Advertisement


ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී අද (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් අත්කරගත්තේය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම ඕවර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 137 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සහ ලොකී ෆර්ගසන් කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා මනා දායකත්වයක් සැපයූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29.2 ක් අවසානයේ ලකුණු 136 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (නොදැවී 52) පන්දු 84 කදී හතරේ පහර 4 ක් සමග සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය.

තරගයේ දෙවැනි පන්දුවේදීම ළහිරු තිරිමාන්න (4) පිටියෙන් ඉවත් කිරීමට මැට් හෙන්රි සමත් වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක දිමුත් සමග එක්වූ කුසල් පෙරේරා (29) සමත් විය.

කෙසේ වුවත් යළිත් ක්‍රියාත්මක වූ හෙන්රි 8 වැනි ඕවරයේ පළමු පන්දු දෙකේදී පිට පිටම කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් (0) දවාගනිමින් ලකුණු 46 කට කඩුලු 3 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. දැවීයන විට පන්දු 24 කට මුහුණදී සිටි කුසල් පෙරේරාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.

එතැන් පටන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 14 ක් එක්වන විට ධනංජය ද සිල්වා (4), ඇන්ජලෝ මැතිව්ස් (0) සහ ජීවන් මෙන්ඩිස් (1) ද අඩු ලකුණු ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 23 කදීහයේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් සමග එක්ව පන්දු 50 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. එහෙත් මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ටේ‍රන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් තිසර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මාටින් ගප්ටිල් (නොදැවී 73) සහ කොලින් මුන්රෝ (නොදැවී 58) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. එහිදී පන්දු 51 කට මුහුණදුන් ගප්ටිල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 ක් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ මුන්රෝගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements