Advertisement

ජංගම දුරකතන ඇතුලු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය රජය තහනම් කිරීමේ සූදානමක

මෙරට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එම වාර්තා පෙන්වාදෙන ආකාරයට ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විළවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් සඳහා ආනයන සීමා පැනවෙනු ඇති.

කෙසේවෙතත් මෙම සීමාවන් පැනවෙන දිනය හෝ එම සීමා කොතෙක් කළක් බලපැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේවන විටත් සීමා පැනවිය යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම මහ බැංකුවට පවරා ඇති අතර මේ පිළිබඳ ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

රට තුල මේවන විට බරපතල විදේශ විනිම සංචිත හිඟයක් පවතින අතර මෙම තත්වය තවදුරටත් අයහපත් වීම වළක්වා ගැනීම සඳහා ඉහත තීරණවලට එළඹ ඇති බවයි මහ බැංකු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර පසුගිය සතියේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ අවම තරමින් තවත් වසර දෙකක් යන තුරු මෙරටට වාහනය ආනයනය සීමා පැනවීමට සිදුවනු ඇති බවටයි.

එම නිසා දේශීයව වාහන එකලස් කරන සහ නිපදවන ව්‍යාපාරිකයින් සවිමත් කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී අවධාරණය කළා.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ පිටරටින් ආනයනය කරන රථ වාහනවල මෙරටදී නිෂ්පාදනය කළ හැකි අමතර කොටස් නිෂ්පාදනය සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බවයි.

මේ අතර මෙරට වාණිජ බැංකු තුල පවත්වාගෙන යනු ලබන අනේවාසික විදේශ මුදල් ගිණුම්වලින් මුදල් ලබාගැනීමේදී යම් යම් දුෂ්කරතාවන්ට පත්වන බවට ගිණුම් හිමිකරුවන් අවස්ථා ගණනාවකදී චෝදනා කර තිබුණා.

ඇතැම් ගිණුම් හිමියන් ප්‍රකාශකර තිබුණේ එක් අවස්ථාවක ඇමරිකානු ඩොලර් දහසක මුදලක් ඔවුන්ටෙග් අනේවාසික ගිණුමෙන් ලබාගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබූ බවයි.

කෙසේවෙතත් රට තුල පවතින මූල්‍ය වාතාවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සඳහන් කළේ රට තුල ඩොලර් බිලියන 4ක සංචිතයක් පවතින බවයි.

දේශපාලනික උවමනාවන් මත ඇතැම් පුද්ගලයින් රට තුල ඩොලර් හිඟයක් ඇති බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බව ඔහු සඳහන් කරනවා.

කෙසේවෙතත් වාණිජ බැංකු සමග සමීපව කටයුතු කරමින් රට තුල ඇති ඩොලර් සංචිත කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව දිගින් දිගටම ක්‍රියා කරන බවයි ඔහු සඳහන් කළේ.

මේවන විට මහ බැංකුව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 4ක සංචිතයක් ඇති අතර එයට චීන මහජන බැංකුවෙන් ලබාගන්නා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් එක්වීමට නියමිතයි.

ඊට අමතරව බංග්ලාදේශයෙන් ලබාගන්නා ඩොලර් මිලියන 250ක් ජුලි මැද භාගයේත් ඉන්දියාවෙන් ලබාගන්නා ඩොලර් මිලියන 400ක් අගෝස්තු මාසයේදීත් ලැබෙනු ඇති බවටයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අගෝස්තු මාසයේදී තවත් ඇමරිකානු ඩොලර් මිලියන දහසක ණය ආධාරයක් ඉන්දීය සහයෝගීතාව මත මෙරටට ලැබීමට නියමිතයි.

ඊට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ලෝක බැංකු ණය ආධාර යටතේ අගෝස්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙරට ඩොලර් සංචිත ශක්තිමත් වන බව මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළකරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements