ලෝකෙන්ම හතරවැනියා වෙයි
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සිව් වන ස්ථානය දිනා ගෙන තිබේ.
2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය අමෙරිකාවේ ලාස් වේගාස්හිදී ඊයේ (ජන. 15) පැවැත් වුණු අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අමෙරිකාවේ ෂයිලින් ෆෝඩ් සමත් විය.
පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණු මේ පිළිබඳව සටහනක් ද තබා තිබේ.
මෙවර ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරිනියන් සහභාගී වී තිබිණි.
තරගාවලියෙන් පසු පුෂ්පිකාද සිල්වා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
“මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”
“එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”
