Featured News

Video Gossip

Advertisement

ලොකු හීන මට නෑ
කූඹියෝ, සහෝදරයෝ ටෙලි නාට්‍ය දෙකම 
මම ඉතාම ආසාවෙන් රස විඳිනවා
- දීපානි සිල්වා


ඇය කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වීමට අවස්ථාව ලැබෙන්නේ දැඩි කැපවීම හා දක්ෂතාව නිසයි. දීපානි සිල්වා වන ඇයට මෙවර කතාබහට අපි කතා කළා.

වැඩිය පේන්න නැත්තේ කලාවෙන් ඈත්වෙලාද?
කලාවෙන් ඈත්වෙලා නැහැ. එක ටෙලි නාට්‍යයක විතරයි වැඩ කරන්නේ.

ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වීම සීමා කරන්න හිතුවේ ඇයි?
හොඳ නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ වෙනකොට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුද ගණනාවකට පත්වෙලා තියෙනවා. කරන ගෙවීම් හරිම අසාධාරණයි. හොඳ පිටපතක් නැහැ, ප්‍රමිතියක් නැහැ.

ඔබ වේදිකාවට ලබාදෙන දායකත්වය මොන වගේද?
අලුත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ වගේම වීදි නාට්‍ය අපි කරනවා. ඒ නාට්‍යවලට ලොකු ප්‍රසිද්ධියක් නැති වුණාට අපට ආරාධනා ලැබෙනවා.

වර්තමාන වේදිකාව ගැන මොකද හිතන්නේ?
අද කලා ක්ෂේත්‍රයම කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. හොඳයි කියන නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය වුණාට නිෂ්පාදකවරුනට ඒ නාට්‍ය කරගෙන යෑමේ ලොකු අපහසුවක් තියෙනවා. නාට්‍ය ශාලා නැහැ. රජය මගින් කිසිම යටිතල පහසුකමක් නැහැ.

විදේශීය ටෙලි නාට්‍ය මෙරට නාළිකාවල විකාශය වීම නිසා මෙරට ටෙලි නාට්‍ය කලාවට බලපෑමක් ඇතිවෙලා නේද?
රජය විදේශීය ටෙලි නාට්‍යවලට බදු නියම කළත් රූපවාහිනී නාළිකාවලට එම බදු ලොකු ගාණක් ‍නෙවෙයි. එම බදු මුදල ඔවුන් එම නාට්‍යය විකාශය කරන අවස්ථාවේදී පළ කරන දැන්වීම්වලින් අයකර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දේ ඔවුන්ට සාමාන්‍ය දෙයක් වෙලා නිසා ලංකාවේ ටෙලි නාට්‍ය ගැන හිතන්නේවත් නැහැ. දැන් මෙරට විකාශය කරන සෑම විදේශ ටෙලි නාට්‍යයක්ම අවර ගණයේ නිර්මාණ. මාධ්‍ය ආයතන දන්නේ නැහැ ජනතාවගේ රසාස්වාදය ගැන, ජනතාවගේ රසවින්දනය ගැන හිතන එක මාධ්‍ය ආයතනයක්වත් අද නැහැ. ඇතැම් නාළිකා අද ජනතාවට බලෙන් සල්ලි දීලා තමන්ගේ ආයතන ප්‍රසිද්ධ කරගන්න හදනවා. මේ ගැන ලොකු කනගාටුවක් තියෙන්නේ. අද තරගය තියෙන්නේ ජනතාව අතර ‍නෙවෙයි. ආයතන අතරයි. මාධ්‍ය ආයතනවලට කිසි නියාමනයක් නැහැ. රජයත් මේ ගැන අවධානයක් නැහැ.

මේ පිළිබඳ රජය දැනුවත් කිරීම කලාකරුවන්ගේ වගකීමක් නේද?
අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයට යෝජනාවලියක් ඉදිරිපත් කළා. රජය සමග මේ ගැන සාකච්ඡා කරලා යම් තැනකට ඇවිත් තිබුණත් ඒ දේවල් යම් තැනක හිරවෙලා තියෙනවා. මේ සඳහා ජනාධිපති කමිටුවක් පත් කළා. ඒ සඳහා යෝජනාවලියකුත් ඉදිරිපත් කළා.

කලාකරුවන් සඳහා අපි වෙනම වෘත්තීය සංවිධානයක් ගොඩනගාගත්තා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සියලු දෙනාම එකතු කරගනෙයි මේ ටෙලි නාට්‍ය වෘත්තිකයන්ගේ සංගමය පිහිටුවා ගත්තේ. සමහර අය හිතනවා මේ සංගමය පටු පරමාර්ථයෙන් ගොඩනැගුවා කියලා. මෙහි කිසි පටු පරමාර්ථයක් නැහැ. ටෙලි නාට්‍යවල උන්නතිය සඳහායි මෙය ගොඩනැගුවේ.

නිර්මාණ තෝරා බේරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන්නේ සමස්ත පිටපත ගැනද?
අද ටෙලි නාට්‍යයකට පිටපතක් ලැබෙන්නේ නැහැ. ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි පිටපත් තියෙන්නෙත්. එහෙම තෝරා බේරාගෙන කරන්න තත්ත්වයක් නැහැ.

ඔබ රසවිඳින්න කැමති නිර්මාණ මොනවාද?
හොඳ නාට්‍යයක් ටෙලි නාට්‍යයක් තිබුණොත් රස විඳිනවා. කූඹියෝ, සහෝදරයෝ ටෙලි නාට්‍ය දෙකම මම ඉතාම ආසාවෙන් රස විඳිනවා. ගොඩ කාලෙකින් බලන්න ලැබුණු හොඳ නාට්‍ය දෙකක්. ඒවයේ රඟපාන නළු නිළියෝ ඉතාම දක්ෂයි.

තමන්ගේ නිර්මාණයක් කිරීමේ කැමැත්තක් ඔබටත් ඇති?
එහෙම බලා‍පොරොත්තුවක් නැහැ. එකම ආසාවක් තියෙනවා වේදිකා නාට්‍යයක් කරන්න.

සමාජයේ කතාබහට ලක්වුණු ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතන්නේ?
ආඩම්බරයක් දැනෙනවා. අහම්බෙන් අරමුණක් නැතුවයි මේ ක්ෂේත්‍රයට ආවේ. මේ ලැබිලා තියෙන තැන ගැන ‍පොඩ්ඩක් සතුටු වෙනවා.

කුඩා කාලයේ ඉඳන්ම ආසාව තිබුණේ කවුරු වෙන්නද?
එහෙම කිසිම ආසාවක් තිබුණේ නැහැ. මට එහෙම බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. අපට රචනාවලට ලියන්න දෙනවා ඔබ කවුරු වෙන්නද කැමති කියලා. නමුත් මම එහෙම වෙන්න කැමති නැහැ කියපු වෙලාවල්වල මම බැණුම් අහලා තියෙනවා. මම ජීවිතය සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. තාමත් එහෙමයි. ලොකු බලා‍පොරොත්තු, හීන මට නැහැ.

තිළිණි කරුණාරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements