Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

නිමල්කා කුමාරි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම රියදුරු පුහුණු පාසලක ඇය සේවය කළාය. තරුණ වයසේ සිටි ඇය තවමත් අවිවාහකය. පාසල් යන වයසේ සිටම ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ පවත්වා ගෙන ගියාය. එහෙත් එම ප්‍රේම සම්බන්ධතා එකක්‌වත් ස්‌ථිර ඒවා නොවීය. එය එසේ වීමට හේතු වූයේ නිමල්කාගේ සමහර ගති පැවතුම්ය. බොහෝ අවස්‌ථාවල ඇය හැසිරුණේ තරුණියකට උචිත අයුරින් නොව තරුණයකුට උචිත අයුරින්ය. මොන දේ වුණත් ඇය ජීවිතය සතුටින් ගත කළාය.


අනූෂා නීතිඥවරියකි. පදිංචිය වැල්ලවත්ත ප්‍රදේශයේ නිමල්කාගේ නිවස ආසන්නයේය. ඇය විවාහක කාන්තාවකි. එම විවාහයෙන් ඇයට පුතකු සිටී. දැනට වසර කිහිපයකට ඉහතදී ඇය තම සැමියාගෙන් දික්‌කසාද වූවාය. ඒ පෞද්ගලික ආරවුලක්‌ දුරදිග යැම හේතුවෙනි. ඉන්පසු ඇය වැල්ලවත්ත එම නිවසේ තම පුතා සමඟ ජීවත් වූවාය. 

අසල්වැසියන් නිසා නිමල්කා සහ අනූෂා අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. හැකි සෑම මොහොතකම නිමල්කා අනූෂාගේ නිවස වෙත යැමට පුරුදු වී සිටියාය. එලෙස යන ඇය පැය ගණන් අනූෂා සමඟ පෞද්ගලික තොරතුරු මෙන්ම සමාජීය තොරතුරුද කතාබහ කළාය. නීතිඥවරියක්‌ වුවත් අසල්වාසින් ගැන විවිධ තොරතුරු දැන ගැනීමට අනුෂා දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය.

දිනක්‌ නිමල්කා සුපුරුදු පරිදි අනූෂාගේ නිවස වෙත පැමිණියාය. ඉදිරියට පැමිණියේ අනූෂාගේ පුතා වන යොහාන්ය. ඔහුගෙන් නිමල්කා මෙලෙස විමසුවාය.

"කෝ පුතා අම්මා"

"අම්මා බාත්රූම් එකේ. ඉන්න මම කියන්නම් ඇන්ටි ආවා කියලා"

එලෙස පැවසූ ඔහු නාන කාමරය දෙසට ගියේ තම මවට නිමල්කාගේ පැමිණීම පැවසීම සඳහාය. එලෙස නිමල්කාගේ පැමිණීම තම මවට පැවසූ ඔහු යළි නිමල්කා දෙසට පැමිණියේය. පැමිණ මෙලෙස පැවසුවේය.

"අම්මා ඉක්‌මනට එන්නම් කීවා. එනකන් ඇන්ටිට වාඩිවෙලා ඉන්න කීවා"

"හරි පුතා මම වාඩිවෙලා ඉන්නම්" 

එලෙස පැවසූ ඇය සාලයේ තිබූ සුවපහසු පුටුවක වාඩිවූවාය. යොහාන්ද ඇය ඉදිරියේ වාඩිවී තම මවගේ ජංගම දුරකථනයෙන් "වීඩියෝ ගේම්" එකක්‌ සෙල්ලම් කරමින් සිටියේය.

"පුතා කාගෙද ඔය ෆෝන් එක" ඇය විමසුවාය. 

"මේක අම්මාගේ ෆෝන් එක. මම මේ ගේම් එකක්‌ ගහනවා. බොහොම අමාරුවෙන් අම්මගෙන් ඉල්ල ගත්තෙත්"

"ආ ඇත්තද...? මොකක්‌ද ඔය ගහන ගේම් එක. මටත් දෙන්නකො පොඩ්ඩක්‌ බලන්න. මමත් ආසයි ගේම් ගහන්න"

"ඇන්ටිට මේව ගහන්න තේරෙන්නේ නැහැ"

"තේරෙනවද නැද්ද කියලා බලන්න මට ෆෝන් එක දෙන්නකෝ..."

නිමල්කාට ඇත්ත වශයෙන්ම වුවමනා වූයේ වීඩියෝ ගේම් එක ගැන තොරතුරු දැන ගැනීම නොව අනුෂාගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කර බැලීමටයි. ඒ ඇයගේ ස්‌වභාවයයි. අනුන්ගේ දේවල් සොයා බැලීම සඳහා ඇයට තිබුණේ පුදුමාකාර ආශාවකි. උනන්දුවකි. ඇය යළි යළිත් යොහාන්ගෙන් ජංගම දුරකථනය ඉල්ලා සිටියාය. 

"මොකද ඇන්ටි කරදර කරන්නේ... ඔන්න බලන්න එහෙනම්. හැබැයි ආපහු ඉක්‌මනට ඕන ෆෝන් එක"

"හරි පුතා මම මේ ගේම් එක විතරයි බලන්නේ. ඉක්‌මනට දෙන්නම්" 

එලෙස පැවසූ ඇය යොහාන්ගෙන් ජංගම දුරකථනය ගෙන එය පරීක්‍ෂා කර බැලුවාය. එහිදී ඇයට ජංගම දුරකථනයේ තිබුණ අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ කිහිපයක්‌ දැක ගැනීමට හැකිවිය. නැවත නැවතත් එදෙස බැලූ ඇය ක්‍ෂණිකව එම පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට දමා ගත යුතු යෑයි තීරණය කළාය. ඒ අනුව යොහාන්ටත් නොදැනෙන ලෙස ඉතා සූක්‍ෂම අයුරින් එම පිංතූර සහ වීඩියෝ සියල්ල තම ජංගම දුරකථනයට කොපිකර ගත්තාය. එලෙස කොපි කරගෙන ආපසු යොහාන්ට ජංගම දුරකථනය දුන්නේ "පුතා කිව්වා හරි මට මේ ගේම් ගහන්න තේරෙන්නෙ නැහැ" යි පවසමින්ය. ඒ අතර කාලය තුළ අනූෂාද පැමිණියාය. පැය ගණනක්‌ ඔවුහු සතුටු සාමීචියේ යෙදුණාහ.

නුවන් අසංක ගණේමුල්ල, කොස්‌සින්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. හරි හමන් රැකියාවක්‌ නොමැති ඔහු ජීවත්වීම සඳහා විවිධාකාරයේ නීති විරෝධී ක්‍රියාවන්වල නිරත විය. එයට අමතරව ෆේස්‌ බුක්‌ හරහා තරුණියන් සමඟ මිත්‍රවී පසුව ඔවුන් රවටා මුදල් වංචා කිරීමටද මොහු උපන් හපනෙකි.

නිමල්කා කුමාරි දිනක්‌ ෆේස්‌ බුක්‌ හරහා නුවන් අසංකව හඳුනා ගත්තාය. එම හඳුනා ගැනීම වැඩිකල් නොගොස්‌ ආදර සම්බන්ධතාවක්‌ බවට පෙරළුණේය. ඉන්පසු නිමල්කාගේ එකම ලෝකය වූයේ අසංකයි. අන් කාටවත් වඩා ඇය හදවතින්ම ඔහුට ආදරය කළාය. දවසේ පැය විසිහතර පුරාම පාහේ ඔහු ගැන ඉතා විමසිල්ලෙන් සොයා බැලුවාය. දිනක්‌ නිමල්කා තම පෙම්වතා වන අසංකට මෙසේ පැවසුවාය. 

"අයියේ මම කාලයක ඉඳන් ඔයාට දෙයක්‌ කියන්න හිටියේ. හැබැයි වරදවා හිතන්න එපා"

"ඔයා මොනවා කීවත් මම එහෙම හිතන්නේ නැහැ නංගී. දන්නවනේ මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා..."

"එක්‌කෝ ලැඡ්ජයි අයියේ මට ඒක ඔයාට කියන්න"

"ඇයි අනේ ඔයා මං ළඟ ලැඡ්ජා වෙන්නේ... කියන්න නංගි බය නැතිව ඕන දෙයක්‌ මට. මම ඔයාගෙනේ..."

"ඔයාට මම කියලා තියෙන්නේ අනූෂා කියලා මගේ යාළුවෙක්‌ ගැන"

"ඔව් මට මතකයි. ඔයාලගේ ගෙවල් ළඟ ඉන්න දික්‌කසාද වෙච්ච නීතිඥ නෝනනේ..."

"මෙයාට ඒවනම් මතකයි හොඳට"

"නැහැ නැහැ එහෙම මතකයක්‌ නැහැ මට. ඔයානේ නිතරම එයා ගැන කියන්නේ... ඒකෙන් වැඩක්‌ නැහැ කියන්නකො කතාව"

"ඒ මගේ යාළුවා අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියනවා"

නුවන් අසංක එක්‌වරම පුදුමයට පත්වූවේය. එලෙස පුදුමයට පත්වෙමින් මෙලෙස විමසුවේය.

"ඔයාට කොහෙන්ද එයාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ"

නිමල් කුමාරි අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ ලබාගත් ආකාරය ගැන අකුරක්‌ නෑර ඔහුට පැවසුවාය. නුවන් අසංක එම මොහොතේම සිතුවේ මෙම නිරුවත් පිංතූර සහ වීඩියෝ භාවිත කරමින් කීයක්‌ හරි උපයා ගැනීමටය. එම නිසා ඔහු නිමල්කාට පැවසුවේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට එවන ලෙසයි. නිමල්කාද දෙපාරක්‌ නොසිතා එම පිංතූර සහ වීඩියෝ සියල්ල අසංකගේ ජංගම දුරකතනයට යෑව්වාය. 

අසංක රෑ නිදි වරමින් එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පටවලින් කුමක්‌ කළ හැකිදැයි කල්පනා කළේය. අවසානයේ ඔහු තීරණය කළේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පට අදාළ නීතිඥවරියටම පෙන්වා ඇයව බියගන්වමින් කප්පම් මුදලක්‌ ලබා ගැනීමටයි. පසුදිනම ඔහු එම අදහස තම පෙම්වතිය වූ නිමල්කාට පැවසුවේය. තම හොඳම යෙහෙළිය ගැන පොඩි අනුකම්පාවක්‌වත් නොදැක්‌වූ ඇය එක පයින්ම අසංකගේ එම යෝජනාවට කැමැති වූවාය. ඇයටද වුවමනා වූයේ හොඳින් හෝ නරකින් මුදල් උපයා ගැනීමටයි. 

අසංකගේ සැලසුම වූයේ නීතිඥවරිය බිය ගන්වා ඇයගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ තමා ළඟ තියෙන බව පෙන්වා රුපියල් ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමයි. සැලසුමට අනුව ඇය නීතිඥවරියට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය. ලබාදී මෙලෙස පැවසුවේය.

"හෙලෝ... අනූෂා මිස්‌ද?

"ඔව්. කතා කරනවා... කවුද ඔයා"

"මගේ නම මිස්‌ට අදාළම නැහැ. හැබැයි මට මිස්‌ එක්‌ක ටිකක්‌ වෙලා කතා කරන්න ඕනා"

"දන්නැති අය එක්‌ක කතා කරලා තේරුමක්‌ නැහැ. මට ඔහේලාට වගේ වේලාවකුත් නැහැ නිකන් කතා කර කර ඉන්න. ඒක නිසා කරුණාකරලා ෆෝන් එක තියන්න"

"නීතිඥ මිස්‌ කලබල වෙන්න එපා. මේක මිස්‌ගෙ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌. ඒක නිසා ටිකක්‌ වෙලා මගෙත් එක්‌ක කතා කරන්න"

"මොකක්‌ද මිනිහෝ කියන්නෙ. කියන මඟුලක්‌ තේරෙන්න කියනවා"

"මිස්‌ගෙ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියෙනවා"

"මොකක්‌. තමුසෙට අමු කැවිලද මිනිහෝ..."

"උසාවියේ වගේ සද්ද දාන්න එපා. අපි මේක ගොඩින් බේරගමු"

"ගොඩින් බේර ගන්න දෙයක්‌ නැහැ. තමුන් යනවා මානසික රෝහලකට."

"මානසික රෝහලකට යන්න වෙන්නේ මට නොවෙයි මිස්‌ට. අපි මේක ගොඩින් බේරගමු. මට ලක්‍ෂ 30 ක්‌ දෙන්න. පිංතූරයි වීඩියෝ ටිකයි මිස්‌ට දෙන්නම් ආපහු"

"තමුන්ට කොහෙන්ද මගේ නිරුවත් පිංතූර. නිකන් බොරු කියලා මිනිසුන්ව බය කරලා සල්ලි ගන්න හදන්න එපා. මම පොලිසියෙ පැමිණිල්ලක්‌ දානවා.."

"කී පාරක්‌ කීවද බොරු නොවෙයි කියන්නේ. මිස්‌ එහෙනම් හොඳට අහගන්න. මම කියන්නම් ඒ නිරුවත් පිංතූරවල විස්‌තර අකුරක්‌ නෑරම..."

අසංක එම නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝවල විස්‌තර එකින් එක ඇයට පැවසුවේය. එය ඇසීමත් සමඟ ඇයගේ ඉහමොළ රත්විය. තම ජංගම දුරකථනයේ තිබුණ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ එලෙස ඔහු ළඟට ගියේ කෙලෙස දැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකි වූවාය. ඇය පිස්‌සුවෙන් මෙන් දස අතේ කල්පනා කළාය. ඒ අතර අසංක සැරින් සැරේ දුරකථන ඇමතුම් ලබාදී ඇය බිය වද්දවා ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටියේය.

ඇය කරන්නට කිසිම දෙයක්‌ නොමැතිව අන්ත අසරණ වූවාය. අවසානයේ ඇය නීතියේ පිහිට පැතීමට තීරණය කළාය. ඒ අනුව ඇය කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැමුවාය. වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ ගැන පරීක්‍ෂණ පැවැත්වූහ. 

අසංක දිනපතා කෙටි පණිවුඩ එවමින් ඇයගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ඒ අතර එහි පළමු අදියර ලෙස දිනයක්‌ පවසා එදිනට ලක්‌ෂ 3 ක මුදලක්‌ ඉල්ලා සිටියේය. මෙම සියලු විස්‌තර පොලිස්‌ නිලධාරීන්ටද ඇය ලබා දුන්නාය. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු ඔහුගේ දුරකථන අංකය හරහා බොහෝ විස්‌තර සොයා ගෙන තිබිණි.

අදාළ දිනය එළැඹිණි. අසංක අනුෂාට ඇමතුමක්‌ ලබාදී පැවසුවේ සවස හයට පමණ එම මුදලත් රැගෙන කිරුළපනට පැමිණෙන ලෙසයි. ඒ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්‌ වෙස්‌වලාගෙන එම ප්‍රදේශය අවට ස්‌ථානගත වී සිටියහ. නීතිඥවරිය මුදලුත් රැගෙන කිරුළපනට පැමිණියාය. ඉන් පසු ඇයට පාමංකඩට පැමිණෙන ලෙස අසංක පැවසුවේය. ඇය සහ වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයටද ගියහ. එහෙත් අසංක කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණියේ නැත. යළි ඔහු දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. එලෙස පැය කිහිපයක්‌ නීතිඥවරියව කප්පම්කරු රස්‌තියාදු කරවා තිබිණි. අවසානයේ ඔහු නීතිඥවරියට පවසා ඇත්තේ දැන් නිවසට යන ලෙසත්, පසුදින මුදල් ලබා ගැනීමට පැමිණෙන බවත්ය. 

පසුදින උදාවිය. රාත්‍රී 8 ට පමණ නීතිඥවරියට යළි ඇමතුමක්‌ ලැබිණි. ඒ කප්පම් මුදල රැගෙන මරදාන ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. ඒ බව ඇය පොලිස්‌ නිලධාරීන්ටද දැනුම් දුන්නාය. ඒ යන අතරමඟ කප්පම්කරු විසින් විටින් විට ඇයට දුරකථන ඇමතුම් ලබාදී වෙනත් තැන් තැන්වලට පැමිණෙන ලෙස පැවසුවේය. අවසානයේ රාත්‍රී 10.30 ට පමණ පාමංකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස කප්පම්කරු දැනුම් දුන්නේය. වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද කිසිවකුටත් නොදැනෙන අයුරින් නීතිඥවරිය පිටුපසින් අදාළ ස්‌ථානයට පැමිණියහ.

නීතිඥවරිය සල්ලි දීමට සැරසෙද්දීම එම පොලිස්‌ නිලධාරීහු සැකකරුව අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල අකුරක්‌ නෑර සැකකරු පවසා තිබිණි. ඒ අනුව නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ සැකකරුට ලබාදුන් කාන්තාව සහ ඒවා සියල්ල සී.ඩී. තැටියක පිටපත් කළ තවත් සැකකරුවක්‌ද එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 7, 8 යන වගන්ති හා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ 2 (අ) වගන්ති අනුකූලව වැරැදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාර තරුණියව කොළඹ අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ව රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. 

ප්‍රවේශම් වන්න. තම ජංගම දුරකථනයේ අතිශය පෞද්ගලික තොරතුරු ගබඩා කරගෙන සිටීම ඉතා අනතුරුදායකය.

දිවයින පුවත්පත ඇසුරිනි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook