රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ විප්ලවීය පරිවර්තනයක් ඇතිවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඒ සඳහා නව දැක්මකින් යුතුව නව සැලසුම් සකස් කිරීම ඉතා අත්‍යාවශ්‍ය මෙන්ම හදිසි කටයුත්තක් වී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (28) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36වෙනි වාර්ෂික මහා සමුළුව අමතමිනි.
රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගැනීමට මෙරට පරිපාලන, සැලසුම්, ගණකාධිකාරි යන සේවාවන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ ක්ෂේත්‍ර ප්‍රමුඛත්වය ගතයුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, වැටී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම දේශපාලනඥයන්ට පමණක් තනිව කළ නොහැකි බව කියා සිටියේය.
දැනට 30ක් වන මෙරට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉදිරියේ දී අවම වශයෙන් 50ක් දක්වාවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ හෙතෙම එසේ නොවුනහොත් රටක් ලෙස ඉදිරියට යන ගමන සාර්ථක කර ගත නොහැකි බව කීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ සියලු ක්ෂේත්‍රවල අභිමානය සහ අයිතින් දිනාදීමට රජය කැප වී සිටින අතර, එහිදී සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය ඉල්ලීම් හැකි උපරිම අන්දමින් දිනාදීමට රජය කිසිවිටෙක පසුබට නොවන බවයි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්වරුන් ඇතුළු සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.

