Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

බිරින්දෑවරුන්ද කෙස්වලූ පටලවා ගත්තා යැයි කියූ
තිසර සහ මාලිංගගේ ‘ෆේස් බුක්’ ගැටුම

විනයක් සහ සැලසුමක් නැති කිසිම තැනක පැවැත්මක් නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද මේ වන විට සිදුව ඇත්තේ මේ වින්නැහියම බව දිනෙන් දින සනාථ වෙමින් තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලැස්ම දිනෙන් දින කොට උඩ යද්දී ක‍්‍රීඩකයන්ගේ විනය සහ එකමුතුකමද විනාශ මුඛයට තල්ලූ වී දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නමැති ප‍්‍රාණය ඔක්සිජන් වලින් දුවන තත්ත්වයකට පත්ව තිබේ.

ඉකුත් සතියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන් ගොන්නට එකතු වූ අලූත්ම පරාජය නවසීලන්තය හමුවේ එක්දින තරගාවලිය 3-0 ක් වශයෙන් බැට කෑමය. ඒ පරාජයේ අළු යට ගිනිි පුපුරු මෙන් මතුවූයේ කණ්ඩායමේ එකමුතුකම කෑලි කැලි වලට කැඞී ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ද කෙස්වලූ පටලවා ගන්නා ‘කුජිත’ තත්ත්වයකි. තිසර පෙරේරා සහ ලසිත් මාලිංගගේ තිරය පිටු පස විරසකය බිරින්දෑවරුන් විසින් ලෝකයට දෙද්දී හෑල්ලූවට පත්වූයේ අපේ ක‍්‍රිකට්ය. පවුල් ප‍්‍රශ්න අන් අයට වැදගත් නොවුණද ක‍්‍රිකට් නමැති සමස්ත රටවැසියාගේ බූදලයට මෙවැනි දේ සිදු නොවිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් අපි මෙසේ සටහන් කරමු.

අදාළ ප‍්‍රශ්නයට මැදි වූ ක‍්‍රීඩකයන් දෙපලගේ වේදනාව සිය බිරින්දෑවරුන් විසින් පිට කරනු ලැබුවේ ‘ෆේස් බුක්’ හරහාය. සාමාන්‍යයෙන් ඕනෑම වෘත්තියක නියැලෙන්නකු ‘ෆේස් බුක්’ හරහා සිය වේදනාව පිට කරන ක‍්‍රම කිහිපයක් තිබේ. නමුත් සමස්ත රට වැසියන් සහ ලෝකය දන්නා ක‍්‍රීඩකයන් දෙදෙනාගේ බිරින්දෑවරු මේ ප‍්‍රශ්නයට මැදිහත් වූයේ මෙය එතරම් දුරදිග නොයනු ඇතැයි සිතමින් විය හැකිය. ‘ෆේස්’ බුක් හරහා මඩ ගසා ගැනීම නිවට කමකි. තිසර සහ මාලිංග දෙදෙනාම නායකත්වය දැරූ ක‍්‍රීඩකයන් බැවින් මෙවැනි දේ සිදුනොවිය යුතු බව ඔවුන්ද වටහා ගත යුතුය. බිරිඳගේ ‘රිමෝට්’ එක තිබිය යුත්තේ ස්වාමි පුරුෂයා ළග බැවින් ඔවුන්ව පාලනය කිරීම සෑම පුරුෂයකුගේම යුතුකමක් සහ වගකීමකි.

ප‍්‍රශ්නය පැන නැගුනේ මෙසේය. ක‍්‍රීඩා ඇමැතිවරයා ළඟට ගොස් තිසර ස්ථානයක් ඉල්ලූ බව හැඟවෙන දැන්වීමක් මාලිංගගේ බිරිඳගේ නමින් ඇති ෆේස් බුක් ගිණුමේ සටහන් විය. එය සටහන්ව තිබුණේ ‘අසරණ පැන්ඩා’ යනුවෙනි. පැන්ඩකුගේ ඡායාරූපයක්ද ඒ අතර විය. ඇත්ත කතාව තිසර කණ්ඩායමේ ස්ථානයක් සම්බන්ධයෙන් දැගලූ නැති බවකි. ඔහුට තිබුණේ කණ්ඩායමේ නායකත්වය සම්බන්ධ ගැටලූවකි. නමුත් තිසර නායකත්වය සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බව ප‍්‍රකාශ නොකළද එය තිරය පිටුපස කතාවකි. විටෙක තිසර සාධාරණය. මේ ප‍්‍රශ්නයට තේරීම් කමිටුවද වගකිව යුතු බැවින් එය අපි ලිපිය අවසානයට සටහන් කරමු.

‘පැන්ඩා’ යනු අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලබන්නේ තිසර පෙරේරා බව ක‍්‍රිකට් සමීපතමයෝ හොඳින්ම දනිති. තිසර, මැතිව්ස්, දිමුත් සහ රොෂේන් සිව්දෙනාම ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුහු වෙති. ඔවුන් දැන් ජාතික කණ්ඩායමේ එකට සිටිති. පාසල් කාලයේදී එකිනෙකාට අන්වර්ත නාමවලින් මඩ ගසා ගන්නේ පාසල් සමයේ ඇති ළමා කාලය හේතුවෙනි. ඒ කාලයේදී තිසරගේ ශරීර ලක්ෂණ නිසා ‘පැන්ඩා’ යන නම පටබැඳි තිබේ. ඔහුගේ පාසලෙන් පැමිණි අනිකුත් ක‍්‍රීඩකයන්ටද එවැනි නම් තිබුණද එම නම් ප‍්‍රසිද්ධ කිරීමෙන් අපි වැලකී සිටිමු.

ලසිත් මාලිංගගේ බිරිඳගේ නමින් ඇති ෆේස් බුක් ගිණුමේ සඳහන් වූ දෙයට තිසර පෙරේරාගේ පාර්ශ්වයද පිළිතුරු සැපයීය. නමුත් නවසීලන්තය සමග පැවැති දෙවැනි එක්දින තරගයට පෙර මේ ‘ෆේස් බුක්’ පටලැවිල්ල ගිනි ගෙන තිබූ බැවින් තිසර පෙරේරා විසින් සිය ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණි.

‘ගොසිප් සයිට්, ෆේස් බුක් හරහා මා හට මඩ ප‍්‍රචාරණය කිරීමට වෙර දරන අඹුසැමි යුවල හට මා සමග පෞද්ගලික අමනාපකම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධ කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම බවත් තැන ආරක්ෂා කිරීමට මට කිසිවෙකු පසුපස හඹා යෑමට අවශ්‍ය නොවන බවත් පහල ඇති මාගේ 2018 දක්ෂතා පුවරුවේ එය මැනවින් පිළිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරීමට එල්ල කරන චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දෑවරුන් තමන්ගේ කාර්ය භාරය පමණක් කරගෙන සිටීනම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි. ලකුණු 415 යි, සාමාන්‍ය 34.58, ප‍්‍රහාරාත්මක වේගය 115.59, කඩුලූ 25, හොඳම 55/5, කඩුලූ හතර බැගින් 2 වතාවක් සහ පහ බැගින් 1 වතාවක් වශයෙන් තිසර සිය ‘ෆේස් බුක්’ පණිවුඩයෙන් සඳහන් කර තිබුණි.’

තිසර සහ මාලිංග යනු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මිතුරන් වුවත් කාලයාගේ ඇවෑමෙන් කණ්ඩායමේ නායකත්වයට මේ දෙදෙනාම කිට්ටු වෙද්දී මේ සටන ඇති වෙන්නට ඇතැයි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ රහසකි. ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇති වූ ‘ෆයිට්’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට එන්නේ 1980 දශකයේ සිටය. නමුත් ගෙදර ගින්දර පිටට දෙන සිරිතක් එතෙක් මෙතෙක් සිදුව නැත.

වසරකට වැඩි කාලයක් කණ්ඩායමේ ස්ථානය නොමැතිව සිටි ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඔටුන්න පැළඳවීමත් සමග මේ ඝට්ටනය ඇති වී ඇතැයි ආරංචි මාර්ගවලින් තතු දත් උදවිය පවසයි. වසර කිහිපයක සිට දාං ලෑල්ලේ ඉත්තන් මෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් පමණක් නොව නායකයන්ද වෙනස් වන යුගයක මෙවැනි ඝට්ටන ඇති නොවුණහොත් එයද පුදුමයකි. නමුත් සදාචාර සම්පන්න සහ විනයානුකූල ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මෙවැනි පවුල් ප‍්‍රශ්න නොහොබිනා දෙයක් වුවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තවමත් ඒ සම්බන්ධයෙන් දඩුවමක් ක‍්‍රියාත්මක නොකිරීමද ‘පනින රිළවුන්ට ඉනිමං’ බඳින්නාක් මෙන් අමුතුම තාලයේ වැඩකි.

ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පත්කරන ලද අසන්ත ද මැල්ගේ තේරීම් කමිටුව විසින් දිනේෂ් චන්දිමාල්ව එක්දින නායකත්වයෙන් ඉවත් කර ලසිත් මාලිංගට නායකත්වය ලබාදෙන ලදී. ලසිත් මාලිංග පරිණතය. නමුත් ලෝක කුසලානට මාස හයක් තිබියදී මෙවැනි තීන්දු තීරණ මගින් කණ්ඩායම දෙදරා යෑමේ මග විවෘත වන බව මාලිංග සහ තිසර පටලැවිල්ල කදිම නිදසුනකි. ඒ සටන ආරම්භ වූයේ තේරීම් කමිටු මාරුවත් සමග නායකයන් මාරුවීමෙන්ය.

චන්දිමාල් සහ මැතිව්ස් නොමැති කල එක්දින කණ්ඩායමේ නායකත්වය ඉකුත් වසරේදී අත්තෙන් අත්තට මාරු විය. ඒ අතරවාරයේදී තිසර පෙරේරාටද ශ‍්‍රී ලංකා එක්දින ඔටුන්න හිමිවිය. මාලිංග ඒ වන විට සිටියේ කණ්ඩායමෙන් එළියේය. කණ්ඩායමට එන්නට මාලිංග සිව්දින ක‍්‍රිකට් තරග පවා ක‍්‍රීඩා කළේය. නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍ය සහ දක්ෂතාව එදා සිටි ග‍්‍රැහැම් ලැබ්බ්‍රෝයිගේ තේරීම් කමිටුවට පැහැදීමක් නොතිබුණි. මාලිංග නොමැති කල තිසරට නායකත්වය ලැබීමත් සමග ඔහුගේ උපන් ආගම නොවුණද බුද්ධාගම අනුව දානමය පිංකමක් සිය නිවසේදී පවත්වා නායකත්වයට ලක ලෑස්ති විය. නමුත් හතුරුසිංහගේ ආගමනයත් සමග යළිත් සියල්ල කණපිට හැරුණි. හිටපු නායක මැතිව්ස්ට ඔටුන්න හිමිවීමත් සමග ඔහුගේ යටතේ සිටි ගෝලයන් යළිත් හිටපු නායකයා සමග කරළියට පැමිණියේය. මැතිව්ස් සහ තිසරද එකම පාසලේ ක‍්‍රීඩා කරමින් යොවුන් ලෝක කුසලානද ක‍්‍රීඩා කළ අයෙකි.

එදා ඇන්ජලෝ මැතිව්ස් යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන විට තිසර පෙරේරාව තම කණ්ඩායමට අවශ්‍යම බව තේරීම් කමිටුවට පවසා තිබේ. ඒ අනූව තිසර නැමැති තුන් ඉරියව් ක‍්‍රීඩකයා ජාතික කණ්ඩායමට පැමිණියේය. පසුව බලය, ජනප‍්‍රියතාව සහ නිහතමානීත්වය ගිලිහී යෑම මුල්වෙමින් ප‍්‍රශ්න මතු වුණද ඒවා බිරින්දෑවරුන්ගේ ප‍්‍රශ්න බවට පත් නොවුණි.

ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙසට චන්දික හතුරුසිංහ ප‍්‍රකාශ කිරීමත් සමග ඔහු ඉල්ලා අස්විය. ඊට පසුව ග‍්‍රැහැම් ලැබ්බ්‍රොයිගේ තේරීම් කමිටුව, පුහුණුකරු හතුරුසිංහ සහ අනිකුත් කළමනාකාරීත්වය සාකච්ඡා කරමින් ටෙස්ට් සහ එක්දින නායකත්වයේ ඔටුන්න චන්දිමාල්ට පැළඳවීය. ඒ ලෝක කුසලාන වන තෙක්ය. නමුත් එංගලන්ත තරගාවලියෙන් පසුව හිටි හැටියේ තේරීම් කමිටුව වෙනස් විය. අසන්ත ද මැල්ගේ තේරීම් කමිටුව හතුරුසිංහගේ ඒකාධිපති න්‍යාය පසෙක දමා තමන්ට අවශ්‍ය නායකයන් සහ කණ්ඩායම නම් කළේය. තිසර සහ මාලිංග ගැටුමද ඇවිළීමේ තිරය පිටුපස ආරම්භය එසේ සිදුවිය.

දිනේෂ් චන්දිමාල් 2014 ලෝක කුසලාන නායකයා වුවද එදා චන්දිමාල්ට එරෙහිව තිරය පිටුපස කුමන්ත‍්‍රණයක් සිදුවිය. ඊට හේතුව 2014 ලෝක කුසලානට යෑමට කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත් අත්සන් නොකළද චන්දිමාල් විසින් ක‍්‍රිකට් ආයතනයේ තීන්දුවට හිස නමා තිබීමයි. කෙසේ වෙතත් අවසානයේ තරගාවලිය අතරමගදී නායකත්වයේ ඔටුන්න චන්දිමාල්ගෙන් ගලවා දමා මාලිංගගේ හිස මත පැළඳවීමට කටයුතු කෙරුණි. චන්දිමාල් ස්ථිර නායකයා වුවද ලෝකයේ ‘බංකුවට’ ගිය නායකයා වශයෙන් ඔහු එදා ඉතිහාසයට එක්විය. මෙවරද චන්දිමාල්ගේ හිසේ තිබූ ඔටුන්න මාලිංගට වැටුණි. වෙනසකට ඇත්තේ 2014 තේරීම් කමිටු සභාපතිවරයා වූයේ සනත් ජයසූරියයි. මෙවර ඒ වෙනස කරනු ලැබුවේ අසන්ත ද මැල්ගේ තේරීම් කමිටුව වීමයි.

මාලිංගව එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමත්, එක්දින උපනායකත්වය නිරෝෂන් දික්වැල්ලට ලබාදීමත්, ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වයෙන් සුරංග ලක්මාල් ඉවත් කරමින් දිමුත් කරුණාරත්නව ගෙන ඒමත් මැල්ගේ තේරීම් කමිටුවේ පළමු රාජකාරිය විය. තේරීම් කමිටුව තීරණ ගත යුත්තේ වර්තමානය, සහ අනාගතය යන දෙකම කළමනාකරණය කර ගැනීමට හැකි වන අයුරිනි. නමුත් ලෝක කුසලානට මාස හයක් තිබියදී එක්දින කණ්ඩායමට නායකයන් තිදෙනෙකු පත්කිරීමෙන් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව තවත් අගාධයට තල්ලූ කර දැමීමකි.

ගෙවුණු මාස 24 ක කාලය තුළදී ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකත්වය හත් වරක් මාරුවී ඇත. (ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, තිසර පෙරේරා, චාමර කපුගෙදර, දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග) අදාළ මාරුවීම්වලදී මැතිව්ස් සහ චන්දිමාල් දෙවරක්ද එක්දින නායකත්වයට පත්ව තිබේ. දැන් ඇත්තේ ලෝක කුසලානට පෙර සිව්වැනි එක්දින නායකයා කවුරුන්ද යන්න තේරීමේ රාජකාරියට ක‍්‍රිකට් තේරීම් කමිටුවට අතතැබීමයි. 1975 වසරේ සිට ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමට වරම් ලැබූ නායකයන් ගණන 22 කි. ඒ අතරින් ඉකුත් මාස විසි හතරේදී ශ‍්‍රී ලංකා එක්දින නායකත්වය හත් වරක් මාරු වෙද්දී සහභාගි වූ එක්දින තරග 46 කදී පරාජයන් 33 ක් ලබා ජය ගෙන ඇත්තේ තරග 9 කි. (2017 දී තරග 29 කින් පරාජයන් 23 ක්, ජය 3 ක්, 2018 වසරේදී තරග 17 කදී පරාජයන් 10 ක් සහ ජය 6 ක්)

ලසිත් මාලිංග සහ තිසර පෙරේරාගේ ප‍්‍රශ්නයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ‘දිවයින’ ට ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි, ‘අපි ඒ දෙන්නට අවවාද කළා. කළමනාකාරීත්වයට කිව්වා මේ දේවල් සිදුනොවෙන්න ඒ අයට අවවාද කරන්න කියලා.’ යනුවෙනි. නමුත් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු කොන්ද කෙළින් තබාගෙන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඉදිරියේ අපූරු පිළිතුරුක් ඒ සම්බන්ධයෙන් ලබාදුන්නේය. ‘පසුගිය කාලයේදී මම දැක්කා ක‍්‍රීඩකයන්ගේ භාර්යාවන් ගැටලූවක් ඇතිකරගෙන. හැමදෙනාගෙන්ම මම ඉල්ලන්නේ බිරිඳව ගෙදර තියලා ඇවිල්ලා පිට්ටනියේ සෙල්ලම් කරන්න කියලා.’ ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් එවැනි දෙයක් ප‍්‍රකාශ කිරීම අගය කළ යුතුය.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් විදෙස් රටවල මාස ගණන් කී‍්‍රඩා කරන බැවින් ඔවුන්ට සිය බිරිඳ සහ දුවා දරුවන්ව රැගෙන යෑමට අවසරය ක‍්‍රිකට් ආයතනයෙන් හිමිවේ. මීට පෙර වසරකට එක් වතාවක් තමන්ගේ බිරිඳව රැගෙන යෑමට අනුග‍්‍රහය අදාළ ක‍්‍රීඩකයන්ට ක‍්‍රිකට් ආයතනය විසින් ලබාදුනි. නමුත් එය පසුකලෙක නවතා දැමීමට තීරණය කිරීමෙන් හිටපු ක‍්‍රීඩකයන්ගේද දෝෂ දර්ශනයට ලක්විය. මෙවැනි සිදුවීම්වලින් සියලූම ක‍්‍රීඩකයන්ට සහ බිරින්දෑවරුන්ට ‘කළු පැල්ලම්’ එක් වන්නේ එසේය. ලෝකයේ ප‍්‍රධාන තරගාවලි සඳහා යන විට එක් එක් ක‍්‍රිකට් ආයතනවලින් ක‍්‍රීඩකයන්ට නීති මාලාවන් යොදයි. ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාවද තමන්ගේ පවුලේ උදවිය ගෙන යෑම ඇතැම් තරගාවලි වලදී තහනම් කරයි. ඒ අනවශ්‍ය ‘විෂ බීජ’ කණ්ඩායමට පැමිණීම වලක්වා ගැනීමටය.

කෙසේ වෙතත් 2015 වසරේදී තිසර සහ මාලිංග සිටියේ එකම පිලකය. එදා වේග පන්දු පුහුණුකරු වූ චමින්ද වාස්ට එරෙහිව මාලිංග ක‍්‍රියා කළ බව වාර්තා විය. එතැනදී පුහුණුකරුට වඩා මාලිංග බලවත් වූයේ ඔහු ‘පීක්’ එකේ සිටි බැවිනි. මාලිංගගේ දක්ෂතා සම්බන්ධයෙන් චමින්ද වාස් ප‍්‍රස්තාරයක් සකස් කරමින් ඔහුට මාස කිහිපයක් විවේක ලබාදීම කළ යුතු යැයි ප‍්‍රකාශ කිරීමෙන් මාලිංග සහ වාස් අතර ගැටුමක් නිර්මාණය විය. මීට වසර කිහිපයකට ඉහත ආරම්භක පිතිකරු යුගලක්ද ගැටුමක් ඇති කරගත් කතාව රටටම දැන ගැනීමට හැකිවිය. තිලකරත්න ඩිල්ෂාන් සමුගනිමින් කියා සිටියේ කතන්දර ඇතත් ඒවා කියවීම ‘උඩබලාගෙන කෙළ ගසා ගැනීමක්’ යැයි කියාය. ඉතිහාසයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඕනෑ තරම් ප‍්‍රශ්න තිබුණි. නමුත් කණ්ඩායමක් වශයෙන් මෙතරම් ‘කුජීත’ වූ වකවානුවක් නම් නොතිබුණි.



අසේල විතාන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook