BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

අපි වරාය නගරය මූල්‍ය නගරයක් කළේ අනිසි ඵල අඩු කරන්නයි - චම්පික: ඊළඟ පිම්ම ගැන කියයි. | Patali Champika Ranawaka

අපි වරාය නගරය මූල්‍ය නගරයක් කළේ
අනිසි ඵල අඩු කරන්නයි
චම්පික: ඊළඟ පිම්ම ගැන කියයි.


මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සමඟ කළ සාකච්ඡාව.

පෝර්ට් සිටි එක එහෙම නැත්නම් වරාය නගරය මූල්‍ය නගරය බවට පත් කරනවා. මෙහිදී නම මාරු කිරීම පමණද සිද්ධ වුණේ?

වරාය නගරයක් පිළිබඳ අදහස 1998 කළම්බු මෙට්‍රොපොලිටන් ව්‍යාපෘතිය යටතේ යෝජනා වුණු ව්‍යාපෘතියක්. ඒ අවස්ථාවේ යෝජනා වුණේ දැනට තියෙන වරාය ජැටි ඉවත් කරලා කොළඹ දකුණු වරායට ගෙනිහින් ඒ ජැටි තිබුණු ඉඩමේ නගරයක් නිර්මාණය කරන්න. මේ අදහස නිර්මාණය වුණේ දකුණු වරායක් ඉදිවුණාම ඒ වරායට වැලි ගොඩවෙන්න තියෙන ඉඩකඩ නැති කිරීම ගැන හිතලා. මුහුද ගොඩකරලා නගරයක් නිර්මාණය කරන සැලැස්ම 2004 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සෙස්මා යටතේ පිබිදෙමු ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් යෝජනා වෙච්ච ව්‍යාපෘතියක්. ඒ යටතේ තමා කොළඹ දකුණු වරාය ගොඩනැඟුණේ. චීන ආධාර මත සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය මත දකුණු වරායේ දකුණු පර්යන්තය ඉදි වුණා. තව පර්යන්ත දෙකක් ඉදිවෙන්න තියෙනවා. ඒ දකුණු පර්යන්තය ඉදිකරන්න ආව චීන සමාගම් දැක්කා මේ සැලැස්ම. ඒ අනුව තමයි වරාය නගර ව්‍යාපෘතියත් 2014දී එවකට රජයට යෝජනා වෙන්නේ. ඒ අවස්ථාවේ නොයෙක් විරෝධතා ඇති වුණා. සමහරු කිව්වා මේ ව්‍යාපෘතිය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් කියලා. ඒ වගේම මෙතන ඉඩම් චීනයට සින්නක්කරව ලබාදෙන නිසා රටේ ස්වෛරීත්වයට හානියක් වෙනවා කියලා. ඒ වගේම මෙතන නිසි පරිසර අධ්‍යයනයක් කරලා නැහැ කියන කාරණාව වගේම, වරාය අධිකාරියේ අණපනත් අනුව නීත්‍යනුකූලව මේ ව්‍යාපෘතිය කරන්න පුළුවන්ද කියන කාරණාව මතු වුණා. අවසාන වශයෙන් ධීවර විරෝධතා පවා ඇතිවෙනවා.

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සමඟ වර්තමාන ආණ්ඩුව කොමිසමක් පත් කළා මේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධව. ඉන්පසුව මේ වරාය නගර ව්‍යාපෘතිය නිසා ලැබෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල පිළිබඳව වාර්තාවන් නිකුත් කළා. ඉන්පසුව රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මේ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව තියෙන අහිතකර තත්ත්වයන් මඟ හරවාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව තමයි මෙම ව්‍යාපෘතිය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට 2016 අගෝස්තු මාසයේ බාරවෙන්නේ. එතැන් සිට අපි විධිමත්ව මෙම ව්‍යාපෘතිය කරගෙන ආවා. ඉන්පසු කිසිම රටක් අපට චෝදනා කළේ නැහැ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වෙනවා කියලා. මොකද අපි මෙතන මූල්‍ය නගරයක් නිර්මාණය කරන බවට පැහැදිලි කරලා දුන්නා. මෙහි කිසිම ඉඩමක් සින්නක්කර අයිතියට කිසිම රටකට දෙන්නේ නැහැ. සියලුම ඉඩම්

ශ්‍රී ලංකා රජයට අයිතියි. ඒ වගේම නිසි පරිසර අධ්‍යයනයක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපි නිසි පරිසර අධ්‍යයනයක් කළා. 277ක් ඒ පිළිබඳව පැමිණිලි ආවා. ඒ අනුව 74ක් මාර්ගෝපදේශ ව්‍යාපෘතිය කරන ආයතනයටත් අපි ලබා දුන්නා.

ඊළඟට ධීවර විරෝධතාවලටත් අපි කඳුළු ගෑස් ගහන්නවත් වෙඩි තියන්නවත් සුදු වෑන් යවන්නවත් කටයුතු කළේ නැහැ. අපි ඔවුන් සමඟ ඔවුන්ගේ දුක් ගැනවිලි, ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව වැලි ගන්න ස්ථාන පවා මාරු කළා. මීට පෙර නොමිලේ වැලි ගන්න තිබ්බ ප්‍රවණතාව වෙනස් කරලා නියමිත මිලට වැලි ගන්න කටයුතු කළා. විශේෂයෙන්ම අපි අපේ ඉංජිනේරුවන් මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණු කරවන්න කටයුතු කළා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට සැලසුම් කළ දිනයටත් කලින් මෙම ව්‍යාපෘතියේ පළමු අදියර නිමා කරන්න අපිට පුළුවන් වුණා. දැන් අපි ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා පරිසර අධ්‍යයනයක් කළා. ඒකට විරෝධතා ආවේ දෙකයි. ඒකෙන් තේරෙනවා මේ පිළිබඳ තිබ්බ දුර්මත මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා කියලා. මෙම ව්‍යාපෘතියේ ඉඩම් කොටස් 74ක් තියෙනවා. ආරම්භයේදී අපි බලාපොරොත්තු වෙනවා ඉඩම් කොටස් 4ක් සංවර්ධනය කරන්න. ඉන්පසු පියවරෙන් පියවර 2040 වෙනකල් මෙහි ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙනවා.

කොළඹ නගරයේ මේ වෙනකොට නාගරික සංචලතාවය ඉතා අඩු අගයකට පත්වෙමින් තියෙනවා. මේ සම්බන්ධයෙන් මහානගර අමාත්‍යාංශය විදිහට මොනවද කරලා තියෙන්නේ?

කොළඹ නගරයේ ප්‍රධාන ගැටලු තුනක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නාගරික සංවර්ධනයේ ප්‍රධාන ගැටලු තුනක්. පළමුවෙනි එක කසළ. දෙක මාර්ග තදබදය. තුන පැල්පත්වාසීන් නමින් සමාජය පිටමන් කරන්න උත්සාහ කරන පිරිස. අපි මේ ප්‍රශ්න තුනටම සෘජුව මැදිහත්වෙලා තියෙනවා. මීට පෙර කළේ කොළඹ තියෙන කසළ ටික ආරක්ෂක අංශ යොදවලා එකතු කරගෙන ගිහිල්ලා මීතොටමුල්ලේ ගොඩගහපු එක. හැබැයි අපි ස්ථිරසාර විසඳුම් දෙකක් කසළවලට ලබාදුන්නා. කසළවලින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් අපි නිර්මාණය කළා. ඒ වගේම කසළ විද්‍යානුකූලව තැන්පත් කරන්න පුළුවන් තැනක් අපි නිර්මාණය කළා. මේ ව්‍යාපෘති දෙකම මේ වසරේ සිට ක්‍රියාත්මකයි. ඒක අපි රටක් විදිහට ලබාගත්ත විශාල ජයග්‍රහණයක්. කාලයක් මුළුල්ලේම දේශපාලනඥයන් කසළවලින් හම්බ කරගන්න උත්සහ කළා මිසක් මේ ප්‍රශ්නය විසඳන්න ඉඩ දුන්නේ නැහැ. මේ නිසා බ්ලූමැන්ඩල්, කරදියයාන, මීතොටමුල්ල වගේ කුණු කඳු ගොඩ ගැහුණා. ඒ වගේම ඉදිරි කාලයේ වරාය නගරයේ ඉදිකරන උද්‍යානයට පොහොර වශයෙන් ලබාගන්න කසළ ප්‍රතිචක්‍රීකරණය කරනවා.

ඊළඟට ප්‍රවාහන ප්‍රශ්නය. මේක අපි රටක් විදිහට ඉතාම වරද්ද ගත්ත තැනක්. නිදහස ලබාගන්න අවස්ථාවේ අපේ රටේ මෝටර් වාහන තිබුණේ පන්දහසක් වගේ ප්‍රමාණයක්. අද එය අසූ ලක්ෂයට වගේ වැඩිවෙලා තියෙනවා. අපේ රටේ තියෙන්නේ පවුල් ඒකක පනස් පන්ලක්ෂයයි. ඒ අනුව බලපුවහම අපේ රටේ පවුලකට එක වාහනයකට වඩා ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සු සීයක් ගත්තොත් තිස් පහකට පමණ ආසන්න ප්‍රමාණයකට වාහන තියෙනවා. සිංගප්පූරුවේ තියෙන්නේ දහඅටයි. දැන් තියෙන වාහන තදබදය නිමා කරන්න නම් කොළඹ නගරයේ තියෙන මාර්ග ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කරන්න ඕනේ. ඒක ප්‍රායෝගික නැහැ. අපි මාර්ග පද්ධතියට විශාල ආයෝජනයක් කරලා තියෙනවා. හැබැයි තදබදය අඩුවෙලත් නැහැ. ඒක ඇත්තටම වැරදි උපාය මාර්ගයක්. ඒ නිසා අපි මේ වෙනකොට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපි සහසර ව්‍යාපෘතිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයට සුඛෝපභෝගී බස් රථ දහසක් පමණ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැහැල්ලු දුම්රිය සේවාවක් කොළඹ නගරයට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහි පළමුවෙනි මාර්ගය කඩුවෙල සිට කොළඹට ඉදිවෙනවා. ඒ වගේම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය ඉදිවෙන්නේ පිටකොටුව ප්‍රදේශයේ. ඒ වගේම බත්තරමුල්ල, කොට්ටාව, කඩවත, දහඅටේ කණුව සහ පානදුර ප්‍රදේශවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිවෙනවා. මේ වෙනකොට කොට්ටාව ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ අවසන් වෙමින් පවතිනවා. දහඅටේ කණුවේ ඉඩම් ගැටලුවක් තියෙනවා. ඒක අපි මේ වෙනකොට විසඳගෙන යනවා. අනිත් ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ අපි මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඊළඟට පැල්පත්වාසීන්ගේ ගැටලුවට නිවාස ලබාදීමට දැවැන්ත ව්‍යාපෘතියක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. 2020 අවසන් වෙනකොට නිවාස විසිදහසක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ තුට්ටු දෙකේ දේශපාලනඥයන් දේශපාලන ප්‍රශ්න නිර්මාණය කිරීමක් නොකළොත් 2024 වෙනකොට නිවාස 40,000ක් දීලා ඒ ප්‍රශ්නය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

පසුගිය දිනවල සිද්ධ වෙච්ච දේශපාලන පෙරළිය එක්ක දිනේෂ් ගුණවර්ධන නතර කළ හෝමාගම තාක්ෂණික නගරය නැවත ආරම්භ කරනවද?

එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙනවා. මේ රදළ වලව්වල මිනිස්සු බොරු වාමාංශික ව්‍යාපාර නිර්මාණය කරලා වසර සීයකට ආසන්න කාලයක් මේ රටේ මිනිස්සු රැවැට්ටුවා. මේ ලොම් හැලිච්ච බලවේගවලට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ වලව්වල පොල් කඩාගන්න, කුරුඳු ගහ කපාගන්න මිනිස්සු. හැබැයි මේ රටට අද අවශ්‍ය වෙලා තියෙන්නේ නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටලිජන්ට්, රොබෝ තාක්ෂණය දන්න මිනිස්සු. ඒකට අවශ්‍ය කරන පදනම අපි හෝමාගම තාක්ෂණික නගරය තුළින් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේ අනිවාර්යයෙන්ම කටුනායක, බියගම නිදහස් වෙළෙඳ කලාප මඟින් සිද්ධ වුණා වගේ සේවයක් මේ හෝමාගම තාක්ෂණික නගරය මඟින් සිද්ධ වෙනවා.

ලංකාවට තවදුරටත් ඇඟලුම් වගේ කර්මාන්ත සඳහා ආයෝජකයන් එන්නේ නැහැ දේශපාලන හේතුවක් නැත්නම්. මොකද ලංකාවේ තවදුරටත් ලාභ ශ්‍රමය නැහැ. ඒ නිසා අපි නවෝත්පාදනවලට යන්න ඕනේ. බඩවල්වලට කතා කරන බාල දේශපාලනය සහ ජනකාන්තවාදය මේ රට විනාශ කරනවා. නිකන් ගෙවල් දෙනවා, ඇඳුම් කුට්ටම් එකට පහක් දෙනවා, නිකන් පොහොර දෙනවා, කන්න දෙනවා වගේ බාල තුට්ටු දෙකේ ජනකාන්තවාදය නිසා මේ රට ණය කන්දක් බවට පත්වෙලා තියෙනවා. මේ වසරේ අපේ ප්‍රාග්ධන ආයෝජනය බිලියන අටසීයක් පමණ වුණත් ඒ වගේ තුන් ගුණයක් පමණ ණය ගෙවන්න තියෙනවා.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව අද (24) www.resa.lk සහ රැස ෆේස්බුක් පිටුවේ සවස 7ට සජීවීව විකාශය වේ.

සාකච්ඡාව[විමුක්ති දුෂාන්ත]
« PREV
NEXT »

Facebook Comments APPID