BREAKING NEWS
latest

728x90

468x60

header-ad

යුරෝපයත් වශී වූ බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ නාඩි වාක්‍යය

යුරෝපයත් වශී වූ
බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ
නාඩි වාක්‍යය

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.


රටේ රාජ්‍ය නායකයා පිළිබඳව තොරතුරු කියෑවෙන අවස්‌ථාත් තියෙනවා. එම විස්‌තර සඳහන් වන්නේ මෙහෙමයි.

රටේ රාජ්‍ය නායකයාට කිසියම් විපතක්‌ වූවාට පසු "ඔබේ මෙම කාරණය ඉටුවෙනවා" ආදී වශයෙන් තමයි විස්‌තර වෙන්නේ.

"මෙම නාඩි වාක්‍ය කියන්නේ අපට හිතාගන්න බැරි තරම් මහා පුදුම විස්‌මිත තොරතුරු සම්භාරයක්‌ ලියා ඇති ග්‍රන්ථ සමූහයක්‌.

මේ අනුව මට අවබෝධ වුණ එක කරුණක්‌ තමයි නාඩි වාක්‍යයන්හි සඳහන් විස්‌තර මුළු පරම්පරාව පූරාම විසිරී පැතිරී ගිය මහා ගැඹුරු ඥාන සම්භාරයක ප්‍රතිඵලයක්‌ කියලයි".

සංස්‌කාරකගේ සටහන

මෙම ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි මහතා විසින් දී තිබූ ලිපිනය හා දුරකථන අංකය ලියාගත් දින පොත අස්‌ථානගතව තිබී වසර විසි පහකට පසු (2016 ජනවාරි) මට හමුවිය. ඒ මහතා පිළිබඳ කරුණු විමසීමට දුරකථන ඇමතුමක්‌ ගත් නමුත් ප්‍රතිචාරයක්‌ නොලද හෙයින් දී තිබූ ලිපිනය සොයා මම ගියෙමි.

මීට වසර තුනකට පෙර තම පියා ද මව ද වසර අනූවකට වැඩි කලක්‌ ආයු වළ¹ කිසිදු අසනීපයකින් තොරව දිවංගත වූ බව ඔවුනගේ දියණියගෙන් මට දැනගන්නට ලැබුණි.

මා පැමිණියේ ඒ මහතා විසින් විස්‌තර කරන ලද සහ මවිසින්ම දුටු තල්පතේ ඡායාරූපයක්‌ සහ තල්පතේ සඳහන්ව තිබූ මට පෙන්වන ලද බෙන්ස්‌ වර්ගයට අයත් කාරයේ ඡායාරූපයක්‌ ගැනීමට බවත් කීවෙමි.

එවිට ඒ මහතාගේ දියණිය පැවසුවේ එහි සඳහන්ව තිබූ බෙන්ස්‌ වර්ගයට අයත් වාහනය විකුණන ලද බවත් සිය පියාණන් සතු දේ අල්මාරියක දමා ඇති බවයි.

විවේක ඇති අවස්‌ථාවක එම අල්මාරිය පරීක්‌ෂා කර බලා තොරතුරු දැන්වීමට තරම් ඇය කාරුණික වූවාය.

ඇයගේ වෘත්තීය ජීවිතය පිළිබඳව විමසූ විට ඇය පැවසුවේ තමා නීතිඥවරියක්‌ ලෙස ද පසුව විනිසුරුවරියක්‌ ලෙස ද කටයුතු කර දැන් විශ්‍රාම සුවයෙන් පසුවන බවයි.

තමා විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක්‌ සමඟ බව ද ඇය නිහතමානීව පැවසූවාය.

එතුමියගේ නිහතමානී ගුණයට ගෞරවයක්‌ ලෙසින් මෙම සටහන තබමි.

නාඩි වාක්‍ය පිළිබඳව අත්දැකීමක්‌

( විදේශියකුගේ අත් දැකීමක්‌)

දිනෙක උදෑසන කොළඹ කොල්ලුපිටියේ විර්ලන්ඩි හෝටලයට ගියේ මගේ යහළුවකුගේ ඉල්ලීමක්‌ වෙනුවෙන් නාඩි වාක්‍ය කියවා ගැනීම සඳහා දිනයක්‌ ලබා ගැනීම පිණිසය.

ඒ වනවිටත් විශාල පිරිසක්‌ (300) බැල්කනියේ සිටි බැවින් සියලුම දෙනාගේම කටයුතු නිමවන තුරු මම බැල්කනියට වී, ඈත පෙනෙන නිල්වන් මුහුද දෙස බලා සිටියෙමි. මා මෙන්ම තවත් කෙනකු ද මුහුද දෙස බලා සිටිනු මට දැකගත හැකිවිය.

ඔහු දුටු සැනින් මගේ මතකයට ආවේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජන නායකයකු වූ මහත්මා ගාන්ධිතුමායි.

හිස මුඩුකර තිබූ මෙම තැනැත්තා වේට්‌ටියක්‌ හැඳ සිටි අතර උඩුකය තවත් රෙදිකඩකින් (වේට්‌ටියකින්) වසාගෙන සිටියේය.

තද කළු සමකින් වැසී තිබුණ හෙයින් ද හැඩරුව අතින් ද ඔහු අප්‍රිකානු ජාතිකයෙක්‌ බව මට හැඟිණි.

ඔහු හා සංවාදයකට මුල පිරිය යුතු යෑයි මට හැඟුණු හෙයින්,

"ලස්‌සන දර්ශනයක්‌ නේදැයි" සිනාමුසු මුහුණින් යුතුව ඇසුවෙමි.

ඔහු ද සිනහමුසු මුහුණින් යුතුව පිළිතුරු දුන්නේය.

"මුහුද දිහා බලා ඉන්න කොට කාලේ ගතවෙනවා දැනෙන්නේ නෑ". මම ඔහු හා කතාවට ඈ¹ ගත්තෙමි.

මම මෙම ස්‌ථානයට පැමිණීමේ අභිප්‍රාය ඔහුට කීවෙමි. ඔහු කැමති නම් ඔහුගේ ජීවන තොරතුරු දැන ගැනීමට කැමති බව ද කීවෙමි.

ඔහු ඉතා නිහතමානීව ඊට කැමැත්ත දැක්‌වීය. පහත මාලයේ ඇති ඉන්දියානූ භෝජන ශාලාවට යැමට ආරධනා කළ මම උදේ පාතරාසය ඔහු සමඟ ගනිමින් ඔහුගේ තොරතුරු ඇසුවෙමි.

ඔහු කළ ප්‍රකාශය ඔහු පැවසූ අන්දමටම මෙහිලා සටහන් කරමි.

මම පළමුවෙන් ඔහුගෙන් රැකියාව සහ අධ්‍යාපන තොරතුරු විමසුවෙමි.

"මම අප්‍රිකානු ජාතිකයෙක්‌. දැන් වයස තිස්‌දෙකක්‌ වෙනවා. අවිවාහකයි. මගේ ග්‍රෝතික නම කුඩා කාලයේදී තිබුණේ 'අබූඩා' කියලා.

දැන් මගේ නම "ඩේවිඩ් විල්සන්" .මම ඉලෙක්‌ට්‍රොනික්‌ සහ විදුලි ඉංජිනේරු උපාධිධාරියෙක්‌. ඇමෙරිකානු විදුලිබල සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයා විදිහටයි වැඩ කළේ.

වසර ගණනාවක්‌ ඇමෙරිකානු කොම්පැණියක වැඩ කරල මම විශාල මුදලක්‌ ඉතිරි කර ගත්තා. ඒවායින් ලැබෙන ආදායමින් මම ඉතා සරල ජීවිතයක්‌ දැන් ගෙවනවා.

"ඔබේ ළමා කාලය ගමේ තොරතුරු මම දැන ගන්න කැමතියි".

"හොඳයි. මම සියලුම විස්‌තර ඔබට කියන්නම්. මම ඉපදුනේ අප්‍රිකාවේ මැද තියෙන (එහි නම කීවද මා එය සටහන් කරන්නේ නැත.) ඉතාම දුප්පත් නොදියුණු ගෝත්‍රික ගම්මානයක.

අපේ ගැහැණු අය උඩුකයට ඇඳුම් ඇන්දේ නෑ. ඒ චාරිත්‍රයක්‌ නිසා නෙවෙයි. ඇඳුම් නැති නිසා. පිරිමි අය ඇන්දේ අමුඩ කෙටියක්‌ විතරයි.

කුඩා පැල්පත් තනාගෙන අපි සංචාරක ජීවිතයක්‌ තමයි ගත කෙරුවේ. අපි ජීවත් වුණේ සතුන් ඇති කරල. හරක්‌, එළුවෝ, කුකුළන් සහ ඌරන් ඇතිකරලා.

කිරිවලින් හදපු ආහාරයි, කැලේ තියෙන අල වර්ග, කොළ සහ ගෙඩි වර්ග අපි ආහාරයට ගත්තේ. සමහර වේලාවට ආහාර හිඟ වුණාම අපි කවුරුත් එකතුවෙලා අපි ඇති කරන වයසට ගිය සතෙක්‌ මරාගෙන සාමූහිකව බෙදාහදා ගෙන කනවා.

වියළි කාලයට අපි පුදුම දුකක්‌ වින්දේ. සතුන්ට කෑම නැති නිසා තණ බිම්, වතුර තියෙන තැන්, සොයාගෙන අපි ඉතා ඈත පළාත්වලට යනවා.

අපි බලන්න පිටරට සුදු මහත්තුරු නෝනලා එනවා. ඒ අය අපේ පින්තූරත් ගන්නවා. ඒ දින කීපය අපට හරි ජයයි.

ඒ අය ගෙනෙන බිස්‌කට්‌, කෑම ආදියත්, අපට දෙනවා. ගැහැනු උදවිය අපේ ගෝත්‍රික නැටුම් පෙන්නලා තෑගි බෝග එහෙමත් ලබා ගන්නවා".

"දවසක්‌ පුදුම සිදුවීමක්‌ වුණා. එංගලන්තයේ ඉඳල ආපු එක සංචාර කණ්‌ඩායමක හිටිය එක සුදු නෝනා කෙනෙක්‌ මා දිහා බොහොම වේලාවක්‌ බලා ඉඳල මාව දරුකමට හදාගන්න අපේ තාත්තගෙන් ඉල්ලුවා.

අපේ කණ්‌ඩායමේ අය එකතුවෙලා කතා කරලා මාව ඒ නෝනට දරුකමට දෙන්න කැමති වුණා. ඒ නෝනා මං එංගලන්තයට එක්‌කර ගෙන ගියා.

එංගලන්තයට යන්න කලින් ඒ නෝනා අප්‍රිකාවේ නැවතිල හිටිය හෝටලයට මාව කැඳවාගෙන ගිහිල්ලා, මාව පිරිසිදු කරලා, කොණ්‌ඩේ කපලා අලුත් ඇඳුම් ගෙනල්ලා, අන්දවාගෙන තමයි මම එංගලන්තයට එක්‌කර ගෙන ගියේ.

ඒ ගෙදර මහා මාලිගාවක්‌ වගෙයි. කාමර විශාල ගණනක්‌ තිබුණා. ගෙදර වැඩට නැනීලා කියලා ගැහැනු අය හත් අට දෙනෙක්‌ හිටියා.

වතුපිටි බලා ගන්න විස්‌සකට වැඩි සේවක පිරිසකුත් හිටියා. අශ්වයන් සඳහා ඉස්‌තාලයකුත් තිබුණා. එම ඉස්‌තාලයේ අඩුම තරමින් අශ්වයන් විස්‌සකට වැඩිය ඉන්න පහසුකම් තිබුණා.

ඒත් මං යනකොට නම් අශ්වයෝ හිටියේ නෑ. මම ගෙට ගොඩ වෙනකොටම නෝන ගෙදර හිටිය ප්‍රධාන පාලිකාවට කතාකරල කණට කරල යමක්‌ කීවා.

එදා ඉඳල ඒ සියලු දෙනාම මට සැලකිල්ලෙන් ආදරයෙන් කතා කෙරුවා .සැලකුවා .එක සුදු මහත්තයෙක්‌ ගෙදර නවත්වා ගෙන ඉංග්‍රීසි සහ එංගලන්තයේ සිරිත් විරිත් හැඳි ගෑරුප්පු පාවිච්චි කරන හැටි මට ඉගැන්නුවා.

මගේ නමත් වෙනස්‌ කරල ඒ නෝනගේ පවුලේ කෙනකුගේ නමක්‌ මට දුන්නා.

ඒ තමයි 'ඩේවිඩ් විල්සන්'. ඒ නෝනා මට හොඳට ඉගැන්නුවා. ඒ නෝනා හරි පෙහොසත් මට දැනගන්න ලැබුණු විදිහට, ඒ නෝනා වංසක්‌කාර පවුලකින් පැවත එන තැනැත්තියක්‌, අවිවාහකයි. සමහර මාසවල අපේ පවුල්වලට ඒ නෝනා මුදල් හදල් එහෙමත් යෑව්වා.

මම මුල් දිනවලදී ඇයට කතා කළේ මැඩම් කියලා. ඒ පළාතේ අය ද ඇයට ඇමතුවේත් මැඩම් විල්සන් කියලා.

දිනක්‌ ඒ නෝනා මට කතා කරලා කීවා, මට මැඩම් කියන්න එපා. මට මමී කියන්න කියලා. මම ඔයාට සලකන්නේ මගේ පුතා හැටියට කියලා. එදා ඉඳලා ඒ නෝනට මම කතා කෙරුවේ මමී කියලා.

මට පුදුම ආදරයක්‌ කරුණාවක්‌ ඒ නෝනා දැක්‌වුවේ. මට සැලකුවේ එයාගේම කුසින්ම වදාපු දරුවෙක්‌ විදිහට. මට උගන්නලා මාව රක්‌ෂාවලට දැම්මේත් ඇයයි.

වැඩිවියට පත්වෙන කොට එංගලන්තයේ තරුණයෝ තනිව ජීවත්වීමට වෙනම පදිංචියට යනවා. මට කැමති නම් කැමති තීරණයක්‌ ගන්න කියලා ඇය කීවා.

මම කීවා මට මමී දාල යන්න බෑ. මමී ළඟම මැරෙන කල්ම ඉන්නවා කියලා. එදා ඇය හොඳටම ඇඬුවා. මමත් ඇඬුවා. මට තේරුණා ඇය මා ඇති දැඩි කළේ නියම පුත්‍ර සෙනෙහසින් බව.

ඊට ටික කාලයකට පස්‌සේ මට පසුදින රැකියාවට නොයා මමී සමඟ ගමනක්‌ යැම සඳහා නවතින ලෙස ඉල්ලීමක්‌ කළා".

"පසුදින ඇය මා කැඳවාගෙන ගියේ එක්‌තරා ව්‍යාපාර පාලනය කරන සමාගමකට. ඇය එම සමාගම විසින් මහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

ඉන්පසු ඇය තමාගේ සියලු දේපළ හා ව්‍යාපාරවල හිමිකරුවා බවට මා පත් කරන බව පවසා එම ලේඛනවලට අත්සන් කරන ලෙස ඉල්ලීමක්‌ කළා. මම ලේඛනවලට අත්සන් කිරීමට මඳක්‌ පසුබට වුණා.

කොම්පැණියේ අය කීවේ මෙය ඇය සිය කැමැත්තෙන්ම දෙනු ලබන පරිත්‍යාගයක්‌ නිසා අත්සන් කර දේපළ බාර ගන්නා ලෙසයි.

මම එක කොන්දේසියකට යටත්ව අත්සන් කිරීමට කැමති බව කීවා. මා කියා සිටියේ ඇය මෙතෙක්‌ ලබාගත් ආදායම ඇය ජීවත්වන තුරුම ඇයට ලබාදෙන ලෙසත්, ඇය නොමැති කාලයක සියලුම වගකීම් මා භාර ගන්නා බවයි.

ඒ අනුව එකී දේපළවල හිමිකාරීත්වය මට ලැබුණු අතර දේපළවලින් ලැබෙන ආදායම තවදුරටත් ඇයට හිමි වුණා.

මා නමින් ගිණුමක්‌ විවෘත කොට ආදායමින් කොටසක්‌ මාස්‌ පතා යවන ලෙසට ඇය දේපළ සමාගමට උපදෙස්‌දී ඇති බව මට දැන ගන්නට ලැබුණේ ඇයගේ මරණයෙන් පසුවයි".

"තවත් කිව යුතු වැදගත් දේවල් බොහොමයක්‌ තියෙනවා. මම රක්‌ෂාවට ගිය කොම්පැණියෙන් අපට නේවාසික පහසුකම් සපයලා තිබුණා. විශාල කාමර සහිත නේවාසිකාගාරයේ අපි දෙදෙනකුට ලැගුම් ගැනීමට සිදුවුණා.

මගේ අනෙක්‌ නේවාසිකයා වුණේ ලංකාවෙන් ගිය කෙනෙක්‌, ඒ මහතාගේ ඇවතුම් පවැතුම් මගේ සිත ඇද බැද ගත්තා.

හමුවූ පළමු දිනයේදීම මගෙන් ඇහැව්වේ, තමන්ගේ ශාස්‌තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක්‌ කාමරය තුළ තබාගෙන වැඳුම් පිඳුම් කිරීම ගැන මගේ විරුද්ධත්වයක්‌ තියෙනව ද කියලා.

කතෝලිකයෙක්‌ වුණත් වැඩිපුර මං පල්ලියට යන්නේ නෑ. මමී ඉන්න දවස්‌ වල මම ඇය කැඳවාගෙන පල්ලියට යනවා. මං දැඩි ආගම්වාදියෙක්‌ නෙවෙයි.

මට තේරෙනවා බයිබලයේ ඇති දේවල් අද විද්‍යාවේ නව සොයාගැනීමෙන් බොරු වී ඇති බව. ඒත් ඒ බව ප්‍රසිද්ධියේ කියන්න කවුරුත් බයයි.

එම නිසා බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක්‌ කාමරය තුළ තබාගෙන වැඳුම් පිඳුම් කිරීම ගැන මගේ අකැමැත්තක්‌ නොමැති බව මම කීවා"

"මගේ නේවාසිකයා පුදුම තැන්පත් ගති පැවතුම්වලින් හෙබි පුද්ගලයෙක්‌. ඔහු උදෙන්ම නැගිටලා බුදුන් වඳිනනවා. හවසටත් ඇඟ පත සෝදාගෙන බුදුන් වඳිනවා. මස්‌ මාළු කන්නේ නෑ. මත්පැන් පානය කරන්නේ නෑ.

දවසක්‌ මම මේ ගැන ඇහැව්වා. ඔහු කීවේ බුදු දහමට අනුව අඩුම තරමින් කෙනෙක්‌ පංචශීලයේ පිහිටා සිටිය යුතු බවයි. මුල් අවස්‌ථාවේදී නම් මේ කරුණු තේරුම් ගත නොහැකි වූ නමුත් දැන් ඒ කරුණු මට මනාව තේරෙනවා".

"මගේ යහළුවා බොහෝ පත පොත කියවනවා. ඒවා බොහෝ විට බෞද්ධ ධර්මයට අදාළ පොත්පත්. දවසක්‌ අහම්බෙන් වගේ මේ පොතක්‌ කියවන්න මට හිතුනා. එම පොතේ තිබුණු කරුණු මට තවමත් මතකයි.

පොතෙන් කියෑවුණේ බුදු දහම 'කර්මය' සහ පුනර්භවය පිළිබදවයි. පොතේ ආරම්භයේම බුදුන් වහන්සේගේ කියමනක්‌ 'ප්‍රකාශයක්‌' දක්‌වලා තිබුණා.

ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කළ 'කාලාම සූත්‍රය' එහි කියා තිබුණු අදහස මගේ සිතට තදින් කාවැදුණා".

"බුදුන් වහන්සේ, තමන් කියන නිසාවත්, තම ගුරු පරපුරෙන් පැවත එන නිසාවත්, පැරැණි පත පොතේ තියෙන නිසාවත්, කිසිම දෙයක්‌ පිළිගන්න එපා. ඒ දේ තමාගේ බුද්ධියට ගැලපේනම්, තමන්ටම එය නිවැරදි යෑයි හැඟේ නම්, පමණක්‌ පිළිගන්නා ලෙසයි උන්වහන්සේ දේශනා කර ඇත්තේ".

බුදුන් වහන්සේ විසින් දී ඇති පණිවුඩය කොපමණ අගනා අදහසක්‌ දැයි මට තේරුණා.

බයිබලයේ ඇති දේවල් අපට පන්ති කාමරයේදී හෝ පල්ලියේදී හෝ පියතුමා සමඟ කතා කිරීමට අවස්‌ථාවක්‌ නැහැ.

එසේ තර්ක කළහොත් අපට දෙවියන්ගෙන් දඬුවම් ලැබෙන බවට කුඩා කාලයේ සිටම අපේ සිතේ රෝපණය කර ඇති අදහස්‌ නිසා. 'පල්ලියේ' බයිබලේ, පූජක තුමාගේ, බහට උඩින් අපට නිදහසේ සිතන්න ඉඩක්‌ නෑ.

ඒත් බුදුන් වහන්සේ කියන්නේ තමන්ගේ ධර්මය වුණත් අපට නොගැලපේ නම්, තමන්ගේ තර්ක බුද්ධියට නොගැලපෙන්නේ නම්, පිළිනොගන්නා ලෙසයි".

"මම හැම සති අන්තයේම මමී බලන්න ගෙදර යනවා. ඒත් එංගලන්තයේ ඉන්න තරුණ තරුණියෝ ගෙදරින් වෙන් වුණාම අවුරුද්දකට සැරයක්‌ විතර ඇයගේ උපන් දිනේට විතරක්‌ මල් පොකුරක්‌ දීලා, සුබ පතලා එනවා.

මම සති අන්තයේ ගෙදරින් වැඩට ආවම දවසට දෙපාරක්‌, තුන් පාරක්‌ විතර, මගේ විස්‌තර මමී අහනවා. මං ආහාර ගත්තේද? රාත්‍රියේ නින්ද ගියාද? කියලත් අහනවා. මෙය මට මහත් කරදරයක්‌. ඒත් ඇය මෙසේ විමසන්නේ මා කෙරෙහි ඇති පුත්‍ර ස්‌නේහය නිසා නොවේ දැයි කල්පනාවට එන විට මටම මහ ලැ-ජාවක්‌ ඇතිවෙනවා".

"රැකියාවට ගිය කාලයේ සිටම මම මගේ පවුලේ අයටත් ගමේ අයටත් ජීවත් වෙන්න, යෑපෙන්න, මුදල් ඒ අයට යවනවා. මම ගමට ගියාම පෙනෙනවා මං එවන මුදලින් ඔවුන්ගේ ජීවිත විශාල වෙනසකට භාජනය වෙලා තියෙන හැටි.

ඒ තත්ත්වය දැක්‌කම මට හරි සතුටක්‌ දැනෙනවා. ඔවුන් දැන් ඇඟපත වැහෙන්න ඇඳුම් අඳිනවා. ඔවුන්ට අවශ්‍ය පොදු පහසුකම් මට හැකි අන්දමට සැලසුවා.

"බෞද්ධ පතපොත වැඩි වැඩියෙන් කියවන්න පටන් ගත්තම මට එහි සැබෑ තේරුම අවබෝධ වුණා.

අපි කොච්චර හම්බ කළත් මේ සියල්ල අතහැර යනවා නේද කියලා මට අවබෝධ වුණා. අපි සැපයි කියල හිතාගෙන ඉන්න දේවල් සැබැවින්ම දුකක්‌ නේද කියලා බුදුන් වහන්සේ දේශනා කරල තියෙන ධර්මයේ සත්‍යතාව මට අවබෝධ වුණා.

මට මමීගෙන් ලැබුණු ධනයත් මම හම්බ කරල තිබුණ ධනයත් ඉතා විශාලයි. මෙම ධනය අපේ පවුල්වල අයට පරම්පරා ගණනාවකටම ජීවත් වෙන්න ඇති තරම්.

එම නිසා මම තීරණය කළා බුදු දහමේ කියෑවෙන විදිහට චාම් බෞද්ධ ජීවිතය ගෙවන්න කියලා. ඔය අතරතුරේදී මමී මියගියා. මට මහත් ශෝකයක්‌, දුකක්‌, දැනුණා.

ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්‌ කියල බුදුන් වහන්සේ දේශනා කර ඇති බව මගේ මිත්‍රයා කියමින් මා සැනසුවා.

බුදු දහමට අනුව මෙසේ ඈත පෙදෙසක සිටි තමන්ගේ ජාතියට අයත් නැති කෙනෙක්‌ මේ අන්දමට පුතකු වශයෙන් භාර ගෙන කටයුතු කළේ පෙර භවයේදීත් ඇය මගේම මව වශයෙන් සිටි නිසා බව මගේ මිත්‍රයගේ මතයයි.

අපේ පල්ලියේ මතය හා නොගැලපුණත් එය සැබෑවක්‌ විය යුතු බව මටත් හිතුනා".

"මමීගේ මරණයෙන් පසු මට සියල්ල එපා වුණා. මගේ මිත්‍රයා කීවේ ජීවිතය ගැන කලකිරෙන්න එපා. ජීවිතය අවබෝධ කරගන්න කියලා. සරල දිවි පෙවෙතක්‌ තුළින් ජීවිතයේ සැනසුම ලබන හැටි මගේ මිත්‍රයා මට පැහැදිලි කළා.

ඔය අතරතුර මහත්මා ගාන්ධිතුමාගේ ජීවිත කතාව ඇතුළත් පොතක්‌ කියෑවීමට මට අවස්‌ථාවක්‌ ලැබුණා. මේ තමයි මා යා යුතු මාර්ගය කියල"

මම සියලුදේම, වස්‌තුව, ව්‍යාපාර කොම්පැණියට භාර කළා. එක අවස්‌ථාවක මට හිතුනා මෙම වස්‌තු සම්භාරය අපේ පවුල් අතර බෙදලා දීලා නිදහස්‌ වෙන්න කියලා. මම මගේ අදහස යහළුවාට කීවා.

ඔහු කීවේ වස්‌තු සම්භාරයක්‌ ඒ අයට දීමෙන් තාවකාලික සැපතක්‌ ලබෙන බව ඇත්ත. නමුත් ඔවුන්ට සැබෑ විමුක්‌තිය ලැබෙන ක්‍රියා මාර්ගයක්‌ කියාදීම වඩාත් සුදුසු බවයි. ඒ කතාව මගේ සිතට තදින් බලපෑවා.

"මේ අතරතුර මගේ යහළුවා ලංකාවට යැමට සූදානම් වුණා. ඔහු කීවේ තම මව කලකට පෙර මියගොස්‌ ඇති බවත් ඇය වෙනුවෙන් අවුරුදු පතා කරනු ලබන පිංකම් සඳහා තමා ලෝකයේ කුමන දිහාවක සිටියත් ඒ පිංකමට යන බවයි.

කතෝලික අපි මියගිය අයට සලකන්නේ මළවුන්ගේ දිනයේදී සොහොනට ගොස්‌ මල් කළඹක්‌ තැබීමෙන් පමණයි.

මේ අනුව බෞද්ධ විශ්වාසය ඊටත් එහා ගිය යහපත් කාර්යයක්‌ බව මට අවබෝධ වුණා. මගේ මව කතෝලික කෙනෙක්‌ බැවින් මෙවැනි පිංකමක්‌ කොට පිං අනුමෝදනාවක්‌ කළ නොහැකි දැයි මම මගේ යහළුවාගෙන් ඇසුවා.

එය ඉතාම සුදුසු බව පැවසූ මගේ යහළුවා කැමති නම් තමා සමඟ ලංකාවට පැමිණෙන ලෙසත් ඒ තුළින් බෞද්ධ වත්පිළිවෙත් පිළිබඳව අවබෝධයක්‌ ලබාගත හැකි බවත්, කැමති නම් මමී වෙනුවෙන් දානයක්‌ පිරිනමා පිං අනුමෝදන් කළ හැකි බවත් කීවා.

බදුල්ලේ මෛත්‍රී රත්නායක
« PREV
NEXT »
Loading...

Facebook Comments APPID