Advertisement

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා නම් කිරීමේ බලය තමා වෙත ලබා දී තිබෙන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (10 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඇතුළු පක්‍ෂ ක‍්‍රියාකාරී හමුවකදී විපක්‍ෂ නායකවරයා මේ බව පැවැසීය.

රටේ විනය පිරිහී ඇති මේ අවස්ථාවේ විනය ගරුක රටක් බිහිකරමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කළ හැකි සියලූ ජාතීන්ට ආරක්‍ෂාව සැපයිය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

පටු දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකින්ම පීඩාවට පත්වන්නේ ජනතාව යැයි මෙහිදී පෙන්වා දුන් විපක්‍ෂ නායකවරයා ආණ්ඩුව සිතාමතාම ජාතික ආගමික වශයෙන් බෙදීමක් ඇති කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ද කීවේය.

ජනාධිපතිවරණය අතළඟ තිබෙන අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කිරීම පිටුපස යටි අරමුණක් ඇතැයි සැක සිතන බව සඳහන් කළ විපක්‍ෂ නායකවරයා, ආණ්ඩුවේ යටි අරමුණු පරාජය කරමින් පවත්වන ඕනෑම මැතිවරණයකින් ජය ගැනීමේ හැකියාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි ද සඳහන් කළේය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරුණා අම්මාන් මහතා, රටේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටී තැන්තැන්වල බෝම්බ පුපුරණ ආකාරයේ ත‍්‍රස්තවාදයක් මතුවූයේ වත්මන් ආණ්ඩුව බුද්ධි අංශ මර්දනය කිරීම නිසා යැයි සඳහන් කළේය.

ත‍්‍රස්තවාදය මර්දනය කර සාමකාමීව ජීවත්වීමේ වටපිටාව ජනතාවට දායාද කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම දමිළ ජනතාව මෙන්ම සමස්ත රටවැසියාම බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවැසීය.

මේ අවස්ථාවට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙන්ම පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද, මෙහිදී අදහස් දැක්වූහ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ, සභාපති ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන කෙහෙලිය රඹුක්වැල්ල, එස්. එම්. චන්‍ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

අනුර බාලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements