රට කඩන ව්‍යවස්ථාවක මූලික කටයුතු අද (11 වැනිදා) ආරම්භ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10 වැනිදා) සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා ඊයේ එම අදහස් පළ කළේ කරන්දෙණිය ජාතික පාසලේ හැත්තෑ පස් වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මෙච්චර කාලයක් රටේ කළු මාධ්‍ය කියලා දෙයක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකරන මාධ්‍ය අද කළු මාධ්‍ය කියලා හංවඩු ගසමින් සිටිනවා.
විපක්ෂ නායකකම නොමැති කාලේ නම් මට පාර්ලිමේන්තුවට දුවලා එන්න තිබුණා. නමුත් දැන් එහෙම බැහැ. දැන් විනාඩි 5කට හරි එහි ඉඳලා එන්න ඕනෑ. මේ වන විට ලංකාව කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා. උතුරේ කේරල ගංජා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තහම උතුරේ දේශපාලනඥයෙක්ම තමයි පොලිසියට තර්ජනය කරලා සැකකරුවන්ව මුදා ගන්නේ.
ඔවුන් උතුරේ ඡන්ද ටිකත් අරගෙන රටත් ජාතියත් විනාශ කරනවා. දේශපාලනඥයින් මේවට මැදිහත් නොවිය යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙසේ නිදහස් කර ගැනීම අපි හෙළා දැකිය යුතුයි.
මත්ද්‍රව්‍ය නිවාරණයෙදී පොලීසියත් අවංකව කටයුතු කළ යුතුයි. පොලිසිය සහ පන්සල එකතු වී මෙම කටයුතු සිදු කළ යුතු යැයි අපි විශ්වාස කරනවා.
