Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

හාමුදුරුවනේ අපි පොලිසිය යනවා.

හාමුදුරුවෝ මේ දරුවො දෙන්නට කරදර කරනවා

‘‘අනේ අම්මේ මට මේ ආරණ්‍යයේ ඉන්න බැහැ. ලොකු හාමුදුරුවන්ගෙන් කරදරයි. මට දැන් ජීවිතේම එපා වෙලා. මාව ගෙදර එක්කරගෙන යන්න.’’ දොළොස් හැවිරිදි වියේ පසුවන සජිත හිමියෝ සිය මෑණියන්ට මෙසේ කියමින් හඬා වැටුණේය.

තම පුත‍්‍රයාට විහාරාධිපති හිමියන්ගෙන් සිදුවන අතවර ඇසීමෙන් මව දැඩිලෙස කම්පනයට පත් වූවාය. විහාරාධිපති හිමියන් කෙරෙහි දැඩි වෛරයක් ඇයගේ සිතේ පිළිසිඳ ගන්නේ මේ සිදුවීමෙන් පසුවය. ආර්ථික ප‍්‍රශ්න රාශියක් හමුවේ සටන් වදිමින් සිටි සාමනේර හිමියන්ගේ මව යම් සැනසීමක් ලබා සිටියේ මද්දුම පුත‍්‍රයා මහණකර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට භාරදීමෙන් පසුවය. එහෙත් තම නොදරුවාට අත්විඳින්නට සිදුවන අතවර කෙරෙහි තවදුරටත් ඉවසාගෙන සිටිය නොහැකි තත්ත්වයක් මවට උදා වී තිබිණි.
  ‘‘අම්මේ මාව එක්කරගෙන යන්න බැරි නම් අයියවත් ආරණ්‍යයට එවන්න. එතකොට මට බයක් නැහැ. මට තනියම මෙහෙ ඉන්න බැහැ’’ සජිත හිමියෝ හඬාවැටුණේය. ‘‘හරි හරි පොඩි හාමුදුරුවෝ බය නැතිව ඉන්න. මං හෙටම ආරණ්‍යයට එනවා. මං අයියවත් එක්කරගෙන එන්නම්. ටික දවසකට හරි ඉන්න.’’ මව තම පුත‍්‍රයා වූ සජිත හිමියන් සැනසුවාය. හොරණ කිරිගලහේන මීගැත්තර ප‍්‍රදේශයේ පදිංචිව සිටි කුඩා පිරිමි දරුවකු හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් යටතේ පැවිදි බව ලබන්නේ 2015 වර්ෂයේදී ය. කිරිගල සජිත නමින් පැවිදි බිමට එක් වූ කුඩා සාමනේර නම මහනදම් පුරන්නට පටන් ගත්තේ අනාගතය ගැන දහසකුත් එකක් බලාපොරොත්තු සිතේ පොදි බැඳගෙනය.
 
 සජිත හිමියන්ගේ මව අමාලිය. පියා වූයේ කුමාරය. කුමාරට හරිහමන් රැකියාවක් තිබුණේ නැත. ජීවිකා වෘත්තිය සඳහා ඔවුන් කළේ බයිට් පැකට් නිෂ්පාදනය කර විකිණීමය. කුමාරට දාව දරුවන් තිදෙනකු බිහිකළ අමාලි ඔවුන් ලොකුමහත් කර  ගන්නට නොවිඳිනා දුක් වින්දාය.

තම පවුලේ මද්දුම දරුවා ආරණ්‍යයට භාර කරන්නේ දරුවන් ඇති දැඩි කර ගැනීමට තිබූ අපහසුකම් නිසාමය. තම පුත‍්‍රයා මහණකර වසර හතරක් තිස්සේ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසුවද කිසිදු ප‍්‍රශ්නයක් ඇති වී තිබුණේ නැත. එහෙත් 2019 වර්ෂයේදී සජිත හිමියන් සිවුරු හැරදමා ආපසු නිවසට එන්නේ මහණදම් පිරීම තවදුරටත් කරගෙන යා නොහැකි බව පවසමින් ය. වසරකට වැඩි කාලයක් සජිත හිමි තම මව්පියන් සෙවණේ ඇතිදැඩි වුණේය. ස්ථිර රැකියාවක් නොමැති නිසා කුමාර සහ අමාලි තම දරුවන් තිදෙනා පෝෂණය කර ගැනීමේ දැඩි අපහසුතාවන්ගෙන් පීඩා විඳින්නට වූහ.
 
 2020 වර්ෂය පටන් ගන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් මුළු රටම වෙලා ගනිමින්ය. කොරෝනාව අමාලිගේ සහ කුමාරගේ ආර්ථිකය එහෙම පිටින්ම විනාශකර දැම්මේය. බයිට් පැකට් නිෂ්පාදනය කර විකිණීමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම නතර විය. දරුවන් තිදෙනා පෝෂණය කිරීමේ ශක්තිය පවා ඔවුන්ට අහිමි වී ගොස් තිබිණි. සජිත සිය මවුපියන් සමඟ ආපසු කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට එන්නේ මෙවැනි පසුබිමක් මතය. සජිත පුංචි සාමනේර හිමියන් නැවතත් මහණදම් පුරන්නට පටන් ගත්හ. සජිත හිමියන්ගේ මවුපියන් වැඩිමහල් සොහොයුරා සහ බාල සොයුරිය නිතර නිතරම කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට යන්නට එන්නට පුරුදුව සිටියහ. ඒ වනවිට සජිත හිමියෝ දොළොස් හැවිරිදි වියේ පසුවූහ.
 
 විහාරාධිපති හිමියන්ගෙන් අත් විඳින්නට සිදුවන අතවර පිළිබඳව සිදුවීම් මාලාව එළියට එන්නේ එතැන් සිටය. ධම්මසිරි හිමියන්ගෙන් දිගින් දිගට ම සිදුවන අතවර පිළිබඳව පුංචි සාමණේර හිමියන් තම මවට දුරකථනයෙන් දැනුම් දෙන්නේ හඬා වැළපෙමින්ය. ‘‘මං මුලින්ම ආරණ්‍යයට ආව කාලෙත් මේ ප‍්‍රශ්න තිබුණා. මට මෙහෙ ඉන්න බැරි නිසයි ගෙදර ආවේ. දැන් ආයෙත් ලොකු හාමුදුරුවෝ කරදර කරනවා.’’
 
 සජිත හිමියෝ තම මව වූ අමාලිට මේ පිළිබඳව දිගින් දිගට ම පැමිණිලි කළහ. අමාලි සිය වැඩිමහල් පුත‍්‍රයා ද කැටිව කොඩිකන්ද ආරණ්‍යයට ආවාය.
 
  ‘‘හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ කියනවා එයාට ආරණ්‍යයේ තනියම ඉන්න බයයි කියලා. ටික දවසකට අයියවත් නතර කරලා යන්න කියලා. ඒ නිසයා මේ ලොකු පුතාවත් අරගෙන ආවේ.’’ අමාලි ධම්මසිරි හිමියන් හමුවේ කීවාය. ඊට ධම්මසිරි හිමියන්ගෙන් අකමැත්තක් පළවූයේ නැත. අමාලි තම වැඩිමහල් පුත‍්‍රයා ආරණ්‍යයේ නතර කර යන්නේ සජිත හිමියන්ගේ තනි නොතනියටය. එහෙත් වැඩි දවසක් යන්නට පෙර වැඩිමහල් පුත‍්‍රයා ද අමාලිට දුරකථනයෙන් කතාකර හඬා වැටෙන්නට වුණේය. ‘‘අනේ අම්මේ අපට මෙහෙ ඉන්න බැහැ. අපිව එක්කරගෙන යන්න. ලොකු හාමුදුරුවෝ අපි දෙන්නටම කරදර කරනවා.’’ ඒ බව ඇසීමෙන් අමාලිගේ ඉහමොළ රත්විය. විහාරාධිපති හිමියන් කෙරෙහි ඇති වී තිබූ වෛරය දෙගුණ තෙගුණ වන්නට විය. ඇය පසුදිනම කොඩිකන්ද ආරණ්‍යයට එන්නේ විහාරාධිපති හිමියන් සමඟ මේ ප‍්‍රශ්නයේ දෙකින් එකක් විසඳා ගැනීම සඳහා ය.
 
 ‘‘හාමුදුරුවනේ අපි පොලිසිය යනවා. හාමුදුරුවෝ මේ දරුවො දෙන්නට කරදර කරනවා. මේවා සහගහන අපරාධ. අපි ළඟ රෙකෝඩිං තියෙනවා. වීඩියෝ තියෙනවා. අපි මේවා ප‍්‍රසිද්ධ කරනවා.’’ අමාලි ධම්මසිරි හිමියන්ට බැණ වදිමින් තර්ජනය කරන්නට වූවාය. ධම්මසිරි හිමියෝ ඒ වනවිට දැඩි ලෙස භීතියට පත්ව සිටියහ. සාමනේර හිමියන්ට අතවර කිරීම ප‍්‍රසිද්ධියට පත් වුවහොත් තමන්ට ආරණ්‍යයේ වැඩ වාසය කිරීම ද මහත් ගැටලූවක් වනු ඇති බව ධම්මසිරි හිමියෝ තේරුම් ගත්හ.
 
 ඒ නිසාම මේ ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට ධම්මසිරි හිමියන්ට අවශ්‍ය විය. ‘‘හරි... හරි...... කලබල වෙන්න එපා සජිතගෙ අම්මේ. මං ඔයගොල්ලන්ට උදව් කරන්නම්. මගේ ළඟ කෝටි ගාණක සල්ලි තියෙනවා. මං උඹලගෙ ආර්ථිකය ගොඩගන්න වැඩ කරන්නම්....’’
 
 ධම්මසිරි හිමියන් මේ ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට උත්සාහ කරමින් කියා සිටියහ. ධම්මසිරි හිමියන්ගේ යෝජනාව ඇසීමෙන් අමාලි බොහෝ දුරට සන්සුන් වූවාය. අලූත් බලාපොරොත්තුවක් ඇගේ සිතේ දලූලා වැඩටන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඒ වනවිට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අමාලිත් කුමාරත් නොවිඳිනවා දුක් විඳිමින් සිටියහ. ධම්මසිරි හිමියන්ගේ යෝජනාව ඉල්ලමක් පහළවීමක් යැයි අමාලිට සිතිණි. තම දරුවන්ට අත්විඳින්නට සිදු වී ඇති හිරිහැර පීඩාවන් ආදායම් මාර්ගයක් කර ගන්නට තරම් අමාලි කාලකණ්ණියක වූවාය. තම පුත‍්‍රයාට සිදු වූ අතවරලවට අදාළ වීඩියෝපට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන බවට තර්ජනය කරමින් ධම්මසිරි හිමියන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් කඩාවඩා ගැනීමට අමාලි සහ කුමාර ආරම්භ කරන්නේ එතැන් සිටය.
 
 ‘‘හාමුදුරුවනේ අපේ බයිට් පැකට් නිෂ්පාදනය එහෙමපිටින්ම වැටිලා තියෙන්නේ. ඒක දියුණු කරගන්න සල්ලි ඕනෙ.’’ අමාලි කීවාය. ‘‘හරි උඹලට මං ලක්‍ෂ 5 ක් දෙන්නම්. ඒක එකපාර දෙන්න බැහැ. ලක්‍ෂය ගානෙ දෙන්නම්.’’ ධම්මසිරි හිමියන් අමාලිට රුපියල් ලක්‍ෂයක මුදලක් ලබා දුන්හ. ‘‘ලොකු හාමුදුරුවෝ ළඟ රුපියල් කෝටි ගාණක් සල්ලි තියෙනවා. මේක අපට හොඳ ඉල්ලමක්. හාමුදුරුවෝ ළඟ තියෙන සල්ලි ටික කොහොම හරි කඩා ගන්න ඕනෙ.’’ අමාලි සිය සැමියාට කීවාය. ‘‘හාමුදුරුවනේ අපිට ගමන් බිමන් යන්න තියෙන්නේ මේ ඩෙලිකා වෑන් එක. ඒකෙ ලීසිං එක  ගෙවාගන්න බැහැ. එහෙම වුණොත් වෑන් එක ලීසිං කොම්පැනියෙන් අරගෙන යයි. ඒක ගෙවාගන්න අපට උදව් කරන්න.’’ අමාලි ධම්මසිරි හිමියන්ට අලූත් යෝජනාවක් කළාය. ඒ වනවිට ධම්මසිරි හිිමියන් මේ පවුල ඉදිරියේ දණින් වැටෙන තත්ත්වයට පත්ව සිටියහ. අමාලිගේ ඉල්ලීම්වලට පිටුපෑවොත් අත්විඳින්නට සිදුවන දරුණු තත්ත්වය ගැන ධම්මසිරි හිමියන් හොඳින් දැන සිටියහ.
 
 කුමාර මිලදී ගත් වෑන් රථයේ ලීසිං මුදල් ගෙවා දැමීම ධම්මසිරි හිමියන් විසින් සිදුකරන්නට වූහ. මේ අතර අමාලි තම දරුවා වූ සජිත ආපසු නිවසට කැඳවාගෙන ආවාය. ඒ දරුවාට ඇති හිසරදයකට ප‍්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව ධම්මසිරි හිමියන්ට කියමින්ය. සජිත හිමියන් හොරණ රෝහලේ නතර කර ප‍්‍රතිකාර ලබාදීමට ද අමාලි කටයුතු කළාය. අමාලි සහ කුමාර බයිට් නිෂ්පාදන විකිණීමට අමතරව විවිධ බ්‍රෝකර් වැඩ කරමින් මුදල් ඉපයීම ද කළහ. කුමාර මේ පවුලේ ගෘහමූලිකයා වුවද ඔහු පරයා යමින් අමාලි පරිපාලන කටයුතු සියතට ගෙන සිටියාය.
 
 පැරණි භාණ්ඩ එකතුකර විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය අමාලි ඒ හරහා මුදල් උපයන්නට උත්සාහ කළාය. වී. ඕ.සී. කෞතුක භාණ්ඩ එකතු කර විකිණීමේ ව්‍යාපාරය සඳහා අමාලි තවත් කීපදෙනෙකු සම්බන්ධ කරගෙන සිටියාය. මේ ව්‍යාපාරයේදී අමාලිගේ ප‍්‍රධාන සහායකයා වුණේ සුමිත් ය. මිල්ලනිය පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරියකගේ සැමියා වූ සුමිත් රැකියාව විදිහට කළේ බ්‍රෝකර් වැඩය. අමාලි සමඟ එක්ව රටපුරා කරක් ගසමින් වී. ඕ.සී. භාණ්ඩ එකතු කිරීමේ ව්‍යාපාරයට සුමිත් ඇතුළු කීපදෙනෙක් සම්බන්ධ වී සිටියහ. කාලයක් සමීපව ඇසුරු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අමාලි සහ සුමිත් අතර තහනම් ආදරයක් දලූලන්නට පටන් ගෙන තිබිණි. තම සැමියාට වඩා සුමිත් විශ්වාස කළ අමාලි සජිත පුතුට අත්විඳින්නට සිදු වී ඇති සිදුවීම් මාලාව හා බැඳුණු කථාව කීවාය.
 
 ‘‘හාමුදුරුවෝ ළඟ රුපියල් කෝටි 5 ක් විතර සල්ලි තියෙනවා. මේක අපට හොඳ අවස්ථාවක් හාමුදුරුවෝ බය කරලා සල්ලි ටික ගමු. අපට ඒ සල්ලි ජීවිත කාලෙට ම ඇතිවෙයි. අමාලිගේ යෝජනාවට සුමිත් එකපයින් කැමැති වුණේය. ‘‘අපි ළඟ වීඩියෝ හඬපට තියෙනවා කියලා හාමුදුරුවන්ව බය කරමු. කෝටි 5 ගත්තොත් අපට ජීවිත කාලෙටම ඇතිවෙයි. මගේ කොල්ලො සෙට්එකක් ඉන්නවා. මං උන්ව ලෑස්තිකර ගන්නම්.’’ සුමිත් අමාලිට යෝජනා කළේය. කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ධම්මසිරි හිමියන්ට තර්ජනයකර මුදල් ලබා ගැනීමට සුමිත් සහ අමාලි එක්ව සැලසුම් කළහ. වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ ආතක් පාතක් නැති කාලකණ්ණින් සිව්දෙනකු ද මේ සැලසුම සඳහා සම්බන්ධකර ගන්නට සුමිත් කටයුතු කළේය. අසුමිත් අමාලිගේ නිවසට නිතර යන එන පුද්ගලයෙකි. ජනවාරි 02 වැනිදා සවස සුමිත් සිය යතුරුපැදියෙන් අමාලිගේ නිවසට ආවේයේ. එදින සවස සුමිත් සහ අමාලි නිවසේ තිබූ ඩෙලිකා වර්ගයේ වෑන් රථයෙන් කොඩිකන්ද ආරණ්‍ය සේනාසනය වෙත යන්නට පිටත් වූහ.
 

අතරමඟදී සුමිත්ගේ සහචරයන් සිව්දෙනකු ද වෑන් රථයට ගොඩවූහ. මේ පිරිස ආරණ්‍යයට එන්නේ එදින රාත‍්‍රි 10.00 පමණය. එදින ආරණ්‍යයේ සිටියේ ධම්මසිරි හිමියන් සහ පියපුතු දෙපළක් පමණි. මහණවීමේ බලාපොරොත්තුවෙන් පැමිණ සිටි 33 හැවිරිදි අයකු සහ ඔහුගේ 70 හැවිරිදි පියා ආරණ්‍යයේ පසෙක වූ කාමරයක නිදා සිටියහ. අමාලි සුමිත් ඇතුළු මැර පිරිස ආරණ්‍යයට කඩා වදිද්දී ධම්මසිරි හිමියන් ද සැතපී සිටියහ.
 
 මැර පිරිස ධම්මසිරි හිමියන් වැඩ සිටි සංඝාවාසයට කඩාවැදී හිමියන්ට පොලූ මුගුරුවලින් පහර දෙන්නට වූහ. ‘‘හාමුදුරුවනේ අපි ආවෙ මේ ප‍්‍රශ්නය ගොඩින් බේරාගන්න. මගේ දරුවාට හාමුදුරුවෝ කරපු අපරාධය මට උහුලන්නේ නැහැ. ඒ අපරාධයට වන්දියක් විදිහට හාමුදුරුවො ළඟ තියෙන රුපියල් කෝටි 5 ක සල්ලි ටික අපට ඕනෙ.’’ අමාලි ධම්මසිරි හිමියන්ට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටියාය. අ‘‘මගේ ළඟ එච්චර සල්ලි නැහැ. මං උඹලගෙන් බේරෙන්න තමයි එහෙම කිව්වේ. ඕනෙ නම් ඔය බැංකු පොත් ටික අරන් බලපල්ලා.’’ පහරකෑමට ලක්ව වේදනාවෙන් ඇඹරෙමින් සිටි ධම්මසිරි හිමියන් මැරයන්ට කීවේය. අමාලි සහ සුමිත් සංඝාවාසයේ තිබූ ධම්මසිරි හිමියන්ට අයත් බැංකු පොත් ඇතුළු වටිනා දේ සියල්ල ලබා ගත්හ. ‘‘මේ හාමුදුරුවෝ බොරු කියන්නෙ. අපි හාමුදුරුවන්ව අරගෙන ගිහින් කොහෙ හරි හිරකරගෙන සල්ලි ටික ගන්න බලමු. ලැබිච්ච වාසනාවට පයින් ගහන්න බැහැ.’’සුමිත් යෝජනා කළේය. අමාලි ද ඊට එකඟ වූවාය. ඒ වනවිට ආරණ්‍යයේ කාමරයක සිටි පිය පුතු දෙපළ ද මේ සිද්ධියවන ස්ථානයට පැමිණ සිටියහ. මැරයන් පිය පුතු දෙපළ දණ ගස්සවා ඔවුන් සතුව තිබූ ජංගම  දුරකථන ද තමන් භාරයට ගත්හ.
 
 ‘‘උඹලා දෙන්නා මේ ගැන කාට හරි කිව්වොත් අපි ආපහු ඇවිත් උඹලාව මරාලා දානවා. ඒ නිසා කටවල් වහගෙන නිදාගනිල්ලා.’’ පිය පුතු දෙපළට ද පහර කීපයක් එල්ල කළ සුමිත් ඔවුන්ට තර්ජනය කළේය. ධම්මසිරි හිමියන්ට පහර දී ඩෙලිකා වර්ගයේ වෑන් රථයට නංවා ගත් මැර පිරිස ඝන අන්ධකාරය මැදින් ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මාර්ගය ඔස්සේ නොපෙනී ගියහ.
 
 ධම්මසිරි හිමියන් පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබෙන්නේ ජනවාරි 03 වැනිදා උදෑසනය. මේ පැමිණිල්ල කර තිබුණේ ආරණ්‍යයේ වැඩ විසූ තරුණ භික්‍ෂුවක් විසින් ය.
 
 ධම්මසිරි හාමුදුරුවන්ව පැහැරගෙන ගිහිල්ලා. ඒ වෙලාවෙ මම ආරණ්‍යයේ වැඩ හිටියේ නැහැ. මා අද උදේ ආරණ්‍යයට ආවට පස්සෙ දැන ගත්තේ ධම්මසිරි හාමුදුරුවන්ට මැරයෝ ටිකක් හොඳටම පහරදීලා පැහැරගෙන ගියා කියලා. තරුණ භික්‍ෂුව ලබාදුන් තොරතුරු ඔස්සේ හංවැල්ල පොලිසිය වහාම සිය විමර්ශන කටයුතු ආරම්භ කළහ.
 
 කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති ධම්මසිරි හිමියන් මැර පිරිසක් විසින් පැහැර ගෙන ගිය පුවත සැලවීමත් සමඟම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ක‍්‍රියාත්මක වුණේය. මේ සිදුවීම ඉතාම බැ?රුම් එකක් වනු ඇති බව තේරුම් ගත් තෙන්නකෝන් මහතා ධම්මසිරි හිමියන් සොයා ගැනීමේ විමර්ශනය බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත ලබා දෙන්නට පියවර ගත්තේය. බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්‍ෂක හේමන්ත කුමාර ඇතුළු නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ. පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන කළ පොලිස් කණ්ඩායම් දෙක ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ස්වාමීන් වහන්සේගෙන් සහ පිටස්තර පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණි. සජිත හාමුදුරුවන්ගේ පාවුලේ අයත් එක්ක ලොකු හාමුදුරුවන්ගෙ ප‍්‍රශ්නයක් තිබුණා. ආරණ්‍යයේ වැඩ විසූ ස්වාමීන් වහන්සේගෙන් සහ ප‍්‍රදේශවාසීන්ගෙන් ලබා ගත් ඉතාම වැදගත් තොරතුරු ඔස්සේ පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා විමර්ශන ක‍්‍රියාත්මක කළේය. ධම්මසිරි හිමියන් පැහැරගෙන යෑමේ විමර්ශනයේ සියලූ අධීක්‍ෂණ කටයුතු භාරගෙන සිටියේ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා ය.
 
 ‘‘හාමුදුරුවන්ගේ පැහැර ගැනීම පිටිපස්සෙ ඔය සජිත හාමුදුරුවන්ගේ පලහිලව්ව තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම ඔය සාමනේර හාමුදුරුවන්ගෙ ගෙවල් චෙක් කරන්න ඕනෙ.’’ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා පොලිස් කණ්ඩායමක් හොරණ පිහිටි සජිත හිමියන්ගේ නිවසට පිටත්කර හැරීමට කටයුතු කළේය. පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායම හොරණ කිරිගලහේන ප‍්‍රදේශයේ පිහිටි නිවසට යනවිට එහි සිටියේ සජිත හිමියන්, වැඩිමහල් සොහොයුරු, බාල නැඟණිය සහ මිත්තණිය පමණි.
 
 ‘‘කෝ අම්මයි තාත්තයි. ඒ ගොල්ලො කොහෙද ගියේ?’’ ජයන්ත පෙරේරා කුඩා සාමනේර හිමියන්ගෙන් ප‍්‍රශ්න කළේය. ‘‘ඒ දෙන්නා ඊයේ හවස (02 වැනිදා) ගෙදරින් ගිය ගමන් ආවෙ නැහැ.’’ සජිත හිමියෝ පැවසූහ. පොලිස් කණ්ඩායම නිවස පරීක්‍ෂා කළහ. ධම්මසිරි හිමියන් පැහැර ගැනීම පිටුපස සජිත හිමියන්ගේ වැඩිහිටියන්ගේ සම්බන්ධයක් නිසැකව ම ඇති බව ඒ වනවිට පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා තේරුම් ගෙන සිටියේය. ‘‘මේ ස්කූටර් එක කාගෙද? කවුද ඒකෙ ආවෙ...?’’ ජයන්ත පෙරේරා නිවසේ තිබූ යතුරුපැදිය ගැන දරුවන්ගෙන් විමසුවේය. ‘‘ඒක සුමිත් අංකල්ගෙ. එයා ඊයේ හවස මේ බයික් එකේ ඇවිත් මෙහෙ දාලා අම්මත් එක්ක අපේ වෑන් එකෙන් කොහේදෝ ගියා’’ සජිත හිමියන් පෙර දින සිදු වූ සියල්ල හෙළි කළහ.
 
 ‘‘කවුද මේ සුමිත් අංකල් කියන්නේ. අපි මිනිහ ගැනත් හොයන්න ඕනෙ’’ පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා සිය නිලධාරීන්ට පැවසූහ. අවසානයේ සුමිත් කාගේ කවුදැයි පොලිසිය සොයාගත්හ. සුමිත් යනු මිල්ලනිය පොලිසියේ රාජකාරි කරන නිලධාරිනියකගේ සැමියා බව සොයාගත් පොලිසිය ඔහුගේ නිවසට ගොස් පරීක්‍ෂා කළහ. ‘‘මහත්තයා බ්‍රෝකර් වැඩ කරන්නේ. රට හැම තැනම එයා යනවා. සමහර දාට දවස් දෙක තුන ගෙදර එන්නේ නැහැ. ඊයේ ගිය ගමන් එයා ආවේ නැහැ.’’ සුමිත්ගේ බිරිඳ සියලූ තොරතුරු හෙළි කළාය.
 
 ‘‘අනිවාර්යයෙන්ම මේ වැඬේට සුමිත් සම්බන්ධයි. මේ සෙට්එක කොහේද ඉන්නෙ කියලා හොයාගත්තොත් අපට හාමුදුරුවො ගැන තොරතුරක් ගන්න පුළුවන්.’’
 
පොලිස් අධිකාරි රොහාන් පෙරේරා සිය විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දුන්නේය. අමාලි සුමිත් සහ කුමාර සතුව ඇති ජංගම දුරකථන ඔස්සේ විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කළහ. පණිවුඩ හුවමාරු කුලූනු දත්ත ඔස්සේ තොරතුරු ලබා ගත් පොලිස් කණ්ඩායම මාකොළ ප‍්‍රදේශයේ සැකකටයුතු නිවසක් හඳුනාගත්තේය. ධම්මසිරි හාමුදුරුවෝ ගැන අපි පුළුවන්තරම් ඉක්මනට තොරතුරු හොයාගන්න ඕනෙ. එහෙම නොවුණොත් හාමුදුරුවන්ගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. හාමුදුරුවෝ අවුරුදු 65ක වයස කෙනෙක්. ආරණ්‍යයෙන් ගෙනියද්දිත් හාමුදුරුවන්ට සෑහෙන්න පහරදීලා තියෙනවා. ඒ නිසා මේ විමර්ශනය පුළුවන්තරම් ඉක්මණින් කරන්න ඕනෙ....’’ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විමර්ශන නිලධාරීන්ට උපදෙස් දුන්නේ විමර්ශනය කඩිනම් කරන ලෙස දන්වමින් ය. පොලිස් පරීක්‍ෂකවරුන් වන ජයන්ත පෙරේරා, හේමන්ත කුමාර ඇතුළු නිලධාරීන් මාකොළ පිහිටි සැකකටයුතු දෙමහල් නිවස වැටලීමට කටයුතු කරන්නේ ඉන් පසුවය. රන් ආභරණ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන එම නිවසේ හිමිකරුගෙන් පොලිසිය ප‍්‍රශ්න කළහ.
 
දෙවැනිදා රෑ මගේ යාළුවෝ කට්ටියක් ඇවිත් හිටියා. එතැන හාමුදුරුනමකුත් හිටියා. ඒ අය ඊයේ පාන්දර ගෙදරින් ගියා. මං දන්නෙ නැහැ කොහෙද ගියේ කියලා. සුමිත් කියලා මගේ යාළුවෙකුයි, අමාලි කියලා ගෑනු කෙනෙකුයි තවත් හතරපස්දෙනෙක් ගෙදර හිටියා.
 
 දෙමහල් නිවසේ හිමිකරු ලබාදුන් තොරතුරු අනුව ධම්මසිරි හිමියන් පැහැරගෙන විත් රඳවා තබාගෙන සිට ඇත්තේ මෙහි පව සොයා ගන්නට පොලිසියට අපහසු වුණේ නැත. එහෙත් ඒ වනවිට ධම්මසිරි හිමියන් ගැන හෝ සුමිත් අමාලි යුවළ ගැන කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැත. ධම්මසිරි හිමියන් පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් වහාම නුගේගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත දැනුම් දෙන ලෙස අවට පොලිස් ස්ථාන සියල්ලටම දැනුම් දීමක් කිරීමට පොලිස් අධිකාරී රොහාන් පෙරේරා කටයුතු කර තිබුණේය. මේ අතර ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ පොලිසිය දිගින් දිගට ම විමර්ශන පැවැත්වූහ. බත්තරමුල්ලේ නිවසක රැඳී සිටින සැක කටයුතු යුවළක් පිළිබඳව පොලිස් නිලධාරියකු වෙත තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරදී ය. පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් බත්තරමුල්ලේ නිවස වටලා එහි සැඟව සිටි සුමිත් සහ අමාලි අත්අඩංගුවට ගත්හ. ඒ වනවිට අමාලිගේ නීත්‍යානුකූල සැමියා වන කුමාර ඔහුට අයත් ඩෙලිකා වෑන් රථය ද රැගෙන හංවැල්ල පොලිසිය වෙත භාර වී සිටියේය. ධම්මසිරි හිමියන් බේරා ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ඒ වනවිට ගිලිහී තිබූ බව පොලිස් නිලධාරීන් තේරුම් ගෙන සිටියහ. අමාලිගෙන් සහ සුමිත්ගෙන් ප‍්‍රශ්න කරද්දී සියල්ල හෙළිකිරීමට මුලදී ඔවුන් අදිමදි කළහ. එහෙත් ජයන්ත පෙරේරා ප‍්‍රමුඛ පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ සත්‍ය හෙළිකර ගන්නට පොලිසියට හැකි විය. ‘‘සර්.... මේ වනකොට හාමුදුරුවෝ ජීවතුන් අතර නැහැ. අපි හාමුදුරුවන්ව අරගෙන ගියේ බය කරලා සල්ලි ටික ගන්න. ඒත් අපි නොහිතපු විදියට හාමුදුරුවො අපවත් වුණා.’’ අමාලි සිදු වූ සියල්ල පියවරෙන් පියවර හෙළි කරන්නට වූවාය. ඒ වනවිට කොටදෙණියාව පොලිසියෙන් මිරිහාන විශේෂ අපරාධ ඒකකය වෙත තොරතුරක් ලැබී තිබුණේය. කොටදෙණියාව නාවාන ප‍්‍රදේශයේ සොහොන්පිටියක නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පිළිස්සෙමින් තිබෙන බවත් එම සිරුර භික්‍ෂුවකගේ බවට සැක කරන සාක්‍ෂි ඇති බවත් ය. ‘‘ධම්මසිරි හාමුදුරුවන්ගේ මිනිය සොහොනෙ දාල පිච්චුවේ අපි සර්. අපට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ.’’ අමාලි හඬාවැළපෙමින් කියන්නට වූවාය.
 
 ‘‘හාමුදුරුවො මගෙ නොදරුවට මහා අපරාධයක් කරල තිබුණා. මට ඒක හුලන්න බැරි වුණා. මං හාමුදුරුවො ගැන හිටියෙ ලොකු වෛරයකින්. ඒ අතරෙ තමයි හාමුදුරුවො ළඟ ලොකු මුදලක් තියෙනවා කියලා දැන ගත්තෙ.’’ ආර්ථික ප‍්‍රශ්නවලින් අපි හෙම්බත්වෙලා හිටිය හින්දයි හාමුදුරුවො බය කරලා සල්ලි ටික ගන්න ප්ලෑන් කළේ. ඒත් අන්තිමේදී සල්ලිත් නැති වුණා හාමුදුරුවොත් නැති වුණා.’’ අමාලිගෙන් සහ සුමිත්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ධම්මසිරි හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.
 
 කොඩිකන්ද ආරණ්‍යයෙන් පැහැරගත් ධම්මසිරි හිමියන් සුමිත් අමාලි ඇතුළු මැර පිරිස රැගෙන ආවේ මාකොළ පිහිටි දෙමහල් නිවස වෙත ය. එහිදී ද ධම්මසිරි හිමියන්ට අමානුෂික ලෙස පහරදුන් පිරිස රුපියල් කෝටි පහක මුදල ලබා දෙන ලෙස ඉල්ලා තර්ජනය කරන්නට වූහ.
 
 මාකොළ නිවසේ සිරකර තබාගෙන සිටියදී ධම්මසිරි හිමියන් එක අවස්ථාවක ඉන් පලා යෑමට උත්සාහ කළහ. ඉන් කෝපයට පත් වූ සුමිත් අමාලි ඇතුළු මැරයන් ධම්මසිරි හිමියන්ට නැවතත් අමානුෂික ලෙස පහර දී කටේ පාන්කඩ ඔබා දෑත් දෙපා බැඳ දමා සිර කළහ. අමාලිට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ධම්මසිරි හිමියන් සතු මුදල් ලබා ගැනීමටය. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ඇය මේ බව හෙළි කළාය. දවස් දෙක තුනක් හරි හාමුදුරුවන්ව තියාගෙන සල්ලි ටික ගන්න අපි ට‍්‍රයි කළා. ඒත් 04 වැනිදා උදේ බලද්දී හාමුදුරුවො අපවත් වෙලා. එදා අපි හොඳටම බය වුණා. හාමුදුරුවන්ව මරන්න අපිට කොහෙත්ම වුවමනාවක් තිබුණෙ නැහැ. සුමිතුයි මමයි අනිත් අයයි කතා වුණා දැන් මොකද කරන්නේ කියලා. සුමිත් යෝජනා කළා හාමුදුරුවන්ගේ දේහය කොහෙ හරි වළදාමු කියලා. 04 වැනිදා රෑ වෙනකල් හාමුදුරුවන්ගේ මිනිය මාකොළ ගෙදර හංගලා තිබුණා. සුමිත් එයාගෙ යාළුවෙක්ගෙන් ත‍්‍රීවීල් එකක් ඉල්ලගෙන ආවා මළ ගෙදරක යන්න තියෙනවා කියලා. 05 වැනිදා එළිවෙන්න අපි හාමුදුරුවන්ගෙ මිනිය ඇඳ රෙදිවලින් ඔතලා මූණට මාස්ක් එකකුත් දාලා ත‍්‍රීවීල් එකේ තියා ගත්තා ලෙඩෙක් අරන් යන විදිහට තමයි හාමුදුරුවන්ගෙ මිනිය කොටදෙණියාව නාවාන පැත්තට අරන් ගියේ. මඟදී කොහොදිවත් අපිව පොලිසියෙන් චෙක් කළේ නැහැ. මං ත‍්‍රීවීල් එක පිටිපස්සෙන් බයික් එකේ ආවා. ෂෙඞ් එකකින් රුපියල් දාහක් දීලා පෙට‍්‍රල් ගත්තා. හාමුදුරුවන්ගේ මිනිය වළදාන්න බැරි වුණොත් පුච්චලා දාන්න හරි කියලා. ‘‘නාවානෙ කනත්තට මිනිය ගේනකොට පාන්දර වෙලා. අලූත වළදාපු මිනියක් හාරලා හාමුදුරුවන්ගෙ මිනිය වළදාන්න හැදුවා. ඒත් කනත්තේ වැඩි වෙලාවක් ඉන්න එක භයානක නිසා අපි ඒ වැඬේ අතහැරියා. ඇඳ ඇතිරිල්ලක ඔතලා හාමුදුරුවන්ගෙ මිනිය පෙට‍්‍රල් දාලා පිච්චුවා.’’‘අපි හිතුවෙ මේ වැඬේ අහුවෙන එකක් නැහැ කියලා.’’ අමාලි තමන් විසින් කළ මහා අපරාධය ගැනත්, එය සිදුකිරීමට යොදාගත් ඉතාම ප‍්‍රාථමික ක‍්‍රමවේදයන් පිළිබඳවත් සියල්ල හෙළි කළාය. තම දරුවන්ගේ අනාගතය ගැන නොසිතා මුදල් පස්සේ හඹාගිය අමාලිටත් සුමිත්ටත් මේ වනවිට මිනී මැරුම් චෝදනා එල්ල වී හමාරය.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්‍ෂක හේමන්ත කුමාර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් උ. පො. ප. ලක්‍ෂ්මන්, සැරයන්වරුන් වන ප‍්‍රසන්න (40248), ප‍්‍රසන්න (21284), කොස්තාපල්වරුන් වන ලලන්ත (72338), කුමාර (84762), අමිල (77687), සමීර (81600), අනිල් (61597) යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

හේමන්ත රන්දුණු - Divaina



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook