තම ප්‍රතිපත්ති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්‍සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබුණා.
කවුරුන් විසින් හෝ ව්‍යාජ ජනප්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිදු කර ඇති මෙම ක්‍රියාව නිසා තමන් සහ තම පක්ෂය අපහාසයට ලක්වී ඇති බව සඳහන් කළ උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාජ ප්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප්‍රතිපත්ති සමාජගත කිරීම බරපතල ගැටළුවක් වී ඇති බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානය අවධාරණය කළේ මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිපත්ති අපහාසයට ලක් කිරීම , විකෘති කිරීම ආදිය දැඩිව හෙළා දකින බවයි. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කරමින් ජන්ද දායකයින් නොමඟ යැවීමේ වැඩපිළිවෙළක් ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවද එම සංවිධානයේ අධ්‍යක්ෂීකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නා.
තවද මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 161ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය රාජ්‍ය දේපළ අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් කැෆේ සංවිධානය සඳහන් කළා.

