Featured News

Video Gossip

Advertisement

මිහින් ලංකා ගුවන් සමාගමට අදාළ රක්ෂණ වාරික මුදල් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ගෙවීම නිසා රුපියල් මිලියන 11 කට අධික මුදලක් මිහින් ලංකා ගුවන් සමාගමෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අය වීමට ඇතැයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ රක්ෂණ විධායක රජින්ද ප‍්‍රනාන්දු මහතා ඊයේ (18 දා) ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 

මේ මුදල් මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන්සේවා වත්කම් (ගුවන් යානා සහ ඒවායෙහි එන්ජින්) වලට අදාළව ගෙවන ලද රක්ෂණ වාරික මුදල් පමණක් බව ද මෙයට ගුවන් සේවා නොවන වත්කම් වෙනුවෙන් ගෙවන ලද රක්ෂණ මුදල් අයත් නොවන බවද කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.

මේ රුපියල් මිලියන 11 කට අධික මුදල තවමත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අය වී නැති බව ද ඔහු කොමිසමට කීවේය.

එම හිඟ මුදල් ලබා ගැනීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මිහින් ලංකා ගුවන් සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ දැයි කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස සාක්ෂිකරු කියා සිටියේ තමා ඒ ගැන නොදන්නා බවයි. ඒ පිළිබඳව දැනගැනීමට සමාගමේ මුල්‍ය අංශයෙන් විමසිය යුතුව ඇතැයි සාක්ෂිකරු ප‍්‍රකාශ කළේය.

මේ ගුවන් යානා සම්බන්ධයෙන් මිහින් ලංකා ගුවන් සමාගම සහ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම අතර උප ලීසිං ගිවිසුම් පවතින බව ද ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගෙවන ලද මිහින් ලංකා ගුවන් සමාගමට අදාළ රක්ෂණ වාරික මුදල් මිහින් ලංකා සමාගමෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අය විය යුතුව ඇති බව ද කොමිසමේදී හෙළිදරව් විය.

අදාළ රක්ෂණ වාරික මුදල් ඇමරිකානු ඩොලර්වලින් ගෙවා ඇති අතර අදාළ වර්ෂයේ විනිමය අනුපාතයෙන් වැඩි කර මේ ස`දහා රුපියල් වටිනාකම අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ලැබිය යුතුව ඇති මුදල සාක්ෂිකරු විසින් කොමිසමේදී ගණනය කරන ලදී.

2006 ජනවාරි මස 01 වැනිදා සිට 2018 ජනවාරි මස 31 වැනිදා දක්වා වූ කාලපරිච්ජේදය තුළදී ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදුකරන ලදැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ස`දහා මේ ජනාධිපති කොමිසම පත් කර ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

මේ කොමිසම 2018 ජනවාරි 31 වැනිදා මුලින්ම පත් කරනු ලැබු අතර ඉන් පසු කොමිසමේ ප‍්‍රසිද්ධ සාක්ෂි විභාගය පටන් ගෙන දැනට වසරක පමණ කාලයක් ගතව තිබේ. ඒ කාලය පුරාම විවිධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු කොමිසමේ මාධ්‍ය ආවරණය සිදුකරමින් සිටිති. මුලින්ම මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන කොමිසමෙන් ර`දවා ගැනීම පමණක් සිදු කළ අතර කලකට පසු මාධ්‍යවේදීන්ගේ ගමන් මල්ල ද ඔවුන් ර`දවාගෙන විශේෂ කාර්ය බළකාය යොදවා ශරීර පරීක්ෂාව ද සිදු කරන්නට පටන් ගන්නා ලදී.

එහෙත් මේ කොමිසමේ මාධ්‍ය ආවරණය ආරම්භ කළ දින සිට මෙතෙක් කිසිම අවස්ථාවක ශරීර පරීක්ෂා කිරීමේදී පාවහන් ගැලවීමට මාධ්‍යවේදීන්ට සිදු නොවූ අතර ඊයේ ප‍්‍රථම වතාවට පාවහන් ද ගලවා මාධ්‍යවේදීන් පරීක්ෂාවට ලක් කරන ලදී. කවදාවත් නැතුව පාවහන් ද ගලවන්නට කියන්නේ මන්දැයි කොමිසමේ මුල සිටම සිටි ආරක්ෂක නිලධාරියකුගෙන් විමසු විට පාවහන් ගලවා පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන බව ඔහු ප‍්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් කොමිසමේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන මාධ්‍යවේදීන් අතර කතා බහට ලක් වූයේ මින් පෙර කිසිම උසාවියක හෝ ජනාධිපති කොමිෂන් සභාවක මෙවැනි පිළිවෙතක් පිළිබ`දව තමන්ට අත්දැකීමක් නොමැති බවයි.

කොමිසම ඊයේ උදේ 11.00ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements