Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තු එලෙස මියගිය පසු දින කිහිපයකින් සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයේදී ඔහුගේ බිරිය සාරාද සියදිවිනසාගත් බව කියැවිණි. මහේන්ද්‍රන් පුලස්තිනී නමින් උපන් සාරා මුලින් දෙමළ ජාතික කාන්තාවකි. ඇය හින්දු ආගමින් ඉස්ලාම් ආගමට හරවාගෙන මේ ආකාරයට මරාගෙන මැරෙන්නියක බවට පත්කරවූ බවටත් එය සංවිධානාත්මකව සිදුවූවක් බවටත් දැන් හෙළිදරව්වක් තිබේ.

සයින්දමරුදු ප්‍රහාරයේදී මරාගෙන මැරුණ ත්‍රස්ත බිරියන් අතර සාරා නොසිටි බව සාරා මියගිය පුවත අසා මළ සිරුරු බලන්නට පැමිණි ඇගේ මව පවසා තිබෙන අතර විකෘති වී තිබෙන එම මළ සිරුර තමන්ගේ දුවගේ ලෙස ඇය භාරගත්තේද නැත. ඇය තවම විශ්වාස කරන්නේ දුව අතුරුදන්ව ඇති බව පමණි.

''දුව ඉගෙනීමේ කටයුතු සඳහා මඩකලපුව නගරයට ගියා. අමතර පන්ති ගියා. ඔය අතරවාරයේ මුස්ලිම් තරුණයෙකු එක්ක දුව යාළුයි කියලා ගමේ අය අපිට කිවුවා. ඒ වෙන කොට මම හිටියේ විදේශගත වෙලා. රැකියාවක් කරමින්. මම දුරකතනයෙන් දුවට කාතා කළා. දුවගෙන් ඇහුවම ඇය කිව්වේ ‘ඔව් අම්මා... එයා මගේ යාළුවෙක් තමයි... ඒත් ඔය මිනිස්සු කියන විදිහට අපි දෙන්නා ආදරේ නෑ..’ කියලයි.

කාලෙකට පස්සේ දුවට පන්ති යන්න ඕන කියලා කොළඹ යන්න පටන් අරන් තිබුණා. ඇය ගෙදරට ඇවිත් තිබුණෙ ඉතාම කලාතුරකින්. මේ ගැන සැක හිතිලා අපේ නෑයෝ කොළඹට ගිහින් දුව ගැන හොයලා බැලුවා. ඒ ගිය දවසෙත් හස්තූන් එක්ක අබ්දුල් රාසික් කියන කෙනෙක් ඇවිල්ලා හිටියා කියලා නෑදෑයෝ කිව්වා.

මම දුරකතන පණිවුඩයකින් දුවගෙන් ඇහුවා මේ මොකක්ද වෙන්නෙ කියලා. ඒ දවසේ දුව කිව්වෙත් එයා මගෙ යාළුවෙක් විතරයි කියලයි. ඊට අවුරුද්දකට විතර පස්සේ මම දුවට ටෙලිෆෝන් කරන කොට උත්තර දුන්නේ පිරිමියෙක්. මම දුව කෝ කියලා අහනකොට එයා කිව්වේ ‘මම දුවව කසාද බැන්දා. මම මොහොම්මදු හස්තූන්’ කියලා. මම ඒ වෙලාවේ ඒ මනුස්සයට බැණලා කිව්වා මට දුවට කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මම දැන් එයාගේ මිනිහා. මම එයාව දැන් අපේ ආගමට අරගෙන තියෙන්නේ කියලා.

අපේ නෑයෝ කිව්වා පොලීසියට යමු කියලා. කලවංචිකුඩි පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න හදනකොට ලොකු මහත්තයා දුවගේ වයස අහලා අපිට කිව්වේ දුවගේ වයස සම්පූර්ණ නිසා දුවගේ කැමැත්තට විවාහ වෙන්න පුළුවන් කියලා. ඒකට පොලීසියට කරන්න දෙයක් නෑ කියලා.'

ඇය පවසන පරිදි අබ්දුල් රාසික් නමැත්තා මේ ආගම් සංක්‍රමණය සංවිධානාත්මකව සිදු කරන්නෙකි. යම් යම් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන්ට දුව රැවටුණ බව මේ අසරණ අම්මා තවමත් විශ්වාස කරයි.

හස්තූන් ගැන සිදු කරන විමර්ශනයේදී ඔහුගේ නමින් සටහන් වන විභාග ප්‍රතිඵලය ගැනද පොලිසියේ අවධානය යොමුවිය. ඔහු සාමාන්‍ය පෙළ විභාගයට ඒ 9 කින් සමත්වූ පුද්ගලයෙකු බවත් පසුව විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරා රසායන විද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අයෙකු බවද හෙළිවිය.

ඔවුනගේ විවාහයෙන් පසු තෙට්ටතීව් ගම්මානයේ ඇගේ නිවස සමග මවගේ සම්බන්ධය ඉතා අවම මට්ටමක පැවතී ඇත. ඇය පුරුෂය සමග කුමක් කරන්නේදැයි මව දන්නේ නැත.

හස්තූන් මන්නාරමේ වැසියෙකි. විවාහ වීමෙන් පසු කල්මුණේ ඒ.එෆ්.සී. පාරේ නිවසක ඔවුන් කලක් පදිංචිව සිට ඇත. ඇයද මරාගෙන මැරීමට සූදානම් වී සිටි අන්තවාදී කාන්තාවක් බවට හස්තූන් පත්කරන ලද්දේ සහරාන්ගේ ඉගැන්වීම් ඇයට උගන්වාය. ඇය සිටියේ දෙවැනි ප්‍රහාර මාලාවට සූදානමිනි.

කටුවපිටියේ දේවස්ථානයට පහරදෙන්නට එම අන්තවාදීන් සැලසුම් කරන්නේ ඉකුත් ජනවාරියේදීය. දේවස්ථානයට කිට්ටුව ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසක් ඉකුත් පෙබරවාරියේදී කුලියට ගන්නේ එබැවිනි. ඒ රුපියල් 45000ක මාසික කුලියකටය.

විමර්ශනවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ ආරක්ෂිතව ගබඩා කර තබන්නටද යොදා ගෙන ඇත්තේ එම නිවසය. වෑන් රථ සහ ලොරි රථවලින් විටෙන් විට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය තොග පිටින් මෙහි ගබඩා කර තිබී ඇත්තේ කාමරයක් පිරෙන්නටය. පුපුරාගිය බොම්බ සකස් කර ඇත්තේ එම ගබඩාවෙන් පාණදුර සරික්කම්මුල්ලේ පිහිටි නිවසට රැගෙන ගිය පුපුරන ද්‍රව්‍ය යොදාගෙනය.

හෙළි වී ඇති තොරතුරුවලට අනුව කටුවපිටිය දේවස්ථානයේ පුපුරාගිය බෝම්බය බෑගයේ අටවා ඇත්තේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසේදීය. දෙවැනි ප්‍රහාරයටද අවශ්‍ය බෝම්බ එම නිවසේදී අටවා ඇත්තේ කුලියාපිටියේ රන්කරුවකු අතිනි. ජාතික තවුහිද් ජමාත් කල්ලියේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා වන්නේ ඔහුය.

ඉතිරි පුපුරන ද්‍රව්‍ය ආරක්ෂිතව සඟවා තබන්නට රැගෙන යන්නේ සමන්තුරේටය. ඒ පසුගිය 11 වෙනිදාය.

මීගමුවෙන් කුලියට ගන්නා ලොරි රථයක පටවා නිවසක් හැර යන පරිද්දෙන් ගෘහ භාණ්ඩද සමඟ එම පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය කාගේවත් සැකයට ලක් නොවන ලෙස ගෙන යන්නට ඔවුහු සමත් වූහ.

ගේදොර අස්පස් කළද බෝම්බකරුත් ඔහුගේ බිරිදත් දින කිහිපයක් යන තුරුම තවත් කිහිප දෙනෙක් සමඟ එහිම රැදී සිටින්නේ සැකයක් ඇති නොවන ලෙසිනි. ඔවුන් කටානේ නිවසින් පිටව යන්නේ 18 වැනිදාය. එහෙත් 20 වැනිදා පැමිණෙන බෝම්බකරු 21 වැනිදා කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන්නට යන්නේද එහි සිටය.

බර සහිත බෑගයක් රැගෙන හස්තූන් පල්ලියේ මැද දොරකින් ගොස් ගොස් මරාගෙන මැරුණ හැටි සීසීටීවී දර්ශන ලෝකය පුරා මාධ්‍ය වලද ප්‍රචාරය විය. නමුත් සාරාගේ මවට මේ ගැන නිනව්වක් තිබී නැත.

මරාගෙන මැරුණ අයගේ බිරියන් කන්ඩායම සයින්දමරුදු සුනාමි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසට එන්නේ පසුගිය 26 වැනිදා සවසය. ඊට දින දෙක තුනකට පෙර රුපියල් 4000ක මාසික කුලියට එය ගෙන තිබිණි.

මොහොමඩ් නිපාස් සහරාන්ගේ සහෝදරයන් දෙදෙනාද පියාද සහෝදරියගේ සැමියාද ඇය සමඟ පැමිණි අය අතර සිටියහ. මලු කිහිපයක් අතින් ගත් ඔවුන් කෙළින්ම රිංගුවේ නිවස තුළටය. ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි ගම්වැසියෙකුට ඔවුන්ගේ එම හැසිරීම ගැන ඇති වන්නේ සැකයකි.

එය දුරුකර ගන්නට ගම්වැසියා ඒ බව දැනුම් දෙන්නේ මාර්ගයේ ගමන්ගත් පොලිස් යතුරුපැදියක සිටි කොස්තාපල්වරයෙකුටය. ඒ අනුව එම සැකකටයුතු පුද්ගලයන් කවුරුන්දැයි සොයා බලන්නට නිවසට කිට්ටු කරන කොස්තාපල්වරයා දෙසට එකවරම එල්ල වන්නේ අත්බෝම්බ ප්‍රහාරයකි. ඒ නිවසේ වහලය මත රැකවල්ලාගෙන සිටි අන්තවාදීයෙකුගෙනි.තමන්ට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ගැන ඒත් එක්කම ඔහු දැනුම් දෙන්නේ සිය උසස් නිලධාරීන්ටය. ඒ අනුව පොලිසියත් හමුදාවත් එම නිවස වටලන විට ඔවුහු හමුදාව සහ පොලිසිය සමග ගැටුණාහ. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවීම් කිහිපයක්ද සිදු විණි. පැයක් හමාරක් ගෙවී යන විට නිවසෙන් ඇසෙන්නේ පිපිරීම් තුනකි. එය අත්බෝම්බ පිපුරුමකට එහා ගිය පිපුරුම් හඬකි. පොලිසියත් හමුදාවත් එදා මුළු රැය පුරාම සයින්දුමරුදු ගම්මානයම සෝදිසියකට ලක් කළේය.

පිපිරුම් සිදු වුණු නිවසට ඇතුළු වන්නේ බිම් එළිය වැටුණු පසුවය. එහිදී මුලින්ම හමුවන්නේ ටී 56 අවියක් අතැතිව ගේට්ටුව ඉදිරිපිටම මැරී වැටුණු අයෙකුගේ මළ සිරුරකි. ඔහු නිපාස්ය. කොස්තාපල්වරයාට බෝම්බ ගැසූ පුද්ගලයාද ඒ වන විටත් සිටියේ වහලය මත මැරී වැටීය. එක පොදියට කුඩා දරුවන්ද සමඟ පිරිසක් පිපුරුමකින් මියගොස් සිටි අයුරු පොලිසියත් හමුදාවත් දුටුවේ සාලයට පය තබන විටදීය. එතැන 14 දෙනෙකුගේ මළ සිරුරු වැටී තිබිණි. ඇතැම් මළ සිරුරු හඳුනාගන්නට බැරි තරමට විරූපි වී තිබිණි. සිරුරු කැබලි හැම අත විසි විසිරිලාය. ඒ අය අතර සහරාන්ගේ සහෝදරයන් දෙදෙනා වන මොහොමඩ් සෙයින් හසීම්ගේත් මොහොමඩ් රිල්වාන් හසීම්ගේත් ඔවුන්ගේ පියාගේත් සිරුරු විය. රෝ ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන ප්‍රහරකයන්ගේ නම් ලැයිස්තුවේද රිල්වාගේ නමද සටහන් වී තිබිණි.

මේ අයට අමතරව සහරාන්ගේ බාල නැඟණිය මොහොමද් සයිරා හසීම්ගේද ඇගේ සැමියා වන මොහොමඩ් රිෂාද්ගේද මළසිරුරුද සාරාගේ සිරුරද සාලයේ මැරී සිටියවුන් අතර විය. මෙම පිපුරුමෙන් බේරුනේ සහරාන්ගේ බිරිය හා දරුවෙකු පමණි.

සාරාගේ මව මෙසේ කියා තිබේ.'දවසක් දුව හදිසියෙම විනාඩි තුනක් විතර කතා කළා. ඒ කතා කළෙත් එයාගේ ටෙලිෆෝන් එකකින් නෙමෙයි. මට කතා කරලා කිව්වා ‘අම්මා මට කරදර ගොඩායි. මගේ ජීවිතේම ලොකූ ප්‍රශ්න ගොඩකට මම මැදිවෙලා ඉන්නේ. ආය කතා කරන්න අම්මව දකින්න ලැබෙයිද දන්නේ නෑ.’ කියලා.

දුව මේ මොනවාද කියන්නේ කියලා මම දහ අතේ කල්පනා කළා. මම හිතුවේ බෑනගෙන් දුවට කරදර ඇති. දුව මට ඒවා කියන්නේ නෑ කියලයි.ෙ

ඔය අතරෙදි තමයි කොළඹ තැන්වල බෝම්බ පුපුරවලා තියනවා, මුස්ලිම් අය තමයි ඒවා කරලා තියෙන්නේ කියලා කතාවල් පැතිරුණේ. අපේ හිතවත් අය කීප දෙනෙකුම කිව්වා බෝම්බෙන් මැරිලා ඉන්නේ හස්තූන් වගේම කෙනෙක් ටිකක් හොයලා බලන්න කියලා. තිබුණු දුරකතන අංකවලට කතා කළාට කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. මැරුණේ හස්තූන් කියලා දැන ගන්න ලැබුණෙත් නෑ‍

ඊට දවස් කීපෙකට පස්සේ මඩකලපුවේ සයින්දමරුදු පළාතේ බෝම්බ පිපිරුණා කියලා දැන ගත්තා.

පොලීසිය තමයි ඇවිත් දුව ගැන විස්තර ඇහුවේ. පොලීසිය කියන්නේ දුව මරාගෙන මැරෙන බෝම්බකාරියක්. එයාම බෝම්බයක් පුපුරවාගෙන මැරුණා කියලා. මාව රෝහලට එක්කන් ගිහින් දුවගේ කියලා මිනියක් පෙන්නුවා. ඒත් මට ඒක අඳුනාගන්න බෑ. මට විශ්වාස කරන්නත් බෑ

මගේ දුව හරිම ලස්සනයි. මූණ හරීම සිරියාවන්තයි. මැරිලා හිටිය කෙනා එහෙම නෑ. අනේ මහත්තයෝ මේ මොනවත් මට තේරෙන්නේ නෑ. මගේ දුවට මිනිස්සු මරන්න කිසිම වුවමනාවක් නෑ. එයාට මොනවා ලැබෙනවටද? මගේ දුව කොහේ හරි ඉන්නවා මට එයාව කොහොම හරි හොයලා දෙන්න.''

සාරාගේ මව වන කවිතා හඬා වැලපෙමින් මාධ්‍යයට කියා තිබුණි.



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook