BREAKING NEWS
latest

728x90

468x60

header-ad

කොළඹ අහස විදගෙන හැදුව අඩි දහසක්‌ උස නෙළුම් කුලුන හදන ඉංජිනේරුවන් උඩට ගිහින් කියපු කතාව - Colombo Lotus Tower

කොළඹ අහස විදගෙන හැදුව
අඩි දහසක්‌ උස නෙළුම් කුලුන
හදන ඉංජිනේරුවන් උඩට ගිහින් කියපු කතාව

නෙළුමේ හැඩය ගත්තේ
පෑළියගොඩ මඩ වගුරකින්ලු


ඇන්ටෙනාව මීටර 66ක් උසයි
ආවරනය කෙරෙන වැඩිම දුර 60 Km

කොළඹ නගරයේ දහසකුත් ගොඩනැඟිලි මැදින් අහස උසට පිපිණු නෙළුම් පොහොට්‌ටුව, නොහොත් නෙළුම් කුලුන අද කොළඹ නගරයට අතිශය සුන්දරත්වයක්‌ හා අනන්‍යතාවක්‌ එකතු කරන ආකර්ශනීය ගොඩනැඟිල්ලක්‌ බවට පත් වෙලා. කලක්‌ ලංකා බැංකු ගොඩනැඟිල්ල නොහොත් "පිට්‌ටු බම්බුව" තමයි කොළඹ නගරයේ තිබුණු ආකර්ෂණීයම ගොඩනැඟිල්ල බවට පත්ව තිබුණේ. නමුත් මීටර් 150 ක්‌ උස ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ නැගෙනහිර හා බටහිර කුලුනු දෙකක්‌ සහිත ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවීමෙන් පසු ඒ ආකර්ෂණය ලැබුණේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට. ඒ නිසාම කොළඹ නගරයේ ඉහළම ස්‌ථානයට යන්න හිතන අයට මේ ගොඩනැඟිල්ල තරණය කළ යුතු වූ නමුත්, සංචාරක වශයෙන් මෙම ගොඩනැඟිල්ලට ප්‍රවේශමය හැකියාවක්‌ ලැබී තිබුණේ නැහැ. ඒ සංචාරකමය ආකර්ෂණය දිනාදීම සඳහාම වෙනත් රටවල මෙන්, එම රටටම අනන්‍යවූ කුලුනු ඉදිවන අයුරින්ම කුලුනු ගොඩනැඟිල්ලක්‌ ඉදිකරන්නට 2008 වසරේදී එවක රජය තීන්දුවක්‌ ගෙන තිබුණා. ඒ සඳහා යෝජනාව පැමිණ තිබුණේ එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දකුණු කොරියාවේ "සෝල්" කුලුන තරණය කළ අවස්‌ථාවකදී. ඒ අනුව ඉදිකරන්නට යෙදුණු කුලුන නෙළුම් පොහොට්‌ටුවක්‌ බවට පත්ව තිබුණේ අහම්බයකින් බව මෙම කුලුනේ වාස්‌තු විද්‍යාව භාර මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්‌තු විද්‍යා අංශය භාර මහාචාර්ය සමිත මානවඩු මහතා පවසනවා. මෙම කුලුන ඉදිකිරීමට නියමිතව තිබූ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ, පෑලියගොඩ, කැලණි නදී අසබඩ භූමිය නිරීක්‍ෂණයේදී වගුරක පිපී තිබුණු තනි නෙළුම් පොහොට්‌ටුවක්‌ දැක එකඟවූ පරිදි තම වාස්‌තු විද්‍යා සැලසුම සකස්‌ කළ බව එතුමන් පවසනවා.

කෙසේ හෝ මීටර් 356 ක්‌ උස (අඩි 1167) රටේ අනන්‍යතාවට ගැළපෙන පරිදි නෙළුම් කුලුන දැන් ඉදිකර අවසන් අදියරේ පවතිනවා. තවත් මසකදී පමණ වැඩ අවසන් කිරීමේ අරමුණෙන් චීන ඉදිකිරීම් සමාගම මගින් ලහි ලහියේ කටයුතු නිමකරන නෙළුම් කුලුනේ ප්‍රගතිය බලන්නට පසුගියදා "දිවයින ඉරිදා සංග්‍රහය" මාධ්‍ය සංචාරයක්‌ සිදුකළා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දේපළක්‌ වශයෙන් ඉදිවන කුලුනේ කටයුතු නිරීක්‍ෂණයට එහි අධ්‍යක්‍ෂ ජනරාල් ජයතිලක මහතාගෙන් විශේෂ අවසරයක්‌ ලබාගත් අප ඉන්පසු ඇමතුවේ කුලුනේ සිවිල් ඉංජිනේරු අනුර කුමාරපේලි මහතාව. ඔහු අපගේ සංචාරය සංවිධානය කළ අතර ඒ සඳහා පළමුව අවස්‌ථාව උදාකර දුන්නේ කුලුනේ නිර්මාණ සැලසුම සකස්‌ කළ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්‌තු විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය සමිත මානවඩු මහතා මුණ ගැසීම සඳහා. 

කඩි ගුලක මෙන් චීන-ශ්‍රී ලංකා සේවකයින් වැඩකටයුතුවල නිරත ඉදිකිරීම් භූමිය හරහා වැටී තිබුණු ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වූ අපව කැඳවාගෙන ගිය ටී.ආර්.සී. ඉංජිනේරු අනුර කුමාරපේලි මහතා කුලුනේ බිම් ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ වූ කාමරයකදී (සාප්පු කාමරයක්‌) මහාචාර්යවරයා සමඟ පිළිසඳර සූදානම් කර තිබුණා. ඉතා සුහදශීලීව අපව පිළිගත් මහාචාර්ය මානවඩු මහතා කුලුන යෝජනා වූ තැන සිට ම කුලුනේ අතීතය අප හා පැවැසුවා. ඉන් පසුවයි කුලුනේ මුදුනතට යන සංචාරය සූදානම් වුණේ. සිවිල් ඉංජිනේරු අනුර කුමාරපේලි මහතා අපව විදුලි සෝපාන වෙත කැඳවා ගෙන යමින් ශ්‍රී ලංකාවේ ගොඩනැඟිල්ලක ඇති වේගවත්ම ධාවන විදුලි සෝපාන ත්‍රිත්වය අපට පෙන්වා සිටියා. තත්පරයට මීටර් 7 ක්‌ වේගයෙන් දිවෙන මෙම විදුලි සෝපනයෙන් තත්පර 35 කදී කුලුනේ මුදුනත නැරඹුම් වේදිකාව (29 වැනි මහල) මතට ගමන් කරනවා. ඉන්පසු විදුලි සෝපානයෙන් නැරඹුම් වේදිකාව මතට පිළිපන් අපි අවට සුන්දරත්වය, අපූරුව මෙන්ම ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ ඉදිවූ උසින් වැඩිම සුවිසල් ගොඩනැඟිලි මස්‌තකයේ සිට අවට පරිසරය ආශ්වාදනය කළා.

නිරීක්‍ෂණ වේදිකාව දක්‌වා නෙළුම් කුලුනේ උස මීටර් 245 ක්‌. අඩිවලින් නම් 803 ක්‌. මුහුදු මට්‌ටමේ සිට

ගත්තොත් තවත් මීටර් 6 ක්‌ එකතු විය යුතුයි. එනම් මීටර් 251 ක්‌. මෙම නිරීක්‍ෂණ වේදිකාවෙන් ඔබ්බට (ඉහළට) සංචාරකයන්ට ගමන් කිරීම සඳහා අවසරයක්‌ ලැබෙන්නේ නැති බවයි, අපි කැටුව ගිය අනුර කුමාරපේලි මහතා සඳහන් කළේ. මන්ද, විදුලි සංදේශ නියාමන කොමිසමේ දේපළක්‌ ලෙස ගැනෙන නෙළුම් කුලුනේ එතැන් සිට ඉහළට ඇත්තේ අති නවීන ඩිජිටල් තාක්‍ෂණය සහිත ලෝහමය ඇන්ටනාවක්‌. කොටස්‌ හතරකින් සමන්විත මෙම ඇන්ටනාවේ බර ටොන් 180 ක්‌. මෙහි ගුවන්විදුලි, රූපවාහිනි චැනල් 50 ක්‌ සඳහා සම්ප්‍රේෂණ පහසුකම් පවතින අතර අනාගත අවශ්‍යතා පරිදි ඩිජිටල් වීඩියෝ සහ තවත් සම්ප්‍රේෂණ අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි පරිදි පහසුකම් සපයා ඇති බවයි, හෙතෙම පැවසුවේ. මෙම ඇන්ටනාවේ සමස්‌ත උස මීටර් 91.7 ක්‌ (අඩි 300 ක්‌). නැරඹුම් වේදිකාවෙන් යළිත් ඇතුළුවී එක්‌ස්‌ ක්‍රමයට තනා ඇති සම්පූර්ණ කුලුන සඳහාම වන තරප්පු පෙළ දිගේ එක්‌ තට්‌ටුවක්‌ පහළට බැසගිය පසු හමුවන්නේ කාමර 7 කින් යුත් හෝටලයක්‌a. කලින් සැලසුම් කළ නැරඹුම් මහළයි. නමුත් දැන් එය "කැරකෙන අවන්හල" ලෙස වෙනස්‌කර එහි ඉදිකිරීම් කටයුතු ලහි ලහියේ කරගෙන යන අයුරු අපට දැකගන්නට ලැබුණා. කවාකාර මහලේ කරකැවෙන (මහල තුළ) වේදිකාවක තමයි මේ කරකැවෙන අවන්හල ඉදිවන්නේ. පාරිභෝගිකයන් මෙම වේදිකාවේ සිට ආහාරපාන ගනිද්දී පැයකට එක්‌ වටයක්‌ බැගින් මෙම වේදිකාව කරකැවෙන බවයි, ඉංජිනේරු අනුර මහතා අප සමග පැවසුවේ. පාරිභෝගිකයන්ට සංග්‍රහ කටයුතු කරකැවෙන්නේ නැති ඉඩකඩක සිට සැපයීම සිදුකෙරෙනවා. 


මෙම මහළින් පසු පහළට ඇත්තේ බැංකට්‌ හෝල් දෙකක්‌ ඉන්පසු රේඩියෝ, රූපවාහිනි ඩිජිටල් විකාශයට අදාළ කටයුතු සිදුකෙරෙන මහල් දෙකක්‌ ස්‌ථාපනය කෙරෙනවා. ඇන්ටෙනාවත්, නෙළුම් පොහොට්‌ටුවේ කොටසත් හැරුණු කොට ඉන්පසු පහළට ඇත්තේ නෙළුම් මලේ නටුව නොහොත් කුලුනේ කඳ කොටසයි. එහි උස මීටර් 180.5 ක්‌ එනම් අඩි 592 ක්‌. ඉතිරිය පහළ ගොඩනැඟිල්ලට වෙන්කෙරී තිබෙනවා. මීටර් 20.4 ක්‌ (අඩි 67) ක්‌ උස මේ කවාකාර ගොඩනැඟිල්ල මහල් හතරකින් සමන්විතයි. බිම් මහළ ප්‍රවිශ්ට දොරටු 4 ක්‌ සහිත ලොබියකින්ද, ඉතිරි මහල් දෙකක්‌ සාප්පු සංකීර්ණ ලෙසද බිම් මහල සේවා පහසුකම් යනාදිය සඳහාද වෙන්කෙරී තිබෙනවා. අමතරව වාහන 250 ක්‌ නවතා තැබීමේ පහසුකම් සහිතයි.

මේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2008 මාර්තු මාසයේ දවසක. එකල මම මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියා. මට දුරකථන පණිවිඩයක්‌ ලැබුණා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් (අධ්‍යක්‍ෂවරයෙකුගේ) ඔහු කීවේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කුලුනක්‌ හදන්න රජයේ අදහසක්‌ තියෙනවා ඒ ගැන කතා කරන්න සාකච්ඡාවකට එන්න කියලා. මම තවත් ඉංජිනේරුවන් දෙදෙනකු සමඟ එකල සිටි විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා මුණ ගැසුණා. ඊට ටික කලකට පෙර ඔහු කොරියාවේ "සෝල්" කුලුනට ගිහින් තිබුණා. එම කුලුන උඩ ඉන්නකොට එවක ජනාධිපතිතුමා, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එයාට කිව්වලු ලංකාවටත් ඒ වගේ කුලුනක්‌ තිබේනම් හොඳයි කියලා. ඒ සඳහා අදහසක්‌ ගන්න තමයි මට සාකච්ඡාවකට එන්න කියලා තිබුණෙ. මේක කරන විදිහ. එහි ඇස්‌තමේන්තුව, සැලැස්‌ම ආදිය ගැන දැනගන්නයි ඔහු අපිව කැඳවල තිබුණේ. මේ සඳහා ව්‍යාපෘති වාර්තාවක්‌ හදන්න මොරටුව විශ්වවිද්‍යාලය වශයෙන් සහය ගන්නයි ඔහු අපට කතා කළේ. ජාතික වැදගත්කමින් යුත් කාර්යයක්‌ නිසා මේ කටයුත්තට උපරිම සහාය දෙන්නට අපි පොරොන්දු උනා. ඉන් ටික දිනකට පස්‌සේ කුලුන ඉදිකරන්නට තෝරාගත් භූමිය බලන්න යන්න අපට කතා කළා. අපි ඒකට එකඟ වුණා. 

ඒ වනවිට කුලුන සඳහා භූමියක්‌ තෝරා ගෙන තිබුණේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය කියා තිබුණලු ඒකට අවශ්‍ය ඉඩමක්‌ දෙන්නම් කියලා. පෑලියගොඩින් තමයි මේ සඳහා භූමිය බැලුවේ. ඒ නිරීක්‍ෂණයට මමත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වාත්, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ධර්මසිරි සිල්වා මහතාත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාත් අපි හතර දෙනා තමයි වැඩබිම නිරීක්‍ෂණයට පළමුව ගියේ. ඒ එන ගමනට අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අරන් ඇවිත් තිබුණෙත් "සෝල්" කුලුනේ ආකෘතියක්‌. මෙම වැඩබිම ඉංජිනේරු සංස්‌ථාවට අයත් පෙර සවි කොන්ක්‍රීට්‌ වැඩපළ. අපි එහි භූමිය බලමින් ඇවිද්දා. දැන් ඒක අතහැරපු භූමියක්‌. අක්‌කර 22 ක්‌ ලොකුයි. මේ භූමියේ තැනක මඩ ගොහොරුවක්‌ අපි දැක්‌කා නටුවෙන් ඉහළට ආපු තනි නෙළුම් පොහොට්‌ටුවක්‌. අපි එතනදි කතා කළා ජාතික අනන්‍යතාවකුත් තියන නිසා නෙළුම් පොහොට්‌ටුව වගේ සහිත කුලුනක්‌ හදමු කියලා. ආගමටත් සංස්‌කෘතියටත් සම්බන්ධයි, ජාතික පුෂ්පයත් මේ වගේ නිසා, මේ වගේ නිර්මාණය කරගන්න බලමු කියලා කතා බහකට ආවා. ආවට පස්‌සේ අපි යළිත් කතා කළා. කුලුනකට අවශ්‍ය අංග පිළිබඳව. ටී. ආර්. සී. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවා ඔහුට අවශ්‍ය දේවල්. රූපවාහිනී චැනල් 50 කට ගුවන් විදුලි චැනල් 50 කට අවශ්‍ය විකාශන පහසුකම් හා තාක්‍ෂණික උපකරණ ඇන්ටෙනා අවශ්‍ය බව ඔහු කීවා. අපි යෝජනා කළා කරකැවෙන භෝජනාගාරයක්‌, බැන්කට්‌ හෝල් එකක්‌ සහ නැරඹුම් මහලක්‌ කියන අංග තුන. කුලුනේ යටටත් අපි යෝජනා කළේ පිපුණු නෙළුම් මලක්‌ හැඩය ගත්ත ගොඩනැගිල්ලක්‌. නෙළුම් කොළ සහිතවම. අපෙන් ඇහුවම පහත ගොඩනැගිල්ලට එන්න ඕන දේ ගැන අපි කිව්වේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වගේ විකල්ප තවත් ගොඩනැගිල්ලක්‌ නිර්මාණය කරමු කියලා. මොකද කොළඹ නගරයෙන් පිට කැලණි ගඟෙන් එගොඩ හැදෙන නිසා එම ප්‍රදේශයට එවන් ශාලාවක අඩුපාඩුවක්‌ එයින් පිරිමැහෙන නිසා ඒ වගේම කෞතුකාගාරයකුත් අපි යෝජනා කළා. මොකද සංචාරකයින් දවස පුරා රඳවා ගන්නත් ඕන. නිසා ඊට අමතරව අක්‌කර 20 ක ඉඩමක්‌ නිසා ඩිස්‌නිලන්තය වගේ විනෝදාත්මක උද්‍යානයක්‌ හදන්නත් යෝජනා කළා. මොකද ගොඩක්‌ රටවල තත්ත්වය සැලකිල්ලට ගෙන මෙහි පැමිණෙන අයට රස විඳින්න බොහෝ දේවල් අවශ්‍ය වන නිසා.

ඊට පස්‌සේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මගෙන් ඇහුවා මේ වැඩේ කරන්න ලංකාවෙ ඉංජිනේරුවෝ ඉන්නවද කියලා. අපි කිව්වේ ගෘහ නිර්මාණය අපට කරන්න පුළුවන්. නමුත් ඉදිකිරීම කරන්න අපට ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා ඒ වෙනකොට ලංකාවෙ තිබුණු උසම ගොඩනැගිල්ල මීටර් 150 ක්‌ උස ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය. මේ හදන ගොඩනැගිල්ල මීටර් 356 ක්‌ උසයි. අර වගේ දෙකහමාරකටත් වඩා වැඩියි. ඒකට අපිට බයක්‌ තියෙනවා කියලා. ඔහු කීවා බයවෙන්න එපා අපි වෙන රටකින් ඉංජිනේරුවන් අරන් මේක කරමු කියලා. පසුව අපේ සැලසුම නිර්මාණය අවසන් කළා. ඊළඟ රැස්‌වීමකදී ජනාධිපතිතුමා කිව්වේ මේකෙදී තාක්‍ෂණික හුවමාරුවක්‌ කරගන්න කියලා. ඒ කියන්නෙ පිටරට දැනුම මේකෙදි අපි ඉගෙන ගෙන ලංකාවේ ඉංජිනේරුවන් ගෙන් ඒ දැනුම අනුසාරයෙන් ලංකාවෙ වැඩ කරන්න කියලා. අපි ඒකට කැමති උනා. එහි ප්‍රතිඵලය තමයි අද මීටර් 356 ක්‌ උසට නෙළුම් කුලුනු ඉදිවෙලා ඉවරයි. එදා හිටපු ජනාධිපතිතුමා කිව්ව දේට ගරු කරලා අපි කරගත්ත තාක්‍ෂණික හුවමාරුව නිසා අද කොළඹ නරගයේ ඉදිවෙන උසම ගොඩනැගිලිවල ඉංජිනේරුමය කටයුතු සියල්ල පාහේ කරන්නේ නෙළුම් කුලුන වැඩ කරපු ඉංජිනේරුවන්මයි. අපේ ගොඩනැගිල්ලේ ඉංජිනේරුවන් 200 ක්‌ විතර වැඩ කළා. එයාලට කොළඹ අනෙකුත් ගොඩනැඟිලිවලත් වැඩ කරනවා. අර කියපු තාක්‍ෂණික හුවමාරුව දැනටමත් සිදුවෙලා අවසන්. ඇත්තටම නෙළුම් කලුනු විශ්වවිද්‍යාලයක්‌ බවට අපි පරිවර්තනය කර ගත්තා. දැනටත් විශ්වවිද්‍යාල සිසුන්ට පෞද්ගලික අංශයේ සිසුන්ට මෙහිදී ඉංජිනේරු කටයුතු ගෘහ නිර්මාණ ශිල්පය මෙහිදී උගන්වනවා. 

2010 වසරේදී ජනාධිපතිවරණ මැතිවරණය නිසා මේ ව්‍යාපෘතිය ඉන්පසු කලක්‌ නැවතුනා. ටී. ආර්. සී. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉන්පසු මාරුවී ගියා. අලුත් නිලධාරියෙක්‌ ඒ තනතුරට පත්වුණා. ඒ අනූෂ පැල්පිට මහතා, ඔහු මාව යළිත් කැඳෙව්වා. ඉන්පසු ලැබුණු ව්‍යාපෘති යෝජනා සැලකිල්ලට ගෙන තමයි කැබිනට්‌ අනුමැතියට ගියේ. ඉන්පසු තමයි වත්මන් ඉදිකිරීම් සමාගම තෝරා ගත්තෙ. ඒක චීන සමාගමක්‌. එයාල බාරගත්තේ මේ කුලුනේ නිර්මාණය සහ ගොඩනැගීම යන අංශ දෙකම ඒ වියදම අඩුකර ගැනීමට අපි ලංකාව හැටියට ගෘහ නිර්මාණ සැළැස්‌ම දීලා තියෙනවා. කුලුනේ මිනුම්, තට්‌ටුවල තිබිය යුතු අංග, ලිප්ට්‌ ගණන යනාදී අංග සියල්ල අපි යෝජනා කළා. ඔවුන් එයට නිර්මාණාත්මක සැලැස්‌ම හදමින් ඉදිකිරීම සිදු කළා. තවදුරටත් සිදු කරනවා. විදුලිය, දුරකථන පහසුකම්, යනාදී සියල්ලේ සැලසුම අපට දුන් පසුව අපේ 70 ක්‌ විතර කණ්‌ඩායමක්‌ එය තවදුරටත් නිරවද්‍යතාව සහ සාරංශගත කිරීම කරනවා. ඒ අනුමැතියත් සමඟ 2012 මුල් මාසයේ කොන්ත්‍රාත්තුව අත්සන් කළා. නමුත් ඒ පෑලියගොඩ ඉදිකිරීම සඳහායි. 

හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරු කිව්වේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරු සංස්‌ථාවට දෙන්න කියලා. ඒ නිසා සැලැස්‌ම අවුල්වේගෙන ආවා. මේ නිසා කාලය ගෙවෙන්න පටන් ගත්තා. චීන්නු බඩුත් ගෙනවා වැඩේ පටන් ගන්න. මේ ප්‍රශ්න නිසා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ සංචාරක කලාපයෙන් බේරේ වැව අසබඩ හෙක්‌ටයාර් 3.1 ක ඉඩමක්‌ වෙන්කර දුන්නා. 2012 දෙසැම්බර් මාසයේ මේ අනුව වැඩේ පටන් ගත්තා. මෙතන අක්‌කර 7 යි හමුවුනේ. සැලසුමෙන් කෞතුකාගාරය ඉවත් වුණා. ඉහළ කොටසේ බැන්කට්‌ හෝල් දෙක දක්‌වා වැඩි කළා. කොහොම හරි අපි හදපු ව්‍යqහය වෙනස්‌ වුණා. යට ගොඩනැඟිල්ලට සාප්පු සංකීර්ණයක්‌ එකතු වුණා. ඉහළ නැරඹුම් සඳහා තට්‌ටුවක්‌ වෙන් කෙරුණා. පසුව ගෙස්‌ට්‌ හවුස්‌ එකක්‌ ඉල්ලුවා. ඒකට තට්‌ටු නැති නිසා නැරඹුම් තට්‌ටුව ඒකට ගත්තා. නැරඹීම සඳහා එළියෙන් වේදිකාවක්‌ නිර්මාණය කළා. කාමර 22 ක හෝටලයක්‌ තිබුණා. කොහොමහරි ආයිමත් කාමර ගණන අඩුකරලා කාමර 7 ක්‌ දක්‌වා අඩු කළා. ඔහොම තමයි මේ දක්‌වා කුලුනේ ඉදිකිරීම් සිදු වුණේ යෑයි කුලුනේ වාස්‌තු විද්‍යාඥ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්‌තුවිද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය සමිත මානවඩු මහතා පැවසීය.

ජගත් කණහැරආරච්චි - දිවයින පුවත්පත

 ඡායාරූප - හර්ෂණ ජයතිලක, රවී ද සිල්වා සහ අන්තර්ජාලයෙනි















« PREV
NEXT »
Loading...

Facebook Comments APPID