Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවකට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම තීරණයක් ගෙන නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූයේ යළිත් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවකට නොයන්නේය යන තීරණය මත බව පැවසූ සුමතිපාල මහතා එම තීරණයේ වෙනසක් නැති බවත් පැවසීය.

සුමතිපාල මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල, පරිවර්තන කේන්ද්‍රයේ දී පසුගියදා (26) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවකට යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම, බලය විමධ්‍යගත කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය යන කරුණු තුන ඉටුකර ගැනීම සඳහා බවත් සුමතිපාල මහතා පැවසීය.

පසුගිය වසරේ පෙබරවාරි මස දී පැවැති පළාත් පාලන මැතිවරණයේ දී සියයට 15ක ඡන්ද ප්‍රතිශතයක් තම පක්ෂයට ලබාදුන් ජනතාවගේ අදහස වූයේ ද එක්සත් ජාතික පක්ෂය සමඟ වන දීගය අතහැරිය යුතුය යන්න බව පැවසූ සුමතිපාල මහතා එබැවින් නැවතත් ජාතික ආණ්ඩුවකට යාමේ අවශ්‍යතාවක් තමන්ට නැති බවත් කීය.

පසුගියදා අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේ දී පසුදින විවාදයට ගැනීමට නියමිතව තිබුණු ජනාධිපති වැය ශීර්ෂය ගැන ද අවධානය යොමු කරන්නට සිදු වූ බැවින් පක්ෂයක් වශයෙන් ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බවත් හෙතෙම පැවසීය.

අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශය කරන ආකාරය අප්‍රේල් මස 03 වැනි දා තීන්දු කරන බව පැවසූ සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරනුයේ අයවැය පරාජය කිරීම මිස ආණ්ඩු පෙරැළීම හෝ අගමැති වෙනස් කිරීම සම්බන්ධයෙන් නොවන බවත් අවධාරණය කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ද ඉදිරි වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනු පිණිස බව පෙන්වා දුන් හෙතෙම පක්ෂයක් වශයෙන් දේශපාලනය මතම පදනම්ව තීන්දු ගත නොහැකි බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමතිපාල මහතා පැවසුවේ දෙපාර්ශ්වය කරුණු 20ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම කරුණු දෙපාර්ශ්වයේ නායකයන් වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම කටයුතු කරන බවත්ය.

දෙපාර්ශ්වය අතර පැවැත්වෙන සාකච්ඡාවල දී අවධානය යොමු කෙරෙනුයේ ප්‍රතිපත්තිමය කාරණා ගැන පමණක් බව පැවසූ සුමතිපාල මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු සම්බන්ධයෙක් සාකච්ඡා නොකෙරෙන බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ යන දෙපාර්ශ්වයෙන් එක් අපේක්ෂකයකු පමණක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත් සුමතිපාල මහතා මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements