Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

යකෙක් කන්න බඩගිනි 
හැදෙන කලවානේ හාදයා 

රෑට බත් කාලා ෆුල් කොත්තු 4ක් කන්න ඕනෑ
බිත්තර 15ක ඔම්ලට් එකක් කන එක ටොයිස් වැඩක්.
එකපාරක් ඔට්ටු දාලා ෆ්‍රයිඩ් රයිස් 7ම කාලා තව දෙකක් කෑවා.

තනිවම හෝටලයකින් ණයට ආහාරයට ගත් කෑම වර්ගවල මාස එකහමාරක බිල රුපියල් හැත්තෑදහසට ආසන්න වීම හේතුවෙන් බැංකු ණයක් ගෙන මුදල් ගෙවූ අපූරු පුද්ගලයකු පිළිබඳව පසුගිය 05 වැනිදා ලංකාදීප “දෙයියෝ සාක්කි”හි වාර්තා කෙරුණි. ඒ අපූරු පුද්ගලයා පිළිබඳ තවත් විස්තර විමසමින් අපට සිව් දෙසින් පාඨකයන් විශාල පිරිසකගෙන් දුරකථන ඇමතුම් ලැබිණි. ඒ අනුව “දේශය” පුවත්පත වෙනුවෙන් ඔහු සොයා ඔහු රැකියා කරන ස්ථානය වෙත මා ගියේ ඔහු සමඟ කතාබහ කිරීමටය.
අප එහි යනවිටත් ඔහු උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා හෝටලයකට පිටත්ව ගොස් සිටි හෙයින් ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔහු පමා වීම හේතුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු පැවසුවේ “මල්ලි සියල්ලටම වඩා කෑම ප්‍රථම” බවය.

ඔහුගේ නම සහ ඇතැම් තොරතුරු හෙළි නොකරන්නේ ඔහුගේ ඉල්ලීම නිසාය. මේ ඔහුත් සමඟ සිදු කළ කථාබහේ තොරතුරුය. නගරයට ආසන්න ස්ථානයක රැකියාවක නිරත වන ඔහු තවම යොවුන් වියේ පසුවන අවිවාහකයෙකි.

කොහොමද ජීවිතේ?

හොඳින් කාලා බීලා ඉන්නවා. පොඩ්ඩක් ඉන්න තම්බපු කොස් ඇට පිඟානක් තියෙනවා. කන ගමන් කථා කරමු. හැබැයි ඔයාලට දෙන්න නම් මදි.

කොහොමද මෙහෙම කෑම කන්නේ?

මම පොඩි කාලේ ඉඳන් වැඩිපුර කෑම කනවා. මට බඩගින්න දැනෙන හැම වේලාවේම කනවා. ඉස්කෝලේ යන කාලේ උදේට කාලා තවත් බත් එකක් උදේට කන්න අරගෙන යනවා. දවල්ට කන්නත් බත් දෙකක් අරන් යනවා. ආයේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලත් කනවා. ඒ බත් කන්නේ මම තනිවමයි.

දැන් කොහොමද තත්ත්වේ?

උදේට ගෙදරින් බත් එකක් කාලා එනවා. තව දෙකක් ඔතාගෙන එනවා. වැඩට එන ගමන් මම හැමදාම කන හෝටලයෙන් ඉඳි ආප්ප 80ක්, කිරි මාළු එකක්, බිත්තර දෙකක් කාලා ටී එකක් බොනවා. ආයේ දහයමාර එකොළහ වෙනකොට උදේට ගෙනාපු බත් එකයි දවල්ට ගෙනාපු බත් එකයි කනවා. දොලහා වෙනකොට ආයේ හෝටලයට ගිහින් බත් පිඟන් පහක් හයක් කනවා. ආයේ තේ බොන්න කෑම ගේනවා. හවසට බිත්තර ආප්ප පහළවක් ප්ලේන් ආප්ප නම් ගොඩක් කනවා. ටී එකකුත් බොනවා. හවසට ගෙදර කෑම තිබුණත් කොත්තු ෆුල් හතරක් අරන් යනවා.

කිහිපදෙනෙක් කන කෑම තනියම කනකොට හෝටලේ මුදලාලි මොකුත් කියන්නේ නැද්ද?

ඉස්සෙල්ලා එහෙම වුණා. පස්සේ මම මුදලාලිට කිව්වා මම කන කෑමවලට සල්ලි ගන්න කියලා. සාමාන්‍යයෙන් හතර දෙනකුගේ බිලක් මට වැටෙනවා. ඒක නිසා මුදලාලිට ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර කන වෙලාවට මම හෝටල් දෙකකින් කනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

ඒ වුණත් කොහොමද ඔහොම කෑම කන්නේ?

මම මත්පැන්, දුම්වැටි බොන්නේ නැහැ. නිකම් ඉන්නෙත් නැහැ. හොඳට වැඩ කරනවා. ඒ වගේම මට බඩගින්නත් දැනෙනවා. ඒක මට සාමාන්‍යයි. 

කෑමවලට ලොකු මුදලක් ගියාම පඩියක් නැතිව ඇතිනේ?

ඇත්තටම මට පඩිය මදි. ඒත් මම සේවය කරන තැනට එන අය ඒ සේවයේ හැටියට මට සන්තෝසම් මුදල් දෙනවා. සමහරැ අරක්කු ගේනවා. මම අරක්කු එපා කියනවා. ඒ වෙනුවට සල්ලි දුන්නොත් බාර ගන්නවා. ඒවායින් කනවා. කන්නේ නැතුව මුදල් හොයලා මොකටද? අපි සියල්ල කරන්නේ කන්නනේ.

ඔබ ඔට්ටු දාලා කෑවා කියලත් ආරංචියි.

ඔව්. කිහිප වතාවක් ඔට්ටුවලට කෑවා. එක පාරක් මම ගැන අහලා මුදලාලි කෙනෙක් ඔට්ටු ඇල්ලුවා. මට ෆුල් ෆ්‍රයිඩ් රයිස් හතක් කන්න බෑ කියලා. ඔහු හිතුවේ මට කන්න බැරි වෙයි කියලා. රයිස් හත පිඟන් හතකට දාලා තිබුණේ. මම රයිස් හත කාලා මගේ ගානේ තව රයිස් දෙකක් කෑවා. කාලා ඔට්ටු මුදල මම ගත්තා. මුදලාලි කිව්වා ආයේ මාත් එක්ක ඔට්ටු අල්ලන්න බැහැ කියලා. ආයේ මුදලාලි කෙනෙක් මයිලෝ 15ක් බොන්න බැහැ කියලා ඔට්ටු ඇල්ලුවා. මම විසි පහක් බිව්වා. ඔට්ටුනම් ගොඩක් අල්ලලා තියෙනවා.

ඔහොම කන්න ගිහින් අමාරුවේ වැටිලා එහෙම නැද්ද?

තියෙනවා. එක පාරක් මම ගියා සංගීතයක් බලන්න. එතන හිටපු මල්ලි කෙනෙක් මට තේ බොන්න එන්න කිව්වා. මම රෝල්ස් එකක් කාලා තව එකක් කන්නද ඇහුවා. ඒ පාර මල්ලි කිව්වා අයියාට ඇති තරම් කන්න කියලා. මම හිතුවේ මම ගැන දැනගෙන සල්ලි තියාගෙන කියනවා කියලා. මම රෝල්ස් 80ක් වඩේ 20ක් කෑවා. අන්තිමට සල්ලි නැතිව ඒ මල්ලිගේ ෆෝන් එකත් කඩේට උගස් කරන්න වුණා. තව පාරක් මම ගැන නොදන්න හෝටලේකට පස් දෙනෙක් එක්ක කන්න ගියා. මම පස්දෙනාට කෑම ගෙනාපු බත් බේසමට ඔක්කොම වෑංජන දාගෙන කන්න පටන් ගත්තා. මුදලාලි හිතුවේ අපි බයිට් කරන්න හදනවා කියලා. පස්සේ ඇඟට ආවා. යාළුවෝ මම ගැන කියලා ඒ කෑමවලට වෙනම ගෙව්වා.

මඟුල් ගෙවල්, දානේ ගෙවල්වලට ගියාම කොහොමද ඔහොම කන්නේ?

මම අඳුරන්නේ නැති තැන්වල යන්නේ නැහැ. මගේ යාළුවන්ගේ ගෙවල්වල විතරයි යන්නේ. මට වෙනම තැනක කෑම දෙනවා. කිරි හට්ටි හතරක් පහක්, පැණි බෝතල් දෙකක් මට වෙනම තියෙනවා.

ගෙදර කෑම බීම කොහොමද?

ගෙදර කේක් හැදුවොත් මට වෙනම කේක් හදනවා. මම තනිවම කෑම හදාගන්නවා. බිත්තර පහළවක ඔම්ලට් එකක්නම් අනිවාර්යයෙන්ම කනවා. මස් හැදුවොත් මට වෙනම කිලෝ දෙකක්, තුනක් හදනවා. මට බත් වෙනම උයනවා. ඒ නිසා ගෙදර මට ගැටලුවක් නැහැ.

කෑම කාලම ඔබ ණය වුණා කියලා ආරංචියි..

ඒ එක හෝටලයකට ණය මට දෙන්න වුණා. මම බැලන්ස් එකේ ණය අරන් යන්නේ. එක මාසයක් පොඩ්ඩක් අවුල් වුණා. පස්සේ මගේ යාළුවෝ දෙන්නෙක් ඇප වෙලා ලක්ෂයක බැංකු ණයක් අරන් හැත්තෑදාහක් ගෙව්වා. ඉතුරු තිස්දාහේ හොඳට කෑවා.

ඔබට ලෙඩ රෝග එහෙම හැදිලා නැද්ද මෙහෙම කනකොට?

මම රෝහල්වල ඉඳලම නැහැ. වෛද්‍යවරු කියන්නේ මම මහන්සි වෙන හින්දා අවුලක් නැහැ කියලා. මට තියෙන්නේ නිරෝගී ශරීරයක්ලු.

අවසාන වශයෙන් මොනවද කියන්නේ?

හොඳට කාලා බීලා වැඩ කරලා හොඳින් ඉන්නවා. ලොකු බලාපොරොත්තු නැහැ. මැරෙනකම් කාලා, බීලා ඉන්නවා. ඊට වඩා බලපොරොත්තු මට නැහැ.

ඔබ මේ කතාව දිගටම කියවාගෙන යද්දී මොහු ගැන මැවෙනු ඇත්තේ යෝධයකුගේ චිත්‍රයකි. ඔබ විශ්වාස නොකළ ද මොහු යෝධයකු සේ කෑම කා වැඩ කළ ද සාමාන්‍ය ශරීරයක් ඇති පුද්ගලයෙකි. අඩි පහක් පමණ උසැති සාමාන්‍ය ශරීරයක් ඇති පුද්ගලයෙකි. ඔහු නගරයට ආසන්න රජයට අයත් ස්ථානයක සේවය කරන සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයකු වීමද විශේෂත්වයකි. එහෙත් ඔහු කරන වැඩනම් ආසාමාන්‍යය. ඔහුගේ වයස අවුරුදු 33ක් වේ.

අප මේ පුද්ගලයා පිළිබඳව ඔහු නිතර ආහාර ලබා ගන්නා හෝටල් කළමනාකරුගෙන් විස්තර ඇසුවෙමු.

මේ පුද්ගලයා මුලින්ම කඩේට ආවාම මම පුදුම වුණා. පස්සේ මම ඔහුත් එක්ක කතා කරලා ඔහු කන කෑමවලට මුදලක් නියම කර ගන්න එකඟතාවයකට ආවා. සාමාන්‍යයෙන් හතර පස්දෙනකුගේ කෑම තනිවම එයා කනවා. එක පාරක් ඇරෙන්න සල්ලි හරියට ගෙවලා තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. එයා එනකොටම අපි කෑම ලෑස්ති කරනවා. මස්, මාළු, බිත්තර තුනම කනවා. බිත්තර 15ක් කාපු අවස්ථාත් තියෙනවා.

සල්ලි හරියට දෙන නිසා අපට නම් ගැටලුවක් නැහැ. ඇතැම් වේලාවට කඩයට එන පාරිභෝගිකයන් පවා පුදුම වෙනවා. දැන් එයා අපේ හොඳ පාරිභෝගිකයෙක්.

 කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook