වතුකරයේ සහ උතුරු-නැගෙනහිර ප්‍රජාවගේ
සැබෑ යථාර්ථය සිංහල ප්‍රජාව දන්නේ නැහැ
ජන කරළිය කණ්ඩායමේ නාට්‍ය ද්විත්වයක් වන ‘තිත්ත කහට’ සහ ‘හිරු නැගෙන තුරු’ වේදිකා නාට්‍ය එළඹෙන 14 සහ 15 යන දෙදින තුළ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වේ.එහි ප්‍රධානී සහ ‘හිරු නැගෙන තුරු’ නාට්‍යයේ අධ්‍යක්ෂ, ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සමගින් කතාබහක යෙදීමට අප සිතුවේ එබැවිනි.
මෙවැනි නාට්‍ය ද්විත්වයක් කොහොමද මෙවැනි මොහොතක වැදගත් වෙන්නේ?
‘තිත්ත කහට’ ගැන කිව්වොත් ඒ හරහා කතාබහට ලක්කෙරෙන්නේ මෙතෙක් කතාබහ නොකළ විෂයයක්.අනික අපේ නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා බොගවන්තලාවේ උපන් ශිල්පීන් හතර දෙනෙක්.ඒ නිසා ඒ ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව කළ ගවේෂණාත්මක අධ්‍යයනයකින් පසුවයි මෙම නාට්‍යය නිර්මාණය වෙන්නේ. මොකදකම්කරුවන් හැටියට ශතවර්ෂ එකහමාරකට අධික කාලයක් තිස්සේ තාඩනයට, පීඩනයට ලක්වෙන ඔවුන් තාමත් ලංකාවේ ජීවත්වෙන්නේ වහලුන් හැටියට. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි බොන තේ කෝප්පය රසවත් කරන තේ කහට නිර්මාණය වෙන්නේ.ඒත් ‘හිරු නැගෙන තුරු’ කියන්නේ ලාංකේය දෙමළ නාට්‍යවේදියෙකු වන ආචාර්ය කුලන්තෙයි ෂන්මුගලිංගම්ගේ ‘එන්තයුම් තායුම්’ නාට්‍යයේ සිංහල පරිවර්තනයක්.ඒක සිංහලට පරිවර්තනය කළෙත් ජන කරළිය නාට්‍ය කණ්ඩායම විසින්මයි.යුද්ධය ආරම්භ වූ මුල්ම වකවානුවේ යාපනයේ පැවැති දැඩි අවදානම් සහගත තත්ත්වය නිසා තමන්ගේ දරුවෝ පිටරට යවපු මවුපියෝ විඳින ශෝචනීය අත්දැකීමක් තමයි එහි කතාවට පාදක වෙන්නේ.
ඒත් ‘තිත්ත කහට’ කියන්නේ වෙනස් හැඩතලයක නාට්‍යයක් ?
ඔව්.සිද්ධිදාමයක් තමයි මේ හරහා වේදිකාව ආක්‍රමණය කරන්නේ.ඓතිහාසික ගුණයකින් යුක්ත වාර්තා රංග ආකෘතියකුත් මේ තුළ පවතිනවා.පොත්පත්වල පවා ඒ කාලේ ජන ජීවිතය ගෙවුණු ආකාරය සටහන් වෙලා තියෙනවා.මේ සඳහා මූලාශ්‍ර වෙලා තියෙන්නේ ඒවා.අනික අපි මෙහිදී සැබෑ දේශපාලන සිද්ධි සමග සැබෑ දේශපාලන චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එනවා.දේශපාලකයන් විසින් මිනිස්සු රවටන ආකාරයත්,ඊට එරෙහිව නැගී සිටින්නන් වැළැක්වූ ආකාරයත් අපි මෙහිදී සාකච්ඡාවට ලක් කරනවා.මොකද ඊට පෙර වතුකරයේ පැවැති වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතා ප්‍රබලව පැවැතුණා. 1952දී සර්වජන ඡන්ද බලය අහෝසි කළාට පස්සේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වතුකරයෙන් පසුබැස්සා.ඉන්පස්සේ ඒ තැන වෙනත් දේශපාලනඥයෙක් ගත්තා.ඒත් ඔහු කළේ වෘත්තීය සමිතියක් විදිහට පවත්වගෙන ඇවිල්ලා,එය ඉන්පස්සේ දේශපාලන පක්ෂයක් විදිහට පෙරළාගත්තු එක.ඒකට එරෙහිව එන්නේ තවත් දේශපාලඥයෙක්.වතුකරයේ මිනිස්සුන්ට පීඩනය ඇර වෙන විකල්පයක් ලැබෙන්නේ නෑ. ඒත් ඒ පීඩනය,ඝාතනයට ලක්වීම් ගැන හුඟක් අය දන්නේ නැහැ.ඒ නිසා තමයි අපි මේ සඳහා වෙනස් නාට්‍ය ආකෘතියක් භාවිත කළේ.
උතුරුනැගෙනහිර ගැටලුව සහ කඳුකර ගැටලුව කොහොමද සිංහල ප්‍රජාවට වැදගත් වෙන්නේ ?
වතුකරයේ සැබෑ යථාර්ථය සහ උතුරු-නැගෙනහිර ප්‍රජාවගේ සැබෑ යථාර්ථය සිංහල ප්‍රජාව දන්නේ නැහැ.වතුකරයේ හඬ අවදි කරන ශ්‍රමය ගැන ලාංකේය ප්‍රජාව දැනගත යුතුයි.යුද්ධ කාලයේදී උතුරේ මොකක්ද සිද්ධවුණේ කියලා දකුණේ මිනිස්සු දන්නේ නැහැ.ඒ පරතරය නිසා තමයි මෙවැනි ජාතිවාදී ගැටුම් ඇතිවෙන්නේ.මොකද සිංහල ප්‍රජාව නාට්‍ය නිර්මාණය කළේ සිංහල ප්‍රජාවට.දෙමළ ප්‍රජාව නාට්‍ය නිර්මාණය කළේ දෙමළ ප්‍රජාවට.ඒත් ඒ තත්ත්වය අතික්‍රමණය කළ යුතුයි.භාෂාව ගැටලුවක් කර නොගත යුතුයි.එනිසයි සිංහල ප්‍රජාවට මේ සංවේදීතාව ලබාදීම වැදගත්වෙන්නේ.එතකොටයි නැවත යුද්ධයක් ඇතිනොවෙන්නේ.අනික දැන් යුද්ධයක් ඇතිවුණොත් චීන්නු තමයි අපට හමුදාව එවන්නේ.අපට අයිතියක් නැහැ ඔවුන්ව නවත්වන්න. ඒ නිසායි ශ්‍රී ලාංකේය ජාතියක් විදිහට එකමුතු වීම වැදගත්වෙන්නේ.
කෙසේ නමුත් මෙවැනි පාලකයන් බිහි කරන්නෙත් ජනතාවමයි?
නව ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ ගෝලීය වශයෙන් ගත්තත් පුද්ගලයා කියන්නේ පාරිභෝගිකයෙක්.හැබැයි පුරවැසියා කියන්නේ විචාර බුද්ධියක් සහිත කෙනෙක්.ඒ නිසයි ඔහු අධ්‍යාපනය ලබපු කෙනෙක් කියන්නේ.ඒත් අපේ අධ්‍යාපන ක්‍රමයේ සියල්ලම සිදුවෙන්නේ දැනුම මත.ආකල්ප සහ කුසලතා ගැන අවධානයක් නැහැ.ඒ නිසා කිසිම ළමයෙකුට රාමුවෙන් පිට ප්‍රශ්න කරන්න ඉඩක් නැහැ.එතකොට කොහොමද මූලික අවශ්‍යතා ඇතුළේ කලා රසවින්දනය අවශ්‍යයි කියන පුරවැසියන් බිහිවෙන්නේ? එතකොට කොහොමද සංවේදී මිනිසුන් බිහිවෙන්නේ? මාධ්‍ය සංස්කෘතියත් මේ සඳහා බලපානවා.1993න් පස්සේ බිහිවෙන්නේම මෙවැනි විචාර බුද්ධිමත් නොමැති පරම්පරාවක්.තමන් වටා කොටුවක් හදාගත්තු පාරිභෝගියෙක් ඉන්නේ.හැබැයි එවැනි පුද්ගලයන් බිහිකරන්නෙත් මේ ක්‍රමය විසින්.ඒ නිසා මෙවැනි ක්‍රමයකින් අනාගතයීදිවත් පුරවැසියන් බලාපොරොත්තු වෙන්න බැහැ.ඒක වෙනස් කරන නායකයෙක්වත් පේන තෙක් මානයක නැහැ.
ඒ නිසා නේද ඒ බලපෑම කරන්න හොඳ නාට්‍ය සංස්කෘතියක් ඇති විය යුත්තේ?
එහෙම දෙයක් ඇතිවෙන්න විදිහක් නැහැ.ඔද්දල් වුණු අංශ පහක් තියෙනවා. අධ්‍යාපනය තමයි මුල්ම අංශය.මොකද අධ්‍යාපනයෙන් තමයි නිර්මාණකරුවන් බිහි කරන්නේ.රසවින්දනයෙන් රසිකයන් බිහි කළ යුතුයි.එතකොටයි සුවපත් මනසකින් යුක්ත මිනිසුන් බිහිවෙන්නේ.ඒ සඳහා නාට්‍ය රංග ශාලා බිහිවිය යුතුයි. නාට්‍ය ආයතන බිහිවිය යුතුයි. නාට්‍ය සමාගම් බිහිවිය යුතුයි.නැටුම් කලාවෙන් බිඳී ආමුද්‍රා නාට්‍ය කලාවට මොකද වුණේ? චිත්‍ර කලාවට වුණෙත් මේකමයි.අනික ජනමාධ්‍ය සහ ආගමත් මීටබලපා තියෙනවා.ධර්මය විකෘතිවෙලා තියෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඒකයි. ආගම දැන් පටු,ලෞකික බිස්නස් එකක් වෙලා තියෙන්නේ ඒකයි.ඒ නිසා තමයි සංඝ සමාජය වෙනුවට හාමුදුරුවරු නිර්මාණය වෙලා තියෙන්නේ.හැබැයි හාමුදුරුවෝ හිටියේ වැඩවසම් යුගයේ.ඒවා ආවේ දේපළ සමග.මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් මහින්දාගමනය ගැන ලියපු ‘දෙමළ බෞද්ධයා’කෘතියෙත් මේ සම්බන්ධව ලියලා තියෙනවා.ඒත් උන්වහන්සේ දායාද කළ පාත්‍රය සහ සිවුර විතරයි දැන් ලංකාවේ ඉතිරිවෙලා තියෙන්නේ.ධර්මය ධාරණය කරගත්තු හදවත සහ මොළය අද නැහැ.පාත්‍රයත් දැන් විශාල වෙලා.දේශපාලනයත් මීට බලපානවා.
කලාව පවා තවදුරටත් පවතින්න නම් විකුණන්න ඕනි නේද ?
නැහැ.අනික මීට ඉස්සරත් කලාවෙන් ජීවත්වුණු මිනිස්සු හිටියා.රාගධාරි සංගීතය පවා රජ්ජුරුවෝ ඉස්සරහ විකිණුනා.ඒත් ඒ වැඩවසම් යුගයේ.හැබැයි දැන් සිදුවිය යුත්තේ නඩත්තුව සඳහා මිලක් නියම වීම.සමාජවාදී සමාජයක වුණත් එහෙමයි.කිරිකිස්තානයෙත් රාජ්‍යය විසින් නඩත්තු කළ රංග ශාලා පැවතුණා.ඒ සඳහා සෝවියට් රාජ්‍යවල නාට්‍ය කණ්ඩායම් ඇවිත් එහි නාට්‍ය පෙන්නුවා.ඒ නිසාතමයි උපන් දා ඉඳන් රාජ්‍ය විසින් නඩත්තු කරන සාරවත් මිනිස්සු ඒ හරහා බිහිවුණේ. ඒ රාජ්‍යයන් ඒ අවශ්‍යතාව තේරුම්ගත්තා.වැඩිහිටියන් පවා ආණ්ඩුවට ආදායම් ඉපැද්දුවා.හැබැයි පසුකාලීනව ධනවාදයේ බලපෑම මත මේවා නැවතත් කඩා වැටුණා.ඒ නිසයි නැවතත් ඒ තත්ත්වය ඉල්ලලා ඔවුන් අරගල කරන්නේ.අපේ රටේ ආර්ථිකය තුළත් ආදායම් ලබන මට්ටමකට කලාව පත් කරගන්න පුළුවන්.ඒකට තමයි ඉහත කී අංශ පහ(කලාව,අධ්‍යාපනය,ආගම,ජනමාධ්‍ය,දේශපාලනය) දියුණු විය යුත්තේ.මොකද ඒ අංශ පහ චක්‍රයක් ලෙසයි ගමන් කරන්නේ.ඒත් ඒක සිදුවෙන පාටක් නැහැ.හැම පක්ෂයක්ම කරන්නේ බොරුව.ජනතා විමුක්ති පෙරමුණ කරන්නෙත් 20 ගැන කතා කර කර ඉන්න එක.ඕක ආව කියල වැඩක් වෙන්නෙ නැහැ. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම නාට්‍යාගාරයක් බවයි මට නම් පේන්නේ.
මාලන් විදානපතිරණ