BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ලංකාවේ අධී පොසොන් පොහොයක් වෙද්දී ජාත්‍යන්තර වෙසක් දිනය අදට සමරයි - වීඩියෝ | International Day of Vesak 2018

ලංකාවේ අධි පොසොන් පොහොයක් වෙද්දී
ජාත්‍යන්තර වෙසක් දිනය අදට සමරයි - වීඩියෝ

සියලු බෞද්ධ රටවල 2018වෙසක්‌ පෝ දිනය මැයි 29පසළොස්‌වක දින එනම් අද දිනට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ පමණක් වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29වැනිදාට යොදා තිබීම මහත් විහිළුවකැයි යැයි මෑතක සිට ගිහි පැවිදි විද්වත් කිහිපපොළක්ම පෙන්වා දී තිබේ.


මැයි මාසයට යෙදෙන පසළොස්‌වක පෝ දිනය වෙසක්‌ පෝ දිනය ලෙස සැලකීමටත් මැයි මාසය වෙසක්‌ මාසය ලෙස පිළිගැනීමටත් ශ්‍රී ලංකා වාසීන් පුරුදුව සිටියදී මෙවර වෙසක්‌ පෝ දිනය අප්‍රේල් මස පසළොස්‌වක පෝ දිනට යොදා ගැනීම ජාත්‍යන්තර වෙසක් දිනයටත් පිටුපාන්නක් බවද ඔවුහු පෙන්වා දෙති.


අප්‍රේල් 29වැනිදාට යෙදී තිබෙන පුන් පෝ දිනය බක්‌ මහේ පෝ දිනයක් බවත් ශක රාජ වර්ෂය අනුව බක්‌ මස අගට යෙදී ඇති පුන් පෝ දිනය අධි වෙසක් පෝ දිනයක්‌ ලෙස සැලකීමේ වරදක්‌ නොමැති නමුත් වෙසක්‌ පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නොවන බවද එම පාර්ශවයේ මතයයි.

තායිලන්තය, කාම්බෝජය, ටිබෙට්‌, වියට්‌නාම්, චීනය, ඉන්දියාව වැනි රටවල් වෙසක්‌ දිනය ලෙස සැමරන්නේ මැයි මස අවසනට යෙදී ඇති පසළොස්‌වක්‌ පෝ දිනයේ බවත් ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය පවත්වනුයේද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්‌වක‌ පෝදිනය දා බවත් ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ අතර මැයි හෙවත් වෙසක් මාසයට හිමි වෙසක් පොහොය අප්‍රේල් හෙවත් බක් මාසයට ඇදගෙන ඒම වත්මන් රජයේ එක් පාර්ශවයක් විසින් ශ්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීම පිණිස යොදා ඇති ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලතමයන් කිහිප දෙනෙක්ම පවසා තිබේ.

එහෙත් 2017 දෙසැම්බර් 19 වෙනිදා පැවැති සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා ඇත්තේ වෙනම කතාවකි. එනම් රජයටවත් විෂය භාර අමාත්‍යවරයාටවත් අවශ්‍ය පරිදි පොහොය දිනය තීරණය කළ නොහැකි බවකි.

ඔහු ඒ බව ප්‍රකාශ කොට ඇත්තේ එදින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති පොහොය කමිටුවේ විශේෂ සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ පොහොය කමිටුව ප්‍රකාශයට පත් කර තිබෙන පොහොය දිනය සම්බන්ධයෙන් මෙම විෂයට සම්බන්ධ ඕනෑම පුද්ගලයකුට ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව සංවාද කිරීමට, අභියෝග කිරීමට හැකියාව තිබෙන බවය.

ඇතැම් දේශපලනඥයන් මෙම තීරණය දේශපාලන කටයුත්තක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළද මෙම දිනයන් තීරණය කිරීමේ සියලු වගකීම් පොහොය කමිටුව සතු බවත් තමන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිදුකරන ලද්දේ ගැසට් පත්‍රයට අත්සන් තැබීම පමණක් බවත් ඔහු එදින කියා ඇත.

මෙම අප්‍රේල් 29ඉරිදා වෙසක් පුර පසළොස්වක ලෙසත් මැයි 29අඟහරුවාදා අධි පොසොන් පුර පසළොස්වක ලෙසත් ජුනි 27බදාදා පොසොන් පුර පසළොස්වක ලෙසත් ජූලි 27සිකුරාදා ඇසළ පුර පසළොස්වක ලෙසත් නම් කර ඇත්තේ ඒ අනුවය.

එබැවින් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් දේශලඥයන් පවසන අන්දමට මෙය ද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යැයි සිතීමට අපට ඇති අවකාශ අඩුය. ඉන් හැඟවෙන්නේ මෙරට සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෙනත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නොමැති බවක් නොවේ.

දැන් අපි මැයි මාසයේ තිබූ වෙසක් පොහොය අප්‍රේල් මාසය මතට ඇදගෙන ඒම පිළිබඳ ශාස්ත්‍රීය පක්ෂයෙන් විමසුමක් කරමු.

ලොව පුරා ඉතිහාසඥයන්ගේත්, මානව විද්‍යාඥයන්ගේත් පොදු මතය වනුයේ ලොව වඩාත්ම පැරණිතම වන්නේ චන්ද්‍ර වර්ෂය පදනම් කරගත් චන්ද්‍ර දින දර්ශනය මිස වර්තමානයේ ලොව භාවිත වන සූර්ය දින දර්ශනය (Solar Calender) නොවන බව ය.

සූර්ය වර්ෂයක් ගතවීම පිණිස දින තුන්සිය හැටපහකුත් කාලක් ගතවන බව අපි දනිමු. එමෙන්ම මෙම ‘කාලේ අඩුව’ සම්පූර්ණ වීම පිණිස සෑම අවුරුදු හතරකට වරක්ම වර්ෂයෙන් අඩුම දින ගණනකින් යුතු පෙබරවාරි මස අගට තවත් දිනයක් එක්කොට පෙබරවාරි විසි නව වෙනිදාවක් සහිත අධික අවුරුද්දක් නිර්මාණය කොට ඇති බව ද අපි දනිමු.

පෘථිවිය හිරු වටා වරක් භ‍්‍රමණය වීමට ගතවන කාලය මුල්කොට සූර්ය වර්ෂය ගණන් බලා තිබේ. එසේම චන්ද්‍රයා පෘථිවිය වටා වරක් භ‍්‍රමණය වීමට ගතවන කාලය නැතහොත් පෘථිවියට සඳෙහි කලාවන් දිස්වන ආකාරය මුල්කොට චන්ද්‍ර මාසය ගණන් බලා තිබේ. ඒ අනුව චන්ද්‍ර මාසයක ඇති දින ගණන විසි නවයහමාරකි. එවන් මාස දොළහකින් යුතු චන්ද්‍ර වර්ෂයක් සඳහා ඇති මුළු දින ගණන වන්නේ තුන්සිය පනස් හතරකි. ඒ අනුව එය සම්මත සූර්ය වර්ෂයට වඩා දින එකොළහකින් අඩු ය. එබැවින් මෙය නිසි පරිදි ක‍්‍රියාත්මක වීමෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් පැන නඟින බව වටහා ගත් පුරාණ ජ්‍යොතීර්වේදීහු ඒ සඳහා චන්ද්‍ර වර්ෂය මත පදනම් වන චන්ද්‍ර දින දර්ශනය සූර්ය වර්ෂය මත පදනම් වූ සූර්ය දින දර්ශනයේ කෘත්‍රිම ලෙස ‘බැඳ’ තබන්නට කදිම උපායක් යෙදූහ.

එනම් එම වැඩිපුර දින එකොළහ එකතු කොට වසර තුනකට වරක් අධි අධි චන්ද්‍ර මාසයක් නිර්මාණය කිරීම ය. දැනට අප රටේ භාවිත වන පෝය ලිතට වසර තුනකට වරක් අධි දුරුතු, අධි නවම් ආදී වශයෙන් අධි පොහොයක් එක්ව ඇත්තේ මේ කෘත‍්‍රිම වෙනස මුල්කර ගනිමිනි. බොහෝ විට මෙම ‘අධි පොහොය’ සැබෑ පොහොයට කලින් එළඹෙනු දැකිය හැක. වසර තුනකට වරක් එළැඹෙන මෙම අධි මාසය 2010වසරේ වෙසක් මාසයට යෙදී තිබීම නිසා 2010අපේ‍්‍රල් 28වන බදාදා අධි වෙසක් පොහොය ලෙස සම්මත කිරීමට ජාතික පොහොය කමිටුවට සිදු විය.

එසේ ඇසළ පුන් පෝ දිනය ඉදිරියට අධි ඇසළ පොහොයක් පැමිණි විට වස් සමාදන් වීමේ කටයුතුවලදී එය යොදා නොගත යුතු බවත්, එම කටයුතු සම්බන්ධයෙන් එය නොසලකා හැරිය යුතු බවත් බෞද්ධ විනය පොත්වල සඳහන් වෙයි. ඒ අනුව සෑම වර්ෂ තුනකට වරක්ම පැමිණෙන මෙම අධි පොහොය සැලකිය යුත්තේ කිසිදු ශාසනික වැදගත්කමක් නොමැති කෘති‍්‍රම ආරෝපණයක් ලෙසිනි.

එසේම සම්මත දින දර්ශනයේ එන මාස දොළහ සිංහල මාස සමඟ මෙලෙස සැසඳෙන බව පොදු පිළිගැනීමයි.

ඒ,ජනවාරි - දුරුතු

පෙබරවාරි - නවම්

මාර්තු - මැදින්

අපේ‍්‍රල් - බක්

මැයි - වෙසක්

ජූනි - පොසොන්

ජූලි - ඇසළ

අගෝස්තු - නිකිණි

සැප්තැම්බර් - බිනර

ඔක්තෝබර් - වප්

නොවැම්බර් - ඉල්

දෙසැම්ර් - උඳුවප්

වශයෙනි. එහෙත්, මෙම සම්මත මාස සිංහල මාස සමඟසියයට සියයක්ම සැසඳෙන්නේ ද නැත. නිදසුනක් ලෙස සිංහල මාස ක‍්‍රමයේ වෙසක් මාසය මෙවර අප්‍රේල් 16 වෙනිදා සිට මැයි මස 14 වෙනිදා දක්වා යෙදී ඇති අතර ඉන් පසුව එළැඹෙනුයේ අධි පොසොන් මාසයයි. ඒ අනුව ජ්‍යොතිර් විද්‍යා සිද්ධාන්ත මත සැබෑ වෙසක් පොහොය අප්‍රේල් 29 වෙනිදාට යෙදී ඇති බව න්‍යායික සත්‍යයකි.

එහෙත් ජාත්‍යන්තර වෙසක් දිනය පිළිබඳවද සැලකිල්ලට ගෙන මෙවර වෙසක් පොහොය අධි වෙසක් පොහොය සේ සලකා මැයි 29 වෙනිදාට යෙදෙන අධි පොසොන් පොහොය වෙසක් පොහොය සේ නම් කිරීම ප්‍රායෝගික වශයෙන් සිදුකිරීමට පොහොය කමිටුවට හැකියාවක් නොතිබුණේ මන්දැයි ගැටළුවකි. ඒ කෙසේ හෝ මේ පිළිබඳව සංවාදයකට එළඹීමට මාස කිහිපයක් තිබූ අතර වෙසක් උළෙල 'කට මුලටම' පැමිණ තිබියදී එය සංවාදයට ගැනීම වෙසක් සමයේ බොදු ජනතාව තුළ ස්වභාවිකවම ඇති වන බැති සිතුවිලි මිළින කරවීමක් යැයි යමෙකුට කිව හැකිය.

එහෙත් එයද 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්' යැයි කීමට මේ දක්වාම නම් කිසිවෙක් ඉදිරිපත් වී නැත.

තිලක් සේනාසිංහ


« PREV
NEXT »

Facebook Comments APPID