ඩිජිටල් හැඳුනුම්පත බ්ලැක් ලිස්ට් සමාගමකට දෙන්න යයි.
ටෙන්ඩර් කැදවීමත්, ලංසු ගැනීමත් ඉන්දියාවෙන්
කොළඹ, අප්‍රේල් 29 – ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොමැති බවත්, නමුත් ඩිජිටල්කරණයට මුවාවී මෙරට ජනතාවගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමට තමන් දැඩි විරෝධය පළ කරන බවත් ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ පවසයි
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මන්ත්‍රීවරයා පැවසුවේ,
"ඩිජිටල් හැඳුනුම්පතක් සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. නමුත් ඩිජිටල්කරණයට මුවා වෙලා ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වගේ අතිශයින්ම සංවේදී ජෛවමිතික දත්ත එකතු කරලා ඒක ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධව තමයි අපි මේ බරපතළ විවේචනය පහුගිය කාලෙම ගෙනාවේ."
එතුමා වැඩිදුරටත් පෙන්වා දෙමින් කියා සිටියේ, ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත සැකසීම සඳහා ඉන්දියානු සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව චෝදනා
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එතුමා පැවසුවේ,
"මේක කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී. ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් එක අවසන් කරනවා. නොවැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමනවා. ඒ එකඟතාව මත ටෙන්ඩර් විවෘත කිරීමක් කරා ඉන්දියාවේ ආයතන පහක් ටෙන්ඩරය යොමු කරනවා. මාර්තු මාසයේ 13 ප්‍රසිද්ධියට පත්කරන ලේඛනයේ තියෙනවා සමාගම් හයක්. හයවැනි සමාගම මේ ටෙන්ඩරය අතරතුර කල් ඇදලා ඇතුළට ඔබාගත්ත සමාගමයි. මේක තමයි ගෝඨභය රාජපක්ෂ ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ඒකෙන් අසාදුගත වූ සමාගම."
දැන් එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කරන බවද, ටෙන්ඩර් කැඳවීම, ලංසු ඇගයීම සහ මෘදුකාංග සැපයීම යන සියල්ලම ඉන්දියාව මගින් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.
ඉන්දීය ණය ආධාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය
රුපියල් බිලියන දාහක ඉන්දීය ණය ආධාරය හේතුවෙන් මෙම කටයුත්ත ඉන්දියාවට පිරිනැමීමට සිදුවූ බවට රජයේ ප්‍රකාශයන් පිළිබඳව අදහස් දක්වමින් එතුමා පැවසුවේ මෙය බරපතල ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රකාශ ගැන විවේචනය
මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පිළිබඳවද අදහස් දැක්වූ එතුමා,
"එරංග වීරරත්නලා කලින් ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධව විවේචන ගේද්දි කීවේ කිසි ප්‍රශ්නයක් නෑ ලංකාවේ සිස්ටම් මාර ආරක්ෂිත නිසා කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ කියලා. එහෙම කියපු එරංග වීරරත්න අපි දැක්කා ඊයේ පෙරේදා කෙඳිරි ගාල කියනවා එහෙම තමයි සිස්ටම්වල හැකර්ස්ලා එන්න පුළුවන්, තොරතුරු ගන්න පුළුවන්, තොරතුරු පිට යන්න පුළුවන් කියලා."
බව පෙන්වා දෙමින් විරුද්ධ පක්ෂයේ මෙම ප්‍රකාශයේ පරස්පරතාවයද ඉස්මතු කළේය.
කෙසේවෙතත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය වෙතින් නිල ප්‍රතිචාරයක් තවමත් එළිදක්වා නොමැති අතර, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ ඉන්දියානු සමාගම වෙතින්ද කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

