Featured News

Video Gossip

Advertisement


පසුගිය පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බෝම්බ පිපිරවීම් මාලාව සැලසුම් කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මෙහෙයුම් මූලස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය දෙමටගොඩ මහවෙල උද්‍යාන ප්‍රදේශයේ දෙමහල් සුවිසල් නිවසක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව පසුගිය අප්‍රේල් මස 21 වැනිදා වැටලීමට සූදානම් වනවාත් එක්කම එම නිවස තුළින් බෝම්බයක් පුපුරා ගියේ මහ හඬක් නංවමිනි. 

බෝම්බය පුපුරායන අවස්ථාව වන විටත් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර (39), පොලිස් කොස්තාපල්වරුන් වන කැටකුඹුර සහ භාතිය රත්නායක යන මහත්වරුන් සිටියේ එම නිවස තුළය. 

බෝම්බය පුපුරා යාමෙන් ඒ පොලිස් නිලධාරීන් තිදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. 

පොලිස් නිලධාරීන් තිදෙනා ඉදිරියේම මෙම බෝම්බය පුපුරුවාගෙන ඇත්තේ කාන්තාවක් බවත් ඇය බෝම්බය පුපුරුවා ගන්නා අවස්ථාවේ ඇයගේ කුඩා දරු තිදෙනා ද සිට ඇති බවත් හෙළි විය. 

මෙම පිපිරවීම සිදු කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිපිරවීම් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරු වූ ඉම්සාන් සිලවන් නමැත්තාගේ බිරිය බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. 

ඒ වන විටත් ඇය ගැබිනියක ද වූවාය. ඇගේ සොහොයුරා ද ඉන් මරු මුවට පත්විය. 

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා ගත්තේ ද ඉම්සාන්ගේ සහෝදරයෙකි. 

මෙම අයියා මලෝ දෙදෙනාගේ පියා ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ගම්මිරිස් ඇතුළු කුළු බඩු තොග වශයෙන් මෙරටට ආනයනය කර විකිණීමේ යෙදෙන කෝටිපති ව්‍යාපාරිකයෙකි. 

වැල්ලම්පිටියේ තඹ කම්හලේ අයිතිකරු වූයේ ද ඉම්සාන්ය. 

මොහු ද කෝටිපති ව්‍යාපාරිකයෙකි. 

මේ පිය පුතුන් මහා ධන කුවේරයන් වන අතර ඔවුන් එසේ ධන කුවේරයන් බවට පත්ව ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානය හරහා ලැබෙන ධනස්කන්දයෙන්බවට පොලිසිය සැක කරයි. 

දස මාසයක් කුසේ හොවාගෙන සිට ලෝකයේ ඇති ලොකුම​ වේදනාව ලෙස සැලකෙන ප්‍රසූත වේදනාව ද විඳ දරා ගනිමින් දරු පැටවු තිදෙනෙක්ම මෙලොවට බිහි කළ තවත් දරු පැටියෙක් මෙලොවට ජනිත කිරීමට පෙරුම් පුරමින් සිටි ඉම්සාන්ගේ බිරිය බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි නසාගත්තේ උතුම් මව් පදවියට ද නිඟා දෙමිනි. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝකයේ අනෙකුත් ත්‍රස්තවාදී කල්ලිවලට ද හඳුන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාරකරන් විසිනි. 

එහෙව් ප්‍රභාකරන්වත් තිස් වසරක් පුරා පැවති යුද්ධයේදීවත් කිසිම දවසක ගැබිනි කාන්තාවක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදා ගෙන තිබුණේ නැත. 

එහෙත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සෘජු සම්බන්දතා පැවැත්වූ ජාතික තවුහිත් ජමාත් නමැත් අන්තවාදී මුස්ලිම් කල්ලියේ මරාගෙන මැරෙන ගැබිනි බෝ්ම්බකාරියක් ද සිටියාය. 

ඉම්සාන්ගේ බිරිය ද ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක වූවාය. 

අැය තම ගර්භනී භාවය හෝ කුඩා දරු පැටුව් දෙන්නා ගැනවත් කිසිම තැකීමත් නොකර බෝම්බයක් පුපුරුවා ගන්නට කල්පනා කරන්නට ඇත්තේ පොලිසියට කොටුවුවහොත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ රහස් තමාගෙන් හෙළි වනු අැතැයි සිතා විය යුතුය. 

එසේත් නැත්නම් ජිහාඩ් වීමෙන් තමන් ද බිහි කිරීමට සිටින දරු පැටියා හා දරු දෙදෙනා ද සමග ස්වර්ගයට යාමට හැකි වනු අැතැයි කියන මෝඩ තකතීරු සිතිවිල්ල නිසා ද විය හැකිය. 

එ් බව දන්නේ බෝම්බය පුපුරුවා ගෙන සිය දිවි නසාගත් ඉම්සාන්ගේ බිරිය පමණකි. 

බෝම්බයක් පුපුරවාගෙන සිය දිවි නසාගන්නා වකවානුවේ ඇගේ දරු ගැබට මාස 1 1/2ක් පමණ විය. 

බෝම්බ පිපිරීමේ සිද්ධිය සැලවීමත් සමග දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෆොන්සේකා යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ. 

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිපිරවීම් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරු බව කියන ඉම්සාන් සිලවන් නමැත්තාගේ බිරිය හා සහෝදරයා ද බෝම්බ පුපුරුවාගෙන දිවි නසාගෙන ඇති බව වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතාට තොරතුරු වාර්තාවක් මගින් දැනුම් දී තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේ 22 වැනිදාය. 

බෝම්බය පුපුරුවාගත් නිසා ඇයගේ දරු තිදෙනා ද මිය ගොස් තිබුණේ එම ස්ථානයේදීමය. 

මෙසේ බෝම්බයක් පුපුරුවා ගෙන සිය දිවි නසා ගනු ලැබුවේ ෆාතිමා ජෙෆ්රි (24) නමැත්තිය වන්නීය. 

මරාගෙන මැරුණු බෝම්බකාරිය බව කියන ෆාතිමාගේ මව අබ්දුල් ෆරීඩා උම්මා (60) නම් වූ අතර ඇයගේ පියා වූයේ මොහොමඩ් සලීම් මොහොමඩ් ජෙෆ්රි ය. 
මොහොමඩ් ජෙෆ්රි කුළු බඩු තොග වශයෙන් විදෙස්වලින් ගෙනවිත් විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටියේය. 

පදිංචිය දෙමටගොඩ ශ්‍රී සද්ධම්ම මාවතේය.

මොවුන් දෙපොළගේ දියණියක වූ ෆාතිමා 1992 වසරේ පෙබරවාරි මාසයේ 10 උපත ලබා ඇත. ඉම්සාන් සීලවන් ගෙනා යෝජනාවකට අනුව ෆාතිමා ඔහුත් සමග යුග දිවි ගමන් ඇරඹුවේ මීට වසර 11කට පමණ කලින්ය. 

විවාහ දිවියට පත් වනවිට ඇයගේ වයස අවුරුදු 13ක් සම්පූර්ණ වූවා පමණි. 

අවුරුදු 11, අවුරුදු 05 සහ අවුරුදු 03 අතර වයසේ පසුවන දරුවන් තිදෙනෙකු සිටි ෆාතිමා බෝම්බයක් පුපුරුවා ගෙන මරාගෙන මැරෙන විට ගැබිනියකව සිටියාය. 
පොලිසිය පවසන ආකාරයට නම් ෆාතිමා ඇයගේ සැමියා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට යන බව කල් තියා දැන සිට ඇත. 

ඉම්සාන් සීලවන් මේ බව ෆාතිමාට කියා පෙර දිනයේ නිවසින් පිටත්ව ගොස් ඇත්තේ ඇයගේ හා දරු දෙදෙනාගේ ද මුහුණ සිපගෙන යැයි කියති. 
ඒ ගැන කිසිසේත් දුක් නොවූ ෆාතිමා නිවසේ උඩු මහලට වී ශුද්ධ වූ කුරානය කියවා තිබේ. 

සැමියා ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගිය බව දැන ගත් දවසේ ද උඩු මහලට වී කුරානය කියවමින් යාච්ඤා කිරීම්වල නිරතව සිටියාය. 
පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බෝම්බ පිපිරවීම් මාලාව රූපවාහිනියෙන් ෆාතිමා නරඹා ඇත. 

පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළි කරගෙන ඇති තොරතුරු අනුව ෆාතිමා විවාහයෙන් පසු ඇයගේ මව්පියන් සමග ලොකු සම්බන්ධයක් පවත්වා නොමැත. 
එහෙත් බෝම්බ පිපිරවීම් මාලාව සිදුවීමට දින තුනකට හතරකට කලින් ඇය සිය මව්පියන් මුණගැසීමට ගොස් පාස්කු දිනයේ නිවසට කෑමට පැමිණෙන ලෙස ආරාධනා කර ගොස් ඇත. 

“දුවගේ ඉල්ලීමට අනුව ඒ ගෙදර ගියා. බෑණා වන ඉම්සාන් ගෙදර හිටියේ නැහැ. ඉම්සාන්ගේ තාත්තා, ඔහුගේ බිරිය ඇතුළු ඒ පවුලේ අය ගෙදර හිටියා. දුව උඩු මහලේ දෙවියන් යැදීමට සූදානම් වෙමින් සිටියා. දරුවෝ තුන් දෙනත් දුව එක්ක උඩු මහලේ සිටියා. කෑම කන්න පහළ තට්ටුවට මම ආවා. කෑම කන්න සූදානම් වෙනවාත් එක්ක ලොකු පිපිරීම් ශබ්දයක් ආවා. පොලිසියත් ගේ වට කරලා තිබුණා.” 

අබ්දුල් ෆරීඩා උම්මා නමැත්තිය සිද්ධිය ගැන පොලිසියට කියා ඇත්තේ එහෙමය. 

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉම්සාන් ඇයගේ බිරිය වූ ෆාතිමාව ද මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස පුරුදු පුහුණු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. 

එ් වෙන කිසිවක් නිසා නොව කොයි මොහොතක හෝ පොලිසියට කොටු වුවහොත් සංවිධානයේ රහස් හෙළි වන නිසා එවැනි පුහුණුවක් සිය බිරියට ද ඉම්සාන් ලබා දීමට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. 

කෙසේ වෙතත් ​ෆාතිමා බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි නසා ගත්තේ සංවිධානය ගැන හා ඇයගේ සැමියාගේ ක්‍රියාකාරකම් ගැන ඇය දන්නා සියලු තොරතුරු ද සදහටම සඟවාගෙනය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements