ඉදිරි මාස කිහිපය රටට තීරණාත්මකයි. ජනතාව සැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල අහනවා. අපි ජන ජීවිතය ගොඩනගන්න පුළුවන්, පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගනවා. උතුර , දකුණ එකට එකතු කරන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙක් ලබන අගෝස්තු 11 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ 06 වැනි දින අකුරැස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩල රැස්වීම අමතමිනි. අකුරැස්ස ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක දේශමාන්‍ය කරුණා කොඩිතුවක්කු මහතාගේ පක්ෂ කාර්යාල පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්විනි.
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. එදා පොදුජන පෙරමුණ ආරම්භ කරන කොට විශාල ලෙස අභියෝග තිබුනා. එක වෙලාවක රාජ්‍ය නායකයා කිව්වා අළුතින් පක්ෂයක් හැදුවොත් පාරේ ඇවිද්දවනවා කියල. තවත් සමහරු කිව්වා තුන්වෙනි බලවේගයක් අවශ්‍ය නෑ කියල. පක්ෂ හැදුවොත් බලාගමු කිව්වා. වසර කිහිපයක් ඇතුලත කෙටි කාලයක් තුළ ලංකා දේශපාලන ඉතිහාසයේ වගේම ලෝක දේශපාලන ඉතිහාසයේ එදා තුන්වෙනි බලවේගය අද ලංකාවේ පළවෙනි පළවෙනි බලවේගය වෙලා.
ආණ්ඩුව ජාතික ආරක්ෂාව මඟහැරලා. බුද්ධි අංශය කඩා වැටුනා. ඉන්දියාවෙන් කිව්වා ප්‍රහාරයක් වෙනව කියල. ජනාධිපති රටේ නැහැ. අගමැති ගමේ නැහැ. නිවාඩු ගිහිල්ලා. බුද්ධි අංශ වාර්තා මඟහැරියා. ජීවිත 250 ක් නැති වුනා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රහාරයක් එනවා කියල බුද්ධි අංශය කියද්දී මඟ හැරියා.
සෝෆා ගිවිසුම ඇතුළු ගිවිසුම් තුනක් අත්සන් කරන්න ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලය ඉඳල කොළඹට ඇමරිකානු ආධිපත්‍යයක් ගොඩනගන්න හදනවා. අපේ රටේ භෞමික අඛණ්ඩතාවය විනාශ වෙනවා. මෙහෙම ගියොත් ලිබියාව , ඉරානය , සිරියාවට වෙච්ච දේ අපටත් වේවි යැයි කීය.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම , නිරෝෂන් ප්‍රේමරත්න , මහින්ද යාපා අබේවර්ධන , කංචන විජේසේකර හා අකුරැස්ස ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක දේශමාන්‍ය කරුණා කොඩිතුවක්කු යන මහත්වරු සමුළුම ඇමතූහ.

