සාමාන්‍යයෙන් ලංකාවේ අපේ ආහාර වට්‌ටෝරුවේ අපෘෂ්ඨ වංශිකයන් හෝ ආත්‍රොපෝඩාවන් නැති තරම්ය එනමුත් චයීනීස් මීල් රෙසපියේ ආත්‍රොපෝඩාවන් අනුභවයට ඇත්තේ අනභිභවනීය ස්‌ථානයකි. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැත්තාක් මෙන් ලංකාවට ආවා කියා චීන්නුන්ට ගෙම්බන්, ගැරඬින්, ගැඩවිලන්, පැත්තෑයන්, ගෝනුස්‌සන් නොකා සිටිය නො හැකිය. බලු මස් ඔවුනට රස මසවුලකි. අපිට සතෙක් පණපිටින් කන එක අපහසු නොව කළ නොහැකි තරම් දෙයක් වුවද ඔවුන්ට ගැරඬියෙක් හම ගසා පණපිටින් කෑම ඒ තරම් දෙයක් නොවේ.
කඳන් පණුවන්, පූසන්, වේයන් තණකොළ පෙත්තන් මෙරුන් ආදි සතුන් ලංකාවේ අපේ ආහාර වට්‌ටෝරුවේ අහල පහළකවත් ඇති දේවල් නොවේ.
ඒවා අපේ නොවුණාට ඒවා චීනාට සපයා දීමේ කොන්ත්‍රාත්තුව අපේ අයියලා භාරගෙන ඇත. ලංකාවේ අපිට සහජයෙන්ම දායාද වූ චීන්නු පවා අන්දමන්දකළ අපේ නිර්මාණාත්මක කුසලතාවය ඛේදනීය ලෙස මීට භාවිතා වේ. කඳන් පණුවන් වූ කලී චීනාගේ ඇස් ලොකුවෙන, කෙළ හැලෙන සත්ත්වයෙකි. අපේ රටේ අයියලා උන්ව තවාන් දාන්නට සමත් වී හමාරය. හොඳ ගාණක් හම්බකරන්නට ඔබට අවශ්‍ය පොල්ගෙඩියකුත්, කඳන් පණුවෙකුත්, තෙතමනයක් නැති හදවතකුත් පමණක්‌ය. කරන්නට ඇත්තේ පොල් ගෙඩියේ ඇස විද වතුර ඉවත් කර කඳන් පණුවා ඊට දමා දෙතුන් සතියක් වත් බලා සිටීමය. පොල් මද කා යෙහෙන් වැඩෙන කඳන් පණුවාට වගකියන්නට චීනා කෙළ හලනු නිසැකය. පොල් ගෙඩිය බිදින්නට ගොස් වැඩ වරද්දා නොගන්නා තැනට වග බලා ගත යුතුයි. කඳන් පණුවා මිය ගියොත් හෝ ඌට තුවාල සිදු වුවොත් ඔබේ සම්තිං එක මිසිං හෝ නතිං වන්නේය.
අපිට උම්බලකඩ, කූනිස්‌සන් සම්බෝල මෙන් චීනාගේ රසදිව වලි කන්නේ මෙරු සම්බෝලයටය. එයද විසඳා දීමට හරියටම කියනවා නම් සපයා දීම අපේ අයියලාට එතරම් දෙයක් නොවන්නේය. වතුර පිර වු පැතලි පිඟානක් මැද පහනක් පත්තු කර බලා සිටීමෙන් පමණක් ගාණක් සොයා ගත හැකිය. එය පොලිතින් තීරු කපා ජන්දෙ කාලෙ වාගේ කොඩි වැල් හදාගෙන ඒවායේ ග්‍රීස් ගා තණගොල්ලේ ඇදගෙන ගොස් තණකොළ පෙත්තන් අල්ලනවාට වඩා පහසුය. බඩ වැටිවල වෙල් යායේ බඩගා කුරුලු බිත්තර සොයනවාට වඩා පහසුය.
මීයා කෙතරම් කරදරකාරී සතෙක් වූවත් අපි ඌ වැඩිම වුණෙත් මරා දානවා මිසක කන්නට සිතන්නේ නැත. කෑවත් පණ පිටින් කන්නට සිහිනයකින්වත් සිතන්නේ නැත. උපන් හැටියේ ලේගඩුවක් වැනි මී පැටව් පණ පිටින් කන පිරිස්‌ද, බැද ආහාරයට ගන්නා පිරිසද චීන සමාජයේ වෙසෙයි. ඛේදවාචකය වන්නේ ඒ අවශ්‍යතාවය පුරවන්ට අපේ රටේ මිනිසුන් මුදල් වෙනුවෙන් ඉදිරිපත් වීමය.
කැබැල්ලෑවා නැති නම් ඈයාද මකර කටේ වැටෙන අපේ තවත් එක් අහිංසකයෙකි. ඈයා රතු දත්ත පොතට වැටෙන්නට මෙවන් නසරානි වැඩ කෙතරම් දුරට ඉවහල් වේදැයි සොයා බලන්නට වනජීවී ඇමැතිට කෙසේ වෙතත් අයියනායක දෙවියන්ට පංචපුද්ගල කොමිටියක් පත් කළ හැකිය. මන්දයත් පංච පුද්ගල, ද්වි පුද්ගල කමිටු පත් කර නිරීක්‍ෂණ පරීක්‍ෂණ විශ්ලේෂන නොකළාට කවිච්චිය පිච්චියට ගියත් බල්ලා රෙදි නොඅඳින බව අපි දන්නා නිසාය.
ගෙදරට ආ සර්පයෙක් මරා දමන්ට හැකියාව තිබියදී පවා ඌ නොමරා සර්පයින් අල්ලන අයෙකුට කථා කර (මේ ලියන්නේ වනජීවිය ගැන නොවේ. නැත්තේම ද නොවේ) ඌ අල්ලාගෙන යන්නට කියන්නේ ඌට ද ජීවත් වෙන්නට අයිතියක් ඇතැයි කියා විශ්වාස කරන මිනිසුන්ය. අද කාලේ හැටියට ඇඟෙන් ඇටයක් ගන්නවාක් මෙන් දැනෙන දෙතුන් දාහක් වියදම් වෙන වැඩක් වුණත් එය එසේ කරන්නේ " පවු අසරණ සතා ඔය කොහේ හරි අකුලක ජීවත් වුණාවෙ" කියා සිතාය. ඇඟේ පතේ හැටියට, සර්ප කුලයේ හැටියට ඒ අසරණයා විසි තිස් දාහට පවා වෙන්දේසි වී කවුරුන්ගේ හෝ බයිට් එකක් වේ යෑයි ඔවුන් තුන් හිතේ කොහේවත් කහටක් හෝ තියා ගන්නේ නැත.
මාර්ටින් වික්‍රමසිංහයන් "අපේ ගමේ" ගෙම්බන්ගේ ඉස්‌ගෙඩියන්ගේ වග ලියා තැබුවේ සොබාදහමේ උචිතෝන්නතියේ ධර්මතාවයි. ඒ අද අපට ලියා තබන්නට සිදුව ඇත්තේ මකර කටේ වැටෙන මණ්‌ඩුකය බවන් ගැනය. ඒ ගෙම්බන්ට ඇත්තේ ඉතින් අබසරණය. පාරිසරික සමතුලිතතාවය ගැන ඔබ මෙහිදී කලබල විය යුතු නැත. මකුළු දැලක තවත් එක් කොනක් කැඩී යැම වැනි ලපයි සිපයි ප්‍රශ්නවලට අපගේ පාලක කොටළුවන් විද්‍යානුකූල පිළියම් යොදනු ඇත. මණ්‌ඩුකයන්ගේ පමණක් නොව ඉදිබුවන්ගේද රාහු උච්ච වී ඇත. වැඩි කල් නොගොස් දොරේ ඉන්න ඉබ්බන් හා පොල්කටු ඉබ්බන් හැරුණු කොට ලංකාවෙල් තාරකා, කිරි කෙසේ වෙතත් ගල් ඉබ්බෙක්‌වත් සොයා ගැනීමට නොහැකි වෙනු ඇත. ඉබ්බා මස් කර ඉබි ලෙයින්ම ඉබිකට්‌ටේම තැම්බීමේ කලාව ලාංකි ක බයිසන්වරුන්ට ඉගැන්වීමේ ගෞරවය හිමි වන්නේ චීන මකරුන්ටය.
අපේ රටේ පාලකයෝ මුලින්ම විදේශිකයින්ට මේ රටේ කෙල්ලන්ගේ රෙද්ද ඉස්‌සූහ. දෙවනුව කොල්ලන්ගේ කලිසම ගැලවූහ. තෙවෙනුව පොඩි එවුන්ගේ පැම්පස් ගැලවූහ. එයිනුදු නොනැවතී රට ඉඩම් කෑලි කර විකුණූහ. දැනුදු විකුණමින් සිටිති. අපේ රටේ ඇස් පනා පිට වන ජාන මංකොල්ලය නවත්තන්නට හපන් පෘෂ්ඨවංශිකයෙක් ආණ්‌ඩුවේවත්, කැබිනෙට්‌ටුවේවත්, අමාත්‍යාංශයේවත් නැත. බඩගින්න හදපු කථා බොහෝමයකි. ඉන් එකකින් කියවෙන්නේ බල්ලෙක් එක්‌ක නිදා ගත්තොත් බලු මැක්‌කොත් එක්‌ක නැගිටින්නට වන බවය.
චීන්නුන්ට පමණක් නොව පොදුවේ විදේශිකයන්ට වැහිලිහිණි කූඩු කඩා විකිණීමේ ව්‍යාපාරයක් ලංකාවේ ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම සංචාරක හෝටල් ආශ්‍රිතව මේ ව්‍යාපාරය සිදු වේ. වැහි ලිහිණියන් කූඩු හදන්නේ කෙළ යොදා ගනිමිනි. ඒ කූඩුවලින් සුප් සාදා බීමෙන් ලිංගික ශක්‌තිය වැඩි වන බව මේවා භාවිතා කරන ඇතමුන්ගේ මතයකි. වැහිලිහිණි කූඩුවලට හෙණහුරා ලබා ඇත්තේ මේ නිසාය.
වටු කුරුලු බිත්තරවලට විදේශීය හා දේශීය වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතී. වටු කුරුලු බිත්තර එක්‌රැස් කිරීමේ නැතිනම් කූඩු කඩා නොරටුන්ට විකිණීම අද ප්‍රධාන ව්‍යාපාරයකි. අපරාධ කරන විට අඹ ගෙඩි තුනක් හොරකම් නොකර මහ බැංකුව හොරා කෑ යුතුය. දර කෑල්ලක් අහුලන්නට නොගොස් විල්පත්තුව සංහාර කර දැමිය යුතුය. දියුණු වෙන්න ඕනෑනම් ඔබට මට අලුත් කලාවක් කියා දීමට හැකිය. නිකන් නොසිටින්න. මෙරුන්, කඳන් පණුවන්, ගොළුබෙල්ලන්, ගෙම්බන් වැනි ලපයි සිපයි වැඩවලටද අත නොගසන්න. ඒවා කළොත් ඔබට වන්නේ අඹ හොරාට වූදේය. ඉන්නේ මුහුදු කරේ නම් හොඳය. ඩොල්ෆින්ලට, තල්මස්‌සු ඉන්න පැත්තක නම් වඩාත් හොඳය. බෝට්‌ටුවකින් සුද්දන්ට තල්මස්‌සු පෙන්නන්ට ගෙන යන අතරේ එකෙක් දෙන්නෙක් මස් පනම් ඉපදවීමට ඔබට වරම් ඇත. ඉන්නේ හික්‌කඩුව පැත්තේ නම් අවුලක් නැතුව ගල්මල් නැතිනම් කොරල්පර විකිණීමේ ව්‍යාපාරයට ඔබට එක්‌විය හැකිය. රටින් පන්නා ගැනීම අදාළ සුද්දාට මිස ඔබට නොවන නිසා ඔබ ඒ ගැන වෙහෙසවිය යුතු නැත. සාගර ආරක්‍ෂණ නීති හමස් පෙට්‌ටියේ යෙහෙන් වැජඹෙන නිසා නීතිය ගැන වදවිය යුතුද නැත. ඔබ වද විය යුත්තේ භූමිතෙල් මිල ගැනය. ගවපාලනය ඊටද පිළියමක් දෙනු ඇති නිසා ඒ ගැනද වද විය යුතු නැත. ඉහළ මට්‌ටමේ පෙරේත රැකවරණය ඇති නම් බය නැතුව ජාන මංකොල්ලයට අත තබන්න ඔබේ ව්‍යාපාරය කිඹුල් හූනාගේ සිට, බිනර මලේ සිට වල්ල පට්‌ටා වූවත්, කොතලහිඹුටු වූවත් ප්‍රශ්නයක් නැත. උපන් රටේ මහ පොළොවට පමණක් සොබා දහම දායාද කර ඇතිමුත් පේටන්බලපත්‍රය වෙන රටවල්වලට ලබාදී අපේ මවුබිම ගණිකා වෘත්තියේ යෙදවීමට තරම් අපේ පාලකයෝ යහපාලනයේ කෙළ පැමිණි දේශප්‍රේමීන් නිසා නීති ගැන සිතා ඔබේ සිත නොරිදවා ගන්න. දියුණු වෙන්න ඕනෑනම් අනුගමනය කළ යුතු අලුත් කලාව මෙයයි. එවිට ඔබට මහ බැංකු හොරාට මෙන් යෙහෙන් වැජඹෙන්නට ඔද තෙද ගුණ ලැබෙනු නිසැකය.
මිනිසාගේ ළඟම මිත්‍රයා බල්ලා බව අවිවාදාත්මකය. එහෙත් වර්තමානය දෙස බලන විට අවුරුදු දහස් ගණනක් තිස්‌සේ එකට විසීම නිසා බල්ලාගේ පුරුදු මිනිසා අනුගමනය කරනවාද නැතිනම් මිනිසාගේ පුරුදු බල්ලා අනුගමනය කරනවාද යන්න තෝරා බේරා ගත නොහැකි තරමට අවුල් වියවුල් වී හමාරය. තත්ත්වය කෙසේ වූවද චීන්නු ආ පසු දඩාවතේ යන බල්ලන්ගේ ගහණය අඩුවුවා යෑයි මිනිසුන් කියන්නේ කට කහනවාට නොවේ. බලු හා බළල් ගහණය ගැන සංගණනයක් කළොත් කැබිනට් සංශෝධනයෙන් රටට වූ සෙතට වඩා සෙතක් අත් වෙනු ඇත. එහෙත් අලි ඇතුන් ටිකවත් රැකබලා ගන්න බැරි රටේ මොන බලු බළල් සංගණන දැයි ඔබට සිතෙනු නොඅනුමානය.
දිවයින පුවත්පත ඇසුරෙනි