Featured News

Video Gossip

Advertisement

වික්ටර් 76 වසරක්ම නොකළ
වැඩක් කරන්න හදයි

ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය වික්ටර් රත්නායකයන් පිළිබඳ මෑත කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූයේ ගායකයකු සහ නිර්මාණවේදියකු ලෙස ඔහු කළ නිර්මාණ නිසාම පමණක් ‍නෙවෙයි. ඔහුගේ දෙවැනි විවාහය සහ ඉන් අනතුරුව සිදුවූ ඇතැම් සිදුවීම් නිසා ඇතැමුන් වික්ටර් රත්නායකයන් දෙස වෙනස් කෝණයකින් බලන්නට පෙළැඹුණු බවත් රහසක් නොවෙයි. වික්ටර් රත්නායකයන් සිය 76 වැනි උපන්දිනය සැමරුවේ පසුගිය පෙබරවාරි 18 වැනිදායි. ඇතැමුන් ඔහුගේ පෞද්ගලික ජීවිතයට එබි බලමින් විවිධ චෝදනා පවා ඔහු වෙත එල්ල කළත් මේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා ඒවා තමන්ගේ ගමනට කිසිදු අයුරකින් බාධාවක් බවට පත්කරගෙන නැහැ. තවමත් ගායන ශිල්පියෙකු ලෙස ප්‍රසංග වේදිකාවේ සක්‍රීයව නියැළී සිටින ආචාර්ය වික්ටර් රත්නායක මේ දිනවල වෙනස්ම ආරක ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා සූදානම් වෙනවා රිද්ම ට කවදත් ලෙන්ගතු වික්ටර් රත්නායකයන් ඒ පිළිබඳ මුලින්ම හෙළිකළේ අපිටයි. 

ඔබ 'ස' ප්‍රසංග මාලාවෙන් දශක ගණනාවක් පුරා ලංකාවේ ගීත ලෝලීන් මුසපත් කළ සංගීතවේදියෙක්. හැබැයි මෙවර ඔබ සූදානම් වෙන්නේ ඔබ මීට පෙර කවදාවත් ලබා නොදුන් විදිහේ ප්‍රාසාංගික අත්දැකීමක් ඔබේ රසිකයන්ට ලබා දෙන්නයි කියලා කියන්න පුළුවන්ද?

ඇත්තටම ඔව්. මා පමණක් නොවෙයි මීට කලින් අපේ රටේ කිසිදු සංගීතඥයෙක් මේ විදිහේ ප්‍රසංගයක් පවත්වලා නැහැ. මොකද මෙය ලෙහෙසි පහසු සංගීතඥයකුට පවත්වන්න පුළුවන් විදිහේ ප්‍රසංගයක් ‍නෙවෙයි. මාර්තු 24 වැනිදා සවස 7.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ආවොත් ඕනෑම කෙනෙකුට මේ නැවුම් අත්දැකීම විඳගන්න පුළුවන්. ප්‍රසංගයේ නම තමයි සරස - මගේ නොවන මගේම ගී.

මගේ නොවන මගේම ගී කියන පාඨය අහන ඕනෑම කෙනෙකුගේ සිතට කුතුහලයක් නැගෙනවා ආචාර්ය වික්ටර් රත්නායකයන් මෙවර මොන විදිහේ පෙරළියක් ප්‍රසංග වේදිකාව මත කරන්නද මේ සූදානම් වෙන්නේ කියලා. ඇත්තටම මොකක්ද මේ වෙනස? 

මේ ප්‍රසංගයේදී මා විසින් ගායනා කරනු ලබන ගීතවල ස්වභාවය අනුව තමයි ප්‍රසංගය ඒ විදිහට හඳුන්වන්න තීරණය කළේ. මේ ප්‍රසංගය කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ප්‍රථම භාගයේදී මම ගායනා කරන්නේ නැසී ගිය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරු මා වෙනුවෙන් නිර්මාණය කර දුන් තනුවලට මා ගායනා කළ ගීත දොළහක්. දෙවැනි භාගය වෙන්වෙන්නේ මගේ තනු නිර්මාණවලට නැසී ගිය ගායක ගායිකාවන් ගායනා කළ ගීතවලටයි. එවැනි ගීත දහයක් මා එදාට ගායනා කරනවා. මේ ප්‍රසංගයේදී මම ගායනා කරන මුළු ගීත සංඛ්‍යාව 22ක්. නිරෝෂා විරාජිනී සහ සමිතා මුදුන්කොටුව මට යුග ගීත ගායනයේදී සහය වෙනවා. ප්‍රසංගය සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්.

කවුරු සංගීතවත් කළ ගීතද ඔබ පළමු ගීත දොළහට තෝරා ගත්තේ?

ඩබ්ලිව්.ඩී. අමරදේව, ආර්.ඒ.චන්ද්‍රසේන. ඩී.ආර්.පීරිස්, එම්.කේ. රොක්සාමි, ප්‍රේමසිරි කේමදාස, ලයනල් අල්ගම, සෝමපාල රත්නායක, ස්ටැන්ලි පීරිස්. සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, පුණ්‍යසිරි මහවත්ත සහ මර්වින් පෙරේරා යන සංගීතවේදීන්ගේ ගීත තමයි ඒ ගීත දොළහට ඇතුළත් වෙන්නේ. 

වෙනත් ගායක ගායිකාවන් ගායනා කළ ගීත ඔබේ හඩින් රස විඳින්නට ලැබිම ගීත ලෝලීන්ට අපූරු අත්දැකීමක් වෙනවාට සැකයක් නැහැ. එදාට ඔබ ගායනා කරන්නේ කාගේ ගීතද කියලා කියන්න පුළුවන්ද? 

මිල්ටන් පෙරේරාගේ දෙතුන් වතාවක්, ඩබ්ලිව්. ඩී.අමරදේවයන්ගේ කුමරියක පා සළඹ, වින්සන්ට් ප්‍රේමසිරිගේ චිත්‍රාවනි ඔබ, සිසිර සේනාරත්නයන් සමග මා ගැයූ මංගල මල්දම, මිල්ටන් මල්ලවාරච්චිගේ සුන්දරත්වයෙන් පිරි, ෆේ‍රඩී සිල්වාගේ කුණ්ඩුමනී, එච්.ආර්.ජෝතිපාලගේ - රාජ කිරුළු, එම්.එස්. ප්‍රනාන්දුගේ - උපන් හදවියේ, අබේවර්ධන බාලසූරියගේ ගංගා සහ රුක්මනී දේවියගේ ඔබ යන ගමනේ යන ගීත තමයි මා සංගීතවත් කර වෙනත් ගායක ගායිකාවන් ගායනා කළ ගීත විදිහට මා එදාට ගායනා කරන්නේ.

දශක ගණනාවක් පුරා තමන්ගේම ගීත පමණක් ප්‍රසංග වේදිකාවේදී ගායනා කළ ඔබට මෙවැනි වෙනස් ආරක ප්‍රසංගයක් පැවැත්වීමට හිතුණේ ඇයි? 

ඇත්තටම මා එදාට ගායනා කරන ගීත මුලින් ගායනා කළ සහ ඒවා සංගීතවත් කළ නැසී ගිය සංගීතවේදීන්ට උපහාර පිණිස මිස අන් කිසිදු හේතුවක් නිසා ‍නෙවෙයි, මම මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නේ. මගේ උපන්දිනය යෙදී තිබුණු පසුගිය පෙබරවාරි 18 වැනිදා තමයි මේ ප්‍රසංගය පවත්වන්න මුලින් දින නියම කරලා තිබුණේ. නමුත්, මැතිවරණ සහ වෙනත් හේතු කිහිපයක් නිසා මාර්තු 24 වැනිදා දක්වා කල් දමන්න සිද්ධ වුණා. 

නැසී ගිය සංගීතඥයන්ගේ ගීත, ප්‍රසංග සඳහා යොදා ගනිද්දී ඇතැම් විට ඒවායේ අයිතිය සම්බන්ධයෙන් ගැටලු පැන නගින අවස්ථා අප දැක තිබෙනවා. ඔබේ ප්‍රසංගය සම්බන්ධයෙන් එවැනි අර්බුදයක් ඇති නොවේවි කියලා විශ්වාසද?

මම ගයන ඒ ගීත අයිතිය නැසී ගිය සංගීත අධ්‍යක්ෂවරුන්ගේ පවුල්වල උදවියට හෝ ඒ ගීත දැනට පවරා ගෙන තිබෙන පාර්ශ්වයන්ට කර්තෘ භාග ගෙවලයි මම ඒ ගීත ගායනා කරන්නේ. ඒ නිසා එවැනි කිසිදු ගැටලුවක් ඇති වීමට හේතුවක් නැහැ.

ප්‍රවීණ ගායක ගායිකාවන් බහුතරයකගෙන් අද අලුත් ගීත අසන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ ඊට වෙනස් ?

ඔව්, මොකද මම කවදාවත් නිර්මාණවලින් මිදිලා ඉන්නේ නැහැ. මම සංගීතවත් කරලා ගායනා කළ ගීත ඇතුළත් ආදරෙයි මං කියන චිත්‍රපටය පසුගිය දිනවල සිනමා ලෝලීන්ට රස විඳින්නට ලැබුණා. පසුගිය මාස 8 - 10 ක කාලය තුළ මම ගීත 30ක් අලුතෙන් ගායනා කළා. නමුත් ඒ එක ගීතයක්වත් කිසිදු නාලිකාවකින් ප්‍රචාරය වෙන්නේ නැහැ. අද ගීත ශ්‍රවණය කරන්න ලබා දෙනවාට වඩා රූපගත කළ ගීතවලට තමයි මාධ්‍යවලින් වැඩි ඉඩක් ලබා දෙන්නේ. 

ඔබත් වීඩියෝවක්ද සහිතව අලුත් ගීතයක් එළි දැක්වූවාද?

ඔව්. ඒ තමයි මගේ සඳ ඇවිත් කියන ගීතය. ඒ ගීතයට ඉතාම හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබුණා.

24 වැනිදා පැවැත්වෙන ප්‍රසංගය රට පුරා පවත්වන එවැනි ප්‍රසංග මාලාවක ආරම්භය විදිහට හඳුන්වන්න පුළුවන්ද? 

කොහෙත්ම නැහැ. එවැනි ප්‍රසංගයක් නැවතත් පැවැත්වීමේ බලා‍පොරොත්තුවක් මා තුළ නැහැ.

එහෙනම් 'ස' වැනි ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් නැවතත් රස විඳින්න ලැබේවි කියලා බලා‍පොරොත්තුවක් තබා ගන්න හැකි වේවිද? 

'ස' ප්‍රසංගය වාර 1500ක් පවත්වලයි මම එය නතර කර දැමුවේ. නැවත එවැනි ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් පැවැත්වුවත් එය 'ස' ප්‍රසංගය වගේම ප්‍රසංගයක් වෙන එකක් නැහැ. අපි තවම ඒ ගැන සැලසුම් කරමින් සිටින නිසා දැන්ම ඒ ගැන වැඩියමක් කියන්න බැහැ.

මේ ප්‍රසංගයෙන් පස්සේ ඔබේ සංගීත කටයුතු පෙළ ගැහිලා තියෙන්නේ මොන විදිහටද?

මාර්තු 27 වැනිදා මම ඇමෙරිකාවේ සහ කැනඩාවේ සංචාරයක් සඳහා පිටත්ව යනවා. ටී.එම්. ජයරත්න සහ සුනිල් එදිරිසිංහ සමග පවත්වන ප්‍රසංග මාලාවක් සඳහායි මම විදේශ ගත වෙන්නේ.

ඔබේ කාර්යබහුල සංගීත දිවියට ඔබේ බිරිඳගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා ඇති නේද? 

ඇත්තටම ඔව්. මගේ ගීත පිටපත් කිරීමේ සිට හැමදෙයක්ම ඇගේ අතින් තමයි ඉටුවෙන්නේ.

කිෂාන් කනංකෙ
ලක්බිම

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements