Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට නොලැබුනොත්
මහින්ද දේශපාලනයෙන් සමු ගන්න යයි


ඇමැතිකමත් ගැලවිලා රෑ එළිවන විට නිකන්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න වෙයි කියලා ඔබ හිතුවේ නැහැ නේද?
දේශපාලනයේදී සිතන දේවල් සිදුවෙනවා හරි අඩුයිනෙ. ඇමැතිකම්, තනතුරු මට සාමාන්‍යය දේවල්. රට වෙනුවෙන් තනතුරු අතහැරීම  ප්‍රශ්නයක් නොවෙයි. නමුත් අප සටන් කරන්නේ රට ඉදිරියට ගෙනියන්නයි. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි.
අගමැතිකම හොර පාරෙන් මහින්ද රාජපක්ෂට දෙන්න ගිහිල්ලා නිදහස් පක්ෂයත්  තමුන්නාන්සේලාත්  නැත්තටම  නැතිවුණා නේද?



ජනාධිපතිතුමා නීති උපදෙස් අනුවයි වැඩ කළේ. නමුත් එක්සක් ජාතික පක්ෂය අධිකරණයට ගිහිල්ලා කිසියම් තීන්දුවක් ගත්තා. අධිකරණ තීන්දුවට අපි ගෞරව කරනවා. එක්සත් ජාතික පක්ෂය හිතනවානම් ඔවුන් දිනුවා කියලා, ජනතාව ඒ සඳහා උත්තර දේවි. ජනතාවටත් අවශ්‍ය මේ ආණ්ඩුව ගෙදර යවන්නයි. ජනතා අවශ්‍යතාවට ඇහුම්කන් දීලා අලුත් අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් සෑදීමටයි ජනාධිපතිතුමා මහින්ද මහත්තයට අගමැති කම දුන්නෙ.
මම ඔබගෙන් අහන්නේ ජනාධිපතිවරයා ගනු ලැබූ එම තීන්දුවෙන් තමුන්නාන්සේලා අද බින්දුවටම වැටුණා නේද කියලයි.
අපිට ප්‍රශ්නය වුණේ 113 හදා ගන්න බැරිවීමයි. නමුත් අපි ටී.එන්.ඒ. සමග ගිවිසුම් ගැහුවේ නැහැ. අනිත් කාරණය තමයි ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ එඩිතර තීන්දුව පිළිබඳව  රටේ ජනතාව අතරේ විශාල පැහැදීමක් තිබෙනවා. අපි වැටිලා නැහැ. සමහරු අපිව වට්ටන්න හදනවා.
නිදහස් පක්ෂයට යන එනමං නැති වේගෙන යන එක ප්‍රශ්නයක් නොවේද?
නිදහස් පක්ෂය නැති කරන්න අපේම සමහරු උත්සාහ කරනවා. නමුත් ඒක කාටවත් හිතන තරම් ‍ලේසියෙන් කරන්න බැරි දෙයක්. නිදහස් පක්ෂය තමයි ඔය කාගෙත් මවු පක්ෂය. එයට පිටුපාල යන ගමනකට ස්ථීරත්වයක්වත් නැහැ. අවසානයේ හැමෝටම ඉතිරි වෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අද අපි සියලු දෙනාම පක්ෂයට එකතුකර ගැනීමටයි උත්සාහ කරන්නෙ.
තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂව “ගහෙන් ගෙඩි” එනවා වගේ අගමැති පුටුවේ වාඩි කරන කොට පාර්ලිමේන්තුවේ 113 හදාගෙන නොවේද හිටියේ.
මහින්ද මහත්තයා අගමැතිකම භාර ගන්න කොට අපිට 113 තිබුණා. නමුත් ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ ඇමැතිකම් තනතුරු ගත්ත අය නිකම් කාමරවලට වෙලා හිටියා මිසක් 113 හදා ගන්න කටයුතු කළේ නැහැ. ඒක තමයි ඇත්ත.
කවුද එහෙම කළේ 
මගේ ඇස් දෙකටම දැක්කා සුළු පක්ෂවල සමහර අය හැසිරුණු විදිහ. තවත් සමහරු කිව්වා එක්කෙනා දෙන්න ගන්න එපා. පක්ෂවලින් අපි ගෙඩිය පිටින් ගන්නවා කියලා. හදිස්සි වෙන්න එපා කිව්වා. අවසානයේ අපිට 113 හදා ගන්න බැරි වුණා.
ජනාධිපතිවරයා ප්‍රධාන තමුන්නාන්සේලාගේ පාර්ශ්වයේ බොහෝ දෙනෙක් එදා කිව්වා 113 හදලා ඉවරයි කියල නේද?
මහින්ද මහත්තයාට අගමැතිකම දෙන කොට 113 හිටියා. අපිත් සමග එකතුවෙන්න සිටිය මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයාව  සහ මහින්ද මහත්තයවත් හමුවෙලා සාකච්ඡාකරමින් සිටියේ. නමුත් මේ අය ආණ්ඩුවට ගත්තේ එක දිගට ආණ්ඩුව ගෙනියන්න නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ මහමැතිවරණයකට යන්න මාර්ගය හදා ගැනීමයි. මැතිවරණයකට යන්න හදන නිසා එන්න හිටපු අයත් නතර වුණා.
මහ මැතිවරණයකට යාමට තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා නේද? ඔහු නේද ව්‍යවස්ථාවත්  උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුව විසුරුවේ.
ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව බැරිවුණා. එතුමා එතනට තල්ලු කිරීමකුයි සිදුවුණේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රණ්ඩු කරනකොට පාර්ලිමේන්තුව අස්ථාවර වෙනකොට තමයි ජනාධිපතිතුමා රටේ ජනතාවට අවස්ථාවක් දීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ. එය ජනාධිපතිතුමා බොහොම අවංකව ගත්තු තීන්දුවක්.
තමුන්නාන්සේලා අද මේ කතා කරන විදිහට එදා විවෘතව කතා කළේ නැහැනෙ.
“ගේම් එක” ගහන්න පටන් ගත්තාම අපි “ගේම්” එක ගහන්න ඕනේ. ජනාධිපතිතුමා අපේ නායකයා. එතුමාව ආරක්ෂා කිරීම, ආණ්ඩුව ආරක්ෂා කිරීම අපගේ වගකීමක්. අපගේ අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතාවත්, ආරක්ෂා කර ගනිමින් සියලු ප්‍රශ්න හමුවේ රට ඉස්සරහට රැගෙන යාමට සහ ආණ්ඩුව  පවත්වාගෙන යෑමයි අපි ඒ වෙලාවෙදි කළේ.
ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට නැවත ලබා දෙන්න තමුන්නාන්සේලා මහා අරගලයක නිරතවෙලා ඉන්නවා නේද?
මේ මොහොතේ ඒ පිළිබඳව යම් කිසි ගැටලු සහගත තත්ත්වයක් ඇතිවෙමින් තිබෙනවා. නමුත් අපි තවදුරටත් උත්සාහ කරනවා සියලු දෙනා සමග සාකච්ඡා කරලා ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට දෙන්න. ‍පොහොට්ටුවේ සහයෝගය මෛත්‍රීපාල  සිරිසේන මහතාට ලබා ගැනීමට හැකිවේදැයි යන්න පිළිබඳව මන්ත්‍රීවරයෙකු ලෙස මට ගැටලුවක් තිබෙනවා.
ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරු ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට දෙන්න අකමැති බව ප්‍රසිද්ධියේ පවසනවා නේද?
අපිත් දැක්කා ‍පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඒ පිළිබඳව විවිධ ප්‍රකාශ කරන ආකාරය. අපි කනගාටු  වෙනවා ඔවුන් ජනාධිපතිතුමාට එම අවස්ථාව දීමට අකමැතිවීම පිළිබඳව. පසුගිය ඔක්තොබර් 26 දා සිට අපේ ජනාධිපතිතුමා කටයුතු කළ ආකාරය පිළිබඳව අවංකව කල්පනා කරනවා නම් ඒ වගේම එතුමා ‍පොහොට්ටුවට  ගිය මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා කිරීමට පවා ගනු ලැබූ තීරණය  පිළිබඳව ‍පොහොට්ටුවේ මන්ත්‍රීවරු සාධාරණව සිතා බැලිය යුතුයි. අපි ජනාධිපතිතුමා සමග සිටින මන්ත්‍රීවරු ලෙස අපේ ආරක්ෂාවත් රැඳී පවතින්නේ එතුමා  ආරක්ෂා වුණොත් පමණයි.
ඒ කියන්නේ තමුන්නාසේලා ජනාධිපති අපේක්ෂකත්වය  මෛත්‍රීපාල සිරිසේනට දෙන්න කියන්නේ තමන්ගේම පැවැත්ම වෙනුවෙන්ද?
එහෙම නැත්නම් අපගේ ආරක්ෂාව ‍පොහොට්ටුවෙන් බලා‍පොරොත්තු වෙන්න පුළුවන්ද? කළ ගුණ සලකනවානම්, සාධාරණත්වයක් කියලා දෙයක් තියෙනවනම් මෛත්‍රීපාල සිරිසේන  මහතාව ජනාධිපති අපේක්ෂකයා කියලා  ‍පොහොට්ටුවෙනුත් නම් කළ යුතුයි. අපි දෙගොල්ලෝ එකතුවෙලා  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කර ගත්තොත්  සියයට 50 ඉක්ම වූ ප්‍රතිඵලයක් මත අපිට බොහොම පැහැදිලිව  දිනන්න පුළුවන්.
මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ‍පොහොට්ටුවේ නායකයන් ඉඩ නොදුන්නොත් මොකද වෙන්නෙ.
එහෙම වුණොත් මට ගැටලුවක් තිබෙනවා, මහින්ද සමරසිංහ හැටියට, මට තිබෙන ආරක්ෂාව මොකක්ද? කියලා. මොකද ‍පොහොට්ටුව සමග දේශපාලනය කරන්න මට බැහැ. එය මම ප්‍රසිද්ධියේ කියනවා.
එකම සන්ධානයකින් මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් වෙන තමුන්නාන්සේලාට ‍පොහොට්ටුව සමග දේශපාලනය කරන්න බැරි මොකද?
ඒකට හේතුව තමයි ‍පොහොට්ටුවේ අය දැනටමත් සංවිධානාත්මකව ගම්මට්ටමේ වැඩපිළිවෙළක් පටන් අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට  සහය නොදී ‍පොහොට්ටුවේ අයව පමණක් පාර්ලිමේන්තුවට යවන්න සැරසෙන්න කියලා. ඔය දේ 2015 දීත් කළා. 2015 දී මම පැරදුණේ නැහැ මාව පැරද්දුවා.
පොහොට්ටුවට බය වෙලා වගෙයි පේන්නෙ.
බයක් නොවෙයි 2015 දී ප්‍රසිද්ධ රැස්වීම්වල ඔවුන් ව්‍යාංගයෙන් කිව්වා මට ඡන්දෙ දෙන්න එපා කියලා. මම අසාර්ථක දේශපාලන චරිතයක් නොවෙයි. 2010 දී මම නිදහස් පක්ෂයෙන් ජන්දෙ ඉල්ලනකොට මට 98000ක් මනාප ලැබුණා. කළුතර දිස්ත්‍රික්කයේ දෙවැනියාට මම. එහෙමනම් 2015 දී මම පැරදෙන්නෙ කොහොමද? මම මෛත්‍රීපාල සිරිසේන සමග සිටින නිසා ජනතාව පෙළඹෙව්වා මට ඡන්ද දෙන්න එපා කියලා.
මෙය ඔබට විතරක් තිබෙන පෞද්ගලික ගැටලුවක්ද?
අපේ මන්ත්‍රීවරු සියලු දෙනාටම අද මේ ගැටලුවට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයට විතරක් බලපාන දෙයක් නොවෙයි. අපේ මන්ත්‍රීවරුන්ට ඡන්ද දෙන්න එපා කියන වැඩපිළිවෙළකට ‍පොහොට්ටුවේ ඇතැම් කණ්ඩායම් මේ වන විටත් අවතීරණය වෙලා තිබෙනවා.
මෙතරම් අර්බුදයක පැටලිලා ඉන්න තමුන්නාන්සේලාගේ ප්‍රශ්නය විසඳන්න ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා තවමත් පියවරක් නොගන්නේ ඇයි?
ඉදිරියේදී පියවරක් ගනු ඇතැයි අපි බලා‍පොරොත්තු වෙනවා. හැබැයි මේ සියලු ප්‍රශ්න විසඳෙන්නෙ අපේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණොත් පමණයි.
මේ මොහොතේ රට ඉල්ලන්නේ ‍පොහොට්ටුවේ නායකයෙකු බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට තරග කිරීමට මේ වන විට සූදානම් වෙනවා කියලත් ආරංචියි.
දිනන්න පුළුවන් එකම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතායි. මම හිතන්නේ නෑ එක සහෝදරයෙක් ජනාධිපති හැටියටයි, තවත් සහෝදරයෙක් අගමැතිවරයා හැටියටයි භාර ගන්න මේ රටේ ජනතාව  සූදනාම වෙයි කියල. අපේ රටේ තිබෙන ඉහළම තනතුරු දෙක එකම පවු‍ලේ සහෝදරයෝ දෙදෙනෙකුට දෙන්න  ඕනෙද? වෙන කවුරුත් නැතිද?
ඔබට රාජපක්ෂවරුන් සමග ආරවුලක් ඇති බවයි පෙනෙන්නේ.
කිසිම ආරවුලක් නැහැ. මම කියන්නේ අපි ඊළඟට ආණ්ඩුව ගන්න කළයුතු දේ පමණයි. එක්සත් ජාතික පක්ෂයෙන් රට බේර ගන්නවානම්  තරගයට ඉදිරිපත් කළ යුත්තේ මෛත්‍රීපාල ජනාධිපතිතුමායි. එහෙම නැතිම මහින්ද රාජපක්ෂ මහතා ඊළඟට රටේ අගමැති වෙනවට කිසිදු විරුද්ධත්වයක් අපිට නැහැ. එතුමාව අගමැති කරන්න අපි කොන්දේසි විරහිතව වැඩ කරන්න සූදානම්. නමුත් ජනාධිපති අපේක්ෂකත්වය තවත් රාජපක්ෂ කෙනෙකුට ලබාදීම සුදුසු දෙයක් නොවෙයි. එය මේ රටේ ජනතාව පිළිගනීවි කියලා මම හිතන් නැහැ.
කොහොම වුණත් ‍පොහොට්ටුවේ නායකයන් මේ වන විට ප්‍රසිද්ධියේ පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ ඔවුන් බව. තමුන්නාසේලා ඊට විරුද්ධයි. මේ ආරවු‍ලේ වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නේද?
එක්සත් ජාතික පක්ෂයට වාසියක් කරනවද නැද්ද කියලා තීන්දු කරන්නේ රටේ ජනතාවයි. අද අපි මුහුණ දෙන්නේ කවුද අපේ අපේකෂකයා කියන ප්‍රශ්නයටයි. මම තමයි ‍‍‍ජ්‍යෙෂ්ඨ කියලා හිතාගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. අපි සියලු දෙනා සම තැනකට ඇවිල්ලයි ප්‍රශ්නය විසඳිය යුත්තෙ.
තමුන්නාන්සේලා හදනවා කියන පුළුල් සන්ධානයට මොකද වෙන්නෙ.
තවම නැහැ. ඒ ගැන සාකච්ඡා පැවැත්වෙනවා. මැතිවරණයක් ප්‍රකාශ වුණු දවසකට ඒ සන්ධානය ඒ වගේම අපගේ ලකුණ එළියට ඒවි.
ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපතිවරයාට නොලැබුණොත්?
එහෙම වුණොත් අපිට අපගේ දේශපාලන තීන්දු ගන්න සිදුවෙනවා.
ඒ කියන්නේ නැවත එක්සත් ජාතික පක්ෂයට යනවද?
මම එහෙම දෙයක් කිව්වේ නැහැ. ජනාධිපති අපේක්ෂකත්වය  ජනාධිපතිතුමාට නොලැබුණොත් බොහොම ස්තුතියි කියලා මම දේශපාලනයෙන් සමු ගන්නවා.
ඔබට තිබෙන ඔය ප්‍රශ්නය නිදහස් පක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරුන්ට නැද්ද?
මම දන්නෙ නැහැ. මම කතා කරන්නේ මම ගැන විතරයි. ඔවුන්ගේ තීරණ ගැන මට මතයක් කියන්න බැහැ.
ඔවුන් එක්සත් ජාතික පක්ෂයට යාවිද?
එය ඔවුන්ගේ තීරණයක්. මම දේශපාලනයෙන් ජීවත්වෙන කෙනෙකු නොවෙයි. ඊළඟ මහ මැතිවරණයකදී මට තරග කරන්න ආරක්ෂාවක්, සහයෝගයක් නැතිනම් මට දේශපාලනය කරන්න බැහැනෙ. ඒ වගේම ඊළඟට ආණ්ඩුවක් පිහිටුවනකොට මගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම්වලට අවස්ථාවක් නොලැබෙනවනම් ඊට වඩා හොඳයි දේශපාලනයෙන් සමු ගන්න එක.
ජනාධිපතිවරයා බලයට ආවේ නැවත ජනාධිපති ධුරයකට තරගකරන්නේ නැහැ කියලා නේද?
එය නීතිමය තත්ත්වයක් නොවෙයිනෙ. ජනාධිපතිතුමාට දෙවතාවක් තරග කරන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබෙනවනෙ. ජනාධිපතිතුමාගේ දේශපාලන ක්‍රියාදාමය මේ රටේ ස්ථාපිත  කරන්න එතුමාට තවත් කාලය තිබිය යුතුයි. මේ රටේ දැනට සිටින පිරිසිදුම දේශපාලන චරිතය එතුමායි. එය ජාත්‍යන්තරයත් පිළිගන්නවා.
පානුක රාජපක්ෂ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook