ඩුබායි අත්අඩංගුවේ සිටි පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන කංජිපානි ඉම්රාන් මීට සුළු මොහොතකට පෙර ලංකාවට පැමිණ තිබේ.
ඩුබායි අත්අඩංගුවේ පසුවී මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කංජිපානි ඉම්රාන් නොහොත් මොහොමඩ් නජීම් ඉම්රාන් අද(28) උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවත් එහිදී ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
කටුනාක ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව ඔහු මාලදිවයින බලා යෑමට සැළසුම්කර තිබී ඇති බවත්, කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
පසුගිය පෙබරවාරි 5 වැනිදා මාකඳුරේ මධූෂ් නැමති පාතාල කල්ලි නායකයාගේ සාදයක් අතරතුර ඩුබායි පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය චෝදනා මත 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් අතර එහිදී මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් ද ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ඇතුළු පිරිසක් ද විය.
නදිමාල් පෙරේරා ඊයේ දින ඩුබායි අත්අඩංගුවේ පසුවී මෙරටට පැමිණි අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත්අඩංගුවට ගෙන පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරියේය.
නදිමාල් පෙරේරා සමඟ මෙරටට පිටුවහල් කෙරුණු ලලිත් කුමාර නැමති බන්ධනාගාර නිලධාරියෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණි. කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පුද්ගලයින් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තොරතුරු ලැබී ඇති බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා බන්ධනාගාර නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි.

