Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මගේ ජනප්‍රියත්වයට වඩා
දුවගෙ සුරතල් වයස වටිනවා
හැකියාවට ලැබෙන අවස්ථා හරි සීමිතයි

සැබෑ කරගන්න කියලා ලොකු ලොකු හීන නම් නෑ

කාලයක් තිස්සේ සිනමාව හරහා ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූ නිලන්ති ඩයස් මේ දිනවල තරමක් නිශ්ශබ්දවයි පසුවන්නේ. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම බිරිඳක්, මවක් ලෙස කාර්යබහුල ඇයව එකතු කරගත්තේ කලාව පිළිබඳව වගේම සිය පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් කතා කරන්නයි.

කොහොමද ජීවිතේ?
රංගන කටයුතුවලින් නම් මේ කාලයේ තරමක් දුරස්වයි පසුවන්නේ. නමුත් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා සහ ඒ සඳහා සහභාගි වෙනවා. ආයෙත් රියැලිටි වැඩසටහන් හරහා ඩාන්සින් පැත්තට වැඩි අවධානයක් දීලයි තියෙන්නේ. ඒ දේවලුත් එක්ක බබාගේ වැඩකටයුතුවලට වැඩි කාලයක් වෙන් කරමින් සතුටින් කාලය ගත කරනවා.

ළඟදි අලුත් නිර්මාණයකට එහෙම සහභාගි වුණේ නැද්ද?
තවම බබාට අවුරුදු හතරයි. ඉතින් එයා වෙනුවෙන් කැපවුණා ඇරෙන්න කලාවට වැඩි කාලයක් වෙන් කළේ නැහැ. දිගටම බබා එක්කම හිටපු නිසා මම එයාගෙන් ඈත්වෙනවට දැන් බබා කැමතිත් නෑ. ඉදිරියේදී ලැබෙන හොඳ නිර්මාණයකට රංගනය ලබාදෙන්න බලා‍පොරොත්තුවෙමින් පසුවෙමින් තමයි ඉන්නේ.

ඔබ දැන් කලාවෙන් දුරස්වෙලාද?
කලාවේ රැඳිලා ඉන්නවා. පසුගිය කා‍ලේ මම දිගටම චිත්‍රපටවල වැඩ කළා. නමුත් දැන් කාලයක් නිහඬව හිටියා. සමහර විට ඒ නිහඬතාවය දුරස්වීමක් හැටියට පෙනෙනවා ඇති. රංගනයෙන් ටිකක් ඈත්වෙන්න වුණත් නර්තනය හරහා කලාව තුළ මම රැඳිලා ඉන්නවා.

කලාවෙන් දුරස් වෙන්න ආරාධනා නොලැබිමත් හේතුවක්ද?
නෑ, ආරාධනා ලැබෙනවා සහ ලැබුණා. නමුත් රූගත කිරීම්වලට පිට පළාත්වලට යන්න වුණාම ටිකක් අමාරුයි. කොළඹ අවට නම් ප්‍රශ්නයක් නැහැ. ටිකක් දුර යන්න වුණාම බබාගෙන් ඈත්වෙන්නත් සිද්ධ වෙනවා. ඒ හේතූන් නිසා ලැබෙන ආරාධනාත් මගහැරුණා.

ඔබ සාමාන්‍යයෙන් නිර්මාණයක් තෝරාගනිද්දි සැලකිලිමත් වෙන කරුණු මොනවාද?
ලැබෙන චරිතය සුදු චරිතයක් වුණත් ඒ චරිතය තුළ යමක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය භාරගන්නවා. එකම රාමුවකට රාමුගත නොවී විවිධාකාර පරාසයන් තුළින් ගොඩනැගෙන චරිත ලැබෙනවා නම් මම ගොඩක් කැමතියි.

නිහඬව ඉන්නකොට ඒක ජනප්‍රියත්වයට හානියක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද?
නිතරම දකින්න නොහිටියාම ජනප්‍රියත්වයට ඒක තරමක් දුරට හානිදායකයි තමයි. නමුත් මම එකදිගට කාලයක් සිනමාව හරහා සම්බන්ධ වුණ නිසා මාව දන්න හඳුනන විශාල පිරිසක් ඉන්නවා. අපේ ජීවිතවලත් පෞද්ගලිකත්වයක් තියෙනවා. එතැනදි මවක්, බිරිඳක් ලෙස යුතුකම් සහ වගකීම් රැසකුත් තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම විය යුතුයි. ජනප්‍රියත්වය කාලයත් එක්ක නැවත ගොඩනගා ගන්න පුළුවන්. නමුත් බබාගේ මේ හුරතල් වයස ආයෙත් එන්නේ නෑනේ. ඒ හින්දා මේ කැපකිරීම ලොකු සතුටක්.

එදිනෙදා ජීවිතේ මගතොටදී ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
නිතර දකින්න නොහිටියා කියලා ප්‍රතිචාරවලින් නම් කිසිම අඩුවක්වෙලා නැහැ. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල නම් වැඩිපුරම ඩාන්සින්වලට තමයි ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ.

දැනට කරලා තියෙන චරිත ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
ඇත්තටම තෘප්තිමත් මදි. ගොඩක් ලැබුණේ ඒකාකාරී චරිත. එක චරිතයක් කළාම ලැබෙන ඊළඟ චරිතයත් ඒ හා සමානයි. එහෙම වෙනකොට තෘප්තිමත් වෙන්න නම් බෑ කොහෙත්ම. මම කැමති විවිධත්වයක් දකින්න. විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට යන්නයි මම කැමති.

ඔබේ හැකියාවෙන් හා දක්ෂතාවයෙන් අපේ අධ්‍යක්ෂවරු උපරිම ප්‍රයෝජන ගත්තා කියලා හිතන්න පුළුවන්ද?
මගේ හැකියාවෙන් සහ දක්ෂතාවෙන් නම් උපරිම ප්‍රයෝජන අරන් නෑ කියලයි මම හිතන්නේ. හැකියාවට ලැබෙන අවස්ථා හරි සීමිතයි. මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතුණ අවස්ථා තිබිලා තියෙනවා.

කොහොමද පවු‍ලේ තොරතුරු?
දැන් අපේ දුව ඉන්නේ එයාගේ හුරතල්ම වයසේ. එයා ෂෙනායා. තවම අවුරුදු හතරයි. දූගේ වැඩ මම අතින්මයි කෙරෙන්නේ. ඉතින් එයාගේ හුරතල්, දඟ වැඩ එක්ක සතුටින් පවු‍ලේ ජීවිතේ අරන් යනවා.

බබාගේ වැඩත් එක්ක කොහොමද හැම දෙයක්ම සමබරව කරගන්නේ?
හැම දෙයක්ම මම සමබරව කරගෙන යනවා. මහත්තයාගේ සහයෝගයත් නිතරම ලැබෙනවා. බබාටත් දැන් හොඳට තේරෙනවා. සමහර වැඩවලදී බබත් අරන් යන්න සිද්ධ වෙනවා. එයාට දැන් තේරෙන නිසා ගොඩක් වැඩ පහසුයි.

මහත්තයා කැමතිද දිගටම ඔබ කලාවේ රැඳෙනවාට?
මහත්තයාගේ කිසිම අකමැත්තක් නෑ. යුවතියක් විවාහ වුණාම ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විවාහවෙලා වගකීම් වැඩිවෙනකොට බිරිඳක්, මවක් හැටියට තවත් ජීවිතේ වෙනස් වෙනවා. මමත් ගැහැනියක් හැටියට ඒ ‍පොදු කාරණාවට මුහුණ දුන්නා. ඒකයි තරමක් කලාවෙන් ඈත්වෙන්න වුණේ. මම කලාවෙන් සමුගත්තේ නෑ. මොකද කලාවට මම ආදරෙයි.

මහත්තයාගෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?
මහත්තයා ගොඩක් කාර්යබහුලයි. වෙලාවකට එයාගේ වැඩවලටත් එයාට කාලය මදි. ඉතින් ඔහුගේ කාර්බහුලත්වයත් එක්ක ලොකු සහයෝගයක් බලා‍පොරොත්තු වෙන්න බෑ.

තවමත් එක විදියටම රූපය පවත්වාගෙන යෑමේ රහස මොකක්ද?
මට කොහොමත් තියෙන්නේ ‍පොඩි පෙනුමක්. ගොඩක් උස, මහත කෙනෙක් ‍නෙවෙයි මම. ඉතින් නිතරම ව්‍යායාම කරනවා. අනික් දේ තමයි ඩාන්සින් කරන කෙනෙක් හැටියට ශරීරයේ හැඩය ගැන අමුතුවෙන් හිතන්න ඕන නැහැ.

පෞද්ගලික ජීවිතේ සැබෑකර ගන්න තියෙන හීන මොනවාද?
සැබෑ කරගන්න කියලා ලොකු ලොකු හීන නම් නෑ. හැමදාම සතුටින් ඉන්නයි ඕන. දරුවගේ අනාගතේ යහපත් කරන්නයි, එයාගේ හීනවලට යන්න කැපවෙන එකයි තමයි ඉතින් එකම බලා‍පොරොත්තුව. එයාව හොඳ පුරවැසියෙක් හැටියට රටට දායාද කරන්න දෙමව්පියන් විදිහට අපි උපරිම කැපවෙනවා.

ඉදිරියේදී කරන්න තියෙන නිර්මාණ මොනවාද?
ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට නම් ඉදිරියේදී එන්නේ නෑ. ඉස්සරහට තියෙන්නේ ඩාන්සින් සීසන් එක නිසා ප්‍රසංග කලාවට තමයි ගොඩක් ආරාධනා ලැබෙන්නේ. නුදුරේදීම හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයෙත් මාව සිනමාව හරහා දැකගන්න අවස්ථාව ලැබේවි.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook