Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ලොව දස දිග ඍෂි ධ්වජය නැංවූ 
අපවත් වී වදාළ
දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ

ඈත අතීතයේ පටන් ම ස්වාභාවික ආපදාවලට මෙන්ම ආක‍්‍රමණශීලී සතුරු ක‍්‍රියාකාරකම්වලට සාර්ථකව මුහුණ දෙමින් නිර්මල ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කොට ලෝකයාට දායාද කිරීමේ ගෞරවය හිමි වන්නේ ශ‍්‍රී ලාංකේය භික්‍ෂුන් වහන්සේලාට ය. විවිධ ක්‍ෂේත‍්‍රයන්හි දක්ෂ පක්ෂතා සහිත යුගකාරක යතිවරුන් විසින් ස්වකීය යුතුකම් හා වගකීම් සමුදාය නො පිරිහෙළා ඉටුකිරීම මත, මේ උතුම් පින්බිම අදට ද ථෙරවාදී බුදුදහමෙහි මූලස්ථානය වශයෙන් ලෝකයාගේ ගරු බුහුමනට ලක්වෙයි. පෞද්ගලික ලාභ අපේක්‍ෂා, කායික සුවතා මෙන් ම ජීවිත ආශා අතහැර, ලෝක ශාසනික සේවාවන්හි යෙදෙන ශික්‍ෂාකාමී ධර්මවිනයධර එබඳු යතිවරු මෙකල සුදුර්ලභ වෙති. මෙසේ දක්වන ලද විශිෂ්ට යති පරපුරටම උරුමකම් කියන, ශ්‍රේෂ්ඨ ගණයේ සංඝ නේතෘවරයෙකි, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ, කොළඹ 07, සම්බෝධි විහාරාධිපති, ගෞරව ශාස්ත‍්‍රවේදී, දරණාගම කුසලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මෑත ඉතිහාසයේ ථෙරවාදී බුදුදහම විද්‍යුත් මාධ්‍යය හරහා ලෝකයාට දායාද කිරීමේ ගෞරවය හිමි විය යුතු උන්වහන්සේගේ හදිසි අපවත් වීම, අතිශයින් කනගාටුදායක, සංවේගජනක පුවතකි.

‘නව ලෝකෝත්තර ධර්මය හෙවත් මාර්ගඵල නිවන් ප‍්‍රකාශ කරන සුභාෂිත ධර්මය, බුද්ධාදී උතුමන්ගේ ඍෂි ධ්වජය යි. එබඳු වූ ධර්මය ප‍්‍රචාරය කළයුතුය, බැබළ විය යුතු ය, ඍෂි ධ්වජය එසවිය යුතු ය.’ (භාසයෙ ජොතයෙ ධම්මං පග්ගණ්හෙ ඉසිණං ධජං, සුභාසිතධජා ඉසයො ධම්මො හි ඉසිණං ධජං* යන බුද්ධවචනය මැනවින් ක‍්‍රියාත්මක කළ බුදුුන් වහන්සේගේ ඔරස පුත‍්‍රයෙකි, අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ. කොළඹ 07, සම්බෝධි විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් මෙහෙය වූ බෞද්ධයා රූපවාහිනී නාලිකාව, බෞද්ධයා ගුවන් විදුලිය, සම්බෝධි සඟරාව වැනි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය තුළින් උන්වහන්සේ දියත් කළ බෞද්ධ පුනරුදය සාදානුස්මරණීය වේ. කොළඹ සුවිසල් මන්දිරයේ පටන් ඈත පිටිසර දුගී දුප්පත් පැල්පත දක්වා ම වෙසෙන, සුවහසක් මිනිසුන්ගේ සිත් සතන් දම් ඔසු පැනින් සුවපත් කරන්නට උන්වහන්සේ තුළ පැවති අප‍්‍රතිහත ධෛර්යය, ආශ්චර්යවත් ය.

ඇතැම් විට හිමිදිරි පාන්දර බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහන් සඳහා ධර්මාසනයට වඩින උන්වහන්සේ බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡුා, ජාතක දේශනා ආදී විවිධ සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වී කටයුතු කොට ධර්මාසනයෙන් බැස වඩින්නේ දහවල් දානය සඳහා පමණි. එබඳු අවස්ථා ඕනෑ තරම් බෞද්ධයා මාධ්‍ය ජාලය භාවිත කරන, ලෝකවාසී බොහෝ දෙනා දැක ඇතුවාට සැක නැත. වයෝ වෘද්ධ ව හෝ ලෙඩ දුක් කරදරවලට පත් ව ගෙවල් දොරවල්වල එක්තැන් ව සිටින, එමෙන් ම රෝහල්වල, වැඩිහිටි නිවාසවල කල් ගෙවන, අසරණ ජනතාවට බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ඉටු වූ මෙහෙය, මුදලින් මිල කළ නො හැකිය. ඒ සියලූ සේවාවන් සඳහා මාර්ගෝපදේශකත්වය සැපයූ නියමුවාණෝ දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ය. 

උන්වහන්සේ තුළ පැවති ධර්මඥානය, විනයගරුක භාවය, භික්‍ෂු සාරුප්‍ය ප‍්‍රතිපත්ති හා අනතිමානී ගුණය, සියලූ නිකායයන් හා පාර්ශ්වයන් නියෝජනය කෙරෙන, සංඝ සභාවන්හි ගරුතර මහාසංඝරත්නයේ සහ ලෝකවාසී සියලූ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරය දිනා ගැනීමට හේතුවක් වූ බව සඳහන් කළ යුතුමය. 

මේ යුගයේ ඛේදජනක ඉරණම්වලට ගොදුරු ව ඇති බුදුදහම සහ සිංහල ජාතිය වෙනුවෙන් තම හඬ අවදි කරමින් යුගයේ අවශ්‍යතා සපුරා ලන්නටද උන්වහන්සේ කටයුතු කළහ. සමාජයේ දෝෂ දර්ශනයට ලක් නො වී එබඳු දේ සිදු කිරීම මෙකළ අතිශයින් ම අභියෝගාත්මකය. එහෙත් උන්වහන්සේ ඒ අභියෝග සියල්ලටම සාර්ථකව මුහුණ දෙමින් තමන් වහන්සේගෙන් ඉටු විය යුතු ආගමික සාමාජික යුතුකම් හා වගකීම් සමුදාය නො පිරිහෙළා ඉටු කිරීමට සමත් වූහ. සිංහල බෞද්ධ දරු පවුල් නගා සිටුවීම, අධ්‍යාපන ශිෂ්‍යත්ව ප‍්‍රදානය, වස විෂ රහිත ආහාර සමාජගත කිරීම වැනි කටයුතු බෙහෙවින් අගය කළ යුතුය. එහෙත් එවැනි කටයුතු කිසිවක් ශාසන විරොධී, නීති විරෝධී හෝ රාජ්‍ය විරෝධී නො වීය.

එබැවින් උන්වහන්සේ වෙනත් ආගමික නායකයින්ගේ පැසසුමට ලක් වූ අවස්ථාද බොහෝය. වරක් බෞද්ධයා නාලිකාවට සපැමිණ, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් විසින් සිදු කළ ප‍්‍රකාශය, ඒ සඳහා හොඳම නිදසුනකි. 

මෙසේ බුදුදහමේ හරය, පණිවුඩය ලෝවටා ගම් දනව් සිසාරා රැගෙන යමින් ලොවට යහ මග පෙන්වා වදාළ, අතිගරු දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම සමස්ත බෞද්්ධ ලෝකයටම පිරිමැසිය නො හැකි පාඩුවකි. උන්වහන්සේ ආරම්භ කළ ආගමික සාමාජික වැඩපිළිවෙළ ඉදිරියටත් ඒ අයුරින්ම සිදු කිරීමට වග බලා ගැනීම උන්වහන්සේට කරන, උතුම් ගෞරවයකි. රට දැය සමය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළ අපවත් වී වදාළ, ගෞරව ශාස්ත‍්‍රවේදී, අතිගරු දරණාගම කුසලධම්මාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙත්වා... !!! 

ගාල්ල, හිනිඳුම, හබරකඩ, ශ‍්‍රී විජයානන්ද පිරිවෙන් රාජමහා විහාරවාසී, 

ගෞරව ශාස්ත‍්‍රවේදී, රාජකීය පණ්ඩිත, ලේල්වල අරියධම්ම හිමි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook