BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

අවුරුදු 15දී කාමාතුරයන්ගේ ගොදුරකට නතුවී ලිංගික හිංසනයන්ට ගොදුරු වූ දැරියනට අම්මෙක් වු සුනීතාගේ සතුටු කදුළු කතාව

අවුරුදු 15දී කාමාතුරයන්ගේ ගොදුරකට නතුවී
ලිංගික හිංසනයන්ට ගොදුරු වූ දැරියනට
අම්මෙක් වු සුනීතාගේ සතුටු කදුළු කතාව

මම සටන් වදින්නේ බිහිසුණු අපරාධකරුවන් සමඟයි
දැනට දාහතර වතාවක් මම ඔවුන්ගේ පහරදීම්වලට ලක්වී තියෙනවා

'ලැජ්ජාවට පත් විය යුත්තේ දූෂිතයායි. දූෂණයට ලක් වන කාන්තාව නොවේ. තම මුහුණ වසාගෙන සැඟවෙන්නේ කාන්තාවන්. දූෂනයට ලක්වූ කාන්තාවක් වන මම ඔබ ඉදිරියේ සිටින්නේ මුහුණ සඟවා ගෙන නොවේ. වයස අවුරුදු පහළොවේදී මිනිසුන් අට දෙනකු විසින් මා සමූහ දූෂණයට ලක් කරනු ලැබුවා. එම දූෂණය පිළිබඳ මගේ මතකයේ සදහටම තැන්පත් වූයේ දැරිය නොහැකි වේදනාවෙන් මතු වුණු කෝපයයි. අද වන විටවත් එම කෝපය මා තුළින් පහව ගොස් නැහැ. එයින් පසු සමාජය දෙස බැලූ මා දුටුවේ සිය දහස් ගණනක් කාන්තාවන්, දැරියන් ලිංගික හිංසනයට ගොදුරු වන ආකාරයයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මා පෙලඹුවේ මේ අත්දැකීමයි. ඔවුන් ගලවා ගෙන නැවත පුනරුත්ථාපනය කිරීමේ මෙම ව්‍යාපෘතිය අතිශය දුෂ්කර එකක්. මම සටන් වදින්නේ බිහිසුණු අපරාධකරුවන් සමඟයි. දැනට දාහතර වතාවක් මම ඔවුන්ගේ පහරදීම්වලට ලක්වී තියෙනවා' ලිංගික හිංසනය පිටු දැකීමේ සමාජ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ඉන්දියාවේ ඉහළම සම්මානයක් වන 'පද්ම ශ්‍රී ' සම්මානයෙන් 2016දී පිදුම් ලැබූ සුනීතා ක්‍රිෂ්ණන් මෙසේ පැවැසුවේ හැඟීම්බරවය.




ඉන්දියාවේ බැංගලෝරයේ 1972දී උපත ලද සුනීතා ක්‍රිෂ්ණන්, බැංගලෝර් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා උපාධිධාරිනියකි. හයිද්‍රාබාද් ප්‍රාජ්වාලා රාජ්‍ය නොවන සංවිධානයේ නිර්මාතෘ ඇයයි. එය ලිංගික හිංසනයට ගොදුරු වන දැරියන් හා කාන්තාවන් මුදා ගෙන, නැවත සමාජ ගත කිරීමේ බැරෑරුම් කාර්යයට උර දෙන සමාජ සත්කාරක ව්‍යාපාරයකි. එය ඉන්දියාවේ ඇති විශාලම සහන මධ්‍යස්ථානවලින් එකකි.

"බොහෝ දෙනෙක් සිතන පරිදි මෙම ඉරණමට ගොදුරු වන්නේ දුප්පත් දැරියන් පමණක් නොවේ. මධ්‍යම පාන්තික ඉහළ සමාජයේ දැරියන් පවා එයට ගොදුරු වෙනවා. දූෂණයට ලක්වන අවස්ථාවේ එයට විරුද්ධව දක්වන ප්‍රතිචාරයේ අවසන, විවිධ තුවාල සහිතව ආබාධිතයන් බවට පත්වෙනවා. නැත්නම් බිහිසුණු ලෙස මරණයට පත්වෙනවා. ජීවිත රැකෙන අය වෙනත් රටවලට විකිණෙනවා. බද්ධ කිරීම්වලට ඔවුන්ගේ අවයව ඩැහැ ගන්නවා. ගණිකා වෘත්තියට බලහත්කාරයෙන් ඇද දැමෙනවා. මිනිස් වෙසින් සිටින තිරිසනුන්ගේ විකෘති ලිංගික ආශාවන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ඔවුන් වෙත පිරිමින් පැමිණෙන්නේ ඔවුන් පෙම්වතියන් කර ගැනීමටවත් ඔවුන් සමඟ පවුලක් ඇරැඹීමටවත් නොවෙයි. පැයකට දෙකකට දවසකට හෝ පාවිච්චි කර විසි කර දැමීමටයි. මම දැනට අවුරුදු තුනේ සිට හතළිස් පහ දක්වා වයස් පරාසයක 3500ක් පමණ දැරියන් හා කාන්තාවන් බේරාගෙන තියෙනවා. ඔවුන් පවසන දේවල් අපට විශ්වාස කරන්නත් අපහසුයි. ඔවුන් දූෂණය කළ පිරිමි වෙනත් ලෝකයකින් පැමිණි අය නොවෙයි. අප වටා ජීවත් වන පියවරුන්, සහෝදරයන්, මාමාලා, බාප්පලා. එම දැරියන්ට අවසානයේ අත්වන ඉරණම කුමක්ද? දිනපතා විඳින මානසික කම්පනයට අමතරව, දැඩි ලෙස පහරදීම්වලට ලක්වීම, ලිංගාශි්‍රත රෝග, එච්.අයි.වී. ඒඩ්ස්වලට ගොදුරු වීම, අඩු වයස් ගර්භණීභාවය, නැවත නැවත ගබ්සා කිරීම් නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම්. මේවායෙන් ගැලවීමට මඟක් නැති තැන මෙය මගේ ඉරණම යැයි ඔවුන් අවසානයේ එයට යටත් වෙනවා.'

ඒ තම පදනමෙන් අනුපමේය සේවයක් ඉටු කරන සුනීතාගේ වදන්ය. ඇය දේශන පවත්වමින් මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන්නේ ඇයට හමු වූ මෙවන් දැරියන් සිත් කම්පා කරවන ඡායාරුප සහිතව ප්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කරමින්ය. මෙම දැරියන් පුනරුත්ථාපනය කිරීම පහසු නොවේ. ඇය පවසන්නේ එහිදී තම අත්දැකීම් තමාගේ ගුරුවරයා වුණු බවයි. මෙම කාන්තාවන් ඉතා ධෛර්යය සම්පන්නය. ඔවුන් ජීවිතයේ අප්‍රමාණ කටුක අත්දැකීම්වලින් පන්නරය ලැබූ පිරිසකි. පුරුෂාධිපත්‍ය රජයන සමාජයක පුරුෂයන්ට අභියෝගයක් වීමට ඔවුන් තුළ ඇති සැඟවුණ ශක්තිය මතුකර ගත හැකිය. පුනරුත්ථාපනය වන අකුරු නූගත් කාන්තාවන් පවා පෙදරේරුවන්, මේසන්වරුන්, රියැදුරන් ආදී රැකියාවල පවා යෙදෙන්නේ එහි ඉතා ප්‍රශස්ත හැකියාවන් පෙන්වමිනි. කුඩා දැරියන්ට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින්, ආත්මාභිමානයෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු සහිතව ජීවිතය ගොඩනඟා ගැනීමට සුනීතා ඇතුළු ස්වේච්ඡා සේවක කණ්ඩායම මඟ පෙන්වයි. සුනීතා ක්‍රිෂ්ණන් අප්‍රතිහත ධෛර්යයෙන් ගොඩනඟා ඇති මෙම පදනමට ලෝකය පුරා සුබ පතන්නන්ගෙන් සහයෝගය ලැබේ".

ඇයට ඇති ලොකුම අභියෝගය සමාජය විසින් මොවුන් 'පිළිගැනීම'ට පැකිළීමයි.

'මෙම දැරියන් නැවත සමාජගත කළද, ඔවුන් තම දරුවන් සමඟ එකම පාසලක ඉගෙනීම සමහර මවුපියන් ප්‍රතික්ෂේප කරනවා. කොතරම් හොඳ පුහුණුවක් තිබුණත්, දක්‍ෂතා තිබුණත්, සමහර ආයතනවල රැකියා අවස්ථා ලබා දෙන්නේ නෑ. ඔවුන් පුනරුත්ථාපනය වූ පසුත්, සමාජය ඔවුන් නැවත භාර නොගෙන ඉන්න පෙලඹී තියෙනවා. මේ ආකල්ප අප සමාජයෙන් අතුගා දැමිය යුතුයි. මෙම අපරාධ සිදුවන්නේ සංවිධානගතව. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම අපරාධ පසුබිමේ සිටිනවා. ඒවාට එරෙහිව හඬක් නැඟීම අප සැමගේ වගකීමක්. ඒ සඳහා එක්වෙමු' ඒ මානව හිතවාදිනිය සුනීතා ක්‍රිෂ්ණන්ගේ ආයාචනයයි.

වෛද්‍ය ලංකා සිරිවර්ධන





« PREV
NEXT »

Facebook Comments APPID