Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අහසේ සිට බිමට පනින
එස්.ටී.එෆ්. කාංචනා සහ නිර්මලා

අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින් ඉහළට ඇදෙද්දී, එහි ගමන් කරමින් සිටි දිල්හානිට බියක් නම් දැනුණේ ම නැත. එහෙත් තත්පරෙන් තත්පරෙන් ගුවන් යානය ඉහළ අහස් කුස සිපගනිද්දී, නුහුරු තිගැස්සමක් ඈ සිතේ පෙරළි කළා ය. නමුදු කළ නොහැක්කක් නොමැති වග සිතට සපථ කර ගත් ඈ, යානාව ගුවන් ගැබේ අඩි දහසේ සීමාව සලකුණු කරද්දී, දෑස් වසාගෙන ම හෙලිකොප්ටරයෙන් බිමට පැන්නා ය. නිමේෂයකින් තමන් සතු පැරෂුටය දිගහැරගත් ඕ, කිරිල්ලියක සේ පාවෙමින් තත්ත්පර කිහිපයකින් උහන ගුවන් හමුදා පිටියෙහි තණ නිල්ල සිපගත්තේ,  ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයේ තවත් නව පිටුවක් පෙරළමිනි. 

විශේෂ කාර්ය බළකායේ කාන්තා උප‍පොලිස් පරීක්ෂක දිල්හානි කාංචනා පෙරේරා නම් වන ඇය, වසර එකසිය පනහක් පැරණි ‍පොලිස් ඉතිහාසයේ පැරෂුටයක් මඟින් බිමට පීනු, මුල්ම සෙබළිය ලෙස ඉකුත් පළමුවැනිදා එලෙස ඉතිහාසගත වූවාය. ‍පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ කාර්ය බළකාය ඇරඹෙන්නේ අසූව දශකයේ මුලදීය. ප්‍රභූ ආරක්ෂාව සඳහා සහ එල්.ටී.ටී.ඊ. ය මැඩලීමට මුලින්ම ඇරඹුන විශේෂ කාර්ය බළකාය අද ‍පොලිස් දෙපාර්තමේන්තුව සතු විශිෂ්ටතම ඒකකයකි. එස්.ටී.එෆ්. හි කාංචනාට පෙර පැරෂුට් මගින් බිමට පීනු කාන්තාවක් නියෝජනය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ය.

ඒ අනුව ලාංකේය ඉතිහාසයේ කාන්තාවක් පළමු වතාවට පැරෂුටයකින් බිමට පැන්නේ ඉකුත් දෙදහස් අටේදීය. ඇය ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තුෂාරි නයනා දිල්රුක්ෂි හේවාගමගේය. ඉකුත් දෙදහස් අටේ පෙබරවාරි අටවැනිදා, උහන ගුවන් පථයෙන් අහසට නැඟි වයි 12 ගුවන් යානාව අහස දෙබෑ කරමින් අඩි එක්දහස් පන්සියයක් උසට නැඟගත් කල්හි ඇය ඒ වාර්තාව තමන් සතු කරගත්තාය. නයනා දිල්රුක්ෂි ගුවන් හමුදාවේ එවැනි හපන්කමක් කළ ද ‍පොලිසියේ මතෛක් කල් පැරෂුට් පනින්නියක් සිටියේ නැත.
නාවික හමුදාවේ සේවයේ නියුතු සුගත් දිසානායකගේත්, ධම්මිකා කල්දේරාගේත්,  සිහිනය සැබෑ කරමින් එක්දහස් නවසිය අනූහතරේ මෙලොව එළිය දුටු දිල්හානි කාංචනා කුඩා කාලයේ සිට සිහින මැව්වේ නර්තන ගුරුවරියක් වන්නට ය. ඇය මුලින් ම අධ්‍යාපනය ලැබූයේ කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙනි. ද්විතියික අධ්‍යාපනය සඳහා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එක්වන ඇය, එහි උසස් පෙළ එකල ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, අපරාධ විද්‍යාව සම්බන්ධයෙනි. උසස් පෙළින් පසු, විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූ නිසා, විද්‍යාපීඨය සඳහා ඉල්ලුම් කළාය. නමුදු ඒ ගැන එතරම් බලා‍පොරොත්තු තබා නොගත් ඇය ‍පොලිස් සේවය සඳහා තිබූ පුරප්පාඩුවකට ඉල්ලුම් කළේ, විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා කාලයක් ගත වන බැවිනි. නිලඇඳුමට ආසාවෙන් ඇය විශේෂ කාර්ය බලකා නිලධාරිනියක් වන්නේ ඒ අනුවය. ඒ දෙදහස් පහළොව වසරේ ජූනි දහඅටවැනිදා, විශේෂ කාර්ය බළකායේ 73 මූලික පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙමිනි. මේ වන විට විද්‍යාපීඨයෙන් ද කැඳවීම් ලැබුණත්, ගුරු සිහිනය අතහැරි ඕ නිලඇඳුමට හා ගිනි අවියට පෙම් බැන්දාය. මූලික පුහුණු පාඨමාලව සාර්ථකව අවසන් කළ ඇය අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත වන්නේ ඉකුත් දෙදහස් දහසයේ දී ය.

දෙසිය දෙනෙකුගෙන් පමණ සමන්විත වන විශේෂ කාර්ය බළකා කාන්තා බලඇණියට ඉකුත් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂී විය. ඒ, ඔවුන්ට ද ගුවන් පැරෂුට් පාඨමාලාව සඳහා අයැදුම් කරන්නට අවස්ථාවක් හිමි වීම නිසාය. ඒ අදහස විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ, පුහුණු, ‍පොලිස් අධිකාරි එස්. ඩබ්ලිව්. ඒ. බි. දවුලුගල  ඇතුළු නිලධාරීන්ගේ ය. විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් මේ සඳහා ලැබුණේ නොමඳ සහයකි.

“අද වෙද්දී ඕනම ක්‍ෂේත්‍රයක සංවර්ධන කාර්යයකදී කාන්තා දායකත්වය සියයට හතළිහක පමණ ප්‍රතිශතයක් ගැන සළකා බැලෙනවා. ඒ නිසා අපේ කාන්තා බළකායත් සියලු කාර්යයන්ට සුදුසු කණ්ඩායමක් බවට පත් කළ යුතු යැයි අපි කල්පනා කළා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.

ඒ අනුව මූලිකව සෙබළියන් අටදෙනෙක් අම්පාර උහන ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාස‍ලේ මාස එකහමාරක පුහුණුවක් සඳහා තෝරා ගැණිනි. ඉන් සිව් දෙනෙක් මූලික වටයේ සුදුසුකම් සම්පූර්ණ කර තිබූ  අතර, පැරෂුටයක් මඟින් බිමට පනින්නට ඉන් දෙදෙනෙකුට අවස්ථාව හිමිවිය. උප‍පොලිස් පරීක්ෂකදිල්හානි කාංචනා ගුවන් පැරෂුට් ඉතිහාසයට එක් වන්නේ ඒ අනුවය. ඇයගේ පිම්මට පසු, ඒ අභියෝගය ජයගත්තේ විශේෂ කාර්ය බළකායේ කාන්තා ‍පොලිස් කොස්තාපල් නිර්මලා සේනානායකය. විශේෂ කාර්ය බළකායේ හැටහත් වෙනි මූලික පාඨමාලාව හදාරමින් ඈ විශේෂ කාර්ය බළකායට එක්වන්නේ ඇතුගල්පුරයෙනි. ඒ, ඉකුත් දෙදහස් දහයේදී ය.

‍පොලිස් සේවයේ ම අවුරුදු දහඅටක සේවා ඉතිහාසයක් ඇති බි. එම්. සේනානායක ඇයගේ පියාය. ඩී. එම්. කුසුමලතා ඇයගේ ආදරණීය මෑණියන් ය. කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ ඇය ද උසස් පෙළ අවසන් වීමත් සමඟ විශේෂ කාර්ය බළකා සේවයට එක්වන්නේ එහි නිලඇඳුමට පෙම්බඳිමිනි. “ඔයාට පුළුවන් කියලා හිතෙනවා නම් ඔයා මේ අභියෝගය භාරගන්න” ඈ පැරෂුට් පිම්මකට සූදානම් වන බව දැනගත් ඇගේ පියා ඈට පැවසූයේ එලෙසිනි. ඒ ආශිර්වාදය ශක්තියක් කරගත්තී, ඉකුත් පළමුවැනිදා,  එම්. අයි.17 වර්ගයේ ගුවන් යානයෙන් පැරෂුටයක ආධාරයෙන් බිමට පැන්නාය. ඇය පැරෂුට් මඟින් බිමට පීනූ, මුල්ම විශේෂ කාර්ය බළකායේ දෙවැනියාය. 

පැරෂුට් පාඨමාලාවකට එක්වන පිරිසකට මුලින් ලැබෙන්නේ ගොඩබිම් පුහුණුවයි. පැරෂුටයකින් ‍පොළවට ළඟාවන මොහොතේ දී ක්‍රියාකළ යුතු පිළිවෙත් ගැන එහිදී අවබෝධය දෙයි. ගොඩබිම් පුහුණුව සඳහා මේ පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව දිල්හානි පවසන්නී ය.

“සති දෙකහමාරක් පමණ අපි ගොඩබිම් පුහුණුව ලැබුවා. එහිදී, අඩි හතරක් උස බිත්තියකින් බිමට පනින ගමන්, ‍පොළව ආසන්නයේදී අපේ පාද හා ශරීරය හසුරුවාගත යුතු ආකාරය ගැන පුහුණුවක් දෙනවා.”
ඉන්පසුව ලැබෙන්නේ, පැරෂුටයකින් බිමට පනින විටක උද්ගත විය හැකි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුවකි. සුළඟ වේගයෙන් හමන අවස්ථාවකදී පැරෂුටය හසුරුවා ගත යුත්තේ කෙසේද, විදුලි රැහැනකට හෝ ගසකට පැරෂුටය වැටුණහොත් කළ යුත්තේ කුමක් ද, ආදී දේ ගැන එහිදී කරුණු කියාදෙයි. මේ පුහුණුව සාර්ථකව නිම කළ සෙබළියෝ ඉන් අනතුරුව පුහුණු කඳවුරේ ස්ථාපිත කර ඇති අඩි තිස්හතරක් උස කුළුණකින් බිමට පැන්නාහ. “ඒ පුහුණුව දෙන්නෙ උසකින් බිමට පනින්න ඇති බය නැති කරගන්න” දිල්හානි පවසන්නීය.

මේ පුහුණුවෙන් අනතුරුව ඉකුත් නොවැම්බර් පළමුවැනිදා අඩි දහසක් ඉහළ අහසේ සිට පැරෂුටයකින් මහ‍පොළවට පීනූ, විශේෂ කාර්ය බළකා සෙබළියෝ ඉන්පසු තවත් පිමි හතරක් පැන්නෝය. මේ පිමි පහෙන් එක් පිම්මක් පැන්නේ රාත්‍රී කාලයේදී ය. ‘අහසේ පාවෙද්දී මොනවාද හිතුණේ’ දිල්හානිගෙන් අපි විමසුවෙමු.
“මං අහස දිනුවා කියලා හිතුණා. මීට කලින් අපේ බලඇණියෙ කවුරුත් නොකරපු දෙයක් මං කළා නේද කියල හිත හිතා තමයි පහළට ආවෙ.”
“මුලදී නම් බය හිතුණා. ඒත් අනිත් අයත් කරනවා නම් ඇයි මට බැරි කියලා හිතාගෙන මම බිමට පැන්නෙ. ‍පොළවට ආවට පස්සෙ දැනුණෙ ලොකු ජයග්‍රහණයක් කළා නේද කියලා හිතුණා.” නිර්මලා පවසන්නීය.
එලෙස ඓතිහාසික වූ මේ සෙබළියන් දෙදෙනාගේ ඊළඟ බලා‍පොරොත්තුව, අඩි 13900 ඉහළ අහසේ සිට නිදහස් පිම්ම පනින්නට ය. එහි විශේෂත්වය වන්නේ, අඩි 10900 දක්වාම පහළට එන්නේ, පැරෂුටය දිග නොහැර නිදහසේ ගුවනේ පාවෙමින් වීමය. දිල්හානි පවසන්නේ, ඒ සඳහා ලබන ජනවාරියේදී පමණ ආරම්භ වීමට නියමිත ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාඨමාලාවට සම්බන්ධ වීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව හිමිවී ඇති බවය.

“අපේ ඊළඟ අරමුණ තමයි මේ සෙබළියන් දෙදෙනා පැරෂුට් පිමි සංදර්ශන කණ්ඩායම සඳහා පුහුණු කරවීම. අදාළ පුහුණුවීම්වලින් පසුව ලබන 2018 නිදහස් උළෙ‍ලේ සංදර්ශන කණ්ඩායමට මොවුන් දෙදෙනාත් ඇතළත් කරවීමට අපි බලා‍පොරොත්තු වෙනවා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.
ඔහු එසේ පැවසුවාට තවත් වරක් තම දියණිය ඉහළ අහසින් බිමට පනිනවාට දිල්හානිගේ අම්මා නම් ටිකක්වත් කැමති නැත. ඇය ‍පොලිස් සේවයට එක්වනවාට දෙමාපියන්ගේ අකමැත්තක් නොතිබුණ ද විශේෂ කාර්ය බළකායට එක්වීම ගැන නම් මුල සිටම ඔවුහු විරෝධය පෑහ. අවසානයේ දියණියගේ කැමැත්තට ඉඩ දුන්න ද පැරෂුට් පිම්මකට එක්වීම ගැන නම් අම්මා කොහෙත්ම කැමති වූයේ නැත. තාත්තා මෙන් ම තම ආදරවන්තයාද ඊට එතරම් කැමැත්තක් දක්වා නැත. ඒ සියල්ල අතරේ දිල්හානි ඒ සඳහා ඉල්ලුම් කළේ, අම්මාගේ බැණුම් වරුසාවක් මැදිනි.

“මගේ කැමැත්තට ඉඩදීලා නිහඬ වුණාට, මම පැරෂුට් පිමි පහ පැන්න දවස් පහේම අපේ අම්මාට නින්ද ගිහින් තිබුණෙ නැහැ. ඇය පන්සල් ගිහින් බෝධි පූජා පවත්වමින් ඉඳලා. දැන්නම් සතුටුයි. ඒත් ආයෙම ඒ වගේ දෙයක් කරනවාට ඇය කැමතිම නැහැ. මටත් බය නොහිතුණාම නමෛයි. ඒත් අපි දෙන්නම කැමතියි ආයෙම ඊළඟ අභියෝගයත් ජයගන්න.” දිල්හානි පවසන්නීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි 

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook