Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මාතර නිලේකා ජුවලරි
කොල්ලයේ විස්තරේ මෙන්න


කොල්ල කරුවන් දෙදෙනෙක්
එස් එෆ් බලකායේ සේවය කල දෙදෙනෙකි


දකුණේ පාතාල නායක ගරුමුණි සුජිත් ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ සිටි ප්‍රබලම වෙඩික්කරුවා වූයේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරකය. ඒ මීට වසර හය හතකට පෙරය. අද වන විට කොස්ගොඩ සුජීගෙන් ගේම ඉල්ලන්නේ කොස්ගොඩ තාරකය. එහෙව් කොස්ගොඩ තාරක දැන් ඉන්නේ ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.
මාතර නිලේකා ජුවලරි ආයතනය මාතර පිහිටි සුවිශාලතම ස්වර්ණාභරණ මාලිගයයි. කොස්ගොඩ තාරක තමන්ගේ තවත් එක් කොල්ලයක් ලෙස නිලේකා ජුවලරි ආයතනය කොල්ල කන්නට එන්නේ පසුගිය පෙරේදා (22) පෙරවරුවේය. පොලීසිය සදහන් කරන පරිදි ඒ සදහා කොස්ගොඩ තාරක සමග කොල්ලකරුවන් 10 දෙනෙකු පැමිණ තිබේ. කොල්ලකරුවන් ගිනිඅවි රැගෙන ස්වර්ණාභරණ ආයතනයට ඇතුල් වී එහි සේවකයින් ප්‍රාණ ඇපයට ගෙන රන්භාණ්ඩ හා මුදල් සිය ගමන් මළු වලට දමා ගන්නා අතරේ පොලීසිය රන්භාණ්ඩ වෙළෙද සැල වටලන්නේ ලද තොරතුරක් මතය. මේ කිසිත් නොදත් තාරකගේ කණ්ඩායම සැලසුම් කරන්නේ මුදල් හා රන්භාණ්ඩද රැගෙන නිරුපද්‍රිතව පලා යන්නටය.

කොල්ලයට තාරකගේ කණ්ඩායම යතුරුපැදි 03 කින් හා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ තිබේ. වෙළෙද සැලට ඇතුල් වී ඇත්තේ කොල්ල කරුවන්ගෙන් සිව් (04) දෙනෙක් පමණි. සියල්ල කොල්ල කෑමෙන් පසු නිරුපද්‍රිතව පිටව යෑමේ අරමුණින් වෙළෙද සැලෙන් එලියට එන කොල්ලකරුවන්ගේ නෙත ගැටෙන්නේ අවි අමෝරා සිටින පොලිස් නිලධාරීය. කොල්ල කරුවන් ක්ෂණිකව තීරණය කරන්නේ පොලීසියට වෙඩි තබා හෝ පලා යන්නටය. වෙඩි තබන විට පොලීසිය පලායාවී යැයි ඔවුන් සිතන්නට ඇත. පොලීසියේ එවන් සිදුවීම්ද කොල්ලකරුවන්ට හොදින් හුරුපුරුදුය. නමුත් පොලීසියද පෙරලා වෙඩි තබන්නට විය. නිර්භීත පොලිස් නිලධාරීන්ගේ අපේක්ෂාව වූයේ වෙඩිතබා හෝ කොල්ලකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමය.
පෙරේදා  (22) පෙරවරුව, මාතර අනගාරික ධර්මපාල මාවත එකම යුධ පිටියක් විය. ගැටුම එදින පෙ.ව 10.25 ට පමණ සිදුව තිබේ. මෙම ගැටුමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබීය. සිවිල් පුද්ගලයින්ගෙන් එක් අයෙක් කාන්තාවකි. ඔවුන් ජුවලරි ආයතනය තුල රැදී සිටි අය වේ. මොවුන් පස් (05) දෙනාම ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කළේය. මෙයින් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. කිරින්දගේවත්ත, ගොඩගම, මාතර ලිපිනයේ පදිංචි වීරසිංහගෙදර සුරංග ප්‍රදීප් වීරසිංහ (69532) මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. සුරංග, පොලිස් විශේෂ කාර්යය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස මාතර පොලිසියට අනුයුක්තව සේවය කළේය. විවාහකයෙකු වන සුරංග, එක් දරු පියෙකි. පොලිස් සැරයන් නිලයට උසස් කෙරුණු සුරංගගේ අවසන් කටයුතු අද (24) සිදු කිරීමට නියමිතය. ඊයේ (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුරංගගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. සුරංගගේ පවුලට සාධාරණත්වය ඉටුකරන බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි විනාශ කිරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
කොල්ල කරුවන් පැමිණි යතුරු පැදි 02 ක්, මිනි ඌෂී වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් සහිත මැගසිනයක් සහ පිස්තෝල මැගසිනයක් සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණි. පලායෑමට නොහැකි වූ එක් සැකකරුවෙක්ද පොලීසියේ අත් අඩංගුවට පත්විය. මෙසේ අත් අඩංගුවට පත්ව තිබුණේ නො. 54/3, මාලිගැතැන්න, වේයන්ගොඩ ලිපිනයේ පදිංවි තලුක්කුවේ කංකානම්ගේ චාමර ඉන්ද්‍රජිත් (30) නැමැති අයයි. මොහු 2018 අප්‍රේල් 21 දින නිට්ටඹුව, අත්තනගල්ලේදී මීගම ආරච්චිගේ රත්නදේවප්‍රිය නැමැති අයට වෙඩිතබා ඝාතනය කිරීම සහ ගැබිණි කාන්තාවක් හා පුද්ගලයින් සිව් (04) දෙනෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා බවද පොලීසිය කියයි. මොහු කොස්ගොඩ තාරකගේ විශ්වාසවන්තම ගෝලයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
මොහු කොල්ලයට පැමිණ ඇත්තේ තමන්ගේ ගමන් බෑගය මාතර, කිරලකැලේ ප්‍රදේශයේ සගවා තබා බවද පොලීසිය කියයි. තම ගමන් බෑගය පෙන්වන්නට චාමර ඉන්ද්‍රජිත් පොලීසියත් සමග යන්නේ සිද්ධිය වූ දිනට පසුදින එනම් 23 දා අළුයම කාලයේය. ඔහු තම ගමන් බෑගය රැගෙන එහි තිබූ අත් බෝම්බයකින් පොලීසියට පහර දීමට තැත්කළා යැයි පොලීසිය කියයි. එහිදී චාමර ඉන්ද්‍රජිත් මිය යන්නේ පොලීසිය පෙරලා තැබූ වෙඩි පහරිනි. 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (23) රාත්‍රී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මාතරදී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල් වරයෙකු මිය යෑම, ඊට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරනය කළ නොහැකි බවයි. අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් රටේ පවතින්නේ යහ පාලනයක් මිස යම පාලනයක් නොවන බවද ඒ මහතාගේ ට්විටර් පණිවිඩයේ සදහන්.
සිදුවීමෙන් පැය කීපයක් ඉක්ම යන්නට මත්තෙන් පොලීසියට තොරතුරු ලැබෙන්නේ සැකකටයුතු තිදෙනෙක් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත්කර තිබෙන බවයි. වහාම ක්‍රියාත්මක වන පොලීසිය, කරාපිටිය රෝහලට පැමිණ තොරතුරු සොයා බැලීමේදී තහවුරු වන්නේ සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙක් රෝහල් ගත කර තිබෙන බවයි. පොලිස් වෙඩි පහර කාගෙනම තාරක ඇතුළු කොල්ලකරුවන් තිදෙනා පලා යෑමට සූදානම්කර තිබූ මෝටර් රථය වෙත පැමිණ තිබේ. තාරක ඇතුළු තිදෙනා රැගත් සුදුපැහැති මෝටර් රථය, ගාල්ල කරාපිටිය රෝහල අසලට පැමිණ රෝහල ඉදිරිපිටින් ඔවුන් බස්සවා පලාගොස් ඇත. මොටර් රථයේ තවත් දෙදෙනෙක් සිට ඇති බවද දැන ගන්නට තිබේ. ඔවුන් තුවාලකරුවන් රෝහලට බාර දීමට ඉදිරිපත් වී නැත්තේ තමන්ද පොලීසියට හසු වේවී යැයි බියෙනි.
මෙසේ කරාපිටිය රෝහල අසල දමා යෑමෙන් පසු රෝහල් ගත කර ඇත්තේ කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22), සහ නො. 135, ගුරුදැව, දුටුවැව, අනුරාධපුරය ලිපිනයේ පදිංචි ඉරන්දෙණිය අතුල කිත්සිරි කුමාර (31) යන තිදෙනාය. මොවුන් තිදෙනා මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුව මොවුන් තිදෙනා ජූලි 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද පෙරේදා (23) නියෝග කර තිබේ.
කොල්ලය සදහා කොස්ගොඩ තාරක ඇතුළු කොල්ල කණ්ඩායම පැමිණි එක් යතුරු පැදියක ලියාපදිංචි අයිතිකාරිය වන්නේ නො. 403 ඒ, නානතොට, කොස්ගොඩ ලිපිනයේ පදිංචි අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) නැමැති අයයි. ඒ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පොලීසිය විසින් තහවුරු කර ගෙන තිබේ. ඒ අනුව කොස්ගොඩ පොලීසිය විසින් ජානකී ප්‍රියන්ති නැමැති අයද 22 දා සවස අත් අඩංගුවට ගෙන තිබේ. ඇය ඊයේ (23) බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්  ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.
ජානකී ප්‍රියන්ති නැමැති අය අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය ගොස් ඇත්තේ 22 දා සවස 3.00 ට පමණය. ඇය පොලීසිය දුටු සැනින් නිවසට ගොස් දොරවසාගෙන තිබේ. 3.30 වන තෙක් පොලීසිය ඇයට කතා කලත් දොර නෑරිය බව පොලීසිය කියයි. පසුව පොලීසිය විසින් නිවසේ දොර කඩා තිබේ. එවිට ඇය නිවසේ කාමරයකට වී දොරගුළු ලා ගෙන ඇත. පොලිසිය කාමරයේ දොර කඩන විට ඇය එම කාමරයට අයත් නාන කාමරයට වි දොරගුළු ලාගෙන ඇත. පසුව ඇය පොලිසීය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ නාන කාමරයේද දොර කැඩීමෙන් පසුවයි.
ජානකී ප්‍රියන්ති යනු මෙම කොල්ලයේ ප්‍රධාන සැකකරු කොස්ගොඩ තාරකගේ හා ඔහුගේ සොයුරාගේ මවයි. ප්‍රබල ශ්‍රීලනිප පාක්ෂිකයෙකු වන ජානකී, 2018 පෙබරවාරි 10 දින පැවති බළපිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට එජනිසං යටතේ නානාතොට පළාත කොට්ඨාශයට තරග කොට පරාජයට පත් විය. ජනකීගේ ස්වාමිපුරුෂයාද මීට වසර කීපයකට පෙර ගෙවත්තේ ළිදට වැටී මියගොස් තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ ජානකීගේ ස්වාමිපුරුෂයා ළිදට තල්ලුකර ඝාතනය කර ඇති බවයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 වන ඉරිදා අළුයම 4.00 ත් 4.30 ත් අතර කොස්ගොඩදී සිදුකරන ලද සිව් (04) ඝාතනය සහ 14 හැවිරිදි දරුවෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය බැර වන්නේද කොස්ගොඩ තාරකගේ ගිණුමටය. මෙහිදී කොස්ගොඩ, යුධ පිටියේ පදිංචිව සිටි ජගමුණි මහින්ද පේ‍්‍රම රාජා ද සොයිසා (51) ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22), ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනාත් උක්වත්ත ආරච්චිලාගේ කපිලරත්න පෙරේරා (39) නැමැති අයත් ඝාතනයට ලක් විය. 2006 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභාවට තරග කොට මන්ත‍්‍රී වරයෙක් ලෙස පත් වූ මහින්ද රාජා, 2008 වසරේදී ශ‍්‍රීලනිපක්ෂයට එක් විය.
කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නැමැති අය මිනී මැරීම් හා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකි. ඔහු 2011.07.18 දින පෙ.ව 10.00 ට තවත් අයෙකු සමග කොස්ගොඩ මහජන බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් 23,35,625/- ක් වටිනා රන්භාණ්ඩ සහ එහි ආරක්ෂක නිලධාරියා සතු බෝර 12 ගිනි අවිය කොල්ලකා පලාගොස් තිබේ. එම සිද්ධියට අදාලව මොහු 2013.05.05 දින මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය 40180 යටතේ බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. මෙම සිද්ධියේ අනෙක් සැකකරුවා වන නිකදළුපත, වැල්ලව පදිංචි දිසානායක මුදියන්සෙලාගේ මංජුල දිසානායක (24) නැමැති අය 2013.06.26 දින බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ. ඔහු දැනට මාස 08 කට පමණ පෙර නිදන් හොරකමකට අදාල සිද්ධියදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.
තාරක පෙරේරා විජේසේකර (24) සහ මංජුල දිසානායක (24) ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ එස් එෆ් බලකායේ සේවය කල දෙදෙනෙකි. මොවුන් එහි යතුරු පැදි බලකායේ සිටි අති දක්ෂ යතුරු පැදි ධාවකයින් දෙදෙනෙකි. යුද්ධ හමුදාවේ හොදම මිතුරන් වූ මොවුන් දෙදෙනා එයින් ඉවත්ව පාතාලයට සම්බන්ධ වී තිබේ. මොරටුව වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කිලෝග‍්‍රෑම් 10 කට අධික බරින් යුත් රුපියල් ලක්ෂ 150 ක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ මංකොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි. 2017.05.27 දින මීරිගම කොමර්ෂල් බැංකුවට දෙදෙනකු සමග ටී – 56 ගිනි රැගෙන පැමිණ රුපියල් ලක්ෂ 18 ක් මුදල් කොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි. කොල්ලකරුවන් පසුව පලාගොස් තිබුණේද අසල ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබගැනීමට පැමිණි අයෙකුගේ යතුරු පැදියකිනි. 2017.08.10 දින දවල් 12.00 ට පමණ අත්තිඩිය කොමර්ෂල් බැංකුවට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියාට වෙඩිතබා ඝාතනය කර රුපියල් 34,36,200/- ක මුදලක් කොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි.
මෙම ඝාතනයන් දකුණේ කොස්ගොඩ ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර කලක පටන් පවතින මරාගැනීම හේතුවෙන් සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ ගරුමුණි සුජිත් ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජීය. ඔහු මේ වන විට ඩුබායි රටට පැනගොස් සිටින අතර එහි සිට සිය ක‍්‍රියාකාරකම් මෙහෙයවයි.
කොස්ගොඩ අනෙක් පාතාල කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ සුවාරිස් රුවන් චාමර අබේසේකර (24) නොහොත් කොස්ගොඩ ලොකූ නැමැති අයයි. ඔහු 2017.05.08 දින රාත‍්‍රි කළුතර වැලිපැන්න, දියකොරඩුව ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර ඇත. ඔහු පදිංචිව සිට ඇත්තේ කොස්ගොඩ, නානතොට, 2 කණුව ප‍්‍රදේශයේය. මොහු ඝාතනය කරන ලද අවස්ථාවේදී ඔහු සමග සිටි වැලිපැන්නේ අයෙක් සහ බළපිටියේ අයෙක් බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලටද ඇතුලත් කර තිබුණි. කොස්ගොඩ ලොකූගේ ඝාතනයෙන් පසුව එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඔහුගේ බාල සොහොයුරු සුවාරිස් දේශාන් අබේසේකර (21) නැමැති අයයි. සුවාරිස් දේශාන් අබේසේකර සිව් (04) පුද්ගල ඝාතනයේ ප‍්‍රධානම සැකකරුවා බවටද පොලීසිය හදුනාගෙන තිබේ. එයට අමතරව මෙම ඝාතනයන් සදහා යතුරුපැදි දෙකකින් පැමිණි තවත් දෙදෙනෙකුද පොලීසිය හදුනාගෙන තිබේ. ඔවුන් කොස්ගොඩ ලොකූට සිටි හොදම ගෝලයා වන කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) සහ ඔහුගේ සහෝදරයා එම ලිපිනයේම පදිංචි ධර්මකීර්ති මධුක නිර්මාර් පෙරේරා විජේසේකර (21) යන අයිය මලෝ දෙදෙනාය. කොස්ගොඩ ලොකූගේ පාතාල කණ්ඩායම, පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන්ය. කොස්ගොඩ තාරක ඇතුළු කණ්ඩායමට ඉහළ නායකත්වය දෙන්නේද මාකදුරේ මධූෂ්ය. කොස්ගොඩ සුජීගේ කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙම කණ්ඩායමට එරෙහිවය.
පාතාල කණ්ඩායම් දිවයින පුරා හිස ඔසවා තිබේ. තිස් වසරක යුද්ධය පැවති කාලයේ බොහෝ පිරිස් කොළඹ නොගියේ බෝම්බ බිය නිසාය. වර්තමානයේද ජනතාව බැංකුවකට හෝ යෑමට දැඩි බියක් දක්වයි. ඒ පාතාල කුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට කොයි මොහොතේ හෝ ලක් වේවී යන බිය නිසාය. රටක නීතිය වල් වැදුන විට මෙවන් දෑ අරුම පුදුම දේ නොවේ. මිනිස් ජීවිතයක වටිනාකම් ජාතියෙන් ගිලිහී යමින් තිබේ. එය ශ්‍රී ලංකේය ජාතියේ ඛේදවාචකයකි. ශ්‍රී ලංකේය ජාතිය ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ලෝක සිතියම තුල ඔසවා තැබිය හැක්කේ ජාති ආගම් පක්ෂ පාට භේදයෙන් තොරව සියල්ලන් එක් වුව හොත් පමණි. එසේ නොමැතිව තම තමන්ගේ කාලයන් පිළිබදව කතා කිරීමෙන් පලක් නැත. වත්මන් කාලය නිවැරදි කර ගත හැක්කේද පෙර පාලකයින්ට දොස් පැවරීමෙන් නොවේ. වත්මන් වගකීම නිවැරදිව ඉටු කල නොහැකි නම් බලයට පත් කිරීමෙන් තමන් බරපතල වරදක් සිදුකර තිබෙන බවට අනාගතයේ ජනතාව තීරණය කරනු ඇත.
– K. වැලිතොටගේ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook