BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

අද නිකිනි පුරපසලොස්වක පොහොය දිනයයි NIKINi full moon poya day

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු පොහොයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය සඳහන් කළ හැකිය. මහාවග්ග පාලියේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි සඳහන් වන අන්දමට භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් බුදුරදුන් විසින් පෙන්නා දී ඇත. එය පෙර වස හා පසු වස යනුවෙන් හැඳින්වේ. ඇසළ පුන් පෝදා භික්ෂූන් පොහොය කොට ඇසළ අව පෑළවිය දිනයේ වස් එළඹිය යුතුය. එය පෙර වස වශයෙන් දැක්වේ. නිකිණි පුන් පොහොය දා පෝය කොට නිකිණි අව පෑළවිය දා වස් එළඹීම පසු වස වශයෙන් සැලකේ.

ඉන්දියාවේ හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ඉතා පැහැදිලිව සෘතු තුනක් දක්නට ලැබේ. ඒ අතුරෙන් වස්සාන සෘතුව ආරම්භ වීමත් සමඟ කුඩා පැළෑටි මෙන්ම ගස් වැල් ද දළු දා වැඩීම පටන් ගනී. ඒ කාලයෙහි දේශගුණයේ ඇති අයහපත් තත්ත්වය නිසාත්, ඒකීන්ද්‍රීය ජීවීන් වූ පැළෑටි මැඩගෙන ගමන් කිරීම සතුන් විනාශ කිරීමක් සේ ජෛන ආගමිකයන් ඇතුළු සමහර අය සැලකූ නිසාත්, හැකිතාක් ඇවිදීමෙන් තොරව වාසය කිරීමට බොහෝ අය පුරුදුව සිටියහ. එහෙත් මේ තත්ත්වය නොසලකා බෞද්ධ භික්ෂූන් ක්‍රියා කිරීම නිසා ජෛන ආගමික අනුගාමිකයෝ මහත් සේ චෝදනා කරන්නට වූහ. මේ පිළිබඳව සලකා බැලූ බුදුහු තම ශ්‍රාවකයන් වඩාත් පිළිවෙතට යොමු කිරීම සඳහා වස්සාන සෘතුවේ වස් එළඹීම කළයුතුයයි නියම කළහ.

බුද්ධ නියමය අනුව සෑම උපසම්පදා භික්ෂු නමක් ම ඇසළ අව පෑළවිය දිනයෙහි වස් එළඹිය යුතු ය. රෝගාබාධයක් හෝ වෙනත් හදිසි අපහසුතාවක් ඇති වූ කල්හි පමණක් නිකිණි පුර පසළොස්වක දින පොහොය සීමාවක දී විනය කර්ම කොට නිකිණි අව පෑළ දිනයෙහි පසු වස් එළඹිය යුතු වෙයි.

එසේ නො එළඹුන හොත් ‘න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස’ යනුවෙන් මහා වග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට වස් නො එළඹුන භික්ෂුවට දුකුළා නම් ඇවත සිදුවෙයි. නිකිණි පෝදා විනය කර්ම කොට වස් එළඹෙන භික්ෂූන්ට තෙමසක් ගතවීමෙන් පසු කඨීන චීවරයක් භාර ගැනීමට විනයෙන් ඉඩක් නැත. නිකිණි මස සිදුවීම් අතර අතිවිශේෂ කාර්යය වශයෙන් සඳහන් කළ හැක්කේ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීමයි. බුද්ධ පරිනිර්වාණයත් සමගම සුභද්‍ර නම් මහලුව පැවිදි වූ භික්ෂු නමක් විසින් අපට විවිධ නීති පනවමින් සිටි මහල්ලා නැතිවුණා දැන් අපට රිසි පරිදි කටයුතු කළ හැකිය’ යි කළ අමනෝඥ කතාවෙන් සංවේගයට පත් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහා සංඝයා වහන්සේ බුදුරදුන් පන්සාළිස් වසක් දේශනා කොට වදාළ ධර්මය විසිරුණු මල් ගොඩක් සේ පවතින බැවින් එම ධර්මය නිර්මලව ආරක්ෂා කර ගැනීම උදෙසා සංගායනාවක් පැවැත්විය යුතුය’යි තීරණය කළහ. ඒ සඳහා පන්සියයක් රහතන් වහන්සේ සහභාගි කරවීමටත් රජගහනුවර ඒ සැමදෙන වස් විසීමටත් තීරණය කළහ. ප්‍රත්‍යය අපහසුතා නොවන්නට අනෙකුත් භික්ෂූන් රජගහ නුවරින් පිටත වස් එළඹීමටත් පියවර ගැනීම ඉතා වැදගත්ය. ඇසළ පොහෝ දින පටන් විහාර ආරාම පිළිසකර කරවා නිකිණි අව පෑළවිය දා ප්‍රථම සංගායනාව ආරම්භ කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම සංඝායනාව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණි ගුහාවෙහි සිදුකළ බව සමහර ග්‍රන්ථවල සඳහන් වෙයි. එය සත්‍යයෙන් තොර ප්‍රකාශයකි.

සීසං වේහාර සෙලස්ස

පස්සේ කාරෙසි මණ්ඩපං

සත්තපණ්ණි ගුහාද්වාරෙ

රම්මං දෙවසභොපමං

යනුවෙන් මහාවංශයෙහි තතිය පරිච්ඡේදයේත්, වෙනත් අටුවා ග්‍රන්ථයන්හිත් ඉතා පැහැදිලිව දක්වන අන්දමට සත්තපර්ණි ගුහාවෙහි නොව එය අභියස ඉතා විසිතුරුව සාදන ලද මණ්ඩපයක මෙම සංගායනාව සිදුකෙරුණි. මහාකාශ්‍යප මාහිමියෝ ප්‍රධානත්වය ඉසිලූ මෙම සංගායනාවෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ අජාසත් රජතුමා විසිනි. රහත් භික්ෂූන් පන්සියයකගෙන් සංගායනාව කිරීමට බලාපොරොත්තුව සිටියත් ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් ම සිටිය යුතු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් ඒ උතුම් තත්ත්වය ලබා නොසිටීම මහත් ගැටලුවක් විය. හේතුව බුදුරදුන් දේශනා කොට වදාළ සියලු ධර්මය දැන මතක තබාගෙන සිටියේ ආනන්ද හිමියන් වීමයි.

දිනක් ගෝපක මොග්ගල්ලාන නමැති බමුණා අනඳ තෙරුන් වෙත පැමිණ ඔබ වහන්සේ බහුශ්‍රැතය යි ප්‍රසිද්ධයි. බුද්ධ දේශනාව කොපමණ දැන සිටි දැයි ප්‍රශ්න කළේ ය. එවිට උන්වහන්සේ දුන් පිළිතුර මෙසේය.

ද්වාසීතිං බුද්ධතො ගණ්හිං

ද්වේ සහස්සානි භික්ඛුනොා

චතුරාසීති සහස්සානි

යෝමෙ ධම්මා පවත්තිනො

මෙම ගාථාවේ අදහස නම් ‘ධර්මස්ඛන්ධ දෙ අසූ දහසක් බුදුරදුන් වෙතින් ද තවත් දෙදහසක් සැරියුත් ආදී තෙරවරුන්ගෙන්ද දැන ප්‍රගුණ කොට සිටිමි’ යනුයි. මේ අනුව බුද්ධ දේශිත සූ අසූ දහසක් ධර්මස්ඛන්ධයම ධාරණය කොට ගෙන සිටි ශ්‍රාවකයන් වහන්සේ අනඳ හිමියෝ ය. එක් දිනක් බුදුහු දෙව්රම් වෙහෙර වැඩසිටිය දී භික්ෂූන් අමතා මහණෙනි, මාගේ ශාසනයෙහි බොහෝ ඇසූපිරූ තැන් ඇත්තා වූ ද, ස්මෘතිමත් වූ ද, ඥානගති ඇත්තාවූ ද, ධෘතිමත් වූ ද, උපස්ථායක වූ ද භික්ෂූන් අතුරෙන් මේ ආනන්ද තෙරුන් අග්‍රය’ යි දක්වා තනතුරු පසකින්ම අග්‍රස්ථානයේ තැබූහ. මෙවැනි උසස් විවිධ දක්ෂතාවෙන් යුත් උන්වහන්සේ ගැන අපේ ධර්මග්‍රන්ථ හඳුන්වනුයේ අනන්දො රතනාකරො යනුවෙන් ආනන්ද හිමියන් ධර්මය නමැති රත්නයට ආකාරයක් බවයි.

නිකිණි පුර පසළොස්වක පොහොය වන විට මහා කාශ්‍යප මාහිමියන් ප්‍රථම ධර්ම සංගීතිය සඳහා එක් නමක් අඩු පන්සියයක් මහරහතුන් තෝරාගෙන තිබුණි. ඉතිරි ආසනය සඳහා අනඳ හිමියන් බලාපොරොත්තු වූ නමුත් ඒ දක්වා රහත් බවට පත් නොවීම මහත් ප්‍රශ්නයක් විය. අනඳ මාහිමියන් මේ කරුණ පිළිබඳව ගැඹුරින් වටහාගෙන දැඩි උත්සාහයෙන් භාවනාවෙන් කල්ගත කළ නමුත් පොහොය උදාවී තිබියදීත් අභිලාසය ඉටුකර ගැනීමට අපහසු විය. ඒ නිකිණි පෝදා රාත්‍රියෙහි බොහෝ වේලාවක් සක්මන් භාවනාවේ යෙදී අලුයම වේලෙහි පා සෝදා මද වේලාවක් විවේක ගැනීමට සිතා දෙපා ඔසවා යහන මත කොට්ටයට හිස තබාගන්නට සැරසෙත්ම සියලු කෙලෙසුන් නසා උතුම් රහත් බවට පත්වූහ. සිව් ඉරියව්වෙන් තොරව මෙසේ නිකිණි පුර පසළොස්වක පොහොය දින අනඳ හිමියන් රහත් බවට පත්වීම නිසා ප්‍රථම ධර්ම සංගායනාව ඉතා සාර්ථකව ආරම්භ කිරීමට හැකි විය.

ගල්කිස්ස බෞද්ධායතනාධිපති,

කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය

දිවියාගහ යසස්සි නා හිමි
« PREV
NEXT »

Facebook Comments APPID