BREAKING NEWS
latest

728x90

468x60

සමන්ව පොලීසියෙන් මැරුවාද? මුහුදට පැන්නාද? තුවාලයේ හැඩයෙන් සොයාගත් හැටි

සමන්ව පොලීසියෙන් මැරුවාද? මුහුදට පැන්නාද? 
තුවාලයේ හැඩයෙන් සොයාගත් හැටි

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප‍්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතාගේ අත්දැකීම් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.

සමන් විසිහැවිරිදි වියේ පසු වූ ගැටවරයෙකි. පස් දෙනකුගෙන් යුත් පවුලක පවුලේ බාලම පිරිමි දරුවා වූයේ සමන්ය. මොවුන් බුලත්සිංහල ප‍්‍රදේශයට නුදුරින් පිහිටි දුෂ්කර ගම්මානයක පදිංචිව සිටියහ. සමන්ගේ පියා ගොවිතැන් කටයුතුවල නිරත වීමෙන් සිය දරු පවුල නඩත්තු කළේය. සමන්ද පියා සමග කුඹුරට ගොස් ඔහුත් සමග හරි හරියට වැඩ කළේය. හැඩි දැඩි තරුණයකු වූ සමන් කැත්තේ උදැල්ලේ වැඩ හොඳින් දැන සිටියේය. සමන් මහ ලොකු අධ්‍යාපනයක් නොලැබූ තරුණයෙකු වූ අතර අටේ පංතියට පමණක් පාසල් ගොස් තිබුණේය.

සමන් පියා සමග එක්වී මහ පොළව සමග ඔට්ටුවෙමින් ගොවිතැන් කටයුතුවල නිරත වුවද ඉන් ලැබුණු ආදායම පවුලේ නඩත්තුව සඳහා ප‍්‍රමාණවත් නොවීය. මේ අතරතුරේ සමන්ගේ පියා හදිසියේ රෝගි වූයේය. හේ ලෙඩ ඇඳට වැටුණේය. ගොවිතැන් කටයුතු කිරීම සඳහා ඔහුට අතේ පයේ වාරු නොමැති විය. මේ නිසා පවුලේ බර කරට ගැනීමට සිදුවූයේ සමන්ටය. සමන්ට සහෝදරියන් දෙදෙනෙක් වූහ. සහෝදරියන් ගැන සොයා බැලීමට සිදුවූයේ සමන්ටය. සමන්ගේ මවද රෝගි තත්ත්වයකින් පසුවුවාය. පවුලේ සියලූ වගකීම් සමන්ට කරගැසීමට සිදුවිය. ගොවිතැන් කටයුතු කිරීමෙන් ද එතරම් ප‍්‍රතිඵලයක් අත්නොවූ නිසා සමන් හමුදාවට බැඳීමට තීරණයක් ගත්තේය.

කුඩා කාලයේ සිටම සමන් නාවික හමුදාවට එක්වීමට සිහින මැව්වේය. එහෙත් පියාගෙන් ඒ සඳහා අවසර නොලැබුණි. මේ කාලයේ ඉතා දරුණු ලෙස උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධය පැවතිණි. නාවික හමුදාවට සෙබළුන් බඳවා ගැනීම පිළිබඳ දැන්වීමක් පුවත්පත්වල පළ වී තිබෙනු සමන් දුටුවේය. සමන්ගේ ඉල්ලීමට අවසර ලබාදීමට අවසානයේ පියාටද සිදුවිය. එහෙත් සමන් කිසිදිනක අගනගරයට පැමිණ නොතිබුණේය. නාවික හමුදාවට එක්වීමට තිබූ දැඩි කැමැත්ත නිසාම සමන් වැලිසර පිහිටි නාවික හමුදා මූලස්ථානයට පැමිණියේය. හේ කොළඹ නගරයට පැමිණි පළමු දිනය එය විය. ඔහුට කොළඹ නගරය නුහුරු නුපුරුදු පරිසරයක් විය. සමන් නාවික හමුදාවට බැඳීමට ගියද සම්මුඛ පරීක්ෂණයේදී ඔහු ඉන් අසමත් වූයේය. මේ නිසා සමන්ට ඇතිවූයේ දැඩි වේදනාවකි. මොහුට නාවික හමුදාවට බැඳීමට දැඩි වුවමනාවක් තිබුණි.

අනේ මාව කොහොම හරි නාවික හමුදාවට බඳවා ගන්න මොහු නාවික හමුදා නිලධාරීන් ඉදිරියේ බැගෑපත් විය. ඔයාට තියෙන සුදුසුකම් වලට අනුව නාවික හමුදාවට බැඳෙන්න බැහැ. යුද හමුදාවට හරි ගිහින් බැඳෙන්න බලන්න නාවික හමුදා නිලධාරීන් කීහ. ඉන්පසු යුද හමුදාවට හෝ එක්වීමේ අරමුණින් සමන් ඉන් පිටත්ව ගියේය.

දින දෙක තුනක් ගතවිය. සමන් යළි නිවසට ගොස් නොතිබුණි. සමන්ගේ දෙමව්පියන් හා පවුලේ අය මින් දැඩි කලබලයට පත්වූහ. ඔවුහු සමන් ගැන සොයන්නට වූහ. මේ අතරතුරේ කොල්ලූපිටිය වෙරළ තීරයට පුද්ගලයකුගේ මළ සිරුරක් ගොඩගසා තිබුණි. එම මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙන එමට පොලිසිය විසින් කටයතු කරනු ලැබීය. එම මළ සිරුර සමන්ගේ බවට පවුලේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබීය. පුතාට දිවි හානි කරගන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. පුතා ආවේ හමුදාවට බැඳෙන්න පුතාගේ මරණය ගැන මට සැකයි සමන්ගේ පියා හඬා වැළපෙමින් කීවේය.

මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ එවකට කොළඹ ජාතික රෝහලේ සේවය කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතාය. මෙම තරුණයාගේ මරණය පිළිබඳ ඒ වනවිට නොයෙකුත් කට කථා පැතිරී තිබුණි. පොලිස් පහරදීමකින් සමන් මියගොස් ඇති බවත් පසුව ඔහුගේ සිරුර මුහුදට ගෙනවිත් දමා ඇති බවත් තවත් කටකථාවක් පැතිරී යන්නට විය. සැබවින්ම සමන් මියගියේ කෙසේද යන්න අභිරහසක් විය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගන්නා විද්‍යාත්මක හේතු මත මරණයට හේතුව අධිකරණයට වාර්තා කිරීමට පැවරී ඇත්තේ අධිකරණ වෛද්‍යවරුන්ටය.

සමන්ගේ මළ සිරුර ඒ වනවිට දැඩි ලෙස නරක් වෙමින් පැවතුණි. අධිකරණ වෛද්‍යවරයා විසින් මළ සිරුර දැඩිලෙස පරීක්ෂාවට ලක් කළේය. මෙම තරුණයාගේ යටි පතුල් කෙරෙහි අධිකරණ වෛද්‍යවරයාගේ අවධානය යොමුවිය. පාදවල යටිපතුල්වල තැලීම් තුවාල දක්නට ලැබුණු අතර එම තුවාල පහරදීමකින් වූ තුවාල බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. මළ සිරුරේ බාහිරව ද තුවාල දක්නට විය. යම් අයෙකු මුහුදේ ගිලීමේදී ගල්වල හැපීමෙන් හා මසුන් විසින් කාදැමීමෙන්ද තුවාල ඇතිවිය හැක. පහරදීමෙන් හෝ මෙවැනි සිද්ධීන් වලින් ඇතිවන තුවාල හඳුනා ගැනීම පළපුරුදු අධිකරණ වෛද්‍යවරයකුට එතරම් අපහසු කරුණක් නොවේ.

පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් තොරතුරු ලබා නොදෙන අවස්ථාවලදී ඔවුන්ගේ යටිපතුල් වලට එල්ලා පහරදී තොරතුර ලබා ගන්නා බව එකල ජනප‍්‍රිය කථාන්දරයක් බවට පත්ව තිබුණි. මෙකී තරුණයාගේ පාදවල යටිපතුල්වල තිබූ තුවාල මරණයට පෙර වූ තුවාලද නොඑසේනම් මිය යෑමෙන් පසු වූ තුවාලද යන්න පිළිබඳ හඳුනාගත යුතුය. එම තුවාල හඳුනා ගැනීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් එම තුවාල පටකවේද පරීක්ෂණයකට ලක් කළේය. මෙකී තුවාල තරුණයා මිය යෑමට පෙර වූ තුවාල බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

එහෙත් එම තුවාල මරණීය තුවාල නොවන බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය. එකම තුවාලයක විවිධ වූ ලක්ෂණ දක්නට ඇත්තේය. එවායේ හැඩතල දහස් ගණනකි. තුවාල වර්ග ද ප‍්‍රභේද ගණනාවකට බේදී තිබේ. තුවාල වර්ග ඇත්තේ සීමිත සංඛ්‍යාවක් වන නමුදු තුවාල ගැලිව හැදෙන මෝස්තර දහස් ගණනක් වේ. කෙනෙකුට තුවාලයක් විය හැකි අවස්ථා බෝහෝය. තුවාලවල පිහිටීම හා තුවාල වර්ග කරණය කිරීම සඳහා මුල් තොරතුරත් සමග සිද්ධිමය කරුණු සැසඳිය විය යුතු වේ. සාමාන්‍යයෙන් මෙවැනි මරණ වලදී තුවාල වී ඇති ආකාරය පරික්ෂා කොට බලා මරණය වී ඇති ආකාරය පිළිබඳ සිද්ධියක් ගොඩනගා ගැනීමට අධිකරණ වෛද්‍යවරයකුට හැකි වේ.

එමෙන්ම සිද්ධිමය කරුණු සාක්ෂි ආදි දේ තුළින්ද තුවාලවල ස්වභාවය හඳුනා ගැනීමට හැකි වේ. පළමු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු එම තුවාල වල මොස්රතය අනුව එම තුවාල වල දෙස බැලූ බැල්මට එම තුවාල වී ඇති අකාරය හා එම තුවාල සාමාන්‍ය තුවාලද මරණීය තුවාලද යන වග කිව හැක්කේය.

තුවාලවල මෝස්තරය නිතරම වෙනස් වෙනවා සමහර විට අලූත් මෝස්තර තියෙන තුවාල ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නවීන අවි ආයුධ වලින් අලූත් මෝස්තර පළපුරුදු අධිකරණ වෛද්‍යවරයකුට හඳුනාගන්න අපහසු නැහැ. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා කීවේය.

සමන්ගේ මළ සිරුරේ තුවාල තිබුණද එවා මාරාන්තික තුවාල නොවන බව අප මෙම ලිපියේ මුලදී සඳහන් කළෙමු. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගත් තොරතුරු හා සිද්ධිමය කරුණු අනුව සමන් මිය ගොස් ඇත්තේ දියේ ගිලීමෙන් බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. වෛද්‍යවරයා එම නිගමනයට පැමිණියේ කෙසේදැයි කියා අපි විමසා බලමු.

දියේ ගිලීමේදි පෙනහළුවලට ජලය ගලායෑම සිදුවන අතර එම නිසා කෙනෙකුගේ නාසයෙන් මුඛයෙන් සෙම පිටවීම දක්නට ලැබේ. මේ අවස්ථාවේදි පෙනහළුවල නාලිකා වැසීයන අතර හුස්ම ගැනීම අපහසු වේ. මේ සඳහා ප‍්‍රතික‍්‍රියා දැක්වීමේදී තද තිත් ශ්ලේමද පටල නාසයෙන් මුඛයෙන් පිටවේ. දියේ ගිලීමෙන් මියගිය අයකුගේ මුඛය උඩ නයි පෙනයක් ආකාරයේ ශ්ලේශම පටලයක් දක්නට ඇති අතර සමහර අවස්ථාවලදී එය පෙනෙන්නේ හත්තක් ආකාරයෙනි. මේ පරීක්ෂණ ඇසුරෙන් කරුණු සොයා බැලීම්වලදී සමන් මියගිය ආකාරය හෙළිදරව් වී තිබුණේ මේ අයුරිනි.

සමන් කොටුවේ පිහිටි හමුදා මූලස්ථානයට සම්මුඛ පරීක්ෂණය සඳහා ගොස් තිබුණේය. සමන් හමුදා මූලස්ථානයට යනවිට හොඳටම හවස් වී තිබුණි. පසුදින සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙස හමුදා නිලධාරීන් සමන්ට දැන්විය. නමුත් සමන් එදින නිවසට නොගියේය. කොළඹ පරිසරය හා එහි වටපිටාව පිළිබඳ එතරම් දැනුමක් නොවූ ඔහු අරලියගහ මන්දිරිය ඉදිරිපිට ඇවිදමින් සිටියේය. එය අධි ආරක්ෂක කලාපයක් බව ඔහු නොදැන සිටියේය. සමන් කොටි ඔත්තුකරුවකු බව සැක සිතූ පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේය. පසුව මොහු පිළිබඳ පදිංචි පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි පොලිසියෙන්ද තොරතුරු ලබා ගත්තේය. අදාළ පොලිස් ස්ථානයෙන් ඔහු අහිසංකයකු බවට දන්වා තිබූ අතර සමන් ඉන්පසු නිදහස් කෙරිණි.

සමන් නූගත් තරුණයෙකි. පොලිස් ග‍්‍රහණයෙන් මිදුණු ඔහු කොල්ලූපිටියේ වෙරළ තීරය අසලින් දිය නෑමට මුහුදට බැස්සේය. එම ස්ථානය දිය නෑමට අනතුරුදායක ස්ථානයකි. එම ස්ථානයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් මේ පිළිබඳ සමන් දැනුවත් කළේය. එහෙත් එම උපදෙස් ගණනකට නොගත් සමන් දිය නෑමට මුහුදට බැස්සේය. ගතවූයේ නිමේෂයකි. සමන් මුහුදේ ගසාගෙන යන අයුරු සෙබළුන් දුටුවේය.

‘‘මෙම මරණය බැලූ බැල්මට සැකසහිත එකක් බව පේනවා. තරුණයා මිය යෑමට පෙර පොලිසිය විසින් පහරදී තියෙනවා. නමුත් ඒවා මාරාන්තික පහරදීම් නෙවෙයි. තරුණයා මියගියේ දියේ ගිලීමෙන්. මෙවැනි මරණවලදි අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කරුණු මෙන්ම සිද්ධිමය කරුණු ඉතා වැදගත්වන්නේ ඒ නිසා බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා කීවේය.

ලලිත් චාමින්ද

« PREV
NEXT »
Loading...

Facebook Comments APPID