Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අනියම් ඇසුර සමග පවුල් ආරවුල උණ්ඩකින් කෙලවුර වූ තිත්ත කතාවක් මෙන්න

බොහෝ අඹු සැමි ආරවුල් අවසන් වන්නේ මිනී මැරුමකිනි. මෙවන් සිද්ධි නිසා මිය ගිය සැමියන් මෙන් ම බිරින්දෑවරුන් ගැන ද අපට නිතර අසන්නට ලැබේ.

මීට සති කිහිපයකට පෙර ඇති වූ එවන් ආරවුලකින් සැමියාත්, බිරියත් මියගොස් තිබූ පුවතක් කැස්බෑව පොලිස් වසමෙන් ද වාර්තා විණි. අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ අඹු - සැමි ආරවුල කෙළවර වූයේ සිය බිරියගේ ගෙළ කපා මරා ඔහු ද නිවෙසක බාල්කයක එල්ලී සියදිවි හානි කර ගැනීමෙනි.

පොලිස් මූලස්ථානයට වාර්තා වන මෙවන් අඹු සැමි ආරවුල් බොහෝමයක් ඇතිව තිබෙන්නේ අනියම් සබඳතා හේතුවෙනි. බිරියට අනියම් සැමියන් සිටින බවත් සැමියාට අනියම් බිරියන් සිටින බවත් මුල් කරගෙන ඇති වන මෙම අඹුසැමි ආරවුල්වලින් පීඩාවට පත්වන්නේ ඔවුන්ගේ දූ දරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඉකුත් මස 26 වන දා ද මෙවන් අඹු-සැමි ආරවුලක් නිමා වූයේ සැමියා සිය රූමත් බිරියට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවය. එය ඉතා අමානුෂික ඝාතනයක් විය. ඊට හේතුව වූයේ සැමියා ඇයට වෙඩි තබා ඇත්තේ ඇගේ ඇකයේ වයස අවුරුද්දක සිඟිති දරුවකු සිටි මොහොතකදීය. සැමියා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඇගේ හිස කුඩු පට්ටම් වී ගිය අතර ඇකයේ සිටි දරුවා විසිවී ගොස් පැත්තකට වැටී තිබිණි.

ඉන්ද්‍රා මල්කාන්ති හා ධම්මික කුමාර මීට වසර පහකට පෙර විවාහ වූයේ ප්‍රේම සබඳතාවක ප්‍රතිඵලයකිනි. ධම්මික ඇඹිලිපිටිය ප්‍රදේශයේ මල්ශාලාවක් පවත්වාගෙන ගිය අයෙකි. එමෙන් ම මීට පෙර වෙනත් කාන්තාවක සමග විවාහ වී සිටි තැනැත්තෙකි. ඒ විවාහයෙන් ධම්මිකට දරු දෙදෙනෙකි. එහෙත් ඒ විවාහය එතරම් සාර්ථක පවුල් ජීවිතයක් නොවුණේ දෙදෙනා අතර නිතර හටගන්නා ආරවුල් නිසාය. අවසානයේ ඇගෙන් වෙන්වූ ධම්මිකට අධිකරණයේ නියෝග මත ඇයට නඩත්තු ද ගෙවන්නට සිදුවිය.

ඔහුට මල්කාන්ති හමුවන්නේ අහම්බෙනි. ධම්මික පවත්වාගෙන ගිය මල් ශාලාවේ සේවය කළ පුද්ගලයෙකු මල්කාන්තිගේ මල්ලී කෙනෙකි. ඒ ඔස්සේ මල්කාන්ති හඳුනාගත් ධම්මික මීට වසර පහකට පෙර ඇය සමග විවාහ වී ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ නිවෙසේ පදිංචියට පැමිණියේ දහසකුත් බලාපොරොත්තු ඇතිව ය.

ඒ වන විට ධම්මික ද හිටියේ තනිකඩවය. ඇය ද ඊට කලින් වෙනත් පුරුෂයෙකු හා විවාහ වී සිටි අතර ඇගේ විවාහක සැමියා සිටියේ විදේශගතවය. කෙසේ හෝ ඇති වූ ආරවුල් මත ඇය ඔහුගෙන් වෙන්වී සිටියාය. ඇයට ධම්මික දැන හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඔය අතරය.

විවාහයෙන් පසු සතුටින් සමාදානයෙන් දරුවන් ද ලැබී වසර කිහිපයක් ගත කළ ද මෑතක සිට දෙදෙනා අතර අඹු-සැමි ආරවුලක් ඇති වූයේ දෙදෙනා තුළ ම ඇතිවූ සැක සංකා නිසාය.

මල්කාන්ති සිය සැමියාට අනියම් බිරියන් සිටින බව කියමින් ඔහු සමග රණ්ඩු අල්ලද්දී ධම්මික ද ඇයට හොර සැමියන් සිටින බව කියමින් ඇයට කෑකෝ ගසන්නටත් පහර දෙන්නටත් උත්සුක වී තිබිණි. මේ නිසා ඇය සැමියා සමග උරණ වී සිය මවගේ නිවෙසට ගිය අවස්ථා කිහිපයක් ද තිබිණි.

මෙලෙස මවගේ නිවෙසට ගොස් එහි රැඳී සිට දින කිහිපයකට පසුව ඇය දරුවන් ද සමග ධම්මිකගේ වහල යටට නැවත එන්නේ කරන්නට වෙන දෙයක් නොතිබූ නිසාත් දරුවන් පියා සොයමින් හඬන්නට වූ විටදීත්ය. ලොකු දරුවාට වයස අවුරුදු තුනකි. බාලයාට තවමත් වයස අවුරුද්දකි.

මෙලෙස වරින් වර ආරවුල් ඇති කර ගනිමින් ප්‍රශ්න ගැටලු මැද ජීවත් වූ මොවුන්ගේ අඹු-සැමි ආරවුල උත්සන්න වූයේ ඉකුත් මස 26 වන දා ය. ඒ ඇති වූ සුළු බහින් බස්වීමක් හේතුවෙනි.

දෙදෙනා දෙදෙනාගේ ම හොර සැමියන් හා හොර බිරියන් ගැන එකිනෙකාට චෝදනා කරමින් ආරවුල් ඇති කර ගැනීම අවසන් වූයේ මල්කාන්ති සිය දරු දෙදෙනා ද රැගෙන ධම්මිකගේ නිවෙසින් පිටව යාමෙන් පසුවය.

ඇය දරුවන් ද රැගෙන ඇගේ මව පදිංචිව සිටි මහ ගෙදරට ගියාය. මහ ගෙදර සිය මවුපියන් සමග ඇගේ සොහොයුරා සිය බිරිය ද සමග ජීවත් විය.

“ධම්මිකත් එක්ක ඉන්න බැහැ අම්මේ. හැම දා ම මගෙත් එක්ක රණ්ඩු වෙනවා. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ.”

ඇය සැමියාගේ වැරැදි කියමින් හඬා වැළපෙන්නට වූ අතර මවත් සහෝදරයාත් ඇය අස්වසන්නට වූහ. ඇගේ මව ජීවත් වූයේ ඇඹිලිපිටිය දර්ශනගම ප්‍රදේශයේ ය. ඇය මහ ගෙදරට පැමිණියේ ඇය සතුව තිබූ ලියකියවිලි ද රැගෙන ය. ඒ, නැවත ධම්මික සමග පවුල් නොකන තීරණයකින් යුක්තවය.

කෙසේ හෝ බිරිය සමග ඇති වූ ආරවුලෙන් පසු මල් ශාලාවට ගිය ධම්මික දිවා කාලයේ යළි සිය නිවෙසට ආවේය. දවාලට කන්නට කෑමක් නැති තැන ධම්මිකට ඇති වූයේ දැඩි කෝපයකි. ඔහු ඒ මොහොතේ ම මල්කාන්තිට දුරකතන ඇමතුමක් ගත්තේ ඒ කෝපය ඉහවහ යාමත් සමග ය.

“උඹ මොන ගුබ්බෑයමේ ද ඉන්නේ... උඹ දැන් ම මෙහෙ අවේ නැත්නම් මම උඹලා ඔක්කොම මරලා දානවා”

එසේ කියමින් ධම්මික දුරකතනය විසන්ධි කළ අතර මේ නිසා මල්කාන්ති දැඩි අපහසුතාවකට පත්වූවාය.

“ඇයි ධම්මික මොක ද කියන්නේ...”

“මම ගෙදර ආවේ නැත්නම් මෙහෙට ඇවිත් මාව මරනව ලු”

මින් මල්කාන්තිගේ මව ද තැති ගත්තාය.

“ධම්මික මෙහෙ ආවොත් තවත් ලොකුවට ප්‍රශ්න ඇති වෙයි. මල්ලිත් ඕවට පැටලෙයි. ඒ හින්දා මම ගෙදර යන්නම් අම්මේ...”

“එහෙනම් මල්ලිට කතා කරලා එයාට කියන්න ගිහින් බස්සන්න කියලා...”

මව මල්කාන්ති දුව ගැන ඇති වූ බියකින් යුතුව ඇයට පවසන්නට වූවාය. ඒ අනුව මල්ලීට දුරකතන ඇමතුමක් දෙන මල්කාන්ති යළි ඇයව නිවෙසට ගොස් ඇරලවන ලෙස ද පවසා සිටියාය.

“අයියා ළමයි දෙන්නටත් හරි ආදරෙයිනේ මල්ලි, ඒ නිසා මම ගෙදර යන්නම්...”

සවස 5.30ට පමණ මල්ලිගේ බිරිය ද සමග මල්කාන්ති හා දරුවන් දෙදෙනා මල්ලිගේ ත්‍රීවීලරයෙන් ම ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ඔවුන්ගේ නිවෙසට ගියේ වෙන කරන්නට කිසිදු දෙයක් නොතිබූ හෙයිනි. ඒ අතර නිවෙස ඉදිරි පසින් ත්‍රීවීලරයෙන් බැස ගත් මල්කාන්ති තම අත දරුවා වඩාගෙන නිවෙසට ඇතුළු වූ අතර අනෙක් දරුවා ද ඇය පසුපස පැමිණෙන්නට විය. එහෙත් ඇය ගෙදරින් යන විට රැගෙන ගිය බඩු මුට්ටු ත්‍රීවීලරය පිටුපස තිබුණ ද එය ගැනීමට ඇයට අමතක වූ සෙයකි.

ඒ වන විට ධම්මික සිය නිවෙසට පැමිණ සිටියේය. මොහොතකින් ලැබුණු දුරකතන ඇමතුමක් නිසා මල්කාන්තිගේ සොහොයුරා ද ත්‍රීවීලරයෙන් එතැනින් නික්ම නගරය දෙසට යන්නට විය.

මල්කාන්තිට ගෙට ගොඩ වදින්නටත් නොහැකි වූවාය. ධම්මික ඇගේ ඇඟට කඩා පැන්නේය. පරුෂ වචන පෙළක් ද සමගින් ඇයට තදින් බැන වදින්නට විය. මල්කාන්තිට මෙය ඉවසුම් නොදෙන්නක් වූවාය. ඇය ද සැමියාගේ බැනුම්වලට පිළිතුරු දෙමින් ඔහු සමග ආරවුලක පැටලුණාය.

“අනේ මල්ලි ඇවිල්ලා මාව එක්කරගෙන යන්න. මට මෙහෙ ඉන්න බැහැ. මූ මාව මරාවි.”

ඇය ඒ අතර සිය සොහොයුරාට ද දුරකතන ඇමැතුමක් දෙමින් කීවාය. නැවත අක්කා සහ මස්සිනා ආරවුල් ඇති කරගෙන ඇති බව වටහා ගත් සොහොයුරා යළි ත්‍රීවීලරය හරවාගෙන අක්කාගේ නිවෙසට ගියේය.

එලෙස පැමිණි ඔහු අක්කා නිවෙසින් පිටතට එන තුරු නිවෙසේ ගේට්ටුව අසල ත්‍රීවීලරය නතර කරගෙන සිටියේය. ඒ අතර අක්කාත් මස්සිනාත් බැන ගන්නා අයුරු ද ඔහුට ඇසෙන්නට විය. සොහොයුරා ගේට්ටුව අසලට පැමිණ ඇති බව වටහා ගත් මල්කාන්ති අත දරුවා ද ඇකයේ හොවාගෙන අනෙක් දරුවා ද රැගෙන නිවෙසින් පිටව යන්නට මිදුලට බැස්සාය. ඒ සමග ම ධම්මික කෝපයට පත්ව ඇයට බැන වදිමින් නිවෙස තුළට දිව ගොස් සැණින් යළි මිදුලට දිව ආවේය. ඒ කුඩා ගිනි අවියක් ද අතැතිව ය. ඒ වන විට මල්කාන්ති නිවෙසේ ගේට්ටුව ද විවර කොට මීටර් දහයක් පමණ දුරකට ගොස් සිටියාය. ඇගේ කුඩා දරුවා ඇගේ ඇකයේ ය. දෙවැන්නා ඇය පසුපස ය.

නිවෙස තුළ සිට දුවගෙන පැමිණි ධම්මික මාර්ගයට යමින් සිටි මල්කාන්ති වෙත කඩා පැන වම් අතින් ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගත්තේ ය. ධම්මිකගේ දකුණතේ ගිනි අවිය තිබිණ. ඇය දරුවා ද සමග කැරකී ගොස් ධම්මික ගේ ඉදිරියට හැරුණාය. ඒ සමග දකුණත තිබූ ගිනි අවිය ඇගේ නළලට ඉලක්ක කළ ධම්මික එක වර ම එහි කොකා ගැස්සුවේය. මහ හඬක් නගමින් වෙඩි හඬ පත්තු විය. ඒ සමග හිසට බරපතළ තුවාල ලැබූ මල්කාන්ති එතන ම ලේ පෙරාගෙන ඇද වැටුණු අතර ඇගේ ඇකයේ සිටි අවුරුද්දක් වයසැති දරුවා ඇකයෙන් ගිලිහී ගොස් පැත්තකට වැටුණේය.

තම අක්කාට අත්වූ ඉරණම ත්‍රීවීලරයේ සිටි ඇගේ සොහොයුරාට පැහැදිලිව පෙනුණේය. ඔහු වහා දුව ගොස් ධම්මිකගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

“තෝ මොකක් ද බල්ලෝ කෙරුවේ” ඒ සැණින් ඔහු බිම වැටී සිටින සොහොයුරිය දෙස බැලීය. ඇය රෝහලට ගෙන යායුතු බව ඔහුට වැටහුණේය. ඔහු ධම්මිකගේ ගෙළ අතහැර බිම වැටී සිටි අක්කාව ඔසවාගෙන ත්‍රිරෝද රියකින් ඇඹිලිපිටිය රෝහලට රැගෙන ගියේය. තුවාලකාරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් සොහොයුරාට කීවේ ඇය ඒ වන විටත් අවසන් හුස්ම හෙළා ඇති බව ය. ඒ සමග ම ඔහු මහ හඬින් හඬා වැළපෙන්නට විය. සිද්ධිය රෝහල් පොලිසිය විසින් ඇඹිලිපිටිය රෝහලට දැනුම් දෙනු ලැබුවේ ඉන්පසුවය.

ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් ඇතුළු කණ්ඩායමක් ඇඹිලිපිටිය රෝහලට ගියේ එම දැනුම්දීමට අනුව ය. පසුව එම නිලධාරීන් මල්කාන්තිගේ නිවෙසට ගියේ ඇගේ සැමියා සොයාගෙන ය. මල්කාන්තිගේ සොහොයුරා ඒ වන විටත් සිදුවූ සියල්ල එකක් නෑර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පවසා තිබීම පරීක්ෂණවලට මහඟු පිටිවහලක් විය.

පොලිස් නිලධාරීන් යන විට ධම්මික නිවෙසේ සිටියේ ය. ඔහු සිටියේ කිසිවක් සිදුනොවූ ආකාරයෙනි. ඔහු කුඩා දරුවා වඩාගෙන සිටියේය.

“කෝ තමුන්ගේ නෝනා”

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් ධම්මිකගෙන් විමසුවේ කිසිත් නොදන්නකු සේ ය.

“එයා අම්මලා ගෙදර යනවා කියලා මල්ලිත් එක්ක ත්‍රීවීලර් එකෙන් ගියා,” ධම්මික කිසිදු වෙනසක් නොපෙන්වා කීවේය.

“උඹේ ගෑනි තුවාල වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙනවා කියලා උඹ දන්නේ නැහැ.”

“අනේ නැහැ සර් මම දන්නේ නැහැ. මල්ලි දන්නවා ඇති.”

“යකෝ අපිට බොරු කියන්න එපා. උඹෙන් මම ඇත්ත දැන ගන්නම්. මෙන්න මූව දා ගන්නවා ජිප් එකට”

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය කණ්ඩායමට උපදෙස් දුන්නේය. ධම්මික කුදලාගත් නිලධාරීහු ඔහුගේ දෑතට මාංචු ද යොදා ජීප්රියට ඔහු නංවා ගත්හ. ඉන් අනතුරුව නිලධාරීන් ධම්මිකගේ නිවෙස දැඩි සෝදිසියට ලක් කළේය. නිවෙසේ සී.ටී.ටී.වී. කැමරා සවිකොට ඇති බව නිලධාරීහු දැක්කෝය. ඇති වූ සිද්ධිය ගැන කිසියම් හෝඩුවාවක් කැමරාවල සටහන් වී ඇතැයි විශ්වාස කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එය ක්‍රියාත්මක කළේය. ඒත් එය ක්‍රියා විරහිතය. පසුව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සී.සී.ටී.වී. කැමරාවේ QVR යන්ත්‍රය හා කොටස් ගලවා ඇති බවය. එය ධම්මික විසින් සිදුකරනු ලැබ ඇති බව නිලධාරීහු සැක කළහ. ඉන්පසු ධම්මිකගෙන් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ඒ, මල්කාන්තිට වෙඩි තැබූ තුවක්කුව සොයා ගන්නට ය.

“අපි මිනිහගෙන් ප්‍රශ්න කරනකොට මිනිහා මුකුත් කිව්වේ නැහැ. ඒත් අපි දිගට ම ප්‍රශ්න කළා. වෙඩි තියන්නට යොදා ගත්ත ගල්කටස් වර්ගයේ බෝර 12 උණ්ඩ දාන තුවක්කුව ගල්ගොඩක් අස්සේ හංගලා තිබිලා හොයා ගත්තා.”

“ගෑනු කෙනාට වෙඩි තියනකොට ඇඳගෙන හිටිය ඇඳුම්වල ලේ විසිරිලා තිබිලා ඒවා සෝදලා කියලා සොයා ගන්න පුළුවන් වුණා. සී.සී.ටී.වී. කැමරාවේ කොටස් අල්මාරියක හංගලා තියලා සොයා ගන්න පුළුවන් වුණා. ඒ බෝර ‍දොළහේ තුවක්කුවෙන් වෙඩි තියපු හින්දා තුවක්කුවේ තිබුණු මූනිස්සමෙන් පිටවුණු යකඩ බෝල සියයක් විතර ගෑනු කෙනාගේ ඔළුවේ තිබුණා. ඒ නිසා ගෑනු කෙනාගේ ඔළුව කුඩුපට්ටම් වෙලා තිබුණේ. ඒ වගේ ම මේ සැකකරුට ගිනිඅවියක් ලැබුණේ කොහෙන් ද කියලත් ගෑනු කෙනාට වෙඩි තියන්නට කියලා හිතාගෙන ඒක කලින් ම ගෙනත් ගෙදර තිබ්බ ද කියලා දැන ගන්නත් ප්‍රශ්න කරනවා,” ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් කීවේය.

පොලිසියට රැගෙන ගිය සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු BR 1437/21 යටතේ ඉකුත් 27 වන දා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකාර ධම්මික මේ මස 5 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ධම්මිකගේ හා මල්කාන්තිගේ දරු දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පරිවාස වාර්තාවක් ද සමගින් මල්කාන්තිගේ මවට භාර දීමට අධිකරණය කටයුතු කළේය.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.)

ඡායාරූප: රූපසේන පත්තුව - ඇඹිලිපිටිය

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook