Featured News

Video Gossip

Advertisement

මාලිංගගෙන් චෝදනාවලට පිළිතුරු
අෆ්රිඩීට පළමු තරගය අහිමි වෙයි

තවත් දින දෙකකින් එනම් 26 වන දා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දේශීය සංකේතාත්මක ක්‍රීඩකයා ලෙසින් තෝරාගත් ලසිත් මාලිංග ඉන් ඉවත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විවිධ මතිමතාන්තර ගොඩනැඟිණි.

එහිදී බොහෝ දෙනෙකු සඳහන් කළේ මෙවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව බැවින් මාලිංග තරග කිහිපයකට හෝ සහභාගි විය යුතුව තිබූ බවය.

කෙසේ වෙතත් ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මව්බිම පුවත්පත කළ විමසීමකදී මාලිංග මෙලෙස පැවසු බව එම පුවත්පත සදහන් කරයි.
“ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව ක්‍රිකට් ගහන්න බැහැනේ. ගොඩක් අය මට ක්‍රිකට් ගහන්න උගන්වන්න හදනවා. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. ඒ අය හිතන් ඉන්නේ ක්‍රිකට් ගහනවා කියන්නේ ගෙදර ඉඳන් කඩේට පාන් ගේන්න යනවා වගේ වැඩක් කියලා. එහෙම ක්‍රිකට් ගහන්න බැහැ. මම දැක්කා මම ගැන එක එක දේවල් දාලා තියෙනවා. ඕවා හැම එකකටම උත්තර දෙන්න බැහැනේ. තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනීවි, නැති එක්කෙනෙක් නිකන් ඉඳීවි. සමහර අය හිතන් ඉන්නේ අයියෝ දුවලා ගියා බෝල් කරා කියලා. ඒත් මම දන්නවා යෝකර් එකක් දාන්න බෝල කීයක් දාන්න ඕනද කියලා. අනික ඒ වැඩේ කරන කෙනා තමයි දන්නේ ඒ වැඩේ කොච්චර අමාරුද කියලා” යනුවෙනි.

මේ අතර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩීට ඊයේ (23දා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය මගහැරුණු අතර මේ හේතුවෙන් ඔහුට අද (24) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුම ඔස්සේ අෆ්රිඩී පවසා ඇත්තේ “මගේ ගුවන් යානය මට මගහැරුණත් මගේ කණ්ඩායමේ සාමාජිකයන් සමග මම ඉක්මනින් ම එක්වෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි. 

ඒ අනුව එල්.පී.එල්. තරගාවලියේ පළමු තරග කිහිපය ඔහුට අහිමි වීමට ඉඩ ඇති බැවින් එම තරග කිහිපයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වගකීම භානුක රාජපක්‍ෂට පැවරෙනු ඇති බව ද පැවැසේ.

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉනදියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව කළ මහේල ජයවර්ධන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ප්‍රශංසා කර තිබේ. 

ඒ අනුව, ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රිකට් තරගාවලියක අත්දැකීමත් සමගින් එහි දස්කම් දැක්වීමේ අවස්ථාව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයන්ට හිමිව ඇති බව ජයවර්ධන පවසා ඇත. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන කාලසීමාව ගතකරන අතරතුර එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල මේ බව ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම මෙම එල්.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට තැබූ සාර්ථක පියවරක් ලෙසින් සැලකිය හැකි බවද මෙහිදී මහේල පවසා තිබිණි. 

කෙසේ නමුත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ආරම්භක එල්.පී.එල්. තරගාවලිය ලෙස මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඉදිරි වසරවලදී එල්.පී.එල්. තරගාවලිය ක්‍රමයෙන් වැඩි දියුණු වීමක් බලාපොරොත්තු විය හැකි බව තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements