ජනතාව විසින් තමා ප්රතික්ෂේප කළොත් ශ්රී ලංකාවේ නොසිට විදෙස්ගත වන බව පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ඊයේ (14) සඳහන් කළා.
මේ දිනවල තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීමට තමන් තුළ කිසිදු බියක් නැතැයිද රන්ජන් රාමනායක මහතා කියා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළොත් තමන් ස්වාධීනව තරග කරන බවද, දැනටමත් පක්ෂ කීපයකින් තමාට ආරාධනාකර ඇතැයිද කී හෙතෙම, ඉදිරි මැතිවරණයේදී පරාජයට පත් වුණොත් සිනමා නළුවෙකු ලෙස පූර්ණ කාලීනව කටයුතු කිරීමට සූදානමින් සිටිනවා. තමා රඟපාන චිත්රපට නැරඹීමද ජනතාව ප්රතික්ෂේප කළොත් විදෙස් රටකට ගොස් ජීවත්වන බව සඳහන් කළා.
රන්ජන් රාමනායක වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.
“මම මාධ්යයෙන් ඉල්ලීමක් කරනවා. මා ඉලක්ක කළාට කමක් නැහැ. සමහර අයගේ පවුල් ජීවිත කඩන්න එපා. විද්යුත් මාධ්ය පාවිච්චි කරන්නේ ජනතාවට අයිති තරංග. මම ගැහැනු ළමයෙක් එක්ක මල් කඩන එක මේ තරංග යොදාගෙන විකාශය කරන එක වැරදියි. මේ හඬපට සියල්ලම මම ගබඩාකරගෙන තියා ගත්තේ මගේ ආරක්ෂාවට. මට මරණ තර්ජන තිබුණා. කෙනෙක් ගිනි අවියක් තබාගත් පමණින් වෙඩි තියන්නෙ නැහැනේ. ඒක තියා ගන්නේ ආරක්ෂාවට. ඒ වගේ තමයි මම මගේ ආරක්ෂාවට මේ හඬපට පරෙස්සම් කරලා තියා ගත්තේ.
කරුණාකරලා මට ඔත්තු දුන්, තොරතුරු දුන් අයට හිරිහැර කරන්න එපා. මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක් විදිහට රඟමින් තොරතුරු රැස්කළා. මමත් කළේ ඒ වගේ වැඩක්. ගණිකාවන්, පෙම්වතියන්, හොරු, මංකොල්ලකාරයන්ගෙන් තොරතුරු අරගෙන ගබඩාකර ගත්තා. ආණ්ඩුවයි පොලිසියයි ඒවා අරගෙන පෞද්ගලික නාලිකාවලට විකුණුවා..”

