Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ගෝඨාභය පසුපසින් එන දේශපාලන අභියෝග

පෙබරවාරි 10 ජනතා තීන්දුව දේශපාලන පොරපිටිය උඩුයටිකුරු කර ඇත. බලයේ සිටින එජාපයට සහ ශ්‍රී ලනිපයට ශක්‌තිමත් ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයකට පත්කර ඇත. 2010 ජනවාරි ජෙනරාල් සරත් ෆොන්සේකා සහ 2015 ජනවාරි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ යෙදුන ජනතා විමුක්‌ති පෙරමුණ පසුගිය මාර්තු 3 දින කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී එජාපය සහ ශ්‍රී ලනිපය මුහුණදී ඇති බරපතළ දේශපාලන අර්බුදය පැහැදිළි කළේය. පෙබරවාරි 10 ප්‍රතිඵලය එජාපය බලයේ සිටිනා විට ලැබූ ප්‍රබලම පරාජය බවත් එම තත්ත්වය එජාපයේ අනාගත පැවැත්මට තර්ජනයක්‌ බවත් මෛත්‍රිපාල සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙපළටම 2019 ජනාධිපති සිහිනය අත්හැරීමට සිදුවී ඇති බවය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ අවස්‌ථාවේදී එජාප, ශ්‍රීලනිපය නායකයන්ට අපූරු යෝජනාවක්‌ කළේය. එනම් තමන්හට නැවත කිසිදා ලබාගැනීමට නොහැකි ජනාධිපති පුටුව වෙන අයෙකුට අත්පත් කර ගැනීමට නොහැකි වන පරිදි විධායක තනතුර අහෝසි කර දමන ලෙසය. ජවිපෙ නායකයාගේ මෙම ප්‍රකාශය සලකා බැලිය යුත්තේ ඔහු පසුගිය පෙබරවාරි 19 දින පාර්ලිමේන්තුවේ එජාප සහ ශ්‍රී ලනිපයට කළ අනතුරු ඇඟවීම පසුබිමේ සිටය. මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙනා 2015 ජනවාරි සංධානය නැවත කිසිදා ඇති නොවන බව දිසානායක විශ්වාසය පළකළේය. එනම් තම පක්‍ෂය 2015 ජනවාරි එවකට බලයේ සිටි මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට මූලික වූ කණ්‌ඩායමකට නැවත කිසිදා එකතු නොවන බවය.


පෙබරවාරි 10 ප්‍රතිඵලය ජවිපෙද බරපතළ දේශපාලන අවිනිශ්චිත භාවයන්ට ද ලක්‌කර ඇත. එජාපය ශීS්‍රලනිපය සහ ජවිපෙ පළාත් සභා නවයක ඡන්දයට මුහුණදීමේ අභියෝගය හමුවේ සිටී. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය අනුව උතුරු සහ නැගෙනහිර පළාත් දෙක හැර අනෙකුත් පළාත්වල ප්‍රතිඵලය ගැන සිතා ගැනීමට අපහසු නැත. යහපාලන නායකයන් කලකට පෙර ප්‍රකාශ කර ඇති පරිදි පළාත් සභා 9 ඡන්ද එකවර පැවැත්වුවහොත් පෙබරවාරි 10 ප්‍රතිඵලය හා සමාන අහිතකර තත්ත්වයක්‌ එම පක්‍ෂ 3 ට ඇතිවීම ස්‌ථිරය. එවැනි තත්ත්වයක්‌ තුළ 2019 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අහෝසිකර දමන්නැයි කරන ජවිපෙ යෝජනාව දේශපාලන පසුබෑමකට ලක්‌වී ඇති පක්‍ෂ සලකා බලනු ඇත.

පොහොට්‌ටුවේ අභියෝගය

2015 අප්‍රේල් මස නීතියක්‌ බවට පත්වූ 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ත්‍රස්‌තවාදය පරාජය කළ දෙවරක්‌ ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්‌වා ඇත. තම දේශපාලන අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට ගෙනා 18 වන ව්‍යවස්‌ථා සංශෝධනය 19 මගින් බල රහිත කර ඇත. පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දයෙන් ප්‍රබල ඉදිරි පිම්මක්‌ පැනූ පොහොට්‌ටු ලාංඡනය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ තම අපේක්‍ෂකයා ලෙස තෝරා ගැනීමට ඇති අවස්‌ථාව බැහැර කළ නොහැක.

මෙම ලියුම්කරු වාර්තා කළ පොහොට්‌ටු පක්‍ෂයේ කටුනායක පළාත් පාලන ඡන්ද රැස්‌වීමේදී විමල් වීරවංශ රාජපක්‍ෂ සහෝදරයන් ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ කළේය. පෙබරවාරි 10 ජයග්‍රහණයෙන් පසු තම අභිලාෂය මහින්ද අගමැති සහ ගෝඨාභය ජනපති කරවීම බව වීරවංශ කළ ප්‍රකාශය රැස්‌වී සිටි ජනතාව ඔල්වරසන් දෙමින් පිළිගත්තේය. වීරවංශ මෙම ප්‍රකාශය කරන අවස්‌ථාවේදී ගෝඨාභය ලංකාවේද සිටියේ නැත. ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය දරන ගෝඨාභය පළාත් පාලන ඡන්ද වේදිකාවට ගොඩවූයේ නැත. ඇමරිකාවේ සිට පොහොට්‌ටුව ශක්‌තිමත් කිරීමට ප්‍රබල ප්‍රකාශ කිහිපයක්‌ කළේය. යහපාලන රජය වෙනුවෙන් ගෝඨාභයට කැබිනට්‌ ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රබල ප්‍රහාරයක්‌ එල්ල කළේය. හිටපු ආරක්‍ෂක ලේකම් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 අයථා මුදල් ගනුදෙනුවක්‌ කර ඇති බවත්, එය 2006 වසරේ ශ්‍රී ලංකාව යුක්‌රේනයෙන් මිලදී ගත් මිග් 27 ප්‍රහාරක යානා ගනුදෙනුව තම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයට හරවා ගත් අවස්‌ථාවක්‌ බවත් පැවසීය.

වංචා කළ මුදල් ඉන්දියානු නියෝජිතයන් මාර්ගයෙන් හොංකොං බැංකුවල තැන්පත් කළ බවටද චෝදනා කළේය. රාජපක්‍ෂ පොහොට්‌ටුවේ ජනපති අපේක්‍ෂක ලෙස හැඳින් වූ වෛද්‍ය සේනාරත්න ඔහු නැවත පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළේය. පෙබරවාරි 12 දා රාජපක්‍ෂ නැවත පැමිණි නමුත් වෛද්‍ය සේනාරත්න පැවසූ පරිදි යහපාලන පොලිසිය එම අත්අඩංගුවට ගත්තේ නැත.

වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල කණ්‌ඩායමක්‌ ගෝඨාභයට තම සහයෝගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ප්‍රබල බෞද්ධ භික්‍ෂු කීපදෙනකු ගෝඨාභයට සහයෝගය පළකර ඇති නමුත්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එම පෙරමුණේ සියලු පාර්ශ්වවල අනුමැතිය ලබාගත යුතුය. මෑතකදී පොහොට්‌ටු පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ සහ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න (පෙබරවාරි 26 හිටපු ජනපතිගේ නෙළුම් මාවත කාර්යාලය) සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (පෙබරවාරි 27 ජාතික පුස්‌තකාලය) ගෝඨාභය පොහොට්‌ටු ජනපති අපේක්‍ෂකයා ලෙස කළ සඳහන යම් පාර්ශ්වයන්ගේ අකමැත්තට හේතු වූ බව රහසක්‌ නොවේ. මෙහිදී පැනනැඟෙන ප්‍රධාන ප්‍රශ්නය ගෝඨාභයට වඩා ප්‍රබල අපේක්‍ෂකයෙකු පොහොට්‌ටු පක්‍ෂයට ඉදිරිපත් කළ හැකිද යන්නයි.

යහපාලන රජය තම ප්‍රතිවාදියා ලෙස ගෝඨාභය දැනටම හඳුනාගෙන ඇති බව පැහැදිලිsය. සිවිල් ක්‍රියාකාරියකු වන නිර්මාල් දේවසිරි පසුගියදා පැවසුවේ පොහොට්‌ටුවේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය බවය. වෛද්‍ය සේනාරත්න ද ගෝඨාභය තම රජයේ ප්‍රතිවාදියා ලෙස ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය මුහුණදෙන අභියෝග 

1. ඇමරිකානු පුරවැසිභාවය 

තම ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමීම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මුහුණ දෙන පළමු ප්‍රබල අභියෝගයයි. 19 වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති කිසිවකුට ජනපතිවරණයට හෝ මහ මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක. තම ස්‌විස්‌ පුරවැසිභාවය පිළිබඳව ඇතිවූ ගැටලුව හේතුවෙන් ගාලු දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රී නිළි ගීතා කුමාරසිංහට තම ආසනය අහිමි විය. 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන හේතුවෙන් වර්තමාන ජනපතිවරයාට තම ධුරයේ වසර 4 සම්පූර්ණ කළ විගස ජනපතිවරණයක්‌ කැඳවීමේ අභිමතය ඇත. මෛත්‍රිපාල සිරිසේන වසර 3 සම්පූර්ණ කර ඇත. 2019 ජනවාරියෙන් පසුව ඕනෑම අවස්‌ථාවක ජනපතිවරණය කැඳවීමේ නීතිමය අයිතිය ජනාධිපතිවරයාට තිබේ.

එම තත්ත්වයට මුහුණදීමට අවැසි මූලික කරුණ ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමීමයි. එය බරපතළ තීරණයකි. එම තීරණය ගෝඨාභය මුහුණ දෙන පළමු අභියෝගයයි.

විශ්‍රාමික ලුතිනන් කර්නල් රාජපක්‍ෂ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්‌ථාව මත ඔහු ඉලක්‌ක කරගෙන ප්‍රබල ප්‍රහාරයක්‌ දැනටමත් දියත් වී ඇත. මහින්ද රාජපක්‍ෂගේ ආශිර්වාදයෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීම තුළ ගෝඨාභයට ප්‍රබල ජන සහයෝගයක්‌ ලැබෙන බව අවධාරණය කළ යුතුමය. පෙබරවාරි 10 දින ප්‍රතිඵලය අනුව පාවිච්චි කළ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 44% ප්‍රමාණයක්‌ පොහොට්‌ටුවට හිමිවිය. ඊට අමතරව තමන් සහයෝගය දුන් ස්‌වාධීන කණ්‌ඩායම් ලබාගත් ඡන්ද ප්‍රමාණයද එකට එකතු කර බැලූ විට 45% ප්‍රමාණයක්‌ පොහොට්‌ටුවට ලැබී ඇත. පොහොට්‌ටු පක්‍ෂයේ ජයග්‍රහණය රජය භීතියට පත්කර ඇති බව පැහැදිලිsය.

ශ්‍රී ලනිපය දිනීම

පොහොට්‌ටුව/ ගෝඨාභය මුහුණ දෙන දෙවැනි ප්‍රබල අභියෝගය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට (අතට සහ බුලත්කොළයට) ලැබුණු 14% ඡන්ද ප්‍රමාණයෙන් කොටසක්‌ දිනා ගැනීමයි. පළපුරුදු දේශපාලනඥයකු වන සිරිසේන සමඟ විනාශකාරී ගැටුමකට යැමෙන් එම ඉලක්‌කය කිසි විටකත් ඉටුකරගත නොහැක. මෙවර පළාත් පාලන ඡන්දයේදී ශ්‍රීලනිපය ලබාගත් ඡන්ද මෛත්‍රිපාල ජනාධිපතිවරයා වෙත පාක්‍ෂිකයන් විශ්වාසය පළකිරීමක්‌ ලෙස සැලකිය හැකිය. එජාපය තම හිතසුව පිණිස ජනපතිවරයාහට ලැබුණු ඡන්ද ප්‍රමාණය තම ගොඩට එකතු කර එය මහින්දට විරුද්ධ ප්‍රකාශ වූ ජනමතය බව පෙන්වා දීමට අසාර්ථක උත්සාහයක නියෑළී සිටී.

බරපතළ දේශපාලන අර්බුදයකට මැදිවී සිටින එජාපය ශ්‍රීලනිපයට සහ පොහොට්‌ටුවට/ ඒකාබද්ධ විපක්‍ෂයට ලැබුණු 50% වැඩි ඡන්ද ප්‍රමාණය අසුභ පෙර නිමිත්තක්‌ ලෙස දකී. මොනයම් දේශපාලන තත්ත්වයක්‌ යටතේ වුවද එම කණ්‌ඩායම් දෙකට ලැබුණු ඡන්ද එජාපයට ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් පොහොට්‌ටුවට ලැබුණු ඡන්ද රැක ගැනීමත්, ශ්‍රී ලනිපයේ ඡන්ද සැලකියයුතු ප්‍රමාණයක්‌ දිනා ගැනීමත් ගෝඨාභය මුහුණ දෙන අභියෝගයක්‌ බව අමතක කළ යුතු නොවේ. 

අපරාධ හා මූල්‍ය විෂමතා පිළිබඳ චෝදනා

කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට හිමි ඇවන්ගාඩ් ආයතනයට මූල්‍යමය වාසි ලබාදීම හේතුවෙන් නාවික හමුදාවට/ රජයට බරපතළ පාඩු සිදුවූ බව දිගින් දිගටම චෝදනා එල්ල විය. සේනාධිපතිගේ සෝමාලි මුහුදේ මෙහෙයුම රටට මුදල් ගැලූ උල්පතක්‌ ලෙස ගෝඨාභය ප්‍රකාශ කර ඇත. යහපාලන රජය සේනාධිපතිගේ මෙහෙයුම රටට හිමි මුදල් අහිමිකළ බව පවසයි. මෙහිදී සඳහන් කළයුතු විශේෂිත කරුණක්‌ වන්නේ යහපාලන රජයේ නීතිය සහ සාමය ඇමැති ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ ප්‍රබල ලෙස ඇවන්ගාඩ් මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටි බව ජනතාවට අමතක නැත.

හිටපු නීතිපතිවරයකු වන මාරපන, ඇවන්ගාඩ් ආයතනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටීම නිසා ඇතිවූ ආන්දොaලනාත්මක තත්ත්වය මත තම අමාත්‍ය ධුරය 2015 අගභාගයේ අත්හැරිය අතර 2017 වසරේදී නැවත විදේශ අමාත්‍යවරයා ලෙස පත්විය.

ගෝඨාභය පවසන පරිදි සෝමාලි මුහුදේ මංකොල්ලකරුවන්ට එරෙහිව මෙහෙයුමක්‌ යෙදවීමට අවශ්‍ය බව තමන්ට පළමුව පැවසුවේ එවකට කොළඹ සිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ බවයි.

ගෝඨාභයට සහ හිටපු නාවික හමුදා ප්‍රධානීන්ට සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා ඇවන්ගාර්ඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීම සලකා බැලීම වටී. මෙම නඩුවට අදාළව විස¹ ගැනීමට ඇති මූලික කරුණ නාවික හමුදාව යෙදී සිටි ව්‍යාපාර කටයුත්ත මේජර් සේනාධිපතිට භාරදීමෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රජයට කළ පාඩුව ගණනය කිරීමයි. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළු අනෙකුත් පාර්ශ්ව පවසන පරිදි රජයට කිසිදු පාඩුවක්‌ වී නොමැත. නාවික හමුදාව මෙම ව්‍යාපාරය ආරම්භ කරන අවස්‌ථාවේ ඇමරිකානු ඩොලර් 10 ක මුදලක්‌ එක්‌ අවියකට ශ්‍රී ලංකාව අයකළ අතර පසුකලක එම ව්‍යාපාරය රටට විදේශීය මුදල් ගලා එන උල්පතක්‌ විය. යහපාලන රජය මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහසක්‌ දරයි. ගෝඨාභය ජනපතිවරණයට ඉදිරිපත් වීම මත ඇවන්ගාර්ඩ් චෝදනා ප්‍රබල ලෙස කරළියට එනු ඇත.

ලංකා හොස්‌පිටල්ස්‌ ආයතනයට අයත් කොටස්‌ ඉන්දියානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා චෝදනාවට ලක්‌විය. මෑතකදී පැවැත්වූ පෞද්ගලික රැස්‌වීමකදී මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ කිසිදු සම්බන්ධතාවක්‌ නොමැති බවත් විකුණා ඇති කොටස්‌ ව්‍යාපාරික හැරී ජයවර්ධනට හිමි බවත් පැවසිනි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීමට ජනතාවට අයිතියක්‌ ඇත. පසුගිය මාර්තු 2 කොළඹ පැවැති මෙම රැස්‌වීමේදී අලි සබ්රි ඇවන්ගාර්ඩ් ගනුදෙනුව ලංකා හොස්‌පිට්‌ල් කොටස්‌ විකුණුම ඇතුළු චෝදනා කීපයක්‌ ගැන පැහැදිලිs කිරීමක්‌ කළේය. ගෝඨාභය ඉදිරි ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වුවත් නැතත් මෙම චෝදනාවලට පිළිතුරු දීම අත්‍යවශ්‍ය වේ. ඔහු දැනටමත් තමන් කිසිදු මූල්‍යමය අකටයුත්තකට සම්බන්ධ නොමැති බවත් අයථා උපයා ගැනීමක්‌ සිදුකර තිබේ නම් එය ඔප්පු කරනා ලෙස ප්‍රසිද්ධියේ රජයට අභියෝග කර ඇත. 

හතරවන ඊළාම් යුද්ධයට අවශ්‍ය කරන මිග් 27 ගුවන් යානා 4 ක්‌ මිලදී ගැනීම සහ ගුවන් හමුදාවට අයත්ව තිබූ එම වර්ගයේම ගුවන් යානා 3 ක්‌ පූර්ණ අලුත්වැඩියාවකට ලක්‌කිරීමට යුක්‌රේනය සමඟ කළ ගනුදෙනුව දූෂිත බව රජය පවසයි. එය එසේ නොවන බව ගෝඨාභය පවසයි. මාර්තු 2 කොළඹදී පැවැති රැස්‌වීමේදී රාජපක්‍ෂ පැවසුවේ එය ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ඉතාම විනිවිදභාවයකින් යුත් ගනුදෙනුවක්‌ බවයි. එම ගනුදෙනුවට අදාළව නීතිමය තත්ත්වය සහ අදාළ ගිවිසුම ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව අලි සබ්රි මහතා ඉතා නිරවුල්ව පැහැදිලිs කළේය. කුමාරතුංග මැතිනියගේ සමයේ හදිසියේ මිලදී ගත් මිග් යානා සහ ගෝඨාභය මිලදීගත් යානාවල වටිනාකම පිළිබඳවද ඔහු පැහැදිලිs කිරීමක්‌ කළේය. එලෙසම මිග් යානා නියමුවන් ඉන්දියාවේ කළ පුහුණුවීම් සඳහා යොදාගත් මිග් යානා සහ ලංකාව යුක්‌රේනයෙන් ලබාගත් මිග් යානා අතර අපූරු සැසඳීමක්‌ අලී සබ්රි කළේය. ශූර ගුවන් නියමුවකු ගේ නම සඳහන් කළ නීතිඥවරයා පැවසුවේ ඉන්දියාවේ පුහුණුවීම්වලට යොදාගත් ගුවන් යානා බයිසිකලයක්‌ නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාගත් මිග් යානා බෙන්ස්‌ කාර් බවත්ය.

කටුනායක සිට ක්‍රියාත්මක වූ අංක 12 දරණ මිග් බලඝනය හතරවන ඊළාම් යුද්ධයේදී කළ කාර්යභාරය මුළු රටම දනී. මිග් යානාවක්‌ සහ කෆිර් යානාවක්‌ ඒකාබද්ධ ප්‍රහාරයක්‌ එල්ල කර 2007 නොවැම්බර් මුල එල්.ටී.ටී.ඊ. නායකයකු වූ තමිල් සෙල්වම් මරා දැමීම ත්‍රස්‌තවාදීන් ප්‍රබල පසුබෑමකට ලක්‌කළේය. මිග් බලඝනය 2006 - 2009 කාලය තුළ ප්‍රහාර සිය ගාණක්‌ එල්ල කළේය. කිසිම අවස්‌ථාවක කිසිවකු එම යානාවල තත්ත්වය පිළිබඳව සැකපහළ කළේ නැත. කෙසේ වෙතත් එම ගුවන් යානාවලට මුදල් ගෙවූ ආකාරය පිළිබඳව සහ එමගින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වංචාවක්‌ කළා යෑයි කියන චෝදනාව අධිකරණ කටයුත්තක්‌ බවට පත්වී ඇත.

වීරකැටියේ ඩී. ඒ. රාජපක්‍ෂ සිහිවටනය ඉදිකිරීමේ ක්‍රියාවලිය ද යහපාලන රජය අභියෝගයට ලක්‌කර ඇත. ඊට අදාළව රාජපක්‍ෂ පාර්ශ්වයෙන් කිසිදු අකටයුත්තක්‌ නොවූ බව ජනතාව ඉදිරියේ කරුණු කාරණා දක්‌වා ඇති නමුදු එම චෝදනාව අධිකරණමය කටයුත්තක්‌ ලෙස ඉදිරියට ගෙන යැමට රජය ප්‍රබල උත්සාහයක්‌ ගෙන තිබේ. අලි සබ්රි මහතා මෑතකදී පැවැති රැස්‌වීමේදී පෙන්වා දුන්නේ අදාළ සියලු ගෙවීම් කර ඇති බවත් ඊට අමතරව රජයේ පාර්ශ්ව සඳහන් කරනා තමන්ට අයවිය යුතු මුදල් සම්බන්ධව තවදුරටත් ස්‌වාධීන අධ්‍යයනයක්‌ කිරීමට තමන් සූදානම් බවයි.

ද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්ද ගෝඨාභයට චෝදනා එල්ල කිරීමේ උත්සාහය පිළිබඳ ඔහු මෑතකදී ප්‍රබල පිළිතුරක්‌ ලබා දුන්නේය. තමන්ට එරෙහිව වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නැගෙන චෝදනාව මුළුමණින්ම ප්‍රතික්‌ෂේප කර එම ඝාතනය 2009 ජනවාරි මස 8 වන දින සිදුවූ පසුබිම ඔහු සවිස්‌තරාත්මකව ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් පැහැදිලිs කර ඇත.

ඔහු දේශපාලනයට අවතීර්ණය වීම වැළැක්‌වීමට හැකි සියලු උත්සාහයන් දැන් බලයේ සිටින කණ්‌ඩායම් සහ අනුගාමිකයන් දරනු ඇත. එම ප්‍රහාර කරනු ඇත. මීට අමතරව රතුපස්‌වල හමුදා වෙඩි තැබීම, ශැන්ගි්‍රලා හෝටලයට යුද හමුදා මූලස්‌ථාන ඉඩම් වසර 99 බද්දකට ලබාදීම හා පුද්ගල අතුරුදන් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා කරනු ඇත.

එවැනි තත්ත්වයක්‌ ඇති කරන්නේ රජය ගෝඨාභය තමන්ගේ පොදු හතුරා ලෙස සලකන නිසාය.

ද්‍රවිඩ ඡන්දය 

ජනපතිවරණයකදී උතුරු නැගෙනහිර ඡන්ද ගෝඨාභයට නොලැබෙන බව ඔහු දේශපාලනයට පැමිණීමට බිය වන කණ්‌ඩායම් පවසයි. එයට ප්‍රධානතම හේතුවක්‌ ලෙස ඔවුන් දක්‌වන්නේ ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආකාරයයි. 2010 ජනවාරි ජනපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය ජයග්‍රාහීව යුද හමුදාව මෙහෙය වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡන්දය දීමට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය. එම ඉල්ලීම කළ අවස්‌ථාවේදී හමුදාවට එල්ල වී තිබුණු සමූල ඝාතන සංවිධානාත්මක ස්‌ත්‍රී දූෂණ, අතුරුදන් කිරීම් ඇතුළු දැනට ජිනීවාහි සාකච්ඡාවට බඳුන් වන චෝදනාවලට ප්‍රබල අභියෝගයක්‌ එල්ල කළේය. එම චෝදනා තමන්ද පිළි නොගන්නා බව පෙන්නුම් කරමින් ද්‍රවිඩ ජනතාව සියලු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ෆොන්සේකාට මහින්ද රාජපක්‍ෂට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ලබා දුන්නේය. 2015 ජනපතිවරණයේදී යුද්ධය පැවති අවසන් සතියේ දින කීපයක්‌ වැඩ බලන ආරක්‍ෂක ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේනට එලෙසම සියලු උතුරු නැගෙනහිර දිස්‌ත්‍රික්‌කවල වැඩි ඡන්දය හිමි විය.

එදා තිබූ බලය අද ද්‍රවිඩ ජාතික සන්ධානයට නැත. ඔවුන්ගේ පසුබැසීම පෙබරවාරි 10 පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පෙන්නුම් කර දී ඇත.

එළැඹෙන ජනපතිවරණ සටනකදී තීරණාත්මක උතුරු නැගෙනහිර ඡන්දය ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වයන් මත හසුරුවා ගැනීමට සියලු පාර්ශ්වවලට සිදුවේ. එය ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුටත් අදාළය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook