Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ශ්‍රී ලාංකේය කාන්තා බොක්සිං වළල්ල 
සින්න කරගත් පළමු කාන්තාව අනුෂා

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය ඉහළට ඔසවපු වාර ගණන බැලුවොත් එසේ වැඩිම වාර ගණනක් සිංහ කොඩිය එසැවුණේ අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසා කීවොත් නිවැරැදියි. ඒ නිසා ජාති, ආගම් හා කුලභේද නැතිව සැමටම එකට එකතු වෙලා ගොඩ වෙන්නට තිබෙන එකම නවාතැන ක්‍රීඩාවය කියන සංකල්පය සලකා බැලුවොත් ක්‍රීඩාව රටට ආභරණයක් වී ඇති අවස්ථා බොහෝය. ඒ අනුව යමින් ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වාර්තා අතරට තවත් නව පිටු කිහිපයක් එකතු කරන්නට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණේ මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දක්වන ලද දස්කම් නිසාය.

එනම් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවට ගිය බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විටත් පදක්කම් 6ක් දිනා ගනිමින් සිංහ කොඩිය ලෙළදෙවන්නට දායක වී ඇත. එහෙත් ඒ අතරින් බොක්සිං ක්‍රීඩිකා අනුෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු මෙවරද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සිංහ කොඩිය ඉහළට එසැවූයේ පදක්කමක් ගත් බවට කළ සටහනට පමණක් සීමා වෙලා නෙවෙයි. එම ජයග්‍රහණය මඟින් අනුෂා කොඩිතුවක්කු තැබූ වාර්තාව කිසි දිනක ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකට තැබීමට හෝ බිඳීමට නොහැකිය. හේතුව ඇය මෙවර ලබාගත් ජයග්‍රහණයත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කමක් ලබාගත් පළමු ශ්‍රී ලංකා කාන්තාව ලෙස අනුෂා කොඩිතුවක්කු යන නම ඉතිහාසයට එක්වන නිසාය. තවද වසර 68කට පසුව ශ්‍රී ලංකාව කියන නාමය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ බොක්සිං ක්‍රීඩාවේ පදක්කම් අතර ලියැවෙන පළමු අවස්ථාව මෙය බවට පත්කරන්නටත් අනුෂා සමත් වූවාය.

ඒ අනුව බැලුවහොත් අනුෂා කොඩිතුවක්කු බොක්සිං ක්‍රීඩාවෙන් අද ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ආවේ 1950 වසරේදී ඇලෙක්ස් ඔබේසේකර විසින් කරන ලද එවන් දස්කමකට පසුවයි. එහෙත් අනුෂා මෙවර ගන්නා ලද ලෝකඩ පදක්කම රිදී හෝ රන් පදක්කමක් දක්වා වෙනස් කරගන්නට ගිය ගමනට හරස් වුණේ මීට අවුරුදු දෙකකට කලින් පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම ගන්නට ගිය අනුෂාට බාධා කළ ඉන්දියාවේ මැක් මේරි කොම් නම් ක්‍රීඩිකාවමයි. පසුගිය බදාදා (11දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.32ට ගෝල්ඩ් කෝස්ට් බොක්සිං වළල්ලට ගොඩවූ අනුෂා හා මේරිගේ සටන දෙදෙනාටම වැදගත් වූයේ එම සටනින් ජයගන්නා ක්‍රීඩිකාවට නියත වශයෙන්ම රිදී පදක්කම හිමිවන නිසයි.

නමුත් කරට කර ප්‍රබල සටනක් දිය හැකිව තිබූ එම තරගයෙන් තුන්වැනි වටය නිමාවත් සමඟ ජයගත් මේරි කොම් අනුෂාට ලෝකඩ පදක්කමින් එහා යන්නට ඉඩ ලබා දුන්නේ නැත.

39 වියෙහි පසුවන අනුෂා කොඩිතුවක්කු සමඟ තීරණාත්මක සටනෙහි යෙදුණු මේරි කොම් කියන්නෙ කවුද? ඇය පස්වරක්ම ලෝක ශූරතාව දිනූ ඒ වගේම පස් වරක්ම ආසියානු බොක්සිං ශූරතාව දිනූ ක්‍රීඩිකාවක් පමණක් නෙවෙයි 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමකටද හිමිකම් කියන ඉන්දියානු බොක්සිං තාරකාවියක්. එපමණක්ද නොවෙයි ඇයගේ ජීවිත කතාව අලළා බොලිවුඩ් චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර තිබීමෙන්ම ඇය කොතරම් ජනප්‍රිය ක්‍රීඩිකාවක්ද යන්න තේරුම් ගන්න පුළුවන්. අනුෂා සමඟ මේරි මෙවර තරග වැදුණේ කිලෝග්‍රෑම් 45-48 බර පන්තියෙන්.

එහෙත් මේරි කොම්ට මෙන් සිනමා කතාන්දරයක් ගොඩනඟන්නට තරම් කාරණා අනුෂා සතුව නැතත් අනුෂා සතුව ඇති ධෛර්යවන්ත බව මුසුවූ බොක්සිං ක්‍රීඩා ජීවිතයද එතරම් කෙටි එකක් නෙවෙයි. "වැටුණු පසුව යළිත් නැඟිට ඉදිරියට යා යුත්තේ කෙසේද?" යන ක්‍රීඩාවෙන් ඉගෙන ගත යුතු පාඩම හරි හැටි ඉගෙනගත් කෙනකු ලෙස අනුෂා හැඳින්විය හැකිය. මීට වසර 4කට පෙර ග්ලාස්ගොව්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යෑමට සිටි අනුෂාට ඊට සහභාගි වීමට නොහැකි විය. ඊට හේතුව ඒ සඳහා යෑමට දින කිහිපයකට පෙර ඇය ගමන් කළ වාහනය අනතුරකට ලක්වීමය. එම අනතුරෙන් දණහිස දරුණු ලෙස ආබාධයකට ලක්වූ ඇයට එම ක්‍රීඩා උළෙල අහිමි වූයේ ශ්‍රී ලංකාවට පදක්කමක් ස¼දහා තිබූ බලාපොරොත්තු සුන් කරමිනි. "මට එදා පදක්කමක් ගන්න හැකියාව තිබුණු බව මම හොඳින්ම දැනගෙන සිටියා. එහෙත් ඒ අවාසනාවන්ත සිදුවීම නිසා මට තවත් වසර 4ක් පදක්කමක් වෙනුවෙන් බලා සිටින්නට සිදු වුණා." යනුවෙන් අනුෂා තමන්ට අහිමි වූ කාලය ගැන කනගාටුව ප්‍රකාශ කර තිබුණේ මෙවර ක්‍රීඩා උළෙල ආවරණය කිරීම සඳහා ගිය අප සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනයේ මාධ්‍යවේදී අංජන කළුආරච්චි සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

2014දී එවන් අනතුරකට පාත්‍ර වූ අනුෂා බාධක මැදින් යළිත් නැඟිට සුපුරුදු පරිදි බොක්සිං වළල්ලට පිවිසියද වසර දෙකක් ගතවූ තැන යළිත් ඇයට ආබාධයක් උරුම වුණේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් වෙනුවෙන් කළ සටන ජය ගන්නට ඉන්දියාවේ මේරී කොම්ට තිබූ වුවමනාව මත අනුෂාට එරෙහිව නොහොබිනා ක්‍රියාවක යෙදීම හේතුවෙනි. ඒ නිසා රිදී පදක්කමෙන් සෑහීමකට පත්වන්නට සිදුවූ අනුෂා අවසානයේදී ගෙදර පැමිණියේ රෝද පුටුවක ආධාරයෙනි. එතැන් පටන් යළි නැඟී සිටි අනුෂාට මෙවරත් මේරී හමුවුණේ තීරණාත්මක මොහොතේදීය.

මේ දෙදෙනා අතර බදාදා (11දා) පැවැති තරගය කෙරෙහි කාගේත් අවධානය යොමු වුණේ මීට අවුරුදු 2කට පෙර පැවැති එම සටනේදී මේරි විසින් එල්ල කරන ලද නීති විරෝධී පා පහරක් නිසා අනුෂාගේ දකුණු පාදය ආබාධයට ලක්වී අනුෂා ඇදවැටීමෙන් තාක්ෂණික කාරණා මත එම තරගයේ ජය මේරිට ලබාදුන් නිසාය. කෙසේ වෙතත් මීට වසර 2කට පෙර රෝද පුටුවෙන් ගෙදර ගිය අනුෂා යළිත් නැඟිට පැමිණි පළමු ගමනේදීම මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු තරගයේදීම කේමන් අයිලන්ඩ්හි බ්‍රැන්ඩ් බාර්න්ස් පළමු වටයේදීම බිම දමන්නට සමත් වුණේ ලෝකඩ පදක්කමකට හිමිකම ලියා ගනිමිනි.

එසේ පළමු පියවර ලෙස ලෝකඩ පදක්කම රැකගත් මේ දිරිය කාන්තාව අංජන සමඟ කර තිබුණේ මෙවන් කතාවකි.
"මීට අවුරුදු දෙකකට කලින් මම දකුණු ආසියානු රන් පදක්කම සඳහා තරගයට ඇය (මේරි) සමඟ සටන් කරද්දී මම තුවාල ලැබුවා. මම හිතන්නේ ඇය හිතාමතාම මට පයින් පහර දුන්නා. එහෙත් මම නැවත එන්න අධිෂ්ඨානයෙන් කටයුතු කළා. එහෙත් ඇය සමඟ සටන් කරන එක එතරම් පහසු නැහැ. ඇය වසර කිහිපයක්ම මේ බර පන්තියෙන් ලෝක බොක්සිං ශූරිය වෙලා ඉන්න කෙනෙක්. මම තවමත් ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. එහෙත් ඉදිරියට යන්න ඕන කියන ධෛර්යවන්ත බව හා උත්සාහය මට තිබෙනවා. ඒ නිසා අවසන් පූර්ව තරගයේදී මගේ උපරිමයෙන් සටන් කරනවා."

කුලියාපිටිය හමන්ගොල්ල ජාතික පාසලෙන් ඉගෙනුම ලැබූ අනුෂා තවදුරටත් අදහස් දක්වමින්, "රැකියාව සඳහා මාස් හෝල්ඩිංස් ආයතනයට සම්බන්ධ වූ පසුව මගේ ක්‍රීඩා ජීවිතයේ බොහෝ දේ වෙනස් වුණා. ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ වින්-ත්‍රී ක්‍රීඩිකාව ලෙස සිටි මට බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස වෙනස් වෙන්නට සිදු වුණා. එහෙම කළේ මේ රටේ බොක්සිං ක්‍රීඩාව නව ආරකට ගෙන ඔසවා තැබූ ඩයන් ගෝමස් මහතාගේ ආරාධනාවක් අනුවයි." යනුවෙන් පැවැසුවාය.

කෙසේ වෙතත් 2006 වසරේදී ලයිට් ෆ්ලයි වේට් (කිලෝග්‍රෑම් 48) බර පන්තියෙන් ආසියානු ශූරතාවලියට සහභාගි වූ අනුෂා ශ්‍රී ලංකාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස ස්ථාවර වූවාය. එහෙත් ඊළඟට පැවැති 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් පිළිබඳ දැඩි බලාපොරොත්තුවක සිටි ඇය ඒ සඳහා සහභාගි වීමට පවා නොහැකි තත්ත්වයකට අවාසනාවන්ත වූවාය. නමුත් 2012 වසරේදී ටියුනීසියාවේ පැවැති ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 48ට අඩු ෆ්ලයි වේට් බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට අනුෂා සමත් වූවාය.

රග්බි ක්‍රීඩාවේ තිබූ ජවය බොක්සිං ක්‍රීඩාවට යොදා ගනිමින් රටට කීර්තියක් අරගෙන දීල රටේ කොඩිය ඉහළට තබන්න කොඩිතුවක්කු කොතරම් උත්සාහයක් ගත්තද කියන දේ කෙළවර වුණේ පසුගිය බදාදා (11දා) තරගයත් සමඟයි. එම තරගයෙන් ඉන්දියාවේ මැක් මේරි කොම් ඉදිරියේ පරාජය ලබන්නට ශ්‍රී ලංකාවේ අනුෂා කොඩිතුවක්කුට සිදුවුවත් වසර 68ක ශ්‍රී ලාංකේය බොක්සිං ඉතිහාසය වෙනස් කළ ඇය මේරි කොම් සමඟ තරගයෙන් පසුව අදහස් දක්වමින්.

"මම යථාර්ථය පිළිගන්න ඕන. මම ඇත්තටම ඇය හමුවේ මුහුණ දුන් 2016 සිදුවීම නිසා තරමක් චකිතයකින් ක්‍රීඩා කළා. අඩු තරමින් මට අද ඇය හා සමීපව ගොසින් සටන් කිරීමට පවා නොහැකි වුණා. ඇය වමත් බොක්සිං ක්‍රීඩිකාවක්. ලංකාවේදී පුහුණුවීම්වලට පවා එවැනි ක්‍රීඩිකාවන් හරි අඩුයි. කොහොම වුණත් මෙවන් ක්‍රීඩා උළෙලකින් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලංකා බොක්සිං කාන්තාව වීමට ලැබීම ගැන ඉතාමත් සතුටට පත්වෙනවා". යනුවෙන් පැවැසුවාය.

කෙසේ වෙතත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තිවංක රණසිංහ හා ඉෂාන් බණ්ඩාර යන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනාද පදක්කම් දිනා ගනිමින් වසර 68ක මෙම ක්‍රීඩා උළෙල ඉතිහාසය වෙනස් කිරීමට සමත් වී ඇත. තවද මේ වනවිට පදක්කම් 6ක් ලංකාවට ලබාදෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනාගත් අවස්ථාව සටහන් කරන්නට ශ්‍රී ලංකාව මෙවර සමත් වූයේ බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් (හංසනී ගෝමස් - ලෝකඩ) මෙන්ම ඉන්දික දිසානායක (ලෝකඩ), චතුරංග ලක්මාල් (ලෝකඩ) යන ක්‍රීඩකයන් දෙදෙනාද පදක්කම් දිනා දුන් බැවිනි. තවද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චින්තන ගීතාල් විදානගේට (2006 වසරේදී රන් පදක්කම දිනාගත්) 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවුණද ඔහු රන් පදක්කමක් දිනාගනිමින් එදා ආරම්භ කළ ගමන ශ්‍රී ලාංකේය බර ඉසිලීමේ ක්‍රීඩාවට ඉමහත් පිටිවහලක් වී ඇත.

සිරිනාම රාජපක්ෂ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook