොත්තුවුණාට වඩා ඔහු වෙනස්‌ වුණා. ප්‍රශ්න ඇතිවෙනවනේ.. පෙර තිබූ ඇගේ කාන්තිමත් දෙනෙත් තුළින් ශෝකී බවක්‌ දිස්‌වුණා.

නෙතින් නෙත මේ ගැටී ගොලුවේ

පැතුම් සංවේගයෙන් මුසුවේ..

දිවා රැය මේ ගෙවී යන්නේ

දිවා රැය මේ ගෙවී යන්නේ

නිදා නොනිදා පහන් වෙන්නේ...

කලක්‌ තිස්‌සේ හිතක්‌ පතුලේ

මලක්‌ පිපිලා ගිලී වැටුනේ....

"විජය කුමාරතුංග කියන්නේ ඉක්‌මනින් කිපෙන සුළු කෙනෙක්‌ නෙවෙයි නේද..." මා ඇයගේ අවධානය වෙනතකට යොමුකළේ ඈ වඩාත් හැඟුම්බර වූ නිසා...

නැහැ... නැහැ... විජයට කේන්ති යනවා අඩුයි. එයා නිතරම හිටියේ සුහදශීලීව. ප්‍රේක්‍ෂකයන් එක්‌කත් හරිම ලෙංගතුයි. ඒක එයා මවා ගත්තු දෙයක්‌ නොවේ. විජය හරිම අව්‍යාජයි.

"තරහකාරයෝ හිටියද..." මම අතුරු ප්‍රශ්නයක්‌ ඇහුවා.

ඇත්තටම මම වුනත් අද හිතන්නේ නෑනේ අහවලා මා එක්‌ක තරහයි කියලා. ඒ වාගේ තමයි විජයත්. විශ්වාස කළේ නෑ. තරහ කාරයෝ ඉන්නවා කියලා. හැම කෙනෙක්‌ම හිතවත් කියලා තමයි එයා හිතුවේ. විවිධ හේතු නිසා විජයට තරහකාරයෝ ඉන්න ඇති. ඒත් මරා දමන්න තරම් තරහකාරයෙක්‌ විජයහැර වෙන කිසිම නළුවෙකුට ඉන්න නැතිව ඇති. එහෙම තරහ කාරයෙක්‌ ඉන්නවා කියලා විජය නොවේ මමවත් තුන් හිතකින්වත් හිතුවේ නෑ....

විජය දේශපාලනයට එන්න කලින් ඔබ සමඟ ඒ ගැන කතා කළාදැයි. මා මාලිනියගෙන් ප්‍රශ්න කළා. ඇය දුන් පිළිතුරයි මේ.

විජය හරිම ආසයි රඟපාන්න. චරිතයක්‌ ලැබුණාම ඒ ගැන හරි ආශාවෙන් කතා කරනවා. චරිතයක්‌ රඟපාද්දී ඒ පිළිබඳ බොහෝ කැපකිරීම් කළා. ඒත් ඒ සියල්ලම වෙනස්‌වුණා දේශපාලනය නිසා. විජයගේ උනන්දුව වැඩිපුර දේශපාලනයට යෙදෙන්න පටන්ගත්තා. කලාවට දෙවැනි තැනයි දුන්නේ. විජය ඒ දවස්‌වල ඉඳලාම දේශපාලනයට කැමැති බව මම දන්නවා. ඒ ගැන මා එක්‌ක කතා කරනවා. ඒ වුනාට විජය දේශපාලනය කරන එක ගැන මගේ හිතේ පොඩ්ඩක්‌වත් කැමැත්තක්‌ තිබුණේ නෑ. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට දේශපාලනය සුදුසු නෑ කියලා තමයි ඒ කාලේ මම හිතුවේ. මම සමහර දවස්‌වල විජයට දොස්‌ කියනවා දේශපාලනය කිරීම ගැන. එවිට අප අතර තර්ක විතර්ක පවා ඇතිවෙනවා. අපේ රටේ ඒ තරම් හොඳ දේශපාලන තත්ත්වයක්‌ නැති බව මට ඉවෙන් වගේ තේරුණා. ඒ නිසා තමයි විජය දේශපාලනයට යනවාට මගේ හිතේ තදබල විරෝධයක්‌ තිබුණේ. මට මතකයි ඒ කාලේ මර්වින් සිල්වා මහත්මයා ඇවිත් විජයට කතා කරනවා රැස්‌වීම් වලට යන්න. ඒ වෙලාවට විජය මා දිහා බලනවා. මම විජයට ඔරවනවා තරහෙන්. ඒ වෙලාවට මම ඔහු එක්‌ක කතා කරන්න ගියෙත් නෑ.

"එතකොට විජය ඔබට බලපෑම් කළේ නැද්ද රැස්‌වීම් වලට යන්න එන්න කියලා..."

"අනේ නෑ... විජය කිසිම දවසක මට ඒ වගේ බලපෑම් කළේ නෑ. මම විරුද්ධයි කියලා එයා දන්නවනේ..."

"විජය ඒ දවස්‌වල චිත්‍රපට වලින් සල්ලි හම්බ කරන්න ඇති...?"

"මොන පිස්‌සුද.... සල්ලි හම්බ කරන්න සල්ලි දෙන්න එපායෑ. නිෂ්පාදකවරු විජයට ගෙවීම් කළේ හරිම අඩුවෙන්. ඒත් ඒ තත්ත්වය ගාමිණී අයියා (ගාමිණී ෙµdන්සේකා) වෙනස්‌ කළා. නළු නිළියන්ට වෘත්තීය ගෞරවය ඇති කළේ ගාමිණී අයියා. කවුරු හරි නිෂ්පාදකවරයෙක්‌ ඇවිත් විජයට දුක කිව්වොත්.. මට ගෙවන්න අමාරුයි... දැන්ම දෙන්න බෑ.. පස්‌සේ දෙන්නම්.." කියලා විඡේ හා... කමක්‌ නෑ කියනවා. ඒ වෙලාවට මම විජයට දොස්‌ කියනවා එහෙම කරන්න එපා මේක වෘත්තියක්‌... ඔයා කරන වැඩෙන් අනෙක්‌ අයටත් ප්‍රශ්න ඇතිවෙනවනේ කියලා. ඒත් හුඟාක්‌ නිෂ්පාදකවරු විජයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. නිෂ්පාදකවරයා චිත්‍රපටයෙන් හොඳම ලාභ ලබනවා. ඒත් ඉන් පස්‌සෙවත් විජයට ගෙවන්නේ නෑ. විජය මැරුණු වෙලාවේවත් ඔය සමහර නිෂ්පාදකවරු විජයට සැලකිල්ලක්‌ දැක්‌වූයේ නෑ. බොරුවට හඬා වැටුණා විජය වෙනුවෙන්. මම ඒවා හොඳටම දන්නවා.

ඔබ සහ විජය අමනාප වූ අවස්‌ථා තිබුණද...

අනවශ්‍ය ප්‍රශ්නයක්‌ වුනත් මම ඒ ප්‍රශ්නය ඇගෙන් ඇසුවා.

හුඟක්‌ අවස්‌ථාවල අපි දුරස්‌ වුණා. අපිට ගැලපෙන්නෙ නැති දේවල් වුණ නිසා මම විජයගෙන් දුරස්‌ වුණා. මම අකමැතිදේ සිද්ධ වුණා.

ඉන් පස්‌සේ එකට රඟපෑවෙත් නෑ නේද...?

නෑ... අමනාප වුණත් අපි දෙන්න එකට රඟපෑවා. රඟපෑම අපේ වෘත්තියනේ. කැමරාව ඉදිරියේ අපි දෙබස්‌ කිව්වා. ඉන් එහාට ඇසුරක්‌ තිබුණේ නෑ. මම අයින් වුනේ විජයගේ සමහර ක්‍රියාකලාපයන්ට අකමැති නිසානේ. මම කිසිම රංගන ශිල්පියකු එක්‌ක අමනාප වුනත් රඟනොපා හිටියේ නෑ. විජය එක්‌ක රඟපාන්න කියලා නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂවරු ආරාධනා කළාම මම ප්‍රතික්‍ෂේප කරලා නෑ..

විජය සහ ඔබගේ විවාහය සිද්ධ වුණා නම්.. ඔහු අකල් මරණයකට ගොදුරු නොවෙන්නත් තිබුණා... මා ඒ ප්‍රශ්නය ඇසූ විට ඇය තරමක්‌ නිහඬව කල්පනා කළාය.

ඔව්... ඔය ප්‍රශ්නය හුඟදෙනෙක්‌ ඒ දවස්‌වල මගෙන් ඇහුවා. හුඟදෙනෙක්‌ ඔය කතාව කියලා මට දොස්‌ කියන්නත් පටන් ගත්තා. දැන් ඔයත් අහන්නේ ඒ ප්‍රශ්නයමයි. සමහර රසිකයෝ මගේ මූණටම ඔය කතාව කිව්වා. සමහරු මට බැනලා ලියුම් පවා එව්වා ඇයි විජයව කසාද බැන්දේ නැත්තේ කියලා. ඒත් අපි දෙන්නා අතර සිද්ධවුණ පෞද්ගලික සිද්ධීන් මට කවදාවත් එළිපිට කතා කරන්න බෑනේ. විජය අද ජීවතුන් අතර නෑ. ඒ නිසා මම ඒ කාලේත් ඔය ගැන මාධ්‍යයට කියන්න කැමැති වුණේ නෑ. අනෙක විජයට ආදරය කරන දස දහස්‌ ගණනක්‌ අදත් ඉන්නවා. විජය මට නොගැළපුනාට.. ඒ දසදහස්‌ ගණනක විජයගේ රසිකයන්ට ඒක අදාළ වෙන්නේ නෑනේ. මම යමක්‌ කිව්වොත් ඒක පැහැදිලි කරන්න විජයට අවස්‌ථාවකුත් නෑ. ඒ ඔහු අද නැති නිසා. එනිසා මම ඒ ගැන කතා කරන එක විජයට කරන අසාධාරණයක්‌. මම ගැහැණියක්‌. ගැහැණියක්‌ ලෙස මගේ පාර්ශවයේ තිබෙන කරුණු මට පොදුයි. ඒ නිසා මම ඒ ගැන කතා කරන එක හොඳ නෑ කියලා තමයි අදත් හිතන්නේ. විජය මනුෂ්‍යයෙක්‌ විදිහට සැබෑ මානව හිතවාදියෙක්‌. මාලිනී ෙµdන්සේකා කියන්නේ තනි කෙනෙක්‌නේ. මගේ ජීවිතයේ සිතිවිලි මම තනිව විඳදරා ගන්නවා.

ඒවා ඒ විදිහටම තිබුණාවේ. ඒත් මා කාලයක්‌ ආදරය කළ කෙනෙක්‌, මුළු ලෝකයම ප්‍රියකරන කෙනෙක්‌ විජය. ජීවිතයේ එක එක කාලවලදී විවිධ දේ සිදුවෙනවා. විජය හිටියා නම් අදත් අපිට ඉඳහිට හරි රණ්‌ඩු කරන්න තිබුණා. ඒත් අද විජය නෑ.. ඇගේ දෙනෙත් කඳුළින් තෙත්වී ඇත. ශෝකී සුසුමක්‌ වා තලයට මුසුකළාය. දැන් මේ අවස්‌ථාවේදීම ඇසිය යුතු පැනය. අසනවාද නැද්ද... දෙවරක්‌ සිතු මා ප්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

විජය ඝාතනය වූ පුවත අසද්දී ඔබට මොනවාද හිතුනේ..

අයියෝ... මට දැනුනා එක පාරටම හැම දෙයක්‌ම හැම ක්‍රියාවලියක්‌ම නතර වුණා වගේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න හුඟවෙලාවක්‌ ගියා. විජය නෑ කියා කියන සිතිවිල්ල ඇතිවෙන්න කාලයක්‌ ගතවුණා.

විජය ඉන්න බව තමයි හැම තිස්‌සෙම දැනුනේ. ඒත් එකපාරටම පරමාණු බෝම්බයක්‌ අත හැරියාවගේ හැම දෙයක්‌ම සුණුවිසුණු වෙලා ගියා... ඇයගේ හඬ හැඬුම්බරය. ඒ නිසාම යළි ඇගේ අවධානය වෙනතකට හැරවූයෙමි.

විජය විලාසිතා කරන්න දැඩි ඇල්මක්‌ දැක්‌වූවා නේද.."

අපොයි ඔව්.. එයා හරි ලස්‌සනට ස්‌ටයිල් කළා. ඒ කාලේ බටහිර සිනමාවේ තරුණයන් කළ ස්‌ටයිල්, ඇඳපු බෙල් බොටම්, බෙල්ට්‌, සපත්තු, ෂර්ට්‌ මට මතකයි විජය ලේස්‌ ෂර්ට්‌ එකකට හරියට ආසා කළා. තියෙන හොඳම පර්µsයුම් එක තමයි පාවිච්චි කළේ. ඇඳුම් පැළඳුම් ගැන හරි සැලකිල්ලක්‌ දැක්‌වූවා.

සතර දිගන්තේ සොඳුරු වසන්තේ

ඔය මුහුනෙහි දකිමී

ඇසිපිය නොහෙලා දෙනෙතෙහි සතපා

ඔය රුව මම රකිමී...

විජය නැතිවෙලා අදට අවුරුදු තිහක්‌.. ඔබ තවමත් විජයට ආදරෙයිද... මා ඒ පැනය අසමින් මාලිනිය සමඟ කළ මේ සංවාදය අවසන් කළා...

ඔව්... ඉතින් ඇත්තටම... (ඇය සිනාසේ... ඒ සිනාවේ දුක්‌බර ගතියක්‌ද දිස්‌වේ.) එහෙම නෑ කීවොත් ඒක බොරුවක්‌. විජය නැතිවුණේ ජීවිතයේ හොඳම කාලෙදී. ඔහු තරුණ වියේදී තමයි නැතිවුණේ. වියපත්වූ විජය කුමාරතුංග කෙනෙක්‌ව කිසිම කෙනෙක්‌ දැකලා නෑනේ. තරුණ විජය තමයි හැම කෙනාගෙම හිත්වල ඉන්නේ. විජයට හැමෝම ආදරය කරනවා. විජය මගේ ජීවිතයේ විශේෂ පුද්ගලයෙක්‌. මම තවමත් විජයට ආදරෙයි......

අජිත් අලහකෝන්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook