Featured News

Video Gossip

Advertisement

මහත්තයාගේ නම් අකමැත්තක් නෑ
නමුත් මගේ වැඩි කැමැත්තක් නෑ
-ඕෂධී හේවාමද්දුම


නම කියූ පමණින් රූපය මැවෙන තරමට රසික හදවත්වලට සමීප වූ රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වා දෙන්න පුළුවන්. රංගනය, නිවේදනය, ගායනය, නිරූපය යනාදී සෑම ක්ෂේත්‍රයක් හරහාම සිය හැකියාවට වටිනාකම් එකතු කරගන්නා ඇය මවක්, බිරිඳක් ලෙසත් කාර්යබහුල ආදරණීය චරිතයක්. ඉතින් ඇගේ කාර්යබහුලත්වයත් එක්ක රිවිසරසියේ පිටුවක් හැඩ කරන්නත් මෙලෙස ඇය එක්වුණා.

අලුත් තොරතුරු මොනවාද?
අලුත් තොරතුරු ගැන කතා කළොත් නම් මේ දිනවල අලුත් චිත්‍රපටයක රූගත කිරීම් පටන්ගෙනයි තියෙන්නේ. ඊට අමතරව ලබන අවුරුද්දේ ජනවාරි මාසේ වෙනකොට අපේම නිෂ්පාදනයක් තුළින් ප්‍රේක්ෂකයන්ට අතරට එන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ දේවල් එක්ක සතුටින් ජීවිතේ ගෙවනවා.

දැන් ඉස්සර වගේ දකින්න ලැබෙනවා අඩුයි නේද?
නිර්මාණ කෙරෙනවා නම් ඇත්තටම දැන් හරි අඩුයි. මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ සිනමාවට. ටෙලි නාට්‍ය නම් ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි ටෙලි නාට්‍යවල ප්‍රමිතිය ගැන යම් යම් ගැටලු තියෙනවා. ඒ නිසා ටෙලි නාට්‍යයකට සහභාගි වෙන්න දෙපාරක් හිතලා තීරණයක් වෙන තත්ත්වයක් අද වෙනකොට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පවතින්නේ. ඉතින් අපේම නිෂ්පාදනයක හෝ හොඳ ප්‍රමිතියෙන් යුතු නිර්මාණයක රංගනයේ යෙදෙනවා ඇරෙන්න ටෙලි නාට්‍ය ගැන ලොකු පැහැදීමක් නෑ අද වෙනකොට.

තවමත් ඉස්සර වගේම ආරාධනා ලැබෙනවාද?
ඔව්, ආරාධනා ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන ආරාධනා අපේ ස්ථාවරත්වය වගේම අපි තෝරා බේරාගෙන කරන චරිතවලට අනුව ලැබෙන ආරාධනා වෙන්න ඕන. එහෙම නොවන අවස්ථාවලදී ඒ ආරාධනා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

ඔබේ නිවේදන කටයුතු ගැන කතා කළොත්?
රඟපාන්නත් කලින් තමයි මම නිවේදන කටයුතු ආරම්භ කරන්නේ ළමා කාලයේ ඉඳන්. ඒ කියන්නේ අවුරුදු 6දී ළමා පිටිය හරහා තමයි මුලින්ම මම නිවේදන කටයුතු පටන් ගන්නේ. රඟපෑම කියන්නේ මට අහම්බයක් වුණත් නිවේදනය මම පුංචි කා‍ලේ ඉඳන්ම ආසාවෙන් කරපු දෙයක්. ඉතින් රංගනයට වගේම නිවේදනයටත් මම එක වගේම ආදරෙයි.

රංගනය, නිවේදනය, නිරූපණය අතරින් ඔබ වඩාත්ම කැමති කුමන ක්ෂේත්‍රයටද?
එහෙම විශේෂයෙන් කැමති එක ක්ෂේත්‍රයක් කියන්න අමාරුයි. මොකද මේ සේරම මම නියෝජනය කරන ක්ෂේත්‍රයන්. ඉතින් රංගනයට සහ නිවේදනයට මගේ විශේෂ වැඩි කැමැත්තක් තියෙනවා.

රංගනයේදී අද වෙනකම් කරපු චරිත ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
ඒ ඒ කාලවලදී ලැබුණු චරිත ගැන මම තෘප්තිමත්. ආදරේ ගැන හොඳටම දැනෙන කාලෙදි ප්‍රේමවන්තිය හැටියට රඟපාන්න අවස්ථාව ලැබුණා. අද මගේ වයසත් එක්ක ආපසු හැරිලා බලනකොට ඒ ලැබුණු චරිත ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මට අවුරුදු 21දී මම මවකගේ චරිතයට රඟපෑවා. ඉතින් ඒ වගේ අභියෝගත් මම භාරගත්තා.

විවාහයට පස්සේ කලාව සීමාවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
ඒ සීමාවීම ස්වභාවිකයි. විවාහයටත් වඩා පුතා ලැබුණට පස්සේ ඒ සීමාවීම ගොඩක් දැනුණා. දැන් ඉස්සර වගේ සැහැල්ලුවෙන් හැම නිර්මාණයකටම සහභාගි වෙන්නත් බෑ. සේරටම කලින් පුතාට මුල්තැන දෙන්න ඕන. ඒ දේ අනිවාර්යයෙන්ම විය යුතුයි මවක් හැටියට.

පුතෙක්ගේ අම්මා කෙනෙක් වීම කියන හැඟීම ඔබට කොහොමද දැනෙන්නේ?
මං ඉස්සර ඉඳන්ම ආසාවෙන් හිටියේ පුතෙක්ට. ඉතින් ඒ හැඟීම විස්තර කරන්න ඇත්තටම වචන නෑ. ඒ තරමටම ඒ හැඟීම, ඒ සතුට ගොඩක් දැනෙනවා. දැන් එයාට අවුරුදු පහයි. එයාගේ හුරතල් වැඩ, එයා කරන හැමදේම හරි ආදරණීයයි. අම්මා කෙනෙක්ගෙයි පුතෙක්ගෙයි තියෙන ඒ බැඳීම හරි පුදුමාකාරයි. ඒ වගේම අසමසමයි. ඉතින් මම දැන් ඒ අත්දැකීම අත්විඳිනවා.

පුතා ගොඩක් දඟ ඇති නේද?
ඇත්තටම මගේ පුතාගේ එහෙම ලොකු දඟ වැඩ දකින්න නෑ. ‍පොඩි ‍පොඩි හුරතල් වැඩ තියෙනවා. පුතා ගොඩක් බුද්ධිමත්. දෙයක් කිව්වම තේරුම් ගන්න, කීකරු පුතෙක් මට ඉන්නේ. මම මොනවා හරි කීවොත් එයා ඒ දේ අහනවා. අනිත් හැමෝටම වඩා මාත් එක්ක ගොඩක් එකතුයි. ඉතින් ඒ තමයි දරුවෙක්ගේ අම්මට තියෙන විශේෂ ආදරේ.
පුතාගේ වැඩයි, කලාවයි එක්ක කොහොමද වෙලාව වෙන්කර ගන්නේ?

එතැනදි නම් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ මහත්තයටයි මගේ පවු‍ලේ අයටයි. මාව, මගේ කලා ක්ෂේත්‍රය හොඳින් තේරුම්ගත්ත මහත්තයෙක් මට ලැබිලා ඉන්නවා. ඔහුත් කලාවට සම්බන්ධ නිසා ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. මගේ දෙමව්පියෝ වගේම මහත්තයාගේ ‍පොඩි නැන්දා අපිත් එක්ක ඉන්නවා. ඉතින් එයාලා නොහිටින්න බබාගේ වැඩත් එක්ක කලාවත් සමබර කරගන්න ඇත්තටම මට කිසිම හැකියාවක් ලැබෙන්නේ නෑ.

බබාගේ වැඩ ඔබ අතින්මද කෙරෙන්නේ?
මම ගෙදර ඉන්න වෙලාවක නම් කවුරු ළඟ හිටියත් පුතාට මාවම ඕන. ඉතින් මට ගෙදර පුතත් එක්ක ඉන්න ලැබෙන හැම වෙලාවෙම එයාගේ හැම වැඩක්ම මගේ අතින්ම කෙරෙනවා.

කලා ජීවිතේට මහත්තයාගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
මහත්තයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විවාහය සඳහා ඔහුවම තෝරාගන්නත් ප්‍රධානම හේතුව අපි අතර තියෙන අවබෝධය. ඒ අවබෝධය නිසා වසර 10ක් වෙලත් අපි කිසිම ප්‍රශ්නයක් නැතිව ලස්සනට ජීවත් වෙනවා. කලා ක්ෂේත්‍රය තුළදී සාර්ථකව පවුල් ජීවිතේ ගෙනියන්න නම් මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.

ඔබව රූපවාහිනී තිරය හරහා දකිනකොට පුතා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?
මාත් එක්ක වැඩවලට ගිහින්ම එයත් දැන්හරි ආසයි එයාව ටීවී එකේ දකින්න. පුතා පුංචිම කා‍ලේ මම ඉන්න දර්ශනයක් යනවා නම් ‘අම්මා අම්මා’ කියලා නැවත නැවත බලපු අවස්ථා තියෙනවා. රඟපානවාට වඩා එයා ගොඩක් කැමති මම සින්දු කියනවා බලන්න. දැන් නම් අම්මා ටීවී එකේ ඉන්න එක එයාට සාමාන්‍ය දෙයක් වෙලා.

පුතාවත් දවසක කලාවට යොමුකරන්න අදහසක් නැද්ද?
තවම ලොකු අදහසක් නැහැ. පුංචි කා‍ලේ ඉඳන්ම පුතාව වෙළෙඳ දැන්වීම්වලට, ටෙලි නාට්‍යවලට ඉල්ලුවා. මහත්තයාගේ නම් අකමැත්තක් නෑ. නමුත් මගේ වැඩි කැමැත්තක් නෑ. මොකද එයා පිරිමි දරුවෙක්. කලාවට ආවම නිතරම පිරිමි ළමයෙක් පිටිපස්සෙන් ඉන්න හරි අමාරුයි. ඉතින් එයා හොඳට ඉගෙන ගෙන මේ ක්ෂේත්‍රයට එනවට මගේ කිසිම අකමැත්තක් නැහැ.

අම්මා කෙනෙක් වෙලත් රූපය ලස්සනට තබාගැනීමේ රහස මොකක්ද?
ප්‍රධානම කාරණය මම, මට ගොඩක් ආදරෙයි. ඉතින් මම, මට ආදරේ නිසා මගේ ලස්සන, සෞඛ්‍යය ගැන ගොඩක් හිතනවා. මට ආදරේ වීම තුළ අනිත් අය ගැන හිතන්න මම හොඳින් ඉන්න ඕන කියන හැඟීම මට තියෙනවා. ඉතින් ව්‍යායාම, කෑමබිම මේ හැම දෙයකින්ම මම මගේ රූපය ගැන හිතලා වැඩ කරනවා.

රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ අද කවුරු වෙයිද?
රංගන ශිල්පිනියක් නොවුණා නම් අනිවාර්යයෙන්ම මම අද ව්‍යාපාරිකාවක් නැතිනම් නීතිඥවරියක් වෙලා ඉන්නවා.

පවුල වෙනුවෙන් කලාව අතහරින්න වුණොත් මොකක්ද ඔබේ තීරණය?
මම හිතන්නේ නම් නෑ, කලාව මට මගහැරෙයි කියලා. එහෙම වෙන්න තිබුණ කා‍ලේ දැන් පහුවුණා. හැබැයි දවසක එහෙම තීරණයක් ගන්න වුණොත් මම පවුලට මුල්තැන දෙයි. මොකද මම කලාවට ආදරෙයි. ඒ වගේම මගේ පවුලට මම ඊට වඩා ආදරෙයි.

ඔබට රංගනය තුළින් උපරිමය කරන්න පුළුවන් වුණා කියලා හිතනවද ලැබුණු චරිතත් එක්ක?
ඇත්තටම නෑ, ලස්සනට බාහිර රූපෙට ලැබෙන චරිත අතරේ මගේ හැකියාව, දක්ෂතාවට ලැබුණේ හරි අඩුවෙන් චරිත. මම මතක හිටින චරිත කරපු කෙනෙක්. විවිධ චරිත කරන්න මම කැමතියි. බොලඳ චරිතවලට වඩා සමාජයේ පය ගහලා ඉන්න සැබෑ චරිත කරන්න මම ආසයි. විරූපී, ආබාධිත, අන්ධ, වයසක යනාදී විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්නයි මම ගොඩක් උත්සාහ කරන්නේ.

ඉදිරි වැඩකටයුතු මොනවාද?
අනාගතේ ගැන ලොකු සැලසුම් දකින කෙනෙක් නම් ‍නෙවෙයි මම. දැනට ඉස්සරහට මගේ දරුවගේ අනාගතේ ගැන හිතලයි මම වැඩ කරන්නේ. ඉතින් එයා හොඳ, රටට වැඩදායී යහපත් පුරවැසියෙක් කරන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. මොකද තවම එයා පුංචියි. මේ කා‍ලේ තමයි හොඳම එයාට එයාගේ අනාගතේ හැඩගස්වලා දෙන්න යහපත් ආකාරයට.

නඳුනි ආරියවංශ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements