බලංගොඩ කස්සප හිමියෝ හෙළි කරති
නැගෙනහිර පළාතේ පිහිටි ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් ඉඩම් භාවිතය සහ රජයේ ගිවිසුම් පිළිබඳව බරපතළ චෝදනා කිහිපයක් මතුකරමින් භික්ෂූවරයෙකු විසින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කර ඇත.
බළන්ගොඩ කස්සප හිමි සඳහන් කළේ ත්‍රිකුණාමලය පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය තුළ ආගමික කටයුතු අඛණ්ඩව සිදුකරන අතර එම විහාරස්ථානයට අයත් ඉඩම් හෝටලයක් ඉදිකිරීම සඳහා පැවරීමට උත්සාහයක් පවතින බවයි.
උන්වහන්සේ පවසන පරිදි වත්මන් ආණ්ඩුව සහ ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම්වලට අනුව නැගෙනහිර පළාතේ ඇතැම් ඉඩම් විදේශීය පාර්ශ්වයන්ට ලබාදීමේ සැලසුම් පවතින බවත්, එම පසුබිම යටතේ විහාරස්ථානයට අයත් භූමිය ඉන්දීය ව්‍යාපාරිකයන්ට හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට සූදානම් වන බවත්ය.
මෙම ක්‍රියාවලියට මහ සංඝරත්නය සහ බෞද්ධ ජනතාව බාධාවක් වී ඇති බවත්, ඒ හේතුවෙන් ඔවුන් මර්දනය කිරීමට පොලිසියේ ඇතැම් පිරිස් සහ රජයේ නිලධාරීන් ක්‍රියා කරන බවත් උන්වහන්සේ චෝදනා කළහ.
ඊයේ (පෙබරවාරි 12) කොළඹ 07 පිහිටි බෞද්ධ මහ සම්මේලනය පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරමින් උන්වහන්සේ සඳහන් කළේ, විහාර භූමියේ පවත්නා වෙළඳසැලක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවා ඇති බවයි. එම වෙළඳසැල විධිමත් ලෙස බදු පදනම මත ලබාදී ඇති බවද උන්වහන්සේ පැවසීය.
තවද, විහාරස්ථානයේ සිද්ධිය මුල්කරගෙන මහ සංඝරත්නයට තර්ජන සහ පහරදීම් සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි සිදුකර තිබුණද නීතිය ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත් උන්වහන්සේ චෝදනා කළහ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම චෝදනා පිළිබඳව වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැති අතර, සම්බන්ධ අංශවල ප්‍රතිචාර සඳහා බලාසිටින බව වාර්තා වේ.

