රටේ නායකත්වය සඳහා නව නායකයෙකු තෝරා ගැනීම සඳහා සති දෙකක කාලයක් තිබියදී ආණ්ඩුව විසින් විදෙස් රටක් සමග තීරණාත්මක ගිවිසුමකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අදාල ගිවිසුම සම්බන්ධයෙන් රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ නිසි පරිදි දැනුවත්ව නොමැති පසුබිමක් තුළ මෙසේ හදිසියේ එම ගිවිසුම අත්සන් කිරීම සැකයට බඳුන් වන්නක් බව ද විපක්ෂ නායකවරයා පවසයි.
රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා පවා විරෝධය පළකර ඇති බවයි.
තීරණාත්මක මැතිවරණයක් එළඹ තිබියදී රටේ ජනතාව හෝ මහජන නියෝජිතයන් හෝ නිසි පරිදි දැනුවත් නොකර විදෙස් රටක් සමග ගිවිසුම්වලට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසන විපක්ෂ නායකවරයා පවසන්නේ මෙම ගිවිසුම අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයාගේද අනුමැතිය සහිතව බවයි.
එසේම මෙම ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

